රට හැර යෑමෙන් මතුවන සමාජ ආර්ථික ගැටලු

රට හැර යෑමෙන් මතුවන සමාජ ආර්ථික ගැටලු

රට හැර යෑමෙන් මතුවන සමාජ ආර්ථික ගැටලු මෑත කාලීනව ලාංකිකයන් විදෙස්ගත වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර එය රටට සමාජ ආර්ථික වශයෙන් ප්‍රබල බලපෑමක් ඇති කිරීමට සමත් තත්ත්වයකි. මෙම විදෙස්ගත වීමේ ප්‍රවණතාව රටේ ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා දැක්වූ අදහස් ඇසුරෙන් සම්පාදිත ලිපියකි.

පෙර වර්ෂයන්ට සාපේක්ෂව මෑතකාලීන වසර දෙක තුන තුළ විදේශ රැකියා, අධ්‍යාපන කටයුතු මෙන් ම වෙනත් විවිධ හේතූන් වෙනුවෙන් ලාංකිකයන්ගේ විදෙස්ගත වීමේ ප්‍රමාණය සංඛ්‍යාත්මක වැඩි වීමක් දක්නට ලැබෙයි. ඈත අතීතයේ සිටම ලංකාව වෙළෙඳ කටයුතු, ආර්ථික කටයුතු හරහා ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇත. අතීත යටත්විජිත යුගයන්වලදී සංක්‍රමණිකයෝ මෙරටට පැමිණියා මෙන් ම විදෙස් රටවලට ද සංක්‍රමණ සිදුවිය. මෙරටට වතු වගාව, දුම්රිය පද්ධති, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි දේ හිමි වූයේ එම යටත්විජිතකරණයේ ප්‍රතිඵල ලෙසයි. එම කාලය තුළ විශේෂයෙන් ම විදෙස් රටවලින් මෙරටට ශ්‍රම ගලනයක් සිදුවිය. නමුත් මේ වන විට මෙරටින් විදෙස් රටවලට ශ්‍රම ගලනයක් සිදුවේ. විශේෂයෙන් ම මෑත කාලීනව තරුණ කණ්ඩායම් අතර විදෙස්ගතවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත. රටේ පවතින ආර්ථික අස්ථාවරබව, රැකියා වෙළෙඳපොළ තුළ විශ්වාසය බිඳ වැටීම, අනාගතය පිළිබඳ පවතින අවිනිශ්චිත තත්ත්වය සහ ඉහළ ජීවන වියදම හමුවේ විදෙස්ගත වීම එකම විසඳුම බවට ඔවුන් තුළ මතයක් ගොඩනැගී ඇත. කෙනෙක් රැකියාවක් නොමැතිකම නිසා විදෙස්ගත වනවා විය හැකියි. නැත්නම් ගෙයක් දොරක් ඉදිකර තම පවුල නඩත්තු කිරීමට මෙරට තුළ අපහසු නිසා විදෙස්ගත වනවා විය හැකිය. එසේත් නොමැති නම් තම අධ්‍යාපන සුදුසුකම්වලට ගැළපෙන රැකියා ක්ෂේත්‍රයක් මෙරට තුළ නොමැති වීම නිසා සුදුසු රැකියාවක් වෙනුවෙන් විදෙස්ගත වනවා විය හැකිය. එලෙසම උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වී එහිම රැකියාවක් ලබාගෙන එහි ජීවත්වන පිරිසක් ද සිටියි. නමුත් මේ කිසිවක් නොමැතිව නුපුහුණු ශ්‍රමිකයන් ලෙස විදෙස්ගතවන පිරිසක් ද ඇත.

විදෙස්ගත වීමට මෙබඳු විවිධ හේතුන් බලපාන නමුත් තරුණ පරපුර අතර විදෙස්ගත වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වීමට ඔවුන්ගේ චින්තන ශක්තිය ද හේතු වී ඇත. ඔවුන්ගේ සිතිවිලි වෙනස් වී ඇත. අප රටට අතීතයේ සිට පැමිණි ගමන් මඟක්, හර පද්ධතියක් ඇත. අතීතයේ අපේ මිනිසුන් ඉරෙන් හඳන් පවා වැඩගත් බව සඳහන් වේ. නමුත් අලුත් විදිහට ලෝකය දෙස බලන තරුණ ප්‍රජාවට එම පැරණි හර පද්ධතිය පිළිබඳ අවබෝධයක් නැත. කුමන හෝ ආකාරයකින් විදෙස් රටකට ගිය පසු ඔවුන් නැවත මෙරටට පැමිණෙන්නේ නැත. පැමිණෙනවානම් එසේ පැමිණෙන්නේ මවුපියන් හෝ අඹු දරුවෝ සිටින පිරිස පමණයි. ඔවුහු මෙරට සිටින වැඩිහිටියන් හෝ දෙමව්පියන් වෙනුවෙන් යම් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවන නමුත් එය කෙටිකාලීනයි. දිගු කාලීනව එවීමක් සිදුනොකරයි. එමෙන් ම මෙරට තුළ ඔවුන් සතු දේපළ වත්කම් පවා අලෙවි කිරීමට පෙළඹෙන අතර රට තුළ සිටි උගත් බුද්ධිමත් වැඩ කළ හැකි පිරිස විදෙස්ගත වූ පසු රට තුළ ඉතුරුවන්නේ ආබාධිත දුබල වැඩිහිටි පිරිසක් පමණයි. මේ තත්ත්වය මත නුදුරේදි ම රට තුළ ඇති ශ්‍රී ලාංකිකත්වය පවා රටෙන් ගිලිහී යනු ඇත. මෙම දශකයේ අග බාගය වන විට රට තුළ සිටින වැඩිහිටි ජනගහනය රටෙන් බාගයක් බවට පත් වන අතර වැඩ කළ හැකි පිරිස විදෙස් ගත වීම නිසා ඔවුන් රැකවරණයක් නොමැතිව අසරණ වේ. මෙම තත්ත්වයට නුදුරේදීම රටට මුහුණ දීමට සිදුවන අතර රජයට පවා ඔවුන්ව නඩත්තු කළ නොහැකි තත්ත්වයක් උදා වේ. විදෙස්ගත වන්නන්ගේ ප්‍රේෂණ මුල් කාලීනව රටට ලැබුණත් දීර්ඝකාලීනව හිමි නොවීම ඊට හේතු වේ.

මෙහි ඇති තවත් කරුණක් වන්නේ මෙලෙස විදෙස්ගතවන්නන් යනු මෙරට තුළ එක ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා ජනතා බදු මුදලින් නොමිලේ අධ්‍යාපනය ලැබූ පිරිසක්. එලෙස ම ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා නම් එයට තවත් වසර කිහිපයක් එකතු වේ. නමුත් එලෙස රටේ බදු ආදායමෙන් වසර ගණනක් වියදම් වූ මුදල්වත් විදෙස් ගත වූ පසු නැවත ප්‍රේෂණ ලෙස රටට එවනවාද යන ගැටලුව පවතියි. මීට අමතරව විදෙස් රටවල අධ්‍යාපනය වෙනුවෙන් පාඨමාලාව වෙනුවෙන් එරට මුදලින් ගෙවීම් කළ යුතුයි. එවිට මෙරට මුදල් නැවතත් වෙනත් රටක් වෙත ගලා යාම සිදු වේ. ආර්ථික හා මූල්‍ය අර්බුදයක් පවතින අවස්ථාවක රටේ මුදල් විදේශයන්ට ගලා යෑමෙන් රට තුළ පවතින මූල්‍ය අර්බුදය තවත් උග්‍ර වේ. විදෙස් අධ්‍යාපනයට යොමුවන පිරිස මේ පිළිබඳ තැකීමක් නොකරයි. දෙමාපියන් පවා දරුවන්ගේ ස්වාර්ථය සිතා මෙරට දේපොළ විකුණා හෝ එම මුදල් ගෙවීම සිදු කරයි. ඉන් ඔවුන්ට පසුකාලීනව සිදුවන හානිය සිතන්නේ නැත. ඔවුන්ට දරුවන්ගේ රැකවරණය දිගින් දිගටම හිමිවනවා නම් ගැටලුවක් නැත. එහෙත් එසේ නොලැබුණහොත්? එවිට විශාල ගැටලුවක් ඇති වේ. මෙරට තුළ නොමිලේ අධ්‍යාපනය ලබාගෙන දේපළ පවා විකුණා විදෙස් ගත වූ පසු එම මුදල් නැවත මෙරටට එවනවා දැයි සොයා බැලිය යුතුයි. එසේ එවිය හැකි නම් මෙම ක්‍රියාවලිය සමබර වේ. නමුත් සත්‍ය නම් ඔවුන්ට බලාපොරොත්තුවන රැකියාව හෝ ආදායම විදෙස් ගත වූ පමණින් ලැබෙන්නේ නැත. ඔවුහු විදෙස් රටවල තම ජීවිතය පවත්වාගෙන යන්නේ පවා අපහසුවෙන් ය. එවන් තත්ත්වයක් මත ඔවුන්ට මෙරටට මුදල් එවීම සිදු කළ නොහැකියි. රටේ ශ්‍රමය විදෙස් රටවලට ගලා යන ආකාරය දකින නමුත් එහි ඇති අනාගත අවදානම කිසිවෙකු දැක නැත. තම බාල පරම්පරාව විදෙස්ගත වීමෙන් සිදුවන හානිය මෙරට ඉතුරුවන වැඩිහිටි පරපුරට බුක්තිවිඳීමට සිදු වේ. බාල පරම්පරාව විදෙස්ගත වන්නේ වැඩිහිටි පරම්පරාවේ මුදල් දේපොළ අයිතිය පවා අහිමි කරමින් ය. එවිට රට තුළ ඔවුන්ට තිබූ ස්වාධීනත්වය බිඳ වැටෙයි. කාගෙන් හෝ පිහිටක් ලැබෙන තුරු එසේත් නොමැති නම් දරුවන් මුදල් එවන තුරු ඔවුන්ට බලා සිටීමට සිදු වේ. රජයෙන් යමක් ලැබෙන තුරු ඔවුන්ට බලා සිටීමට සිදුවේ. නුදුරු අනාගතයේදීම මෙම තත්ත්වයට මුහුණ දීමට මෙරටට සිදුවනු ඇත.

මේ ආකාරයට මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත වන ලෝකයේ ප්‍රධාන කලාප පහක් හඳුනාගත හැකිය. ඔස්ටේ්‍රලියාව නවසීලන්තය වැනි රටවල්, යුරෝපය එංගලන්තය ප්‍රංශය වැනි රටවල්, ඇමෙරිකාව ඉතාලිය කැනඩාව වැනි රටවල්, මැදපෙරදිග රටවල් සහ ජපානය කොරියාව වැනි රටවල් ලෙස මෙම කලාප පහ හඳුනාගත හැකිය. මෙම කලාප වෙත අප රට තුළ ඇති පුහුණු නුපුහුණු ශ්‍රමය අපනයනය කිරීම හරහා අප මානව ප්‍රාග්ධනය අපනයනය කරන රටක් බවට පත් වී ඇත. නමුත් අතීතයේ අප මානව ප්‍රාග්ධනය ආනයනය කළ රටක් ලෙස පැවතුණි. ඉන්දියාව ඇතුළු විදෙස් රටවලින් මෙරටට ශ්‍රමිකයන් ගෙන්වා අතීතයේ වතුකර ශ්‍රම බළකායක් ගොඩනගා තිබුණි. එලෙසම ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි අත්උදවු සඳහා වෙරළබඩ කලාපවලට විදෙස් ශ්‍රමිකයන් ගෙන්වාගෙන තිබුණි. මේ ආකාරයට අතීතයේ අප විදෙස් මානව ශ්‍රමය ආනයනය කළ රටකි. එහෙත් වර්තමානයේ අප බහුල ලෙස මානව ශ්‍රමය අපනයනය කරන රටක් බවට පත් වී ඇත. එය රටේ සංවර්ධනය ඉදිරියට ගමන් කිරීමක් නොව සංවර්ධනය ආපස්සට යාමකි. අප එලෙස විදෙස් රටවලට මානව ශ්‍රමය අපනයනය කර එම රටවලින් නැවත ආනයනය කරන්නේ මොනවාද යන ගැටලුවද මෙහිදී විමසා බැලිය යුතුය. මෙරටින් පුහුණු නුපුහුණු ශ්‍රමය අපනයනය කරන අප ඔස්ටේ්‍රලියාව නවසීලන්තය වැනි රටවලින් කිරිපිටි ආනයනය කරයි. ඇමෙරිකාවෙන් තිරිඟු පිටි ගෙන්වයි. යුරෝපයෙන් ටින්මාළු, ඖෂධ ගෙන්වයි. මැදපෙරදිගින් බොරතෙල් ගෙන්වයි. අප අපනයනය කළ පුහුණු නුපුහුණු ශ්‍රමය වෙනුවට නැවතත් ආනයනය කර ඇත්තේ මූලික කෘෂිකාර්මික භාණ්ඩ තොගයකි. ආහාර ඇතුළු පරිභෝජන භාණ්ඩ පමණක් ගෙන්වීමට අප පෙළඹී ඇත. ඒ ආකාරයට මූලික ශ්‍රමය අපනයනය කර ප්‍රාග්ධන සූක්ෂම තාක්ෂණික භාණ්ඩ ආනයනය කිරීම වෙනුවට නැවතත් අපට හිමිවන්නේ ශ්‍රම සූක්ෂම භාණ්ඩය. එහිදී ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින වෙළෙඳපොළ මූලධර්ම පවා බිඳවැටීමට ලක් වේ.

මෙලෙස විදෙස්ගත වන ශ්‍රමිකයන් අපට වඩා ඉහළ තාක්ෂණයක් සහිතව පතල්, කෘෂි බිම්, ධීවර බිම් තුළ වැඩ කරනවා විය හැකිය. නමුත් ඔවුන් සේවය සපයනුයේ පශු සම්පත් කර්මාන්ත, කෘෂි බිම්, ධීවර බිම් හෝ පතල් ආශ්‍රිතවයි. මෙරට තුළ ද එම අංශ සඳහා රැකියා ඇත. නමුත් ඒ සඳහා මෙරට තුළ ශ්‍රමිකයන් නොමැත. මෙරට තුළ කුඹුරු ගොවිතැන් කිරීමට, කිරිගවයන් නඩත්තු කිරීමට, වතුවල වැඩ කිරීමට,ඉදිකිරීම් කිරීමට ශ්‍රමිකයන්ගේ හිඟතාවක් ඇත. එනම් මොවුන් මෙරට තුළ ඇති මෙම ශ්‍රම වෙළඳපොළ අතහැර විදෙස්ගතවන්නේ මෙරට තුළ රැකියා නොමැතිකම නිසා ම යැයි පැවසිය නොහැකිය. ඔවුන්ගේ සිතිවිලි තුළද විශාල අඩුපාඩුවක් ඇත. තමන් සතු මෙම ශ්‍රමය යෙදවිය යුත්තේ මෙරට ගොඩනැගීම වෙනුවෙන් ය යන සිතුවිල්ල ඔවුන් තුළ නැත. අනෙක් කාරණාව වන්නේ අප රටෙහි ශ්‍රමය ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළ තුළ අනුපාතයට අනුව ගත් විට 1ට 3ක් වේ. එනම් ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළ තුළ එක් ශ්‍රමිකයෙකුගේ කාර්යක්ෂමතාව වෙනුවෙන් මෙරට වැඩ කරන ශ්‍රමිකයන් තුන් දෙනකු අවශ්‍ය වේ. නමුත් විදෙස්ගත වූ පසු එකට එක අනුපාතයෙන් ශ්‍රමය සැපයීමට ඔවුන්ට සිදුවේ. එනම් ඔවුන්ට මෙරට තුළ වැඩ කළාක් මෙන් තුන් ගුණයක් වැඩ කිරීමට සිදු වේ. එසේ නොමැතිව ඔවුන්ට විදෙස්ගත රැකියාවක නිරතවිය නොහැකිය. එහෙත් එම වැඩ කොටසම මෙරට තුළ රැඳෙමින් ඉටුකිරීමට ඔවුන් කැමැත්තක් දක්වන්නේ ද නැත. තම රට තුළ ශ්‍රමය සැපයීමට අකැමැති ඔවුන් විදෙස් රටවලට මහා පරිමාණයෙන් ශ්‍රමය සපයයි. මෙහි ආකල්පමය වරදක් ද ඇත. විදෙස්ගත වී වැඩ කරන කොටසින් අඩක් තම රට තුළ වැඩ කළ හැකිනම් මෙරට වසර පහකින් දියුණු කළ හැකිය. රටේ ප්‍රශ්න විසඳිය හැකිය. එහෙත් ඒ තැනට රටේ ආකල්ප දියුණු වී නොමැත. රටේ පාලකයන් මෙන් ම සිවිල් පුරවැසියන්ද මේ පිළිබඳ අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. පුරවැසියන්ගේ ආකල්පමය වෙනසක් ඇති විය යුතුයි මෙන් ම මෙම ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමට රජය ද මැදිහත් විය යුතුය.

සකස් කළේ – සචිනි ඉමල්ෂා උඩවත්ත / කැලණිය විශ්වවිද්‍යාලය (divaina)