“නිදහස් අධ්‍යාපනය විකිණීම නවතනු - ගුරු විදුහල්පති ගැටලු විසඳනු“ - ලංකා ගුරු සංගමය මැයි දින ප්‍රකාශය

“නිදහස් අධ්‍යාපනය විකිණීම නවතනු - ගුරු විදුහල්පති ගැටලු විසඳනු“ - ලංකා ගුරු සංගමය මැයි දින ප්‍රකාශය

ලංකා ගුරු සංගමය 2024 ජාත්‍යන්තර කම්කරු දිනය යාපනයේ දී පවත්වන්නේ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික දේශාපලන අර්බුදයකට මුහුණ පා ඇති වාතාවරණයකය. රජපක්ෂ රෙජීමය විසින් ගෙනයන ලද අවිචාරවත් පාලනය හා රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ හිතවතුන් විසින් මෙරට ආර්ථික සම්පත් මුළුමනින් ම කොල්ලකෑම තුළ රට දැඩි ආර්ථික බංකොලොත් භාවයකට පත්විය. එම ආර්ථික අර්බුදය හමුවේ වීදිබට ජනයා විසින් ගාලුමුවදොර වාඩිලා ගැනීමෙන් ඇරඹි ‘Gota Go Home'අරගලය මගින් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පෙරලා දමා විධායක ජනාධිපතිවරයා රටින් පලවා හැරීමට සමත් විය. එහෙත් ජනමතයට පිටුපා පාර්ලිමේන්තුව තුළ සිදු කරන ලද බල කොල්ලය තුළ කිසිදු ජන පදනමක් නොමැති, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එකම ආසනයක් හෝ දිනා නොගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් විය.

ව්‍යවස්ථානුකූලව එළඹෙන නොවැම්බර් මාසයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු අතර මැතිවරණයක් පැවැත්වීම් තවමත් අවිනිශ්චිත අතර, දේශපාලන වේදිකාව තුළ මැතිවරණ සූදානමක් පවතී. උතුරේ ජන සංහාරක යුද්ධය සිදු කිරීම සඳහා රාජපක්ෂ කල්ලියට තම පූර්ණ අනුග්‍රහය දක්වන ලද ජවිපෙ විසින් මෙහෙයවනු ලබන ජාතික ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරයක් මේ වන විටත් දියත් කර ඇති අතර, සමගි ජන බලවේලය ද තම මැතිවරණ ව්‍යාපාරය පෙරට ගෙන යමින් සිටින්නේ ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් වී නොමැති පසුබිමකය.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට අනුව රටේ සම්පත් විකුණා දමමින් සිටින අතර, මේ වන විටත් විදුලිබල මණ්ඩලය කොටස් 6 කට වෙන් කොට විකූණා දැමීමට හැකි වන ආකාරයෙන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කොට ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, රාජ්‍ය බැංකු, දුම්රිය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, තැපැල් දෙපාර්තමේන්තුව සතු දේපළ විදේශ සමාගම්වලට විකූණා දැමීමට මේ වන විටත් පිඹුරුපත් සකසා ඇති අතර, ජනවරමක් නොමැතිව බලයට පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අත්තනෝමතිකව මෙම සම්පත් විකුණා දැමීමේ කටයුතු පෙරට ගෙනයමින් සිටී.

ජනතා අරගලය හමුවේ ධනපති පාලක පැලැන්තිය වෙතින් ගිලිහුණු බලය තම පාලක පැලැත්තිය වෙත තහවුරු කර ගැනීමට රනිල් වික්‍රමසිංහ ඉතා නග්න ලෙස උද්ඝෝෂණ, අරගලය, පා ගමන් මර්දනය කරමින් සිටින අතර, අධිකරණයෙන් වරදකරු වූවෙකු පොලිස්පති බවට පත් කරමින් පොලිස් රාජ්‍යයක් රට තුළ නිර්මාණය කරමින් පවතී.

ඒ අතර මෙතෙක් මෙරට පොදු ජනතාවගෙන් උදුරාගත නොහැකි වූ නිදහස් අධ්‍යාපන අයිතිය මුළුමනින් ම අහෝසි කිරීමට අවශ්‍ය ආකාරයෙන් ‘නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ රනිල් වික්‍රමසිංහ විසින් කරලියට ගෙන ඇත. මෙතෙක් උසස් අධ්‍යාපනය, රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මුදලට විකීණීමට කැසකැවූ පාලක පැලැන්තිය යෝජිත නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඔස්සේ පාසල් අධ්‍යාපනය ද විකූණා දැමීමට අවශ්‍ය කටයුතු සැලසීමට යෝජනා කර ඇත.

ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් වූ උතුරේ ජනයාගේ සාධාරණ ඉල්ලීම් නොතකා හැර ජන සංහාරක යුද්ධයක් මගින් උතුරේ දෙමළ ජනයාගේ සාමූහික ඉල්ලීම් පාගා දමා වසර 15 කට ආසන්න කාලයක් ගත වී ඇත. එහෙත් තවමත් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ජනවාර්ගික ගැටලුවට ඔවුන් පිළි ගන්නා විසඳුමක් ලබා දීමට අවැසි සාකච්ඡාවක් හෝ පෙරට ගෙන නැත. එසේම යුද්ධයෙන් පසු, අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින් අඛණ්ඩ අරගයක යෙදන උතුරේ ජනයාට තවමත් යුක්තිය ඉටු කර නැත. එසේම උතුරේ ජනයාගේ ඉඩම් කොල්ලය නතර කිරීමට හෝ අවතැන් වූවන්ට ඔවුගේ පාරම්පරික ඉඩම් ලබාදීමට කටයුතු නොකර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ඉල්ලීම් නොතකා හරමින් සිටී.

සාමාන්‍ය ජනයාට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දැරිය නොහැකි තරම් වන අතර, ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ප්‍රවාහන හා සෞඛ්‍ය වියදම් දිනෙන් දින ඉහළ යමින් පවතී. එසේම දැඩි බදු බරක් පොදු ජනයා වෙත පටවා ඇති අතර, ආර්ථික කොල්ලයට වගකිව යුත්තන් නිරුපද්‍රිතව සිටියදී මෙරට පොදු ජනයාට ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා බදු ගෙවීමට සිදුව ඇත.

එහෙත් වැඩකරන පන්තියට ලැබෙන වැටුප් හෝ දීමනාවල කිසිදු වැඩිවීමක් නොමැති අතර, වැටුප් අරගල සියලු ක්ෂේත්‍රවල පැන නැගී ඇත. තෝරාගත් ක්ෂේත්‍ර සඳහා පමණක් ප්‍රමාණවත් නොවන ආකාරයෙන් වැටුප් හා දීමනා ලබා දෙමින් වැටුප් අරගල මොට කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වී ඇත. මෙරට ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ බරපතල වැටුප් විෂමතාවය විසඳීමට ද ආණ්ඩුව පියවර ගෙන නොමැති අතර, 2024 අයවැය තුළ ඒ පිළිබඳ සදහනක් හෝ නොවීය. වසර 30 කට ආසන්න කාලයක් ගුරු - විදුහල්පතිවරුන්ට බරපතල වැටුප් විෂමතාවයක් පැවති අතර, 2021 වසරේ ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩව දින 120 කට වැඩි කාලයක් ගෙනගිය අරගලය හමුවේ එම වැටුප් විෂමතායෙන් 1/3 ක කොටසක් පමණක් 2022 වසරේ සිට ලබා දෙන ලදී. එහි ඉතිරි 2/3 ලබා ගැනීම සඳහා ලංකා ගුරු සංගමය ප්‍රමුඛ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නැවතත් අරගලයක් දියත් කොට

ඇතත් ආණ්ඩුවෙන් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති තත්වය තුළ එම අරගලය තීව්‍රකර පෙරට ගෙනයාමට කටයුතු යොදමින් පවතී.

ගොවි ජනතාව එක් පසෙකින් තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යෙදවුම් වල අධික මිල හේතුවෙන් දැඩි පීඩාවට පත්ව ඇති අතර, අනෙක් පසින් තම කෘෂි නිෂ්පාදන සඳහා නිසි වෙළඳපලක් හෝ මිලක් නොමැති කමින් දැඩි පීඩාවකට ලක්ව ඇත. ඉන්ධ මිල හමුවේ මෙරට සමස්ත ධීවර ප්‍රජාව දැඩි පීඩාවකට පත්ව ඇති අතර, උතුරේ ධීවරයාට ඊට අමතරව ඉන්දීය ධීවරයන් විසින් තම මුහුදු ප්‍රදේශ කොල්ලකෑමේ අර්බුදයට ද මුහුණ පැමට සිදුව ඇත. ඉන්දියාවේ අතකොලුවක් බවට පත්වෙමින් සිටින වත්මන් පාලකයන්ට මෙම ධීවර ගැටලුව විසඳීමට සැබෑ අවශ්‍යතාවයක් නොමැති වීම බරපතල ඛේදනීය තත්වයකි. එසේම වතුකරයේ ජනතාව තම දෛනික වැටුප් ඉහළ නංවන ලෙසට නැවතත් අරගලයක් ආරම්භ කර ඇතත් ඔවුන්ගේ ඉල්ලීම් ද වත්මන් පාලකයන් විසින් ඉටුකර නැත.

මේ ආකාරයට මෙරට පවතින ආර්්ථික අර්බුදකාරීත්වය, දේශපාලන හා සමාජ ව්‍යාකූලත්වය දැඩමීමා කර ගනිමින් රනිල් රාජපක්ෂ පාලක කල්ලිය විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හකුලා දමමින් ඇති අතර, තම ඉල්ලීම් වෙනුවෙන් පෙරට එන ජනතාව නග්න ලෙස මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

මෙවැනි පසුබිමක් තුළ මෙවර මැයි දිනය සැමරීමට මෙරට වැඩ කරන පන්තියට සිදුව ඇති අතර, මෙරට ගුරුවරු විදුහල්පතිවරු වන අප, 66 වසරක ඉතිහාසයකට උරුමකම් කියන ලංකා ගුරු සංගමය වටා රොක්ව පහත ඉල්ලීම් පෙරදැරිව යාපනය සංගිලියන් උද්‍යානයේ දී ජාත්‍යන්තර කම්කරු දින රෑළිය පවත්වමු ! මෙම කම්කරු දිනයේ දී මෙරට පොදු දේපළ ඇතුළු සම්පත් විකුණා දැමීම නරත කිරීමටත්, අධ්‍යාපනය විකුණා දැමීම නතර කිරීමටත්, උතුරේ ජනයාගේ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත්, ගුරු-විදුහල්පතිවරු ඇතුළු මෙරට වැඩකරන ජනයාගේ ඉල්ලීම් දිනා ගැනීමටත් අඛණ්ඩ අරගලයක් පෙරට ගැනීමට කටයුතු කරමු !

ඉල්ලීම්

  • අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල අඩු කර පොදු ජනතාවට සහන සලසනු !
  • වැඩකරන ජනයා මත පටවා ඇති ඍජු බදු ඉවත් කරනු !
  • වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 ක ලබා දී ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරනු !
  • වැඩකරන ජනයාගේ වැටුප් වැඩි කරනු !
  • සියලු රාජ්‍ය සේවකයන්ට රු.20,000/- ක දීමනාවක් ලබාදෙනු !
  • ජීවන වියදම් දීමනාව ජීවන අංකයට සරිලන ලෙස ලබාදෙනු !
  • උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරනු !
  • ජනවාර්ගික ගැටලුවට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පිළිගන්නා දේශපාලන විසඳුමක් ලබාදෙනු !
  • උතුරේ අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු කරනු !
  • මර්දනය නවතනු !
  • නිදහස් අධ්‍යාපනය විනාශ කරන නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වහා හකුලාගනු !
  • වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීමේ උත්සාහයන් නතර කරනු !
  • නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරනු !
  • විදුලිබල මණ්ඩලය විදේශ සමාගම්වලට විකුණා දැමීමට යෝජිත විදුලිබල පනත වහා හකුලාගනු !
  • ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, දුම්රිය, තැපැල් දෙපාර්තමේන්තු දේපළ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රාජ්‍ය බැංකු ආදී රාජ්‍ය සම්පත් විකිණීම නතර කරනු !
  • ධීවර ජනයාගේ ගැටලු වහා විසඳනු !
  • උතුරු මුහුදේ ධීවර සම්පත් කොල්ලය නරත කරනු !
  • වතුකරයේ වැඩකරන ජනයාට ජීවත්වීමට ප්‍රමාණවත් දෛනික වැටුපක් ලබාදෙනු !
  • කෘෂි යෙදවුම් මිල අඩු කරනු ! කෘෂි නිෂ්පාදන සඳහා ගොවීන්ට සාධාරණ මිලක් සහ වෙළඳපලක් ලබාදෙනු !
  • ගොවිජනයාගේ ඉඩම් සමාගම්වලට ලබාදීම නතර කරනු !
  • ගුරු සේවයේ උසස්වීම් සඳහා වූ මොඩියුල හා වෘත්තීය සමාලෝචනය සඳහා සහන කාලයක් ලබාදෙනු !
  • විදුහල්පති සේවයේ වෘත්තීය ගැටලු විසඳනු !
  • ගුරු හිඟයට පිළියම් යොදනු !
  • ව්‍යවස්ථානුකූලව මැතිවරණ පවත්වනු !
  • ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු !
  • අනීතික ඝාතන නතර කරනු !

ලංකා ගුරු සංගමය