හැඳින්වීම

ILO Conference
ජගත් කම්කරු සංවිධානයේ (ILO) සාමාජික රාජ්‍යයෝ සෑම වසරක ම ජූනි මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් කම්කරු සමුළුවේ දී හමු වෙති.

ඒ ඒ සාමාජික රාජ්‍යය නියෝජනය කරන්නේ, රජයේ නියෝජිතයන් දෙදෙනෙකුගෙන්, සේවා යෝජකයන්ගේ නියෝජිතයෙකුගෙන්, සේවකයන්ගේ නියෝජිතයෙකුගෙන් සහ ඔවුන් එකිනෙකා නියෝජනය කරන උපදේශකවරුන්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමකිනි. (සේවා යෝජක සහ සේවක නියෝජිතයන් නම් කරන්නේ වඩාත්ම නියෝජකත්වයක් හිමි ජාතික සේවායෝජක සහ සේවක සංවිධාන සමග එකඟතාවෙනි).

සෑම නියෝජිතයෙකුට ම සමාන අයිතිවාසිකම් හිමි ය. ඔවුන්ට නිදහසේ සිය අදහස් පළ කළ හැකි ය, තමන් කැමති පරිදි ඡන්දය භාවිතා කල හැකි ය. සැබවින් ම ඇතැම් අවස්ථාවල දී, සේවක සහ සේවා යෝජක නියෝජිතයෝ තම රජයේ නියෝජිතයන්ට එරෙහිව හෝ එකිනෙකාට එරෙහිව වුව ද ඡන්දය පාවිච්චි කරති. එහෙත්, අදහස්වල මෙම විවිධත්වය කරණ කොට ගෙන, අතිමහත් බහුතරයකින් හෝ ඇතැම් අවස්ථාවල ඒකමතිකව පවා තීරණ සම්මත වීමට බාධා වන්නේ නැත.

රජයේ නියෝජිතයන්ගෙන් වැඩි දෙනෙක් සිය රටවල කම්කරු කටයුතු සම්බන්ධ වගකීම් දරන කැබිනට් අමාත්‍යවරු වෙති. එසේ ම, රාජ්‍ය නායකයන් සහ අග‍්‍රාමාත්‍යවරු ද සමුළුව සඳහා සහභාගි වෙති. ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය සහ වෙනත් සංවිධාන නිරීක්ෂකයන් ලෙස සහභාගි වෙති.

බොහෝ විට ජාත්‍යන්තර කම්කරු පාර්ලිමේන්තුව නමින් හැඳින්වෙන මෙම සමුළුවට පැවරී තිබෙන ප‍්‍රධාන කර්තව්‍යයන් කිහිපයක් ඇත.

  • පළමුව තිබෙන්නේ සම්මුතීන්ගේ සහ නිර්දේශයන්ගේ ස්වරූපයෙන් ජගත් කම්කරු ප‍්‍රමිතීන් සකස් කොට සම්මත කිරීම යි. සම්මුතීන් යනු සමුළුව විසින් සම්මත කළ පසුව සාමාජික රාජ්‍යයන් විසින් අත්සන් කිරීමට විවෘත ජාත්‍යන්තර ගිවිසුම් ය. සම්මුතියකට අත්සන් කළ විට එහි ප්‍රස්තුත විධිවිධාන ක‍්‍රියාවේ යෙදවීමට නීතිමය බැඳීමක් උද්ගත වේ. එහෙත් නිර්දේශවලින් බලාපොරොත්තු වන්නේ ජාතික ක‍්‍රියාවට මග පෙන්වීම යි. ඒවා අත්සන් කිරීමට විවෘත නොවන අතර, ඒවාට නීතිමය වශයෙන් බැඳීමක් උද්ගත වීමක් සිදු වන්නේ නැත.

 

  • ජාතික මට්ටමේ දී සම්මුතීන් සහ නිර්දේශයන් ක‍්‍රියාවේ යෙදවෙන ආකාරය අධීක්ෂණය කිරීමේ කාර්යහිද සමුළුව නියැලෙයි. සියලූ සාමාජික රාජ්‍යයන්හි රජයන් තමුන් අත්සන් කළ සම්මුතීන් නිසා පැන නගින බැඳීම්වලට අනුකූලව ඒවා පිළිබඳව කටයුතු කරන ආකාරය විස්තර කරමින් වාර්තා ඉදිරිපත් කළ යුතු අතර, සමුළුව එම වාර්තා විමර්ශනය කරයි. එමෙන් ම, ILO පාලක මණ්ඩලය සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින වාර්තා ඉදිරිපත් කළ විට ඒවා පදනම් කර ගෙන, (අත්සන් කළ හෝ නොකළ) සම්මුතීන්ට සහ නිර්දේශයන්ට අදාළව නීතිය හා භාවිතය ද විමර්ශනය කරයි.

 

  • මූලික මූලධර්ම සහ සේවා නියුක්තියේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රකාශනය (1998) Declaration on Fundamental Principles and Rights at Work (1998) සම්මත කිරීමත් සමග සමුළුවට පැවරෙන තවත් වැදගත් කාර්යයක් ඇත. එනම්, සිදු කළ යුතු යැයි එම ප‍්‍රකාශනයෙන් ඉල්ලා සිටින පසු විපරම් ක‍්‍රියා පටිපාටිය යටතේ ජගත් කම්කරු කාර්යාලය සූදානම් කරන ගෝලීය වාර්තාව විමර්ශනය කිරීම යි. වසර හතරකින් සමන්විත චක‍්‍රය තුළ දී, සමුළුව මූලික අයිතිවාසිකම් ක්ෂේත්‍ර හතරක් වාරානුකුලව ආවරණය කරමින් ගෝලීය වාර්තා විමසා බලයි: ඒවා නම්, (අ) සේවක එක්රැස් වීමේ නිදහස සහ සාමූහික කේවෙල් කිරීම සඳහා ඇති අයිතිය සක්‍රියව පිළිගැනීම; (ආ) සියලූ බලහත්කාරී සහ අනිවාර්ය ශ‍්‍රම ස්වරූප තුරන් කිරීම; (ඇ) සක්‍රීය ලෙස ළමා ශ‍්‍රමය අහෝසි කිරීම; සහ (ඈ) රැකියාවට සහ වෘත්තියට අදාළ සියලූ අසමාන ලෙස සැලකීම් තුරන් කිරීම යි.

 

  • සමුළුව යනු සමස්ත ලෝකයට ම වැදගත් සමාජීය සහ කම්කරු ප‍්‍රශ්න නිදහසේ – ඇතැම් අවස්ථාවල ඉමහත් උද්‍යෝගයෙන් යුතුව – සාකච්ඡාවට බඳුන් කරන සංවාද මණ්ඩපයක් ද වේ. එහෙත්, නියෝජිත කණ්ඩායම් ලෝකයේ සමාජ ප‍්‍රගතිය විමසා බලන නමුත්, සමුළුවේ ප‍්‍රධාන තේමාව වන්නේ ILO අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ ඒ වර්ෂයේ දී ඉදිරිපත් කරන වාර්තාව යි. මෑත වසරවල දී මෙම වාර්තා පහත කාරණා ආමන්ත්‍රණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත: එනම්, සමාජ රක්ෂණය සහ සමාජ ආරක්ෂණය (1993), සාරධර්ම values ආරක්ෂා කිරීම, වෙනස ප‍්‍රවර්ධනය කිරීම: ගෝලීය ආර්ථිකයක් තුළ සමාජ යුක්තිය (1994), රැකියා ප‍්‍රවර්ධනය කිරීම (1995), ජගත් කම්කරු සංවිධාන ප‍්‍රමිතීන් සකස් කිරීම සහ ගෝලීයකරණය (1997), ශිෂ්ඨ සම්පන්න සේවානියුක්තිය Decent Work (1999), ශිෂ්ඨ සම්පන්න සේවානියුක්ති ඌනතාව අවම කිරීම: ගෝලීය අභියෝගය (2001) සහ සාධාරණ ගෝලීයකරණය A fair globalization: සියල්ලන් උදෙසා අවස්ථා නිර්මාණය කිරීම (2004) යි.

 

  • සමුළුව ජගත් කම්කරු සංවිධානයේ සාමාන්‍ය ප‍්‍රතිපත්ති සහ අනාගත ක‍්‍රියාකාරකම් සඳහා මාර්ගෝපදේශ සපයන යෝජනා ද සම්මත කරයි.

 

  • සෑම දෙවසරකට ම වරක් සමුළුව සාමාජික රාජ්‍යයන් හරහා මුදල් සම්පාදනය කරගන්නා වූ ILO ද්වි වාර්ෂික කාර්ය වැඩ සටහන සහ අයවැය සම්මත කරයි.

 

මූලාශ්‍රය: www.ilo.org

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435