රටතොට විත්ති

saudi-arabia-flag

සෞදි අරාබිය

අගනුවර                          : රියාද්

වේලාවේ පරතරය         : ශ්‍රී ලංකාව සෞදි අරාබියට වඩා පැය 2.30ක් ඉදිරියෙන් සිටී.

නිදහස්  දිනය                  : සැප්තැම්බර් 23

රාජ්‍ය භාෂාව                  : අරාබි

මුදල් ඒකකය                 : සෞදි රියාල් (SAR)

ජාත්‍යන්තර ගුවන්තොටුපළවල්:

රියාද් : කින්ග් කාලඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ

ජෙඩා :කින්ග් අබ්දුල් අසීර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ

දම්මාම් :කින්ග් ෆාහඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ

 

සෞදි අරාබියේ ඉතිහාසය

images (4) images (5) 13745

 

අරාබි අර්ධද්වීපය, ක්‍රි.ව. 6 වන සියවසට පෙර ඇබිසීනියානුවන් විසින් වාසභූමි කර ගන්නා ලදී. ක්‍රි.ව. 576 දී පමණ පර්සියන්වරුන් විසින් අරාබි අර්ධද්වීපයේ දකුණු දිග ප්‍රදේශවලින් ඇබිසීනියානුවන් පළවා හැර එය තම අධිරාජ්‍යයේ කොටසක් බවට පරිවර්තනය කර ගත්හ. මුස්ලිම් යුගයේ ආරම්භය ලෙස පිළිගෙන ඇති ක්‍රි.ව. 622 වර්ෂය ඉතා වැදගත් වර්ෂයක් ලෙස සලකනු ලැබේ. ඊට හේතුව මහම්මත්තුමා තම උපන් බිම වන මක්කම නගරයෙන් අසල්වැසි මදීනා නුවරට පළා ගියේ එම වර්ෂයේ දී වීම ය. මදීනා නගරයේ සිට ඔහු තම අනුගාමිකයන් සංවිධානය කොට මක්කම නගරය ආපසු අත්පත් කර ගැනීමේ සාර්ථක ව්‍යාපාරයක් දියත් කළේය. ක්‍රි.ව. 632 දී මහත්මත්තුමා මියයාමට ප්‍රථම බොහෝ අරාබි ගෝති්‍රකයන් මහම්මත්තුමා හා එක් වූ අතර ඉන්පසුව මුස්ලිම්වරුන් අරාබි අර්ධද්වීපය පුරා ද, සිරියාව, මෙසපොතේමියාව (ඉරාකය), පර්සියාව හා බටහිර දෙසට ඊජිප්තුව සහ උතුරු අප්‍රිකාවතෙක් ද අඛණ්ඩවම ව්‍යාප්ත වූ හ.

මහම්මත්තුමාට පෙර සහ පසුව සමෘද්ධිමත් සංස්කෘතික හා වාණිජ කේන්ද්‍රස්ථාන වශයෙන් පැවති නගර දෙකක් වූ මක්කම සහ මදීනා යන නගර ඉස්ලාම් ආගමේ ශුද්ධ වූතම නගර වන අතර එම නගරවල ඒකීයභාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමේ වගකීම සෞදි අරාබි ජාතිකයන් භාරගෙන ඇත. ක්‍රි.ව. 1517 දී තුර්කි ජාතිකයන් විසින් මක්කම නගරය අත්පත් කර ගැනීමෙන් පසුව 16 වන සියවසේ දී අරාබිය තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය යටතට ගනු ලැබූ නමුත් ඔවුහු පසුකාලීනව පැමිණි ස්වදේශික අරාබි පාලකයන්ට සැලකිය යුතු තරම් නිදහසක් භුක්ති විඳීමට ඉඩ දෙනු ලැබූහ. පසුකාලීනව මක්කම සිටි ෂෙරීෆ්වරුන් පළමුවන ලෝක යුද්ධය ආරම්භ වූ කාලය තෙක් , තුර්කියේ අධීක්ෂණය යටතේ, රතු මුහුදු වෙරළතීරය ඇතුළු අරාබි අර්ධද්වීපයේ බටහිර කොටස හා දකුණු දෙසට යේමනය දක්වා විහිදුනු හිජාස් භූමි ප්‍රදේශය පාලනය කළහ.

1914 දී බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදා ප්‍රධානී කිචනර් සාමිවරයා විසින් මක්කම ෂෙරීෆ්වරුන් වෙත නිදහස ලබා දීමේ වෛකල්පික ක්‍රමවේදයක් යෝජනා කරන ලද අතර, ඊට අනුව තුර්කිවරුන්ට එරෙහිව වු හමුදාමය ක්‍රියාමාර්ගයට ෂෙරීෆ්වරුන් සහයෝගය දක්වන්නේ නම් එක්සත් රාජධානිය විසින් සහතික කරන ලද නිදහසක් හිජාස් භූමි ප්‍රදේශය වෙත ලබා දීමට නියමිත විය. එම ක්‍රමවේදය ෂෙරීෆ්වරුන් විසින් පිළිගනු ලැබූ අතර, තුර්කිවරුන්ගේ පරාජයෙන් අනතුරුව හිජාස් රාජධානිය 1920 සෙව්රස් ගිවිසුම යටතේ නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගනු ලැබිණි. අර්ධද්වීපයේ අනෙක් පැත්තෙහි ප්‍රධානතම පාලකයා වූයේ, නජඩ් පළාතේ පාලකයා ද වූ “ඉබ්න් සවුද්” ලෙස වඩාත් ප්‍රකටව සිටි අබ්දුල් අසීස් ඉබ්න් අබ්දාර් – රහ්මාන් ය. 1915 දී එවකට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාවේ ආණ්ඩුව නජඩ් සහ පර්සියන් බොක්ක ආශ්‍රිත අනෙකුත් භූමි ප්‍රදේශ ඉබ්න් සවුද්ට අයත් ප්‍රදේශ ලෙස පිළිගනු ලැබීය. 1920 දශකයේ මුළුල්ලේම අර්ධද්වීපයේ පාලනය ලබා ගැනීම සඳහා තීරණාත්මක අරගලයක් සිදු වූ හෙයින් ඉබ්න් සවුද්ගේ හමුදා සහ හිජාස් හි හෂේමිටේ රජු වූ හුසේන්ට පක්ෂපාතී හමුදා අතර යුදමය ගැටුම් නිරන්තරයෙන් ඉහළ ගියේය.

බ්‍රිතාන්‍යය සහ අනෙකුත් බටහිර බලවතුන් තම සහාය තමනට අවශ්‍ය පරිදි මාරුවෙන් මාරුවට එකී දෙපාර්ශ්වයට ම ලබා දීමට ක්‍රියා කළහ. අවසානයේ දී ඉබ්න් සවුද් විසින් හෂේමිටේවරුන් බලයෙන් පහ කරන ලද අතර 1926 දී ඉබ්න් සවුද් හිජාස් රාජ්‍යයේ සහ නජඩ් හි පාලකයා ලෙස පිළිගනු ලැබීය. 1932 දී එම ප්‍රදේශය සෞදි අරාබි එක්සත් රාජ්‍යය බවට පත් විය. හෂේමිටේවරුන්ට ඉරාකයේ සහ ට්‍රාන්ස් ජෝර්දානයේ (පසුව ජෝර්දානය විය) පාලන බලය පිරිනැමුණි. 1933 දී පළමුවෙන්ම තෙල් සඳහා ගවේෂණ කටයුතු ආරම්භ වූ අතර විශාල තෙල් නිධි රටේ නැගෙනහිර කොටසෙහි සොයා ගැණුනි. සෞදි අරාබියේ වර්තමාන සමෘද්ධිමත්භාවයට මඟ හෙළිකරනු ලැබුවේ මෙයයි. 1953 දී සිදු වූ සිය මරණය තෙක්ම සෞදි අරාබියේ රජු ලෙස රට පාලනය කළ ඉබ්න් සවුද් රට තුළ රැස් වූ ධනය සහ ආදායම ජාතික යටිතල පහසුකම් ව්‍යුහය හා මුලික රාජ්‍ය සේවා සංවර්ධනය කිරීම පිණිස යොදා ගනු ලැබීය. කෙසේ වුවද, බටහිර රටවල ප්‍රමිතීන් සමඟ සංසන්දනය කරන කළ සෞදි අරාබි එක්සත් රාජ්‍යයේ දේශපාලනික හා සාමාජිය සංවර්ධන මට්ටම පැවතියේ ආර්ථීක සංවර්ධනයට වඩා තරමක් පිටුපසිනි. නිදසුනක් ලෙස වහල්භාවය 1962 වර්ෂය වන තෙක්ම අහෝසි නොකෙරුණි.

ඉබ්න් සවුද්ගෙන් පැවත එන්නන්, සෞදි අරාබිය මෙතෙක් පාලනය කර ඇති රාජවංශිකයෝ වෙති. බොහෝ සෞදි අරාබි ජාතිකයන් මෙන් ඔවුහු වහාබි නිකායේ අනුගාමිකයන් වන අතර එම නිකාය 18 වන සියවසෙහි විසූ ආගමික ශාස්තෘවරයකු වූ මොහොමඩ් බින් අබ්දුල් වහාබ් විසින් අර්ථ දක්වන ලද සුන්නි මුස්ලිම් මූලධර්මවල සම්මත දාර්ශනික පැතිකඩක් අනුගමනය කරන්නෝ වෙති. (ආගමික පොලීසිය වන) “මුටාවා” විසින් ඉස්ලාම් නීති තරයේ ක්‍රියාවට නංවයි. 1930 දශකයේ දී සිදු කරන ලද තෙල් ගවේෂණ කටයුතු හේතුවෙන් ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර සබඳතා ආරම්භ වූ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඉතා ඉක්මණින් සෞදි අරාබියේ ප්‍රධානතම බටහිර මිත්‍ර පාක්ෂිකයා බවට පත් විය. කෙසේවුවද, සෞදි අරාබි සහ එක්සත් ජනපද ප්‍රතිපත්ති එකිනෙකට නොපෑහුනු එක් ගැටලූවක් තිබුණි. – එනම් ඊශ්‍රායලය පිළිබඳ ප්‍රශ්නයයි. යුදෙව් රාජ්‍යය වෙත වොෂින්ටනයෙන් ලැබුණු අචල සහයෝගය දෙරට අතර නිරන්තරවම ප්‍රතිවිරෝධතා නිර්මාණය කළ සාධකයක් විය. 1973 දී, යොම් කිපූර් යුද්ධයේ දී බටහිර රටවල් ඊශ්‍රායලට සහයෝගය දැක්වීමට එරෙහි ප්‍රතිචාරයක් වශයෙන්, අරාබි කලාපය තූළ ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වාසදායකම මිත්‍රපාර්ශ්වික රටවල් දෙකක් වූ සෞදි අරාබිය හා ඉරානය ඔපෙක් (OPEC) සංවිධානය හරහා එක් රැයකින් තෙල් මිල තෙගුණයකින් ඉහළ නැංවීමට කි්‍රයා කළ අවස්ථාවේ දී එම තත්ත්වය මැනවින් පැහැදිලි විය.

සෞදි අරාබිය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර පසුකාලීනව දක්නට ලැබුණු උදාසීන සබඳතා ද 1979 දී සිදු වු ඉරාන විප්ලවයත් සමඟ අවසන් විය. ඉරානය, හේතු කිහිපයක් මත සෞදි අරාබියට තර්ජනයක් වන බවට සැලකුණි : ඉරානයේ මුල්ලාවරුන් විසින් අනුගමනය කරන ලද ඉස්ලාම් ආගමේ ෂියා සංකල්ප, සෞදි අරාබියේ පවතින සුන්නි වහාබි අර්ථ දැක්වීම්වලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ය. තවද, ඉරානය අරාබි බොක්කෙහි වැදගත් උපාය මාර්ගික රාජ්‍යයක් ද වේ. එකී හේතු මත මෙන්ම අරාබියානු සහයෝගීතාවය මත ද පිහිටා සෞදි අරාබිය, 1980 දශකය මුළුල්ලේම පාහේ පැවති ඉරාන – ඉරාක යුද්ධයේ දී සදාම් හුසේන්ගේ රජයට එක්සත් ජනපද ඩොලර් මිලියන 100 කටත් අධික මූල්‍යමය සහායක් සපයන ලදී.

එහෙත් 1991 දී ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව සදාම් ගේ හමුදා සෞදි අරාබියේ දකුණු දෙසට ප්‍රහාර එල්ල කොට සෞදි අරාබියේ ඇතැම් භූමි ප්‍රදේශ අත්පත් කර ගැනීමට සූදානම් වන බවට පෙනී ගිය අවස්ථාවේ දී සෞදි අරාබි ජාතිකයෝ අතිශයින් ම මවිතයට පත් වූහ. රජ පවුල තුළ මුලින් සැකසංකා හා වාද විවාද මතු වුවද, පසුව ඉරාක හමුදා කුවේටයෙන් පළවා හරින ලද —කාන්තාරයේ කුණාටුව (Desert Storm) නම් හමුදා මෙහෙයුමට පෙර සෞදි අරාබිය තුළ එක්සත් ජනපදය ප්‍රධාන එක්සත් ජාතීන්ගේ සන්ධාන හමුදාවලට ඔවුන්ගේ යෝධ හමුදා බල ඇණි ස්ථානගත කිරීමට ඉඩ ලබා දුනි. පසුකාලීනව ඉරානය සහ ඉරාකය යන දෙරටේ ම කි්‍රයාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද “ද්විත්ව පාලන” ප්‍රතිපත්තියට සෞදි අරාබිය සහාය පළ කළේය.

කෙසේ වුවද, සෞදි අරාබිය තුළ ඇමෙරිකානු හමුදා සිටීම ජනගහනයෙන් බහුතරය නොරුස්සන්නා වු අතිශයින්ම සංවේදී දේශපාලන ප්‍රශ්නයක් නිර්මාණය කිරීමට මඟ පෑදීය. 2002 වසරේ දී ඇමෙරිකානු රජය විසින් ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ හමුදා මෙහෙයුම් දියත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී ඇමෙරිකානු හමුදා සෞදි අරාබියෙන් වෙනත් තැනකට රැගෙන යන්නේ නම් තම රජය කැමති බව සෞදි අරාබි රජය පැහැදිලිව ප්‍රකාශ කළේය. ඒ අනුව ඇමෙරිකානු හමුදා ඉවත් කරගනු ලැබූ අතර මෑතකාලීනව ඇෆ්ගනිස්ථානය හා ඉරාකය තුළ එක්සත් ජනපදය විසින් සිදු කරන ලද හමුදා මෙහෙයුම්වලදී ප්‍රධාන අණ දීමේ හා පාලන මධ්‍යස්ථානය බවට කටාර් රාජ්‍යය පත් විය.

රටේ සිදු වූ අභ්‍යන්තරික ප්‍රධාන දේශපාලන විපර්යාසයන් හේතුවෙන් සෞදි අරාබියේ තත්ත්වය පසු කාලීනව වෙනස් විය. මේ සම්බන්ධයෙන් සාධක කිහිපයක් බලපෑ අතර වඩාත් වැදගත් සාධකය වූයේ දිගු කලක් අසනීපව සිටි ෆාහඩ් රජු වෙනුවට ඔටුන්න හිමි අබ්දුල්ලා කුමරු පත් කිරීම ය. ඔටුන්න හිමි කුමරු සාමාන්‍යයෙන් ෆාහඩ් රජු තරම් ඇමෙරිකාවට පක්ෂපාතී පුද්ගලයෙකු නොවන අතර ඔහු තෙල් සඳහා මිල නියම කිරීම සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන්නෙකි. 09/11 ත්‍රස්තවාදී ප්‍රහාරවලට පසුව දෙරටේ ආණ්ඩු දෙක අතර සැලකිය යුතු මත ගැටුම් තිඛෙනු දක්නට ලැබුණු අතර ඊට කොල්ලකරුවන්ගෙන් බහුතරය සෞදි අරාබි ජාතිකයන් වීම බල නොපෑ බව පැවසිය හැකි නොවේ.

අබ්දුල් අසීස්ගේ මරණයේ සිට සෞදි අරාබියේ පාලනය කරන ලද නායකයන්ගේ පරපුරට අබ්දුල්ලා කුමරු අයත් වේ. එකී සියලූ නායකයන් මේ වන විට වයස අවුරුදු 70 ඉක්මවා ඇත. රාජ්‍යත්වයේ අනුප්‍රාප්තිය පිළිබඳව පැහැදිලි අනුපිළිවෙලක් දක්නට නොමැති අතර සෞදි පාලනය හිමි වන පරම්පරාවට අයත් පිරිමින් 6000ක් දෙනා අතර උග්‍ර බල අරගලයක් ඇති වීමට ඉඩකඩ ඇත. මෙහි ජයග්‍රාහකයන් වීමට ඉඩ ඇත්තේ ඉබ්න් සවුද්ගේ එක් භාර්යාවක් වූ සුදායිරි නම් කාන්තාවගෙන් පැවත එන පවුලේ පරපුරයි. එය ඉහත කී කණ්ඩායම තුළ (“සුදායිරි සෙවන්” යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන) බලසම්පන්න වංශවත් පරපුරක් වේ. අබ්දුල්ලා කුමරු එම පරපුරට අයත් නොවූව ද සියලූම දෙනා – සහ ඔවුන්ගේ සමීප ඥාතීන් විශාල සංඛ්‍යාවක් – ප්‍රධානතම අමාත්‍යංශවල, පරිපාලන සේවාවල හා විදේශ සේවයේ තානාපති තනතුරුවල සේවය කරති. අබ්දුල්ලා ද මූලික වශයෙන් ම ජාත්‍යන්තර ප්‍රජාව හා දේශීය ප්‍රතිසංස්කරණවාදීන් සතුටු කිරීම පිණිස රාජකීය පවුලේ දේශපාලනික ග්‍රහණය ලිිහිල් කිරීම උදෙසා ඇතැම් තාවකාලික පියවර ගෙන ඇත. 2003 ඔක්තෝබර් මාසයේ දී නගරසභා මැතිවරණය පැවැත්වීම සඳහා වන සැලසුම් ප්‍රකාශයට පත් කෙරුණි. එකී මැතිවරණය සෞදි අරාබියේ රජයේ ආයතනයක් සඳහා වූ ප්‍රථම මැතිවරණය වූ අතර එම මැතිවරණය 2005 පෙබරවාරි මාසය සහ අප්‍රේල් මාසය අතර කාලය තුළ පැවැත්වුණි.

මේ අතර, ෆාහඩ් රජු 2005 අගෝස්තු මස 01 දින මරණයට පත් විය. ඔටුන්න හිමි අබ්දුල්ලා කුමරු සෞදි අරාබියේ රජු ලෙස ස්ථීර කරන ලද අතර සුල්තාන් කුමරු ඔටුන්න හිමි කුමරු ලෙස නම් කෙරුණි.

 

සෞදි අරාබියානු සංස්කෘතිය

downloadimages (2)images (3)

රියාද් නගරය, සෞදි අරාබියේ මධ්‍ය ප්‍රදේශයේ අගනුවර මෙන්ම රටේ අගනුවර ද වේ. එය අතිශයින් ම ගතානුගතිකත්වයෙන් පිරි, සෞදි අරාබි ජාතිකයන්ටම ආවේණික වූ නගරයකි. අගනගරය තුළ සිටින සෞදි අරාබි ජාතිකයන්ගේ නිවෙස්වලට පැමිණෙන ලෙසට කෙරෙන ආරාධනා දුර්ලභ වන අතර එසේ ආරාධනා කෙරුණේ වුවද ඒවා සාමාන්‍යයෙන් පිරිමින් සඳහා පමණක් වේ. සාප්පු සවාරි යාම රියාද් නුවර කාන්තාවන් හා පිරිමින් යන දෙපාර්ශ්වයට ම පොදු ප්‍රධානතම විනෝදාංශය වේ. එහි කාන්තාවන් සාමාන්‍යයෙන් වේලය ද ඇතුළත්ව මුළු සිරුරම සම්පූර්ණයෙන් ම ආවරණය කරති.

ජෙඩා නගරය, සෞදි අරාබියේ බටහිර ප්‍රදේශයේ ( හිජාස් භූමි ප්‍රදේශයේ) අගනුවර වන අතර එය ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් පැමිණ පදිංචි වී ඇති හෝ කාලයක් තිස්සේ විදේශීය වෙළඳුන්ගේ ආභාෂය ලැබී ඇති සෞදි අරාබි ජාතිකයන්ගේ වාසභූමිය වේ. සෞදි අරාබි රාජ්‍යයේ වෙනත් ප්‍රදේශවලට වඩා වෙනස්, සැහැල්ලූ ජීවන චර්යාවක් මෙහි වාසීන් සතු ය. ජෙඩාහි ජන ජීවිතය සවස් කාලයෙහි සක්‍රිය වන අතර රාතී්‍ර කාලයේ දී රාතී්‍ර භෝජනය ආශ්‍රිත සමාජශීලී සාදයන්ට වඩා ජෙඩා වාසීන් ප්‍රීති ප්‍රමෝදයට පත්කරන වෙනත් යමක් නැත. සාමාන්‍යයෙන් නිවෙස්වලට පැමිණෙන ලෙසට කෙරෙන ආරාධනා එහි දක්නට ලැඛෙන අතර කාන්තා සහ පිරිමි යන දෙපාර්ශ්වයට ම ආරාධනා හිමි වේ.

ව්‍යාපාරික කටයුත්තක් හෝ සමාජයීය කටයුත්තක් හෝ වෙනුවෙන් වේවා සවස් කාලය යනු පවුලේ විනෝදය සඳහා වෙන් වූ කාලයයි. බොහෝ දෙනා ජෙඩා හි වීදි දෙපස එළිමහනේ බොජුන් පිසිමින් හෝ විනෝද ගමන්වල යෙදෙමින් සවස් කාලය ගත කරති. ජෙඩා හි වීදි දෙපස ගඩොළු ඇතිරූ ඇවිදින මංතීරු ඔස්සේ හෝ ද්විත්ව රථ වාහන මාර්ග වෙන් කරනු ලබන හරිත වර්ණ ඉවුරු ඔස්සේ තම පුහුණුකරුවන් ද සමඟ ව්‍යායාම පිණිස ඇවිදින හෝ දිවයන, සම්පූර්ණ උසැති (අබායා) ලෝගුවෙන් සැරසීගත්, කාන්තාවන් දැකීම දුර්ලභ දසුනක් නොවේ. කෙසේ වුවද, එය සෞදි අරාබිය නම් රාජ්‍යය ම වන අතර ආගන්තුකයන් එහි සංස්කෘතිය හා සිරිත් විරිත් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

සෞදි අරාබිය සේවා නියුක්තිය හා සම්බන්ධ විවිධ වෙනස්කම් සිදු කිරීමට මුල පුරා ඇත. එරට සෞදිකරණය (විදේශීය ශ්‍රමිකයන් වෙනුවට සෞදි අරාබි ජාතිකයන් සේවයේ යෙදවීම) මෙන්ම වැඩි වශයෙන් කාන්තාවන් සේවයට බඳවා ගැනීම දක්නට ඇත. සේවා නියුක්ත කාන්තාවන් සංඛ්‍යාව තවමත් ඉතා අඩු ප්‍රමාණයක් වුවත් කාන්තාවන්ට ශ්‍රම බලකායේ දොරටු විවර කොට ඇති හෙයින් ඔවුන් ශ්‍රම බලකායට එකතුවෙමින් සිටිනු දක්නට හැකි ය. අලෙවිකරණ කාර්ය මණ්ඩලය ලෙස හෝ ඉංජිනේරුවන් ලෙස හෝ වේවා කාන්තාවන්ගේ ප්‍රවේශය ඉහළ ගොස් ඇත.

ඉහත සඳහන් නගර දෙක සැලකිය යුතු ලෙස එකිනෙකට වෙනස් වන්නා සේම ඒවා එක හා සමාන ලෙස සිත් ඇද ගන්නා නගර බව ද සඳහන් කළ යුතුය. ආගන්තුකයන් අතින් සෞදි අරාබියේ නීති උල්ලංඝනය වීම හෝ එහි නීතියට එරෙහි යමක් නොදැනුවත්ව සිදුවීම වළක්වා ගැනීම සහතික කරගැනීම සඳහා එරට පාලනය වන නීති සහ සිරිත් විරිත් පිළිබඳව මනා දැනුමක් ඇති කර ගැනීම ඉතා වැදගත් ය. සෞදි අරාබිය තුළ ජීවිතය බටහිර රටක් තුළ ජීවිතය හා සම නොවේ. අප විසින් තිබිය යුතු යැයි පොදුවේ පිළිගනු ලබන නිදහස සෞදි අරාබියේ ආගම හා සංස්කෘතිය අනුව සෑම කාන්තාවක්ම භුක්ති නොවිඳිනු ඇත.

කාන්තාවන්ගේ ඇඳුම සම්මත සෞදි අරාබියානු ඇඳුමට තරයේම අනුකූල වියයුතු අතර ඔවුන් සම්ප්‍රදායික ලිහිල් ඇඳුම් ඇඳිය යුතු වේ. එම ඇඳුමට සම්පූර්ණ උසින් යුතු ලෝගුවක් (අබායා) ඇතුළත් විය යුතු ය. තවද “මුට්ටාවා” ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන සදාචාරය වර්ධනය කිරීමේ හා දුශ්චරිතය වැළැක්වීමේ ආගමික පොලීසිය මගින් ඔවුනට හිස ආවරණය කරන ලෙස පැවසුවහොත් එසේ හිස ආවරණය කිරීම සඳහා උරසළුවක් ළඟ තබාගත යුතුය. පිරිමින් ප්‍රසිද්ධ ස්ථානවල කොට කලිසම් ඇඳ සිටීම මෙන්ම කමීසයක් නොඇඳ සිටීම නොකළ යුතුය. සෞදි අරාබියට පැමිණෙන ආගන්තුකයන් විසින් හැමවිටම රට තුළ පිළිගත් ඇඳුම් පැළඳුම් කවරේ ද යන්න සම්බන්ධයෙන් නිවැරදි උපදෙස් ලබා ගත යුතු ය.