ලෝක මැලේරියා දිනය අදයි

ලෝක මැලේරියා දිනය අදයි

ලෝකයෙන් මැලේරියා රෝගය තුරන් වන තුරු මැලේරියා රෝග ආවේක්ෂණය ඉතා ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුයි - සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

ලෝක මැලේරියා දිනය අදට (25)  යෙදී තිබේ. ඒ වෙනුවෙන් පවත්වන ලද ජාතික උත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  මහතාගේ පුර්ණ ආශිර්වාදය සහ මග පෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මැලේරියා මර්දන  ප්‍රාදේශීය ඒකක පරිශ්‍රයේදී පවත්වන ලද අතර  ජනතාව දැනුවත් කිරීමේ පා ගමන එම පරිශ්‍රයෙන් අරම්භ කර කුරුනෑගල නගරය ආවරණය වන පරිදි ගමන් ගන්නා ලද අතර මේ සදහා දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රාදේශීය ඒකක  27 නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තිකයින් සහභාගි විය.

සෑම වසරකම අප්‍රේල් මස 25 වන දින ලෝක මැලේරියා දිනය සමරණු ලබන අතර මෙවර තේමාව වන්නේ  ‘‘වඩා සාධාරණ ලෝකයක් සදහා මැලේරියාවට එරෙහි සටන වේගවත් කිරීම’’ යන්නයි. මැලේරියා රෝගය ලොව පුරා මිනිසාට ප්‍රබල පලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් ලෙස සලකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස 2016 වර්ෂයේදී ඊට අදාල සහතිකය ලබා දෙන ලදී. 2023 වර්ෂයේදී මෙරටින් මැලේරියා රෝගීන් 62 දෙනෙක් වාර්ථා වී ඇති අතර එම රෝගීන්ගෙන් බහුතරයක් අප්‍රිකානු රටවල සංචාරය කර පැමිණි අය වේ.

මෙරට පළමු මැලේරියා මර්ධන ඒකකය 1911 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර අද දින ජාතික උත්සවය පවත්වන ලද්දේ එම මැලේරියා මර්ධන ඒකක පරිශ්‍රයේ වීම විශේෂත්වයකි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ...

ශ්‍රී ලංකාව  ප්‍රජා සෞඛ්‍ය සේවාවේ මහජන සෞඛ්‍ය අංශයේ විශාල ජයග්‍රහණ ලබපු රටක් බවත්, මෙරටින් මැලේරියාව මීට වසර 8 කට පෙර එනම්  2016 වර්ෂයේ දී තුරන් කල බවය.

1911 වර්ෂයේදී  පලමු  මැලේරියා ඒකකය කුරුණෑගල ආරම්භ කර ඇති බවද සිහිපත් කල ලේකම්වරයා  2016 වර්ෂයේදී  එනම් වසර  105 කට පසු  ශ්‍රී ලංකාව මැලේරියාව  තුරන් කල‍ බවද කීවේය.

අවුරුදු 30 කට පසු  ලෝකයේ  රටක් මැලේරියාව  තුරන් කලා නම් ඒ ශ්‍රී ලංකාව බවද පැවසූ එතුමා ඊට කලින් රටවල් ගණනාවක් මැලේරියාව  තුරන් කර තිබුණ බවද පැවසීය. 2016 වර්ෂයේ දී  ශ්‍රී ලංකාවෙන් බරවා රෝගයත් තුරන් කල බවත්, 2019 වර්ෂයේ සරම්ප  රෝගයද  තුරන් කල බවද අවධාරණය කල ලේකම්වරයා මේ  රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වී  කැපවුනු  දායක වුනු  සියලු දෙනාට සිය ස්තූතියද පල කලේය.

මෙරටින් මැලේරියාව තුරන් කල මුත් එහි තර්ජනය තවමත් පවතින බවත්, ඊට හේතුව වන්නේ අපේ අවට අනෙකුත් රටවල් වල මැලේරියාව තාමත් තිබෙන බවද කීවේය.

මැලේරියාව ශ්‍රී ලංකාවෙන් තුරන් කලත්  නැවත මැලේරියාව ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැලැක්වීම සදහා මැලේරියා මර්දන ව්‍යාපාරය මගින්  ජාතික වැඩසටහනක් වශයෙන් තවමත්  ඉදිරියට කරගෙන යන බව පැවසූ ලේකම්වරයා මෙරට ජනතාව එවැනි  රටවල් වලට යාමට  කලින් අපි ඒ අය දැනුවත් කල යුතු බවත්, නැවතත් මැලේරියා  තිබෙන  රටවල් වලින් අපේ රටට පැමිණි පසු  ඔවුන් ආවේක්ෂණයට යොමු කල යුතු බවත්, ඒ අය දැනුවත් කිරීමද පියවර ගන්නා බවද පැවසීය.

ලෝකයෙන්ම මැලේරියා රෝගයෙන් තුරන් වන තුරු මේ සදහා සිදු කරන ආවේක්ෂණ වැඩසටහන් ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම ඉතා අවශ්‍යය බවත්, ඒ සදහා සියලු දෙනාට ජාතික  වගකීමක් තිබෙන බවද කීවේය.

මෙම අවස්ථාවට වයඹ පලාත් ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. එම්. ආනල්ඩ්, මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා  වෛද්‍ය  චම්පා අලුත්වීර, වයඹ පලාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉනොකා වීරසේන, කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පමිල් අධිකාරි, පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අමිල මදුරංග යන මහත්ම මහත්මීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් සහභාගී වුහ.