වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීමෙන් අර්බුද ගණනාවක් ඇතිවිය හැකියි - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීමෙන් අර්බුද ගණනාවක් ඇතිවිය හැකියි - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන හා කොතලාවල වෛද්‍ය පීඨය හරහා මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ කැබිනට් තීරණය හේතුවෙන් උද්ගත වී ඇති වර්තමාන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින දැක්වේ.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය යනු අතිශයින් ඉහළ ප්‍රමිතියක් සහ නියාමනයක් සහිතව පවත්වාගෙන යන පද්ධතියකි.

මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරය ඉදිරියේ ඉහලින්ම පැවතීමට ප්‍රධානතම හේතුව වන්නේද එම වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය හරහා බිහි වූ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සහ කුසලතා පරිපූර්ණ වෛද්‍යවරුන්ය.

ඉතිහාසය පුරා එම  ප්‍රමිතිය පවත්වාගෙන යාමට සහ වඩාත් ඉහළ නැංවීමට වගකිවයුතු  සියලු පාර්ශවයන් කටයුතු කර ඇත්තේ එය අත්හළ නොහැකි වගකීමක් සේ සලකමිනි.

එමෙන්ම ශ්‍රී ලාංකේය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අභියෝගයට ලක්වූ සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව මෙම සියලු පාර්ශව කොන්දේසි විරහිතව කටයුතු කර ඇත.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතිහාසය පුරා ගනු ලැබූ අත්තනෝමතික තීරණ වල අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ඛේදවාචකයන්ය. එබැවින් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත යුත්තේ අතිශය කල්පනාකාරීව බව ඉතිහාසය යළි යළිත් සපථ කර ඇත.

එහෙත් පසුගියදා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධිය ලබා ගැනීමට ප්‍රථම වරට දේශීය සිසුන්ට අවස්ථාව ලබාදීමේ තීරණය පිළිබඳව බරපතල ගැටලු ගණනාවක් උද්ගත වී ඇත.

  • වෛද්‍ය අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ අත්තනෝමතික තීරණ ගැනීම.

මීට පෙර ශ්‍රී ලංකාව තුළ කිසිඳු අවස්ථාවක දේශීය සිසුන්ට  මුදලට වෛද්‍ය උපාධිය ලබාදී නොමැත. එබැවින් මෙය මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අතිශය බැරෑරුම් ව්‍යුහාත්මක වෙනසකි. වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමේදී ඊට අදාළ සියලු පාර්ශවයන්හි අදහස් සහ එකඟතාවය ලබා ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හේතු සහිතව දිගින් දිගටම පෙන්වා දී තිබුණද, එසේ නොකර ඉදිරියට එන මෙවන් අත්තනෝමතික තීරණ හරහා යළිත් තහවුරු වන්නේ පාලකයින් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා බවයි.

  • බඳවාගැනීමේ ක්‍රමවේදයේ ගැටලුකාරි තත්ත්වය.

වෛද්‍ය පීඨයන්ද ඇතුළුව මෙරට විශ්ව විද්‍යාල සියල්ලටම සිසුන් බඳවා ගනු ලබන්නේ උසස් පෙළ ප්‍රතිඵලයේ Z ලකුණු අගය (Z Score) පදනම් කරගනිමිනි. ඒ හරහා සියලු දෙනාටම සාධාරණ අවස්ථාවන් උදාකර දී තිබේ.

එහෙත් මෙම කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයෙන් මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමට සිසුන් තෝරා ගනු ලැබීමට නියමිතව ඇත්තේ උසස් පෙළ Z ලකුණු අගය (Z Score) සහ 'වෙනත් සුදුසුකම්' මත පදනම්වය.

මෙම වෙනත් සුදුසුකම් මොනවාද හෝ සිසුන් තෝරා ගැනීමේදී භාවිතා කරන නිර්ණායක පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් ඉදිරිපත් කර නැති අතර ඒ හරහා මෙම තෝරාගැනීමේ ක්‍රමවේදයේ සාධාරණ බව සහ පාරදෘශ්‍ය බව පිළිබඳව දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇත.

සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවමින් කොතලාවල වෛද්‍ය පීඨයෙන් දැමූ පුවත්පත් දැන්වීමට අනුව සිසුන් බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වන බව සඳහන් වන අතර එයින්ද මෙම බඳවා ගැනීම් හි පාරදෘශ්‍ය බව බිඳවැටෙන අතර ලැදියාවන් අතර ගැටුමක්ද නිර්මාණය වේ.

  • කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත උල්ලංඝනය වීම.

කොතලාවල වෛද්‍ය පීඨයට ත්‍රිවිධ හමුදාවන්ට අයත් නොවන දේශීය සිසුන් බඳවාගෙන ඔවුන්ට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ තීරණය හරහා 1981 අංක 68 දරණ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ පනත මෙන්ම මෙම ආයතනය පිහිටුවීමට මූලික වූ ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල මහතාගේ අවසාන කැමැත්ත ද උල්ලංඝනය වී ඇත.

  • මෙරට වෛද්‍ය පීඨයන්ට බඳවා ගැනීමේ අවම කුසලතා මට්ටම උල්ලංඝනය වීම.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ නිර්ණායකයන්ට අනුව වෛද්‍ය විද්‍යාලට ඇතුළත් වීමේ අවම නිර්ණායක වනුයේ,

1. ශ්‍රී ලාංකික සිසුන් - අ. පො.ස උසස් පෙළ - ජීව විද්‍යා භෞතික විද්‍යා සහ රසායන විද්‍යා විෂයයන් - 2C සහ 1S සාමාර්ථ

2. ලන්ඩන් උසස් පෙළ සිසුන් - ජීව විද්‍යාව පවතින විද්‍යාව සහ රසායන විද්‍යාව විෂයන් - 2Bs සහ 1C සාමාර්ථ

එහෙත් කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීමේ දැන්වීමට අනුව ලන්ඩන් උසස් පෙළ සිසුන්ගේ අවම ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ 2C සහ 1Dය. මෙමගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ප්‍රමිතීන් පැහැදිලිවම උල්ලංඝනය වන අතර එය මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පමණක් නොව කොතලාවල වෛද්‍ය පීඨය ඇතුළත් වන සිසුන්ගේ අනාගතය සහ මුදල්ද අනතුරේ හෙළා ඇත.

  • බඳවා ගැනීම් පටිපාටියේ පාරදෘශ්‍ය බව බිඳ වැටීම සහ අසාධාරණත්වය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ සියලුම දෙනාට සම අවස්ථා ලැබීම සෑම විටම තහවුරු කර ඇති කරුණකි. එහෙත් කොතලාවල වෛද්‍ය පීඨයට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීම සඳහා සිසුන් බඳවා ගැනීමේ පටිපාටියේදී එහි අවසන් තීරණය වනුයේ පාලක මණ්ඩලයේ අභිමතය බව දක්වා තිබීම තුල සමස්ත ක්‍රියාවලියේ පාරදෘශ්‍ය බව බිඳවැටෙන අතර සිසුන් පිරිසකට අසාධාරණයක් ඇති වේ. එහිදී කොතලාවල වෛද්‍ය පීඨය හරහා තෝරාගත් 'විශේෂිත' පිරිසකට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේදැයි ජනතාව අතර සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක.

  • කොතලාවල වෛද්‍ය පීඨය මුහුණ දෙන ගැටලු උග්‍ර වීම.

මේ වන විටත් කොතලාවල වෛද්‍ය පීඨය තුළ සිටින සිසුන් හට සායනික පුහුණුව ලබාදීම සඳහා ඔවුන්ගේ ශික්ෂණ රෝහල ප්‍රමාණවත් නොවන අතර එම සිසුන්ට තවත් රෝහල් ගණනාවකට ගොස් සායනික පුහුණුව ලබා ගැනීමට සිදුවී ඇත. මෙමගින් රාජ්‍ය වෛද්‍ය පීඨ වල සිසුන්ටද අසාධාරණයක් සිදුවන අවස්ථා ඇති බව අප වෙත තොරතුරු ලැබී ඇත.

තත්ත්වය එසේ තිබියදී තවදුරටත් සිසුන් බදවා ගැනීම පුළුල් කිරීම හරහා සිදුවනුයේ සායනික පුහුණුවේ ප්‍රමිතිය පවත්වා ගැනීම දැඩි අර්බුදයකට ගමන් කරන අතර එය මෙරට සමස්ත වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියට ද හානියක් වීම වැළැක්විය නොහැකි වනු ඇත

  • ජනතා බදු මුදල් සහ රාජ්‍ය දේපළ අවභාවිතා වීම

මාධ්‍ය හරහා පසුගිය දිනවලදී වාර්තාව තොරතුරු වලට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂණ රෝහලක් තැනීම සඳහා රුපියල් බිලියන 35ක ණය මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා දී ඇති අතර එය  ගෙවීම සඳහා වසර දහයක සහන කාලයක් ද ලබා දී ඇත. ඒ අනුව 2023 වර්ෂයේ සිට මෙම ණය වාරිකය කොතලාවල වෛද්‍ය පීඨය විසින් ගෙවීමට සිදුවී ඇති අතර එහි පොලී මුදල ගෙවනු ලබන්නේ මහා භාණ්ඩාගාරය මගිනි. කොතලාවල වෛද්‍ය පීඨයෙන් මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ ව්‍යාපෘතිය කලඑළි බසින්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ණය ගෙවීමට මුදල් සොයා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙස බවද මාධ්‍ය හරහා වාර්තා කර තිබුණි. එය එසේ සිදුවන්නේ නම් යළි යළිත් මෙම ආයතනය හරහා මහජන ධනය බිලියන ගණනින් නාස්තියට සහ අවභාවිතාවට ලක්වන බව තහවුරු වන අතර ණය ගෙවීම වෙනුවෙන් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියද බිල්ලට ගනිමින් ඇත.

  • කොතලාවල වෛද්‍ය පීඨයේ සහ රටේ වෛදඨ අධ්‍යාපනයේ ප්‍රමිතිය අභියෝගයට ලක් වීම.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය (Accreditation Unit of SLMC) කොතලාවල වෛද්‍ය පීඨයට ප්‍රමිතිකරණ තහවුරුව ලබා දී ඇත්තේ එහි දැනට පවතින ව්‍යුහයටය. එහෙත් ඉන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකයේ කිසිදු අනුදැනුමකින් හෝ අනුමැතියක් තොරව සිදුකරන මෙම ව්‍යුහාත්මක වෙනස නිසා කොතලාවල වෛද්‍ය පීඨයේ ප්‍රමිතිකරන සහතිකය ප්‍රශ්නගත වීමේ තත්ත්වය මතුවිය හැකි අතර, එයා මෙරට සමස්ත වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියටද අහිතකර බලපෑමක් ඇති කිරීමේ අවදානමක් මතුවී ඇත.

මේ සියලු කරුණු හරහා යළි යළිත් තහවුරු වනුයේ කොතලාවල වෛද්‍ය පීඨයෙන් ශ්‍රී ලාංකික සිසුන්ට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ ව්‍යාපෘතිය හරහා එම වෛද්‍ය පීඨයට පමණක් නොව, මෙරට සමස්ත වෛද්‍ය අධ්‍යාපනයටත් අහිතකර ප්‍රතිවිපාක රාශියකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුවී ඇති බවයි.

මෙය රට තුළ නැවත උතුරු කොළඹ  වෛද්‍ය පීඨයක් හෝ SAITM ආයතනක් බවට පත්ව තවත් ඛේදවාචකයක් බවට පරිවර්තනය වීමේ මූලාරම්භය බවට පත්වනු ඇත.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේදී මෙන්ම ව්‍යුහාත්මක වෙනස්කම් වලට ලක්කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු පාර්ශ්ව වලට ඉදිරිපත්  කර ඇත.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමේදී  අදාල සියලු පාර්ශවයන්හි එකඟතාවය ලබා ගැනීම, නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පසුබිම් අධ්‍යයනයකින් තොරව මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් නොකිරීම, රාජ්‍ය වෛද්‍ය පීඨයන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා උපරිම රාජ්‍ය මැදිහත්වීම සිදුකිරීම  ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ආදී කරුණු ගණනාවක් එහි ඇතුලත්ය.

එම මූලික රාමුවෙන් ඔබ්බට ගොස් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ගනු ලබන අත්තනෝමතික තීන්දු තීරණ හරහා අවසානයේ සිදුවනුයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය බරපතල ලෙස කඩා වැටීමයි. එහි අහිතකර විපාක සම්බන්ධයෙන් පැහැදිලි වැටහීමක් සහ අවබෝධයක් නොමැති බලධාරීන් පිරිසක් විසින් කොතලාවල වෛද්‍ය පීඨයේ පාලනය කිරීමද මෙවන් පදනම් විරහිත තීන්දු තීරණගැනීමට හේතු වී ඇති බව පෙනේ.

වර්තමානය වන විට මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති උභතෝකෝටික තත්ත්වය සලකා බලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද  ජනතාව වෙත පුවත්පත් දැන්වීමකින් පසුගිය දිනකදී ඉදිරිපත් කරන ලදී. එහිදී ද මේ වන විටත් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය  පවත්වාගැනීමට එල්ල වී ඇති අභියෝග ගණනාවක් හඳුනාගෙන ඇති අතර වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා විද්‍යාත්මක පදනමකින් යුක්තව තීරණ ගැනීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.

මීට අමතරව එම පුවත්පත් නිවේදනය හරහා පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන්ගේ සායනික පුහුණුවට වෙන්කර ඇති හෝමාගම රෝහල NSBM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය පීඨයට ලබා දීමට කැබිනට් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයද ප්‍රශ්න කර ඇත.

මෙම සියලු කරුණු හරහා තහවුරු වනුයේ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ මතය හෝ නොවිමසා, මෙරට සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍යවරුන්ගේ අනාගත අවශ්‍යතාවය පිළිබඳ කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ශ්‍රී ලාංකීය වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන්  තීන්දු ගැනීමේ වැරදි ප්‍රතිපත්තිය තවමත් ක්‍රියාත්මක කරමින් තිබෙන බව සහ එහි අහිතකර ප්‍රතිවිපාක ඉතිහාසයේ කවරදාටත් වඩා නුදුරු අනාගතයේදී මෙරට වෛද්‍ය අධ්‍යාපනයට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

එවන් ඛේදවාචකයන් ඇතිවීම සම්බන්ධයෙන් මෙම තීරණ ගන්නා බලධාරීන්ට ජනතාව ඉදිරියේ වගකීම බාර ගැනීමට සිදුවනු ඇති අතර මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක බව රැක ගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද කොන්දේසි විරහිතව සටන් කරන බව යළි යළිත් අවධාරණය කරමු.