සොරා ගත් ධනය අත්පත් කර ගැනීමේ යෝජිත නීතිය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම - TISL

සොරා ගත් ධනය අත්පත් කර ගැනීමේ යෝජිත නීතිය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම - TISL
  • ‘සොරා ගත් ධනය නැවත ලබා දෙනු’ ජනතා අරගලයේ ප්‍රබල සටන් පාඨයක් විය.
  • ‘අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ පනත’ (Proceeds of Crime Act- POCA) සඳහා ප්‍රතිපත්තිමය සහ නිතිමය රාමුව සකස් කිරීම සඳහා 2019 වසරේ ආරම්භ කරන ලද රාජ්‍ය වත්කම් නැවත ලබා ගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ TISL ආයතනය සාමාජිකත්වය දරණ ලදී.
  • 2023 දී POCA සැකසීම සඳහා නව කමිටුවක් පිහිටුවන ලද අතර, එමඟින් රජය විසින් මහජන සහ සිවිල් අදහස් විමසීම පැහැර හැරීමට කටයුතු කර ඇත.
  • අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි POCA පනත් කෙටුම්පත දැන් ලබා ගත හැකි අතර, එය සමාලෝචනය කර ප්‍රතිපෝෂණ ලබා දෙන ලෙස TISL ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
  • ශ්‍රී ලංකා රජය සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇති කරගෙන ඇති එකඟතාවයන්ට අනුව නවපනත් ගෙන ඒමට සිදු වේ. එබැවින්, එම පනත් හඳුන්වා දීමේදී රජය නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරන බවටත්, ප්‍රජාතන්ත්‍රවාදීව සියලු දෙනා ඇතුළත් වූ උපදේශන ක්‍රියාවලියකට අනුගත වන බවටත් සහතික කිරීමට IMF ආයතනය මැදිහත් විය යුතුය.

මහා පරිමාණ දූෂණය නිසා දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව පීඩා විඳිමින් සිටියි. රටේ ආර්ථික සංවර්ධනය අඩාල වීමටත් රජය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීමටත් මෙය ප්‍රධාන හේතුවකි. යුක්තිය, විනිවිදභාවය මෙන්ම රටට ප්‍රතිලාභ අත් වන පරිදි නීති විරෝධී ලෙස උපයාගත් ධනය ආපසු ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ පුරවැසි හඬ මේ වන විට තීව්‍ර වී ඇත. 

‘අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ පනත’ (POCA) හඳුන්වා දීමේ අරමුණ නම් විදෙස් රට වල සඟවා ඇති නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් සොයා ගැනීම, අත්පත් කර ගැනීම, නැවත ලබා ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා වන නීති රාමුව ඉදිරිපත් කිරීමයි. දූෂිත ක්‍රියාවන්ට වගකිව යුතු වරදකරුවන් හඳුනා ගැනීමටත් සොරකම් කළ වත්කම් නැවත ඒවායේ නියම අයිතිකරුවන් වන ශ්‍රී ලංකික ජනතාව වෙත ආපසු ලබා දීම සහතික කිරීමටත් මෙම නීති අත්‍යාවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති ඉහත අරමුණ සඳහා ප්‍රමාණවත් නොවන බැවින්, නව නීති සම්පාදනයක අවශ්‍යතාවය බොහෝ කලක සිට අවධාරණය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් මෑත කාලීනව ඉදිරිපත් කළ ව්‍යුහාත්මක මිණුම් දඬු යටතේ දක්වා ඇති පරිදි, 2024 මාර්තු වන විට දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට (UNCAC) අනුකූලව නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් නැවත ලබා ගැනීම පිළිබඳ නීති රජය විසින් හඳුන්වා දිය යුතුව තිබුනි.   

ඒ අනුව, අධිකරණ අමාත්‍යාංශය සිය නිල වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 10 දිනැති ‘අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීතියේ ප්‍රතිපත්ති, නෛතික රාමුව සහ කෙටුම්පත නිර්මාණය කිරීම සඳහා වූ කමිටුවේ වාර්තාව’ මේ වන විට පළ කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මූලිකත්වය දරන මෙම කමිටුව සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වේ.

අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ පිළිබඳ පනත් කෙටුම්පතක් එම වාර්තාවට ඇතුළත් වේ. ‘සාමාන්‍ය විධිවිධාන සහ වැරදි; අපරාධයකින් ව්‍යුත්පන්න වූ දේපළ පිළිබඳ විමර්ශන, ඒවා භාවිතයට සීමා පැනවීම සහ රජයේ භාරයට ගැනීම; අපරාධයකින් ව්‍යුත්පන්න වූ දේපළ අධිකරණය මගින් තහනම් කිරීම (Judicial Freezing); අපරාධයකින් ව්‍යුත්පන්න වූ දේපළ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම; රාජසන්තක කිරීමේ කටයුතු; අපරාධයේ වින්දිතයින් සඳහා සිවිල් නිති ප්‍රතිපාදන; අපරාධයකින් ව්‍යුත්පන්න වූ දේපළ කළමනාකරණ අධිකාරිය; අපරාධයකින් ව්‍යුත්පන්න වූ දේපළ බැහැර කිරීම සහ එයින් ලබාගත් මුදල් භාවිතා කිරීම; අපරාධ වින්දිතයින් සඳහා වූ සහන භාර අරමුදල; ජාත්‍යන්තර සහයෝගීතාව; සහ විවිධ ප්‍රතිපාදන’ එම කෙටුම්පතෙහි අන්තර්ගත වේ.

මෙම වාර්තාව කිසිදු මහජන අදහස් විමසීමකින් තොරව කෙටුම්පත් කර තිබීම පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සිය අප්‍රසාදය පළ කරයි. POCA වැනි ප්‍රධාන දූෂණ විරෝධී නීති සම්පාදනය කිරීමේදී ශ්‍රී ලංකා රජය විසින් මහජන සහ සිවිල් සමාජ උපදේශනය නොසලකා හැරීම කණගාටුවට කරුණකි.  

සොරකම් කරන ලද වත්කම් ආපසු ලබා ගැනීම සහ ඒවා කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දීමට නියමිත මෙම පනත් කෙටුම්පත, මහජනතාව, සිවිල් සමාජය සහ දේශීය විශේෂඥයින් වැනි විවිධ පාර්ශ්වකරුවන්ගේ පුළුල් දායකත්වයක් සහිතව සැකසිය යුතු තීරණාත්මක නීති සම්පාදනයක් ලෙස දැක්විය හැක. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට අනුකූල සාර්ථක නීතියක් පැනවීමට එය වැදගත් වේ.

විනිවිදභාවයක් සහ නිසි උපදේශනයක් නොමැතිව සිදුකර ගෙන යන මෙම ක්‍රියාවලියට තාක්‍ෂණික සහය ලබාදුන් IMF ආයතනය ද මේ සියල්ල අනුමත කර ඇති බවක් පෙනෙන්නට තිබීම ප්‍රශ්න සහගතය. 

මේ කරුණු සැළකිල්ලට ගනිමින්, අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීතිය පිළිබඳව TISL ආයතනය මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම ආරම්භ කර ඇත. මෙම යෝජිත නීතිය පිළිබඳ ඔබට මතු කිරීමට තිබෙන නිශ්චිත කරුණු “‘අපරාධ වලින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීතිය සඳහා ප්‍රතිපෝෂණ” යන මාතෘකාව සහිතව This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනයට යොමු කිරීමට කාරුණික වන්න. 

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන දින වකවානු තවමත් අවිනිශ්චිත වේ. TISL ආයතනය වෙත ලැබෙන මහජන ප්‍රතිපෝෂණ අධිකරණ අමාත්‍යාංශය වෙත ලැබීමට සලස්වනු ලැබේ. 

මෙම පනත සකස් කිරීමේදී මහජනතාව, දේශීය විශේෂඥයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ අර්ථවත් සංවාදයක යෙදෙන ලෙස TISL ආයතනය රජයෙන් ඉල්ලා සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු වන අයුරින් සහ ඔවුන්ගේ අභිලාෂයන් පිළිබිඹු වන අයුරින් මෙම නීතිය සකස් කිරීම සඳහා එය උපකාරී වනු ඇත. ඒ තුළින්, විනිවිදභාවය සහ වගවීම ඇති කිරීම සඳහා වටිනා මෙවලමක් ලෙස මෙම නීතිය ඉදිරියේදී යොදා ගැනීමට හැකි වනු ඇත. 

POCA කෙටුම්පත සහිත වාර්තාව: https://www.moj.gov.lk/images/2024/Legal/Propossed-law-on-Proceeds-of-crime.pdf