බැංකු සංගමය අභියෝගය අතට ගනී!

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක

* බැංකු ක්ෂේත්‍රය තුළ සිදුවෙමින් පැවති සේවක අයිතිවාසිකම් කප්පාදුව හා වෘත්තීය සමිති ක්‍රියාධරයින් මර්දනය කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙලේ වත්මන් තතු මොනවාද?

පහුගිය කාලය තිස්සේම වෘත්තීය සමිති මර්දනයක් බැංකු ක්ෂේත්‍රය තුළ තදබල ලෙස සිද්ධවෙමින් තියෙනවා. මහජන බැංකුව, හැටන්  නැෂනල් බැංකුව, එච්.එන්.බී හා  ජාතික ඉතිරි කිරීමේ බැංකුව එහිදී තීරණාත්මකයි.

මේ තත්ත්වය තීව්‍ර වූයේ අයවැය ප්‍රකාශනයෙන් පසුවයි. අද වෙද්දි මේ මර්දනය ප්‍රධාන වශයෙන් මහජන බැංකුව තුළ කේන්ද්‍රගත වෙලා. බැංකු සේවක සංගමයේ ප්‍රධාන ශාඛා සංගම් දෙකෙන් එකක් තමයි මහජන බැංකුව. ඒකේ  ස්ථාන මාරු මණ්ඩල හා අභියාචනා මණ්ඩල ක්‍රියාත්මකවීම අහෝසි කරලා. එයින් සේවකයින්ගේ වෘත්තීය ගැටළු නිරාකරණය කර ගැනීමට පවත්නා අවස්ථාව අහිමිකරලා තියෙනවා.

* වෘත්තීය සමිති නායකයින්ට පෙර පැවති වරප්‍රසාද අහිමි කර ඇති බවට නැඟෙන චෝදනාව මොකක්ද?

අවුරුදු හතළිහක් තිස්සේ වෘත්තීය සමිති නායකයින් පූර්ණකාලීව නිදහසක් භුක්ති වින්දා. ඒක බැංකු ක්ෂේත්‍රය තුළ අවුරුදු පනහක් හැටක් තිස්සෙ තිබුණු අයිතියක්. ඒක අහිමි කිරීම පිළිබඳ අප කම්කරු ‍ඇමති සමග සාකච්ඡා කළා. එකී සාකච්ඡාවලින් පසුව වෘත්තීය සමිති නායකයින් පස් දෙනෙකුට පමණක් ඒ නිදහස භුක්තිවිඳීමට අවසර දුන්නා. ඒත් එහෙම අවසර ලබාදී ඔවුන්ගේ වැටුප් සහ දීමනා අයින් කළා.

එයින් තුන් දෙනෙකු මාස තුනකට පසුව යළි සේවයට කැඳවලා තියෙනවා. ඇත්තම කීවොත් මාස තුන ගතවෙන්නත් ඉස්සර. අනිත් අයට මාස හතක් තිස්සේ වැටුප් නෑ.  ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන් වෘත්තීය සමිතියට කිසිම තොරතුරක් දෙන්නෙත් නෑ.

* මේ තත්ත්වය පිළිබඳ සේවකයින් මෙන්ම රටේ පොදු ජනතාව දැනුවත්ද?

සාමාජිකයින් දැනුවත් කිරීම හා රටේ ජනතාව අප දැනටමත් දැනුවත් කරමින් යනවා. විශේෂයෙන් බැංකු ක්ෂේත්‍රය තුළ සිදුවන දූෂණ වංචා, මහජන මුදල් අවභාවිතය, සේවක අයිතීන් මර්දනය ගැන අප පත්‍රිකා බෙදීම්, පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම්, රැස්වීම් තබා දැනුවත් කිරීම් කරනවා. ඒක වළක්වාලීමට පාලකයින් දැඩි පියවර අරන් තියෙනවා.  චක්‍ර ලේඛන දාලා එම ක්‍රියාමාර්ග තහනම් කරලා තියෙනවා. ඒත්

පත්‍රිකා බෙදීම්, රැස්වීම් තහනම් කරනවා කියන්නේ ප්‍රකාශනයේ හා භාෂාණයේ නිදහස අහිමිකරලීමක්. ඒක  මූලික අයිතිවාසිකම් වලට පටහැණියි. නමුත් එලෙස දැනුවත් කිරීම් සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාධරයින්ට එරෙහිව පාලකයින් විසින් විනය ක්‍රියාමාර්ග ගත්තා. ඒකට එරෙහිව අපි අධිකරණයට ගියා. දිසා අධිකරණයේදී පාලකයින්ගේ තහනම වළක්වාලන අධිකරණ නියෝගයක් දුන්නා. ඒ විදිහට දිසා අධිකරණයෙන් පැරදුණු බැංකු පාලකයින් අභියාචනාධිකරණයට ගිහින් අභියාචනා කරා. එයිනුත් ආයෙම පැරදුණා.  මේ වෙද්දි මේ බැංකු පාලකයින් වෘත්තීය සමිති ක්‍රියාධරයින්ගේ මූලික අයිතිවාසිකම් මර්දනය කිරීමට අවසර ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින්. ගැටළුව තියෙන්නෙ එතැන නෙවෙයි. මේ නඩුවලට මේ අය නිරපරාදේ වියදම් කරන්නේ මහජන මුදල්.

* සේවක දුක්ගැනවිලි ගැන කියන්න තිබුණු මණ්ඩලයට මොකද වෙලා තියෙන්නේ?

මහජන බැංකුව තුළ  ‘සේවක දුක්ගැනවිලි නිරාකරණය කිරීමේ ඒකාබද්ධ මණ්ඩලය’ පිහිටෙව්වේ 1962දීයි. ඒක තුළ බැංකු පාලකයින්, වෘත්තිය සමිති නියෝජිතයින් හැමෝම නියෝජනය වුණා. සේවකයින්ගේ දුක්ගැනවිලි ගැන පොදුවේ සාකච්ඡා කරලා  තීන්දුගැනීමට ඒක වේදිකාවක් වුණා. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවක් අනුව ඒක දැන් අරන් අහෝසි කරලා. දැන් දුක්ගැනවිලි ගැන කියන්න කිසිම ආයතනයක් නෑ. මීට අමතරව

උසස්වීම් දෙද්දි සභාපති, අධ්‍යක්ෂවරුන් ආදීන් විසින් ලංකා බැංකු සේවක සංග‍මයෙන් අයින් වුණොත් උසස්වීම් දෙන බවට ජ්‍යෙෂ්ඨ සේවකයින්ට දන්වලා තියෙනවා. එහෙම බලපෑම් කිරීම තුළින් අපගේ සාමාජිකයින් කිහිපදෙනෙකුම අයින් කරවලා තියෙනවා. සියයට 95ක් පමණ ඉන්නේ ලංකා බැංකු සේවක සංගමයේ අය නිසා පාලකයින් තනතුරු හා වරප්‍රසාද මගින් වෘත්තීය සමිති ක්‍රියාධරයින් ඩැහැගන්නා තැනට පත්වෙලා.

* මේ සා මර්දනයක් දියත් කර ඇත්තේ ඇයි?

මේ පිටුපස පහුගිය ආණ්ඩුකාලයේ සිටිම විවිධ නවීකරණ හා ඉදිකිරීම් වලට මුවාවී විශාල මුදලක් අවභාවිතා කළ බැංකු කළමනාකාරිත්වය සිටිනවා. මේ අයගේ දූෂිත ක්‍රියාවන්ට සංගමයේ ක්‍රියාකාරිත්වය බාධාවක්. අනෙක් අතට

නවලිබලරල්වාදී ආර්ථික ක්‍රියාවලිය තුළ රාජ්‍ය ආයතන මුළුමනින්ම විකිණීම හෝ  කොටසක් විකිණීම කරගෙන යනවා . මෙවර අයවැයෙන් බැංකුව කොටස් වෙළඳපළට ගෙනයාම ගැන ඔප්පු කළා.  මේ වැඩපිළිවෙල හැමදාම නැවතී තිබුණේ බැංකු සේවකයින්ගේ විරෝධය නිසයි. ඉදිරි කාලයේදී මේ වැඩපිළිවෙළ තීව්‍ර කිරීමට බැංකු සේවකයින්ගේ වෘත්තීය සමිති චප්ප කර දැමීම කළ යුතු බවට ආණ්ඩුව තීරණය කර තියෙනවා. මේ ගැන දැනුවත් කරමින් ආරම්භක වශයෙන් උද්ඝෝෂණ,  පෝස්ටර් ඇළවීම්, යම් යම් වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. රාජකාරි සීමා කිරීම් කළා. ඊට පසුව

කම්කරු ඇමති ගාව පරීක්ෂණ තියලා කළමනාකාරීත්වය යම් යම් වෙනස්කිරීම් කරන බවට පොරොන්දු වුණා. නිවරදි  කිරීම් කළා. ඒ නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අප විසින් අත්හිටෙව්වා. ඒත් එකඟවූ කිසි දෙයක් පාලකයින් කරනු ලැබුවේ නෑ. මර්දනය දියත් කිරීම දිගටම කළා. මර්දන නීති නොතකා අදටත් ක්‍රියා කරනවා. එක්තරා බැංකු ශාඛාවක සාමාජිකයින් දැනුවත් කරද්දී එහි කළමනාකරු හරහා කලබලයක් ඇතිකරලා සමිති නායකයින් අත්අඩංගුවට ගන්න කටයුතු කළා. සමහර ගොසිප් වෙබ් හරහා නායකයින්ට මඩ  ගැහුවා.

* ඉදිරියටත් මේ අභියෝගයට මුහුණදෙන්න සූදානම්ද?

ඔව්. ඒ අයගේ පැත්තෙන් මර්දනය තීව්‍ර කරද්දී අපටත් වෘත්තීය ක්‍රියා මාර්ග තීව්‍ර කරන්න සිද්ධවෙනවා. ඒ සඳහා

පුළුල් වැඩපිළිවෙලක් හදමින් ඉන්නවා. පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ පෙරමුණක් ඉදිරියේදී නිර්මාණය කරනවා. එක් පැත්තකින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා අන්තර්ජාතික වෘත්තීය සමිති මෙන්ම පොදු දේශපාලන නායකත්වය දැනුවත් කිරීමට පියවර ගෙන තියෙනවා. එහෙම කරන්නේ මේ ගෙන යන මර්දනය හා ජාතික සම්පත් විකුණාගෙන කෑම නවත්වන්න බලකරමින්.

ලබන සතිය වන විට මූලික වැඩපිළිවෙල දියත් කරනවා. ඒ ගැන මාධ්‍ය හමුවක් තියලා දැනුවත් කරනවා. අනෙක් පසින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මහජන බැංකුවේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවට අමතරව  මාධ්‍යයට නිවේදන නිකුත් කිරීම ,  ෆේස් බුක් ගිණුමක් පවත්වාගෙන යාම ගැන ආදිය ගැන පාලකයින් ගත් විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව කම්කරු කොමසාරිස් හමුවේ පැමිණිලි ගොනුකර තිබෙනවා. පළවෙනි දේ වැඩකරන පංතිය, ජනතාව දැනුවත් කර මේවා පරාජය කිරීමේ වැඩපිළිවෙල ශක්තිමක් කිරීමයි.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435