රටතොට විත්ති

jbkorea

දකුණු  කොරියාව 

මූලික තොරතුරු

අගනුවර             :           සියොල්

කාලපරතරය      :           + පැය 3 1/2 කි

නිදහස් දිනය       :           අගෝස්තු 15

රාජ්‍ය භාෂාව       :           කොරියන් භාෂාව

මුදල් ඒකකය     :           දකුණු කොරියානු වොන්

ජාත්‍යන්තර ගුවන්තොටුපළවල්    :

  • ගිම්පෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ
  • සියොල් – ඉංචියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ
  • ජේජු ජාත්‍යන්තර ගුවන්තොටුපළ
  • ගිම්හෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ

 කාලගුණය හා දේශගුණය

දකුණු කොරියාවේ සමශීතෝෂ්ණ කාලගුණයක් පවතී.  එහෙත් ගිම්හාන කාලය තුළ දී උෂ්ණත්වය වායුගෝලීය තෙතමනය 70කටත් වඩා වැඩි අගයක් සහිතව සෙල්සියස් අංශක 45ක් තරම් ඉහළ මටිටමක විය හැකිය.  නොවැම්බර් මාසයේ දී රාත්‍රි කාලයේ උෂ්ණත්වය එක්වරම පහත වැටිය හැකි අතර, එය සයිබීරියානු සුළං ප්‍රවාහ හේතුවෙන්  ශුන්‍යයටත් (0) වඩා අඩු අගයක් දක්වා වුව පහළ යා හැකිය.  ඝන ඇඳුම් රැගෙන යාම වඩාත් යෝග්‍ය වන අතර, එසේ නැතහොත් ඔබ කොරියාවට ගිය පසු එහි ඇති සුවිසල් සාප්පු සංකීර්ණ වෙත ගොස් ඇඳුම් මිලදී ගැනීම ද කළ හැකිය.  (උතුරෙහි පිහිටි) සියොල් නගරයෙහි කාලගුණය, බුසාන් හෝ ජේජු නගරවල කාලගුණයට වඩා ඛෙහෙවින් වෙනස් විය හැකි බව සැලකිල්ලට ගැනීම ද වැදගත් ය.

සෘතු හතරෙහි ම මධ්‍යස්ථ කාලගුණයක් පවති. වර්ෂය තුළ උෂ්ණත්වය අධිකම කාලය වන්නේ ජූලි සහ අගෝස්තු යන වර්ෂාධික සමය වන අතර ශීතල අධිකතම කාලපරිච්ඡේදය දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය වේ.  ඉඳහිට පැමිණෙන නිවර්තන සුළඟ දැඩි සුළි සුළං හා ගංවතුර තත්වයන් නිර්මාණය කරයි.  වසන්ත කාලය හා සරත් කාලය සෞම්‍ය හා වැඩි වශයෙන් වියළි වන අතර එම කාලසීමා දෙක කොරියාවේ සංචාරය සඳහා සුදුසුම කාලය ලෙස සාමාන්‍යයෙන් සලකනු ලැබේ.

අවශ්‍ය ඇඳුම්:

ගිම්හාන කාලයේ දී සැහැල්ලූ කපු ඇඳුම් හා ලිනන් ඇඳුම් අඳිනු ලබන අතර වසන්ත කාලය තුළ හා සරත් කාලය තුළ සැහැල්ලූ හා මඳ බරැති ඇඳුම් අඳිනු ලැබේ. ශීත කාලයේ දී මඳ බරැති ඇඳුම් හා ඝන ඇඳුම් ඇඳීම යෝග්‍ය ය.

භූගෝලීය කරුණු:

කොරියානු ජනරජය (දකුණ කොරියාව) අර්ධද්වීපයක් වේ.  එය උතුරට (ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු සමූහාණ්ඩුවෙන් වෙන් කරන) හමුදා මුක්ත කලාපයට ද, නැගෙනහිරට ජපන් මුහුද (නැගෙනහිර මුහුද) ට ද, දකුණට ( එය ජපානයෙන් වෙන් කරන) කොරියානු සමුද්‍ර සන්ධියට ද, බටහිරට කහ මුහුදට ද මායිම්ව පිහිටා තිබේ. කොරියානු සමුද්‍ර සන්ධියෙහි දූපත් හා බොකු බොහෝ සංඛ්‍යාවක් තිබේ.  එහි විශාලතම දූපන වන ජේජු -ඩූ නම් යමහල් දූපත නිරිත දිග වෙරළට ඔබ්ඛෙන් පිහිටා ඇති අතර, දකුණු කොරියාවේ උසම කන්ද වන, මීටර් 1950ක් (අඩි 6397ක්) උසින් යුත් හල්ලා කන්ද ද එහි පිහිටා තිබේ.  රටෙන් වැඩි ප්‍රමාණයක් කඳු හා ශිඛරවලින් සමන්විත වන අතර 30%ක් වන තැනිතලා භූමිය ජනගහනයෙන් බහුතරයකගේ වාසභූමි හා වගා බිම් වේ.  ගංගා බොහොමයක් නැගෙනහිර දෙසින් කඳුකර කලාපයෙන් ආරම්භව, බටහිර හා දකුණු දෙසට ගලා ගොස් කහ මුහුදට එක් වේ.  නැක්ටොන් ගංගාව, සියොල් නගරයට පසු කොරියාවේ දෙවන විශාලතම නගරය වන බුසාන් හි දකුණු දිග වරාය ආසන්නයෙන් කොරියානු සමුද්‍ර සන්ධියට ගලා බසී.  නැගෙනහිර වෙරළ, මුහුදෙන් උසට නැගී සිටින කඳු ගැටවලින් හා ගල්පර සහිත ප්‍රපාතාකාර බෑවුම්වලින් සමන්විත වේ.

දකුණු කොරියාවේ ඉතිහාසය

87728300_XS Pyongyang_tram_pre-ww2[1] IMG_1618

පළමු එක්සත් කොරියාව, ගියොන්ජු කේන්ද්‍ර කරගත්, සිල්ලා නම් අධිරාජ්‍යය යටතේ බිහි වූ අතර එම අධිරාජ්‍යය කොරියානු අර්ධද්වීපයෙහි විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව තිබුණි.  මෙම කාලය තුළදී කලාව, ගෘහනිර්මාණ ශිල්පය හා සංස්කෘතිය පිබිදීමට ලක් විය.  මෙම අධිරාජ්‍යය ක්‍රි.ව. 870 දී පමණ කැබලිවලට ඛෙදී වෙන් වූ අතර ඒ හේතුවෙන් කෝයෝ රජ පෙළපතට පාලනය හිමිවුණි.  කෝයෝ රජ පෙළපත, චීනයේ සොංග් රජ පෙළපත සමඟ සමීප සබඳතා පැවැත්වීය. ( බටහිර රටවල් මුද්‍රණ කර්මාන්තය සොයා ගැනීමට ශත වර්ෂ දෙකකට පෙරාතුව, එනමි 1234 වර්ෂයේ දී මුද්‍රණ කර්මාන්තය සොයා ගැනීම ඇතුළුව) සංස්කෘතික හා තාක්ෂණික සමාජයක් ස්ථාපිත කිරීමේ දී කෝයෝ රජ පෙළපත සොංග් රජ පෙළපත අනුකරණය කරන ලදී.

කෙසේ වුවද, කොරියානු අර්ධද්වීපය 1230 දශකයේ දී මොංගෝලියානු ජාතිකයන් යටතට පත් විය.  එහෙත්, 14 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී චීනයේ මින්ග් රාජවංශයේ සහාය ඇතිව කොරියාව නැවත නිදහස දිනා ගති.  14 වන සියවසේ දී කෝයෝ රජ පෙළපතට පසුව රාජ්‍ය බලයට පැමිණි චෝසන් 20 වන සියවස මුල් භාගය වන තෙක් කොරියාව පාලනය කළේය.  චෝසන් පාලන කාලයේ ආරම්භක වර්ෂ කිහිපය කොරියාව කැපී පෙනෙන සංස්කෘතික හා බුද්ධිමය ප්‍රබෝධයක් අත් කර ගනු ලැබූ කාලපරිච්ඡේදයක් විය.  කෙසේ වුවද, මෙම කාලවකවානුව තුළ දී කොරියාව පළමුව ජපානයේ ද අනතුරුව චීනයේ මාන්චු රජ පෙළපතේ ද ආක්‍රමණවලට ගොදුරු විය.  එපරිදි කොරියාව චීනයේ පාලනය යටතට පත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එය වසර 200කට ආසන්න කාලයක් තිස්සේ චීන අධිරාජ්‍යයේ පරිවාර රාජ්‍යයක් ලෙස පැවතුණි.  අද ඔබ නැරඹීමට යන සිද්ධස්ථාන, මාළිගා හා පූජනීය ස්ථාන සියල්ලම පාහේ, පෙර කල පුළුස්සා පොළවට සමතලා කරන ලද මුල් ආකෘතිවල සුන්බුන් මතින් ප්‍රතිනිර්මාණය කරන ලද ඒවා වේ.

II වන ලෝක යුද්ධය අවසානයේ දී ජපානයට අයත්ව තිබූ යටත් විජිත රටවල් ඉන් ඉවත් කරනු ලැබූ විට කොරියාව, උතුරු අක්ෂාංශ 380 ඔස්සේ ඛෙදා වෙන් කිරීමට සෝවියට් රුසියානුවෝ හා ඇමරිකානුවෝ එකඟ වූහ.  සීතල  යුද්ධය ආරම්භ වීමත් සමඟ  සෝවියටි හා ඇමෙරිකානු බල කඳවුරු සෘජුවම මුහුණට මුහුණ හමුවන ස්ථාන කිහිපය අතුරින් එකක් වූ කොරියානු දේශ සීමාව යුද උණුසුමින් පිරුණු ස්ථානයක් බවට පත් විය.  1950 දී දෙපාර්ශ්වය අතර මහා පරිමාණ යුද්ධයක් පැන නැගී අවස්ථාව වන තෙක් අන්තර් දේශ සීමා ආක්‍රමණ ඉහළ යමින් පැවතියේ ය.

ඉන් අනතුරුව ආරම්භ වූ තුන් වාර්ෂික යුද්ධය සඳහා දෙපාර්ශ්වය ම බල මුළු සියල්ලම යොදනු ලැබූ අතර, යෝධ න්‍යෂ්ටික යුද ගින්නක් ඇවිලීමට ආසන්න තත්වයක් දක්වා එය වර්ධනය විය.  1953 වර්ෂය වන විට, තාවකාලික සටන් විරාමයක් අත්සන් කරනු ලැබීය.  (කෙසේවුවද, යුද්ධය කිසි විටෙක නිල අවසානයක් කරා රැගෙන යනු නොලැබූ අතර, ප්‍රයෝගිකව ගත් කල දෙරටම තවමත් යුද වැදී සිටිති).  අනතුරුව එළැඹි දශක තුන මුළුල්ලේම, උතුරු – දකුණු කොරියන් රාජ්‍යයන් සීතල යුද්යක නියැලි එකිනෙකට ප්‍රතිවිරුද්ධ බල කඳවුරු දෙකට සිරවී සිටිමින් එකිනෙකට වෙනස් මාර්ග දෙකක ගමන් ගති.  දකුණු කොරියාව සාර්ථක ධනවාදී ආර්ථීකයක් ස්ථාපිත කරන ලද අතර, එහි වර්තමාන දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 1 ක් වේ.  කෙසේවුවද, 1980 දශකය මුල් භාගය වන තෙක් කැපීපෙනෙන විචක්ෂණශීලි භාවයකින් යුත් දේශපාලන පද්ධතියක් ස්ථාපිත කිරීමට දකුණු කොරියාව අපොහොසත් වී තිබුණි.  ඊට පෙර දකුණු කොරියාව සිවිල් හා හමුදා ආඥාදායක පාලකයින් කිහිප දෙනෙකු විසින් පාලනය කරන ලද අතර ඔවුන්ගේ පාලන කාලය තුළ දේශපාලනික ප්‍රතිවිරුද්ධ මතධාරීහු සිරගත කිරීමට ලක් වූහ.  කෙසේවුවද, එම අවස්ථාවේ දී, ප්‍රජාතන්ත්‍රවාදී යුක්ති පක්ෂය තුළ වැඩි බලයක් හෙබ වූ රටේ දේශපාලන නායකයන්, එවකට පැවති දරදඬු දේශපාලන පාලනයෙහි යමි ලිහිල් කිරීමක් අවශ්‍ය බව අවබෝධ කර ගත්හ.  1981 දී මාර්ෂල් නීතිය ඉවත් කරනු ලදුව, වසර පහක් තුළ ප්‍රතිවිරුද්ධ මතවාදී කිම් ඩේ-ජුන්ග් ගේ නායකත්වයෙන් නව කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යටතේ බලසම්පන්න පාර්ලිමේන්තු විපක්ෂයක් ගොඩ නැගුණි.  එහෙත්  ඩේ-ජුන්ග්ට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට හැකි වූයේ 1997 දෙසැම්බර් මාසයේ දී ය.

වර්ෂ 2002 දී ජපානය සමඟ එක්ව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සම සත්කාරක රටක් ලෙස කටයුතු කිරීම හේතුවෙන් දකුණු කොරියාවේ අන්තර්ජාතික ප්‍රතිරූපය මෙන්ම ජාතික චිත්ත ධෛර්යය ද ඉහළ ගියේය.  එම වකවානුව තුළ දේශපාලන දූෂණ චෝදනාවක් හේතුවෙන් එම කීර්තිය පලූදු වු සෙයක් ද දක්නට ලැබුණි.  දෝෂාභියෝගයකට ලක්ව පසුව සියදිවි හානි කරගත්, පෙර සිටි ජනාධිපති රෝ මූ-හයින් ට පසුව බලයට පැමිණි ලී මියුන්ග්-බක් වර්ෂ 2008 සිට ජනාධිපති ධූරය හොබවමින් සිටී.

උතුරු – දකුණු සබඳතා මඳ වශයෙන් වර්ධනය වෙමින් පැවති  අවස්ථාවක වසර 2010 දී එක්සත් ජනපද ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැණුනි.  දකුණු කොරියානු යුධ නැවක් ගිල්වා දැමීම (හා එහි සිටි නාවිකයන් 46  දෙනෙකු  ජීවිතක්ෂයට පත්වීම), තදාසන්න නගරවලට උතුරු කොරියාව විසින් බෝම්බ දැමීම, උතුරු – දකුණු කොරියන් රාජ්‍යයන් යළිත් එක්වීම පිළිබඳව පැවති යම් කවර හෝ අපේක්ෂාවක් තාවකාලිකව ඇණ හිටීමට හේතු වී ඇත.

දකුණු කොරියාවේ සංචාරයේ යෙදෙන්නන්ට පැවසිය යුතු ඉතා වැදගත් කරුණක් නම් කොරියාවේ මෑත කාලීන හා පුරාණ ඉතිහාසය වත්මන් දකුණු කොරියාවට ඉතා සමීප සබඳකම් පවත්වන බවත්, ඒ පිළිබඳව බොහෝ කොරියානු ජාතිකයන්ට මහත් අභිමානයක් ඇති බවත් ය.

දකුණු කොරියාවේ සංස්කෘතිය

images (12) 2 images (11)

ආගම : දකුණු කොරියාව යනු ලෝකයේ වඩාත්ම සමජාතීය ජනගහනයකින් යුත් රටවල් අතුරින් එකක් වේ.  එහෙත් ආගම අනුව ගත් කල ජනගහනයෙන් 29.2%ක් ක්‍රිස්තියානි ආගම ද 22.8%ක් සම්ප්‍රදායික බුදුදහම ද අදහන අතර 46.5%ක් කිසිදු ආගමක් නොඅදහති.  සාමාන්‍යයෙන් කොන්ෆියුසියානු දර්ශනය පාරම්පරිකව අනුගමනය කරනු ලබන අතර, දෙවියන් ඇදහීම සහ භූතයන් හා අදෘශ්‍යමාන බලවේග පිළිබඳ විශ්වාසය ඉතා ප්‍රබලව පවතී.  චියොන්ඩෝගියෝ යනු ටාඕවාදය, කන්ෆියුසියානුවාදය සහ ක්‍රිස්තියානි ආගම අනුසාරයෙන් වර්ධනය වී ඇති කොරියානු ආගමක් වේ.  එහි ඉස්ලාම් ආගම අදහන කුඩා ජනගහනයක් ද සිටී.

දකුණු කොරියාවේ භාෂාව

ඉංග්‍රීසි භාෂාව සමඟ කොරියානු (හන්ගුල්- Hangul) භාෂාව පාසල්වල පුළුල් ලෙස උගන්වනු ලබන අතර එය ප්‍රධාන නගරවල සාමාන්‍යයෙන් භාවිතාවන භාෂාව වේ.