කර්මාන්ත අධිකරණ හෙවත් Industrial Court හි නීතිමය අන්තර්ගතය 

කර්මාන්ත අධිකරණ හෙවත් Industrial Court හි නීතිමය අන්තර්ගතය 

කර්මාන්ත අධිකරණ හෙවත් කාර්මික අධිකරණය යනු කම්කරු ආරවුල් විසඳීම සඳහා ඇති සුවිශේෂී මණ්ඩලයක් වේ. මෙම මණ්ඩල පැහැදිලිවම කාර්මික ආරවුල් පනතේ IV (අ) කොටසින් හඳුන්වා දෙනු ලැබූ කම්කරු විනිශ්චය සභාවලින් (LT)  වෙනස් වේ. 

කම්කරු විනිශ්චය සභා යනු ස්ථිර නිළයක් සහිත සභාපතිවරයකුගෙන් යුතු අඛන්ඩව පවතින ආයතන වෙයි.  කාර්මික අධිකරණ වල  ව්‍යුහය මීට වෙනස් වේ. එනම් ජනාධිපතිවරයා විසින්  කලින් කල පත්කරනු ලබන පස්දෙනකුට නොඅඩු  පුද්ගල සංඛ්‍යාවකින් සමන්විත කමිටුවක් වේ. මෙම පත් කිරීම් වසරක කාලයකට සිදු කරනු ලබයි. එකී පත් කිරීම් නැවත දීර්ඝ කළ හැකිය. මෙම කමිටුවට කාර්මික ආරවුලක් යොමු කළ විට පමණක්ම බලතල ලැබෙන අතර ආරවුල සම්බන්ධව ප්‍රධානයක් කළ පසු බලතල අවසන් වෙයි.

කාර්මික ආරවුල් කාර්මික අධිකරණයකට යොමු කරනු ලබන්නේ කාර්මික ආරවුල් පනතේ4(2) වගන්තිය ප්‍රකාරව කම්කරු අමාත්‍යවරයා විසිනි.  මේ යටතේ කාර්මික ආරවුලක්   බේරුම් කිරීම සඳහා  ලිඛිත නියෝගයකින්  යොමු  කරනු ලබයි.

කම්කරු අමාත්‍යවරයා විසින්ම කාර්මික ආරාවුලක් මෙම අධිකරණය වෙත යොමු කළ විට තුන්දෙනෙක්ගෙන් යුතු මණ්ඩලයක් හෝ එක් අයෙකු විසින් ආරවුල විමසීමට ගනු ලබයි. කාර්මික අධිකරණය වෙත  ඉදිරිපත් කරන කාරණය කාර්මික ආරවුල් පනතේ 24 (1) වගන්තිය අනුව විභාග කොට සාධාරණ තීරණයක් ලබාදිය යුතුය. මේ කාර්යය සඳහා සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ගැනීමට 24 (1) වගන්තිය ප්‍රකාරව කාර්මික අධිකරණයට බලය ඇත. එපමණක් නොවෙයි කාර්මික අධිකරණයට අවශ්‍ය යැයි හැඟෙන යම් සාක්ෂියක් වේ නම් එයද ලබාගත හැකියි. සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව 24(3) වන්තිය ප්‍රකාරව තීන්දුවක් ලබා දෙනු ඇත. කාර්මික අධිකරණයක් විසින්ම ලබා දෙන තීන්දුව කම්කරු කොමසාරිස්වරයා වෙත එවනු ලබන අතර එය කාර්මික ආරවුල් පනතේ 25(1) වගන්තිය ප්‍රකාරව කොමසාරිස්වරයා විසින් ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරනු ඇත. තීන්දුව වලංගු වන දිnya කාර්මික ආරවුල් පනතේ 25(2)  වගන්තිය පරිදි මෙසේය.

  1. තීන්දුවෙහි වලංගුවන දිනයක් සදහන් නොවේ නම් තීන්දුව දුන් දිනය් සිට වලංගුය.
  2. තීන්දුව වලංගුවන දිනයක් සදහන් වේ නම් එදින සිට තීන්දුව වලංගුය.
  3. තීන්දුව වලංගුවන දිනය කාර්මික ආරවුල හටගත් දිනයට පෙර දිනයක් නොවිය යුතුය.

කාර්මික අධිකරණයට මුල් අධිකරණ බලයට අමතරව තවත් සුවිශේෂීන් අධිකරණ බලතල කිහිපයක් හිමි වේ.

 

  1. කාර්මික ආරවුල් පනතේ 10 (9) වගන්තිය අනුව සාමූහික ගිවිසුම් වලට අදාළව කම්කරු කොමසාරිස්වරයා විසින්ම ගනු ලබන තීරණ වලට එරෙහි අභියාචනා විමසීමේ බලය හිමිවේ.
  2. කම්කරු ඇමතිවරයාගේ යොමු කිරීම මත තම ප්‍රධානයන් නැවත සලකා බැලීමේ බලය කාර්මික ආරවුල් පනතේ 27 වගන්තිය යටතේ කාර්මික අධිකරණය වෙත හිමි වේ.
  3. කාර්මික අරවුල් පනතේ 34 (1) වගන්තිය අනුව බේරුම්කරුවකු කම්කරු විනිශ්චය සභාවක් හෝ කාර්මික අධිකරණය විසින්ම ලබා දුන් තීන්දුවක් අර්ථ නිරූපණය කිරීමේ බලය මෙම කාර්මික අධිකරණය වෙත හිමි වේ.