“තෙවන ඇසට සුවය සදමු” ජාතික රුපවාහීනියෙන් අරඹයි

 “තෙවන ඇසට සුවය සදමු” ජාතික රුපවාහීනියෙන් අරඹයි

මෙරට කාන්තාවන්ගෙන් 46 % ක්  සහ  පාසල් යන දරුවන්ගෙන් සියයට 10 % ක්  බර වැඩි බවත්,  කාන්තාවන්ගේ ආයු කාලය අවුරුදු 83 දක්වා වැඩි වී ඇති බවත්  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

“තෙවන ඇසට සුවය සදමු” ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් උදෙසා පිදෙන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියරේ සමාරම්භය (07) දින සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික රුපවාහීනි සංස්ථා පරිශ්‍රයේ දී එහි කාර්ය මණ්ඩලය මුලික කර ගනිමින් ආරම්භ කරන්නට යෙදුනි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ සංවිධාන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය විසින් සිදු කරනු ලැබීය.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා මාධ්‍යයට විශාල කාර්යභාරයක් පැවරෙන අතර, රටේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට මාධ්‍යයේ ඇති වටිනාකම සහ වැදගත්කම හදුනා ගනිමින් පළමුව මාධ්‍යවේදීන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට මුල්තැන දෙමින් මෙම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කර ඇත.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් මාධ්‍ය කාර්යමණ්ඩල සදහා පැවැත්වෙන මෙම සෞඛ්‍ය ප්‍රවර්ධන සායනය තුලින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, මනෝ උපදේශණ සේවා, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේධ මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, ක්ෂය රෝග සායනය,  වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන්  ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් සහ නොමිලේ ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරේ.

මෙහිදී පැවැති සමාරම්භක උත්සවයේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ ‌අද දින ජාතික රූපවාහිනී සංස්ථාවෙන් ආරම්භ කරන ලද නව මෙම වැඩපිළිවෙල මෙතැන් සිට සියළු මාධ්‍ය ආයතන තුල ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවයි.

මීට පෙර සියළු මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ආවරණය වන ලෙස මෙම වැඩසටහන ආරම්භ කළත් විවිධ හේතු සාධක හේතුවෙන් ඉදිරියට ගෙනයාමට නොහැති වූ බවත්, අත්‍යාවශ්‍ය වැඩසටහනක් බැවින් නැවත ආරම්භ කිරිමට පියවර ගත් බවද  පැවැසීය. මාධ්‍යවේදීන් මේ රටේ ජනතාවට විවේකයක් නොමැතිව විශාල වැඩකොටසක් සිදු කරන පිරිසක් බවත්, එම පිරිසේ සෞඛ්‍ය ආරක්ෂා කිරිම අරමුණු කර සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වැඩපිළිවෙල දියත් කළ බව ද පැවැසිය. රෝග පරීක්ෂාවෙන් පසු දිර්ඝකාලින ප්‍රතිකාර සදහා යොමු කෙරෙන පිරිස් අදාල සෞඛ්‍ය ආයතන වෙත යොමු කිරිමට පියවර ගන්නා බවත්, එක දිනකින් වැඩසටහන අවසන් නොකර ඉදිරියට යන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරන බව ද පැවැසිය.

අද මෙරට මරණ වලින් සියයට 89 ක් පිළිකා, හෘද වස්තුවේ රෝග, පෙණහළු රෝග සහ දියවැඩියාව යන බෝ නොවන රෝග නිසා සිදුවන බවත්, එයිනුත් වැඩි මරණ ප්‍රමාණයක් සිදු වන්නේ හෘද වස්තුවේ රෝග සහ ආඝාතය නිසා බවත්, වසරකට 60,000 ක් පමණ ආඝාතයට ලක්ව 4000 ක් පමණ මියයන බව ද  පැවැසීය. මෙම රෝග වලින් වැළැකීමේ දි කාරණා 04 ක් ගැන දැනුවත් විය යුතු බවත්, එනම් දුම්පානය, මධ්‍යසාර භාවිතය, අධික ලෙස  සීනි, ලුණු භාවිතය සහ ව්‍යායාම නොකිරිම පෙන්වා දිය හැකි බව ද පැවසිය. 

පසුගිය ශතවර්ෂය තුල ලෝකයේ මිලියන 100 ක් දුම්පානය නිසා මරණයට පත්ව ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෙම ශතවර්ෂය තුල ද එම ප්‍රවණතාවයම පැවතුන හොත් බිලියනයක් දුම්පානය නිසා මරණයට පත්වනු ඇතැයි අනුමාන කරන බව ද පැවසිය. ලෝකයේ වසරකට මිලියන 10 ක් පමණ දුම්පානය නිසා මරණයට පත්වන බව ද කීය. ව්‍යායාම නොකිරිම නිසාම මිලියන 1.4 ක් පමණ ලෝකයේ මරණයට පත්වන බවත්, අප රටේ සියයට 46 ක් පමණ කාන්තාවන් බර වැඩි බව ද, පාසල් යන දරුවන් සියයට 10 ක් පමණ බර වැඩි බව ද පැවසිය.

මෙරට සෞඛ්‍ය සේවාව කළාපයේ හොදම සෞඛ්‍ය සේවාවක් පවතින රට බවත්, අවම මාතෘ හා ළදරු මරණ අනුපාතිකයක් තිබෙන රට බවත්, කාන්තාවන් සදහා ආයු කාලය අවුරුදු 83 දක්වා වැඩි වි ඇති බවත් ඇමරිකාවටත් වඩා ඉහළින් සිටින බවද මේ සියල්ලටම හේතුව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භවය හේතු වී ඇති බව ද පැවසිය.

මෙහිදි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නියෝජනය කරමින් එහි සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා ද ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් උදෙසා පිදෙන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ ඇති වැදගත්කම පිළිබද අදහස් දක්වන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) හර්ශප්‍රිය සිසිර කුමාර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ (සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර) විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රධානී (පුහුණු අංශය) විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නියෝජනය කරමින් එහි සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) කපිල දසනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) නිලාර් එම්. කසිම්, සේවක සුබසාධක සංගමයේ සභාපති අජිත් ලවන්ගොඩ, වැඩසටහන් නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු රූපවාහිනි සංස්ථාවේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.