ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අවස්ථාව සැලසීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (දෙසැ: 12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සදහා කාන්තාවන්ට අයැදුම් කිරීම අවහිර කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයක් අභියෝගයට ලක් කරමින් කාන්තාවන් දෙදෙනෙකු විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙම දැනුම් දීම සිදුකළා ය.
මෙම පෙත්සම ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි අධිකරණයට දැනුම් දුන්නේ, පසුගිය නොවැම්බර් 3 වන දා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අවසරය ලබා දුන් බව ය.
පෙත්සම් විභාගය අවසන්
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණයට දැනුම් දුන්නේ, පෙත්සම්කරුවන් ඉල්ලා සිටි සහනය මේ වන විට ලැබී තිබෙන බැවින් මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට ඔවුන් එකඟතාව පළ කරන බව ය.
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
මෙම පෙත්සම ගොනු කර තිබුණේ අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදුෂා යන කාන්තාවන් දෙදෙනා ය.
එහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසන් නම් කර තිබිණි.
මෑතකදී දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය හරහා පිරිමි අයැදුම්කරුවන්ට පමණක් එම තනතුරු සඳහා අයැදුම් කළ හැකි බවට ප්රතිපාදනයක් ඇතුළත් කර තිබූ බව පෙත්සම්කරුවෝ සඳහන් කළහ.
මේ තුළින් කාන්තාවන්ට එම තනතුරු සඳහා අයැදුම් කිරීමට තිබූ අවස්ථාව අහිමි කර ඇති බවත්, ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඔවුන් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
(BBC/Sinhala)

