රුමේනියා රැකියා ජාවාරමේ දෙවන සැකකරුත් කොටුවෙයි

රුමේනියා රැකියා ජාවාරමේ දෙවන සැකකරුත් කොටුවෙයි

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 7ට අධික මුදලක් වංචාකළ ජාවාරමට අදාල පැමිණිල්ලේ දෙවන සැකකරු අද දින (4.26) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

කොළඹ 10, සංඝරාජ මාවතේ පවත්වාගෙන ගිය රෝයල් ඩ්‍රිම්ස් (Royal Dreamz) නම් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනය මගින්, රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකර ඇති අතර, ඒ පිළිබඳව පැමිණිලි 88ක් කාර්යාංශය වෙත ලැබී තිබිණි. ඒ අනුව අදාළ ආයතනයේ බලපත්‍රලාභිනිය පසුගිය අප්‍රේල් 01 දින කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

මෙම ජාවාරම සඳහා සහය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විමර්ශන මෙහෙයවූ අතර, ඒ අනුව මෙම ආයතනයේ උප ඒජන්තවරයෙකු ලෙස සේවය කළ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින (4/26) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම ජාවාරමට සම්බන්ධ අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශය විමර්ශන මෙහෙයවනු ලබයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.