"ඩොක්ටර්, අපේ මිස් පොඩ්ඩක් පොත පෙන්වගන්න කිව්වා "
අම්ම කෙනෙක් රෝස පාට පොතකුත්, රෝස මලක් වගේ බබෙකුත් අරන් මගේ මේසෙ ගාව බලා ඉන්නවා...
බබාගෙ බර, ඉරෙන් පොඩ්ඩක් එහා මෙහා වෙලා.
පැය 24 ආහාර රටාවත් (24hr dietary recall) පොඩි නෝට් එකකට අරන්...
මේක තමයි සායනයකින් වෙන්න ඕන...
සීමාවාසී පත් වීමේ ඉඳලා මගෙ වෘත්තීය ජීවිතේ වැඩිකාලයක් ගෙවුනේ ළමා සහ මාතෲ වාට්ටු වල....
හැබැයි, අවංකවම කියනවා නම්, සමහර මිනිස්සු සමාජගත කරල තියන ,
අම්ම කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න බැරි..
අඩු බර බබෙක් දැක්කම බනින..
ත්‍රිපෝෂ තියද අහන්න බැරි,
හවස් වෙනකොට මූණ බලන්න බැරි,
තරහ ගිහින් කඩා පනින,
වර්ගයේ අය මට කවදාවත් හමුවෙලා නැහැ.
එහෙම පැමිණිල්ලක් ලැබිලත් නැහැ...
මේ සායනය හරිම වෙනස්.
උදේ ඉඳලා ඇවිල්ලා රස්තියාදු වෙන අම්මලා
අඩු බරට බැනුම් අහන අම්මලා
පරක්කු වෙලා ආවම තරහෙන් කෑ ගහන
මිඩ්වයිෆ් මිස්ලා
මේ සායනයේ නැහැ...
අනේ ඩොක්ටර් මේ අම්මව ප්‍රෙෂර් බලන ගමන් බඩත් බලලම යවමුද, එයා වැඩට යන කෙනෙක්..
ඩොක්ටර් මේ අම්මට අමාරුයි වගේ...
ඩොක්ටර් පොඩ්ඩක් මේ අම්මගෙන් පුද්ගලිකව විස්තර අහන්න. අපි එයාව වෙනම එවන්නම්...
ඩොක්ටර් කවුරු හරි හම්බ උනොත් කියන්න. බඩු ටික අරන් දෙන්න...
අනේ ඩොක්ටර් නර්සරි බබාල අරන් එන අම්මලා කීපයක් ඉන්නවා, තේ බීලා ආයේ මේ පැත්තට එන්න හොඳේ ..
ඒ මගේ සායනයේ මිඩ්වයිෆ් මිස්ලා...
ආදරණීය හදවත් 8 ක් ...
ඉස්සර හර්ශ අතපත්තු සර් ඉගැන්නුවේ ලංකාවෙ ළමා සහ මාතෲ දර්ශක ලෝකයේ ඉහලම තලයක තියන්න පුළුවන් වෙන්නේ
ලංකාවෙ ඉන්න මිඩ්වයිෆ් මිස්ලාගේ කැපවීම නිසයි කියලා...
ඒක ඇත්‍තම ඇත්ත...
හැමදාම වගේ ඔවුන්ට මගේ හිතේ තියෙන්නේ අපමණ ගෞරවයක්...
සමාධි
