විකිණීම ආර්ථික අර්බුදයට විසඳුමද? - දූෂණ මර්ධනය සමස්ත රාජ්‍ය අංශයටම

   විකිණීම ආර්ථික අර්බුදයට විසඳුමද? - දූෂණ මර්ධනය සමස්ත රාජ්‍ය අංශයටම
(අවසන් කොටස)
 
රාජ්‍ය ආයතන විකුණා දැමීම තුළින් දූෂණයට අවස්ථා අඩුවේ යැයි සිතීම වැරදි සහගතය. වංචා දූෂණ බහුලව සිදුවන්නේ රාජ්‍ය අංශය හෝ රාජ්‍ය ව්‍යවසාය තුළ නොවේ. රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය එකිනෙක ගැටෙන මායිමේදීය. රාජ්‍ය ව්‍යවසාය විකුණා දැමූවිට මේ මායිම ඇති තැන වෙනස් වනවා මිස එය ඉවත් වන්නේ නැත. උදාහරණ ලෙස ලංකාවට සීනි ගෙන්වන්නේ සමාගම් 9ක් මගිනි. රාජ්‍ය අංශයේ මැදිහත් වීම අවම වුවත් බදු වෙනස්වීමෙන් රුපියල් මිලියන 17,681ක මුදලක වංචාවක් එකවර සිදුවූයේ වසර 2020 දීය. වැට් බදු වංචාව, පොල්තෙල් වංචාව, ගම්මිරිස් වංචාව, බැඳුම්කර වංචාව ආදීවූ ඔබ දන්නා දිගු ලැයිස්තුවක ඇති සියලුම වංචා සිදුව ඇත්තේ මේ සඳහන් කළ මායිමේ දී මිස රාජ්‍ය ආයතනය ඇතුළත දී නොවේ. 
 
ඔබට ගෝචර නොවූ බොහෝ වංචාවන් එයින් එපිට තිබේ. සිමෙන්ති මිල ඉහළයන්නේ දේශපාලන මිතුරන්ගේ සිමෙන්ති කම්හල ආරම්භයට පෙරය. කඩාදාසි මිල ඉහල යන්නේද එලෙසමය. කාබනික පොහොර නැවි පිටින් තහනම් වන්නේද වන්දි බෙදාගත හැකි වන පරිදිය. අපේ මුහුදේ නැව් ගිලී යන්නේද අපට මුදල් නොලැබ වෙන කාට හෝ ලැබෙන පරිදිය. 
 
බදු එකතු නොවන්නේ 18 වැඩි පුරවැසියන්ට tin අංකයක් නොමැති නිසා නොවේ. සුරා බදු, තීරු බදු සහ ආදායම් බදු එක්කාසු කොට නැත්තේ කාගෙන්දැයි සහ කොපමණදැයි සොයා බැලුවහොත් ඒ රුපියල් ට්‍රිලියන ගණනක් මුදල් බැව් වැටහෙයි.
 
මෙහිදී මතුව එන එක් කාරනාවක් නම් රාජ්‍ය බැංකු විකුණා දැමුවහොත් ණය ගෙන නොගෙවා සිටීමට තව දුරටත් බලපුලුවන් කාරයන්ට නොහැකි වීමයි. මෙහිදී අප පෙන්වා දෙන්නේ මේ මායිම් වෙනස් වීමෙන් සිදුවන්නේ වංචාව සිදුවන ක්‍රමය වෙනස් වන බවයි. මේ බැංකු තමන්ට වුවමනා අයවලුන්ට විකුණූ දාට ඒ විකිණීමේ වංචාවෙන් අවසන් නොවේ. ඉන් පසු,
 
● රාජ්‍ය ගිණුම් සහ අරමුදල් මේ බැංකු තුල පවත්වාගෙන යාමත් සමග රාජ්‍ය මුදල් මෙහෙයවීම. සේවක අරමුදල් පසුගිය කාලයේ විවිධ පාර්ශව කොටස් වෙළඳපොළ හැසිරවීමට යොදා ගත් අයුරුද, පසුව මහ බැංකුව සිය ස්වාධින බව යොදාගෙන ඒ අරමුදල ප්‍රතිලාභ බෙදාගෙන අපට සොච්චම් පොළියක් දුන් අයුරුද දැන් පැහැදිළි වී තිබේ. සම්පූර්ණයෙන්ම රාජ්‍ය අරමුදල් තැන්පත් පුද්ගලික අංශයට හිමිවූවිට කොයි අයුරු ඔවුන් ඒ හසුරවයිද?
 
● රාජ්‍ය අංශය දැන් රාජ්‍ය බැංකු මගින් ණය ලබා ගන්නා පරිදි පුද්ගලික බැංකු වලින් ණය ලබා ගෙන ගිනි පොළී ගෙවන විට කුමක් වේද?
 
● විවිධ සහනාධාර බෙදාදීම් වැනි කටයුතු සඳහා පුද්ගලික බැංකු යොදා ගන්නා විට ඔවුන් කොතරම් අයකිරීමක් දේශපාලකයින් සමග අත්සන් කරන ගිවිසුම් වල සටහන් කරයිද?
 
● රජය ඇප වන ක්‍රමවේදයන් මත තම හිතමිතුරු ව්‍යපාරිකයන්ට ණය ලබාගතහැකිවන ක්‍රමවේදයන් හඳුන්වා නොදේ විද?
 
මෙලෙස වංචාව සිදුවන ආකාරයේ වෙනසක් මිස සැබෑ වෙනසක් මතු නොවනු ඇත.
සැබෑ ලෙසම දූෂණය පිටු දැකීමට නම් නිවැරදි නීති රීති මෙන්ම, විගණන වාර්ථා සහ කොප්, කෝපා වාර්තාවන්ගෙන් එළිවන කරුණු මත නීතිය ක්‍රියාත්මක වන ක්‍රම්වේදයක් පැවතිය යුතුය. නිවැරදි ටෙන්ඩර් පරිපාටියෙන් පිට මෙන්ම මිලදීගැනීමේ නිර්දේශයන් උල්ලංඝණය කෙරෙමින් සිදුවන ගනු දෙනු වලින් දූෂණ වැලැක්වේවිද? අඩුම තරමේ මේ විකිණීමේ ක්‍රියාවලියත් වැරදි ලෙස සිදු කිරීම නිසා මේ වන විට වාරණ නියෝගයන්ට යටත්ව තිබේ. සැබෑ ලෙස බලාත්මක වන ක්‍රම්වේදයන් සකස් නොකොට මේ දූෂණය පිටු දැකීමට යයි කියා සූදානම් වන්නේ මේ ආයතන විකුණා තම මන දොළ සංතර්පනයටත් විදේශයන් සමනය කිරීමටත් නොවේද?
 
අවශ්‍යතා සහ ගැටළු හඳුනා ගත යුතුය
 
ඒ ඒ ආයතනය ප්‍රතිව්‍යූහගත් කිරීම සැබෑ අරමුණ නම් ඒ ඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සහ ඒ ඒ ආයතනය සම්බන්ධයෙන් අවශ්‍යතා සහ ගැටළු හඳුනාගත යුතුය. එසේ කටයුතු කරන බවක් කිසි ලෙසකත් නොපෙනේ. එක් පැහැදිළි උදාහරණයක් නම් විදුලිබල මණ්ඩලය සඳහා ගෙන යන ක්‍රමවේදයයි.
 
ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා
● අඩු මිල
● අඛණ්ඩ සැපයුම
● පරිසර හිතකාමී බව
 
අද මූලිකව තර්ජනට ලක්වෙලා තියෙන්නෙ මිල. මේ සඳහා යෝජනා කරන ප්‍රතිව්‍යූහගත් කිරීමෙන් විසඳුම් ලැබෙනවාට වඩා, තවත් අර්බුදයට යෑමට ද ඉඩ තිබේ.
විසඳිය යුතු ගැටළු 3යි.
 
● අඩු වියදම් ප්‍රභවයන් යොදාගැනීම - LNG
● මූල්‍ය පිරිවැය
● වැඩි මිලට අත්සන්කරන විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්
 
මෙවා සඳහා විසඳුම් නොව වෙනත් ක්‍රියාවන්ගෙන් අත්කරගත හැකි ප්‍රතිඵල ඉතා අල්පයි. මේ අතරේදීත් අදානි සමග සාමාන්‍ය මිලට වඩා දෙගුණයකින් වැඩි මිලට නිවැරදි ටෙන්ඩර් පටිපාටියකින් තොරව විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට එළඹෙනව. එවිට අපට පිළිගත හැකිද මේ ක්‍රියාවලිය, හුදෙක් විකුණාගත හැකිදේ විකුණා දැමීමට නොවන බව?
 
තවත් එක් උදාහරණයක් නම් මේ මොහොතේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීමට අත්‍යාවශ්‍ය උපාංගයක් නම් රාජ්‍ය බැංකු එහෙත් එහි කොටස් විකිණීමට කතා කිරීමෙන් පැහැදිළිව පෙනෙන්නේ හුදෙක් විකුණාගත හැකිදේ විකුණා දැමීම බව නොවේද?
 
ගිවිසුම් සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදය අනුගමනය කිරීම
 
එට්කා ගිවිසුම සම්බන්ධව ගත හැකි එකම පියවර එය මගහැරීමයි. අනෙක් වෙළඳ ගිවිසුම්  සම්බන්ධව කටයුතු කිරීමට.
● සුදුසුකම් සහිත සාකච්ඡා කණ්ඩායමක් යොදාගැනීම
● පාර්ලිමේන්තුවේ අවසරය පනතකින් ලබා ගැනීම.
● රටේ අවශ්‍ය නීති පද්ධතිය සකස්ව තිබීම.
● ජාතික අභිලාෂයන් සහ ප්‍රතිපත්ති හඳුනාගෙන තිබීම.
● පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය
යන කරුණු සම්පූර්ණ විය යුතුයි.
 
දේශපාලන අර්බුදය විසඳාගැනීම
 
ඉහත විසඳුම් සියල්ල මේ මොහොතේ අපට පෙන්වා සිටින බොරුවලට පිළිතුරු මිස මේ දේශපාලකයන් විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාස කළ හැකි කිසිවක් නොවේ. මක් නිසාද යත් දේශපාලකයාට ඇත්තේ පෙර සටහන් කළ අවශ්යතා දෙක පමණි. විදේශ බලපෑම පිනවීම සහ තමා පිනවීමයි. මෙයම අප මුහුණ දෙන දේශපාලන අර්බුදය කෙබඳු දැයි විස්තර කරදෙයි.
 
එය විසඳීමට සම්පූර්ණ විය යුතු කාරණා 3කි.
 
1. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුය.
2. පාර්ලිමේන්තුවට සුදුස්සන් පත්විය යුතුය.
3. පද්ධතිය වෙනස් විය යුතුය.
 
මේ කාරණා 3 එකින් එක සිදු කරගැනීමේ අවශ්‍යතාව සහ වගකීම ඇත්තේ අපටය. එය කිසිවෙකුත් සිදුකොට දෙනු නොලැබේ. එය සිදුකරගන්නා තෙක් මේ රටත් එහි ජාතික සම්පත්ද වැඩකරන ජනතාව ඇතුළු සියල්ලෝම ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව සහ වගකීම ඇත්තේ ද අපටය.
 
සබැඳි පුවත්
 
 
ඇමිණුම - පෞද්ගලීකරණය කළ ආයතන