All Stories
සුඩානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 41 දෙනා මුදා ගැනීම සඳහා ඉන්දියානු බලධාරීන්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසා තිබේ.
"ද හින්දු පුවත්පත" සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
ඉන්දියාවේ නව දිල්ලි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ඊජිප්තුවේ කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සුඩානයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 41 දෙනා ආරක්ෂිතව ගෙන ඒම සඳහා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය සහ කාර්ටුම් හි පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය සිදු කරන බව අලි සබ්රි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.
ශ්‍රී ලාංකිකයන් 41 දෙනා සුඩාන වාරයේ සිට සෞදි අරාබියේ ජෙඩා නගරය වෙත ගෙන ඒමට ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය සහ කාර්ටුම් හි ඉන්දියානු තානාපති කාර්යාලය එකඟ වූ බව ඊජිප්තුවේ කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි අලි සබ්රි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ යෙදී වසර 07 කට පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි දිනයේදීම කාන්තාවක් ගෙළ වැළලාගෙන මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පී. ජී.අනෝමා නමැති එක්දරු මවක වන අතර මියගිය කාන්තාවගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම මරණය පිළිබඳව සැකයක් මතුවන බැවින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
සිය දරුවාට යහපත් ජීවිතයක් උදා කරදීමේ අරමුණින් මීට වසර 07 කට පෙර ඇය කුවේට් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබුණි.
ගෘහ සේවිකාවක ලෙස කුවේට්හි සේවය කළ ඇය සිය දරුවාට සහ තම මුණුබුරන්ට තෑගි බෝග ද රැගෙන ඉකුත් අප්‍රේල් 26 වනදා යළිත් මව්බිම වෙත පැමිණීමට සූදානමින් සිටි බව කියැවෙයි.
ඇය ඒ බව සිය මවට දුරකථනය ඔස්සේ දැනුම් දී ඇත්තේ ඊට පෙර දිනයේදී වන අතර එලෙස පැමිණෙන ආදරණීය මව පිළිගැනීමට පුත් චතුරංග ධම්මික කටුනායක ගුවන් තොටුපොළට ගියත් ඇය පැමිණ තිබුණේ නැත.
වහා කලබලයට පත්වූ ඔහු ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් කළ විමසීමකදී නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් කටුනායක පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.
එහිදී පොලීසිය ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් කළ විමසීමකදී අනාවරණ වී ඇත්තේ, අනෝමා මහත්මිය කුවේට් රාජ්‍යයෙන් ගුවන් යානයට ගොඩවී නැති බවය.
පසුව මේ ගැන සොයාබැලීම සඳහා ඇය සේවය කළ කුවෙට් නිවසට ඇයගේ මිතුරියන් කිහිප දෙනෙකු ගොස් තිබුණු අතර එහිදී නිවසේ හාම්පුතු පවසා ඇත්තේ ඇය ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි.
කුවේට් තානාපති කාර්යාලය හරහා ලබාගත් තොරතුරු අනුව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික මළසිරුරු දෙකක් තිබෙන බවත් ඉන් එකක් තම මෑණියන්ගේ මළසිරුර බවට සනාථ කළ බවත් අනෝමා මහත්මියගේ පුත් ධම්මික පවසයි.
ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ, ගෙල වැලලාගෙන මියයන්නට තරම් කිසිදු හේතුවක් මවට නොතිබුණු බැවින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසයි.
- විදේශ සේවා නියුක්ති කාර්යංශය පනතට සංශෝධන
- කාන්තා ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් - ජාවාරම්කරුවන්ට වැට බදින්න විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල් කරන්න - කාන්තා සංවිධාන අමාත්‍ය මනුෂගෙන් ඉල්ලයි
- විදේස් ශ්‍රමිකයින් බැංකු හරහා එවන මුදල්වලට ඔවුන්ව සේවක භාරකාර අරමුදලට (ETF) දායක කරගන්න - ජයශ්‍රී ප්‍රියලාල්
- තවත් ලාංකිකයින් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා දොරටු ඇරේ