මැයි දින ගමන නතර නොකර ඉදිරියටම යාමට පෙළ ගැසෙමු

මැයි දින ගමන නතර නොකර ඉදිරියටම යාමට පෙළ ගැසෙමු

කම්කරු පිරිස් පෙරටු කරගත් වඩා ශක්තිමත් පුළුල් සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමටත්, එය ඉදිරි මැතිවරණයකදී ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටින දේශපාලන පක්ෂ වෙත ස්ථිර කොන්දේසි වශයෙන් ඉල්ලීම් සමාජගත කරන්නාවූ ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ලෙස ස්වාධීන වෘත්තීය සමිති හා ජනතා හා ප්‍රජා සංවිධාන වලට මෙයින් විවෘත ඇරයුමක් කරන බව ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව වෘත්තිය සමිතිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මැයි 1 වන බදාදා දින රැළි 40 ට වැඩි සංඛ්‍යාවෙන් සාර්ථක ඒකාබද්ධ කම්කරු මැයි දින රැළිය පැවැත්වීමට හැකි වූයේ අපට ය. අපගේ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති මැයි දින රැළියේ සාර්ථකත්වය තිබූයේ එය කම්කරුවන්ගේ හා අනෙක් ජනතාවගේ සැබෑ ප්‍රශ්න මුල් කරගත් පක්ෂවල නායකත්වයෙන් පැවති මැතිවරණ රැළි වලට යට නොවුනු, ඒවායෙන් ස්වාධීන වූ කම්කරු මැයි දින රැළියක් වූයෙනි.

අනෙක් සියල්ලෝ ජාත්‍යන්තර කම්කරු දිනය හෑල්ලු කරමින්, කම්කරුවන්ගේ සංවිධානාත්මක ශක්තිය තමන්ගේ ඡන්ද ව්‍යාපාර වලට ලඝු කර, මෙතෙක් ඉතිහාසයෙහි කම්කරු ඉල්ලීම්, කම්කරු අයිතීන් වෙනුවෙන් සිය ජීවිත කැප කළ සියල්ලන්ට අපහාස කෙරුණු ඡන්ද රැස්වීම් පැවැත් වූහ. 1886 චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේ දී පැය 8 ක වැඩ දිනයක් ඉල්ලා සටන් කර දිවි පිදූ අපගේ ජාත්‍යන්තර සගයන් මෙන්ම, අපේ රටේ වෘත්තීය සමිති අයිතිය සහ වැටුප් වැඩිකර ඉල්ලමින් 1938-39 වන විට වැවිලිකරයේ කම්කරු සටන් ආරම්භ වූ අතර, 1940 ජනවාරියේ මූල්ඔය වත්තේ වැඩ වර්ජකයින්ට පොලීසිය වෙඩි තැබීමෙන් මිය ගිය පළමු කම්කරුවා ගොවින්ධන් විය. අනතුරුව 1947 ජුනි මස වැඩ වර්ජකයින්ගේ පෙළපාලියකට දෙමටගොඩදී පොලිසිය වෙඩි තැබීමෙන් මිය ගිය රජයේ ලිපිකරුවකු වූ කන්දසාමිගෙන් පසු 1980 ජුනි ජාතික විරෝධතා දින පිකට් කිරීමකට එ.ජා.ප ආණ්ඩුවේ ඇමතිවරුන් මැරයින් යොදවා පහර දීමෙන් මිය ගිය සෝමපාල දක්වා කම්කරු අයිතීන් වෙනුවෙන් දිවි පිදූ සහ රැකියා අහිමි කෙරුණු සියල්ලන් එවැනි මැයි දින ඡන්ද රැස්වීම් වල අමතක කෙරුණි.

ජාත්‍යන්තර කම්කරු දිනයේ මූලික පදනම සහ අරමුණ එවැනි කම්කරු වීරයින් වෙනුවෙන් සේවා තත්ත්වයන්, වැටුප් සහ අයිතීන් දිනා ගැනීමේ කම්කරු ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යාමය. එවන් අරමුණක් ඇතිව අපගේ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති මැයි දින පෙළපාලිය හා රැළිය කම්කරු හා සමාජීය ගැටළු වෙනුවෙන් ආරම්භක විසඳුම් ලෙස “ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලනයක් සමග උද්ධමනයට සරිලන වැටුපක්” ඉල්ලා පවත්වනු ලැබූ මැයි දින සැමරුමක් විය. එනිසාම අප ඉදිරිපත් කළ ඉල්ලීම් හා යෝජනා දිනා ගැනීමට ආණ්ඩුවට කෙරෙන විවෘත බලපෑම් මැයි දින පෙළපාලියෙන් හා රැස්වීමෙන් අවසන් නොවනු ඇත.

හෙට සිට කම්කරු පිරිස් පෙරටු කරගත් වඩා ශක්තිමත් පුළුල් සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට මෙවර මැයි දින රැළියේදී අපි තීන්දු කළෙමු. එය ඉදිරි මැතිවරණයකදී ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටින දේශපාලන පක්ෂ වෙත ස්ථිර කොන්දේසි වශයෙන් අපගේ ඉල්ලීම් සමාජගත කරන්නාවූ ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ලෙස ගොනු විය යුතු යැයි අපි කියමු. ඒ වෙනුවෙන් අප සමග හවුල් වන ලෙස සෙසු ස්වාධීන වෘත්තීය සමිති හා ජනතා හා ප්‍රජා සංවිධාන වලට මෙයින් අපි විවෘත ඇරයුමක් කරමු.

ස්තූතියි

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය

නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාර්ස් ශ්‍රී ලංකා

අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහ සම්මේලනය