රටතොට විත්ති

jordan

ජෝර්දානය

අග නගරය               : අම්මාන්

කාල පරතරය          : ශ්‍රී ලංකාව ජෝර්දානයට වඩා පැය 3.30ක් ඉදිරියෙන් සිටී.

නිදහස් දිනය            : මැයි 25

රාජ්‍ය භාෂාව           : අරාබි

මුදල් ඒකකය          : ජෝර්දාන් ඩිනාර් (JOD)

ජාත්‍යන්තර ගුවන්තොටුපළවල්     : අක්වාබා-කින්ග් හූසේන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ

අම්මාන්- ක්වීන් ආලියා  ජාත්‍යන්තර ගුවන්තොටුපළ

 

ජෝර්දානයේ ඉතිහාසය

travelindex_899imagesJerash-Jordan

නූතන ජෝර්දාන් රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශයේ දේශ සීමාව මුල්වරට සලකුණු කරන ලද්දේ 20 වන සියවසේ දී ය.  ඊට පෙර විශාල රාජ්‍යයක, එනම් මූලිකවම සිරියාවේ කුඩා භූමි ප්‍රදේශයක් ලෙස ජෝර්දානය සලකනු ලැබීය.

ජෝර්දානය වූ කලී, ගල් යුගයේ දී දඩයම්කරුවන් විසින් ගම්මාන නිර්මාණය කරමින් සහ සතුන් හීලෑ කරමින් ප්‍රථමයෙන් ම ස්ථීර වාසස්ථාන ගොඩ නැගූ භූමි ප්‍රදේශ අතුරින් එක් භූමි ප්‍රදේශයක් විය.  ලෝකඩ යුගයේ දී (ආසන්න වශයෙන් කි.පූ. 3000-1200) වාසස්ථාන නිර්මාණය කිරීම තවදුරටත් පුළුල් වූ අතර, එම වකවානුව පිළිබඳව පැරණි තෙස්තමේන්තුවේ ද සඳහන් ය: එනම් සොඩෝම් හා ගොමෝරා යනු මළ මුහුදේ ජෝර්දානය පැත්තෙහි පිහිටියා වූ ද, ගිනි කඳු පිපිරීම් හේතුවෙන් විනාශයට පත් වූ ද නගර දෙකක් බවත්, හීබෲ ජාතිකයන් ඊජිප්තුවෙන් පිටව යාමෙන් අනතුරුව ජෝර්දානය හරහා ගමන් කළ බවත් සඳහන් ය.

මිනිසා යඩක භාවිතය ඇරඹූ යුගයේ දී (කි.පූ. 1200-332) ජෝර්දානය හීබෲවරුන් සමඟත් අනතුරුව ඇසිරියන්වරුන්, බැබිලෝනියානුවන් සහ පර්සියන්වරුන් සමඟත් සටන් වැදුනු අතර අවසානයේ දී ග්‍රීක පාලනයට නතු විය.  මේ වකවානුවේ දී, නැබටීන් නම් අරාබියානු ගෝත්‍රික කණ්ඩායමක් ජෝර්දානයෙහි ජනාවාස පිහිටුවන ලද අතර, පෙට්‍රා නගරය ඔවුහු අගනගරය කොට ගත්හ.  ඔවුහු ඉතා ධනවතුන් බවට පත් වූ අතර, අරාබිය සහ යුරෝපය අතර ඉතාමත් ලාභදායී වූ සාම්බ්‍රානි සහ කුළුබඩු වෙළඳාමේ පාලනය ඔවුහු සතු කර ගත්හ.

ක්‍රි.ව. 106 දී රෝමවරුන් විසින් නැබටීන් රාජධානිය අත්පත් කර ගෙන ජෝර්දානය හරහා අලූත් මංමාවත් ඉදිකිරීමත්, නගර අලංකරණය කිරීමත් හා කාන්තාර දේශසීමාවේ ආරක්ෂාව තර කිරීමත් සිදු කළහ.  4 වන සියවස වනවිට රෝමයේ ආරක්ෂාව බිඳවැටීම ආරම්භ විය.  ක්‍රිස්තියානි ආගම වැළඳ ගනු ලැබූ අතර ජෝර්දානය මොසැයික් කලාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.  ඒ අනුව කලාපයේ බොහොමයක් නව පල්ලි විචිත්‍ර මොසැසික් කලා නිර්මාණවලින් අලංකාර විය.

ක්‍රිව. 636 දී මෙම භූමි ප්‍රදේශ ඉස්ලාම් හමුදාවන් විසින් යටත් කර ගන්නා ලදහ.  ජෝර්දානයට, උමායඩ් රාජවංශිකයන් (661-750) යටතේ සෞභාග්‍යමත් කාලයක් උදා වූ අතර උමායඩ්වරුන් ඩැමස්කස් හි සිට රට පාලනය කළහ.  එහෙත් බලය බැග්ඩෑඩ් මූලික කොටගත් අබ්බාසිඩ් රාජවංශය වෙත නැගෙනහිරට මාරු වූ පසුව ජෝර්දානය නොසලකා හැරීමට බඳුන් විය.  කුරුස යුධවාදීන්ගේ යුරෝපීය ක්‍රිස්තියානි ආක්‍රමණකාරී හමුදා විසින් 12 වන ශත වර්ෂයේ දී ජෝර්දානය තාවකාලිකව අත්පත් කර ගනු ලැබූ නමුත් ඔටෝමන්වරුන් යටතේ ජෝර්දානය නොවැදගත් රාජ්‍යයක් බවට පත් විය.

1870 දශකයේ දී රුසියාව තුළ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු වු වාර්ගික සංහාරය හේතුවෙන්, සර්කැසියානු සරණාගතයින් එවකට ඉතා ජන ශුන්‍යව පැවති ජෝර්දානයෙහි පදිංචි වූ අතර ඔවුහු අම්මාන් නගරය ප්‍රතිනිර්මාණය කොට ජෝර්දානයේ නූතන ඉතිහාසයට මං හෙළි පෙහෙළි කළහ.  මහා අරාබි කැරැල්ල සිදු වු 1916-17 කාලය තුළ ඔටෝමන් තුර්කිවරුන් පළවා හරිනු ලැබූ පසුව, පළමුව 1923 දී මක්කම හෂේමිටේ පෙළපතේ රජෙකු වූ 1 වන අබ්දුල්ලා රජු යටතේ, බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ එමිරේට් රාජ්‍යයක් ලෙස ද, අනතුරුව 1946 දී සර්ව සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් ලෙස ද ජෝර්දානය නිදහස දිනා ගත්තේ ය.

(1951 දී මියගිය) 1 වන අබ්දුල්ලා රජු යටතේ සහ ඉන් පසුව (1999 දී මියගිය) හුසේන් රජු යටතේ ජෝර්දානය, මැද පෙරදිග අවට ගැටුම් ඉස්මතු වූ ප්‍රදේශවලින් සරණාගතයන් විශාල වශයෙන් තම රටට ඇතුළත් කර ගෙන ඇත.  පළමුව පලස්තීනයෙන් ද, අනතුරුව ඉරාකයෙන් හා වර්තමානයේ දී 2 වන අබ්දුල්ලා රජු යටතේ සිරියාවෙන් ද එසේ සරණාගතයන් ඇතුළත් කර ගෙන ඇති අතර එය ජෝර්දාන් රාජ්‍යයේ ජාතික අංග ලක්ෂණ හැඩගැස්වීමෙහි ලා බලපා ඇත. ඊශ්‍රායලය සමඟ ද සාමයෙන් සිටින අරාබි ලෝකයේ බටහිරට පක්ෂපාතී ප්‍රධාන රාජ්‍යයක් වශයෙන් ද, ඉරාකය හා සෞදි අරාබිය සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගනිමින් කලාපයේ දේශපාලනය සමඟ තදින් බැඳී සිටින රාජ්‍යයක් වශයෙන් ද ජෝර්දානය අභිමුව ලෝක දේශපාලනය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ යුතු වීමේ අභියෝගය ඇත.

ජෝර්දානයේ සංස්කෘතිය

download images (2) images (3)

ආගම:

සුන්නි මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 92% කට වඩා වැඩි වන අතර, ෂියා සහ ඩෲස් මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 2%ක් පමණ වේ.  ප්‍රධාන වශයෙන්ම මඩාබා කඳුකර නගරයේ ගම්මාන ආශ්‍රිතව ග්‍රීක ජාතික සාමාන්‍ය ක්‍රිස්තියානු සුළුතරයක් (6%ක්) වාසය කරයි.

සමාජයීය සම්ප්‍රදායන්:

සාම්ප්‍රදායික ආචාර කිරීමේ ක්‍රමය, අතට අත දීම වේ.  ජෝර්දානු ජාතිකයන් තම අරාබි සංස්කෘතිය පිළිබඳව ආඩම්බර වන අතර ආගන්තුක සත්කාරය එහි ඉතාමත් වැදගත් අංගයක් වේ.  ජෝර්දානයට පැමිණෙන සංචාරකයින් සාදරයෙන් පිළිගැනීමටත්, සත්කාරකයන් ලෙස හා මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කිරීමටත් ජෝර්දානුවන් සැදී පැහැදී සිටින අතර, තම සම්ප්‍රදායයන් හා සංස්කෘතිය පිළිබඳව සංචාරකයන් දැනුවත් කිරීමටත් ඔවුහු දැඩි උනන්දුවක් දක්වති.  ඉස්ලාම් ධර්මය නිරන්තරයෙන්ම සමාජය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. උත්සව අවස්ථාවල දී නිරතුරුව අරාබි කෝපිවලින් අමුත්තන්ට සංග්‍රහ කිරීම සුලභ දසුනකි.  තවත් අවශ්‍ය නොවන බව හැඟවීම සඳහා කෝප්පය ආපසු දෙන විට එය මඳක් ඇල කළ යුතු අතර එසේ නොකළහොත් එය නැවත පුරවනු ඇත.  රාත්‍රි භෝජනය සඳහා ආරාධනා ලැබුණ විට කුඩා ත්‍යාගයක් පිරිනැමීම සම්ප්‍රදායයකි.  කාන්තාවන් විනීත ලෙස ඇඳීම හා පැළඳීම අපේක්ෂා කරන අතර, වෙරළේ දී භාවිතා කරන ඇඳුම් පෞද්ගලික වෙරළවල හා පිහිනුම් තටාකවල දී පමණක් ඇඳිය යුතු වේ.  පුද්ගලයන්ගේ හා සතුන්ගේ ඡායාරූප ගැනීමේ දී ප්‍රථමයෙන් අවසර  ගැනීම ආචාරශීලි වන අතර, ඇතැම් ස්ථානවල ඡායාරූප ගැනීම තහනම් ය.

ජෝර්දානයේ භාෂාව:

 අරාබි භාෂාව රාජ්‍ය භාෂාව වේ.  ඉංග්‍රීසි භාෂාව බහුල ලෙස කථා කරනු ලැබේ.  බොහෝ සංචාරක ප්‍රදේශවල ප්‍රංශ, ජර්මන්, ඉතාලි හා ස්පාඤ්ඤ භාෂා භාවිතා කෙරේ.