පබඳක රස විඳුම සබඳිනි කිමෙක වැනී - අඟනක ඇද වැලඳ රති රස විඳුම වැනී

පබඳක රස විඳුම සබඳිනි කිමෙක වැනී - අඟනක ඇද වැලඳ රති රස විඳුම වැනී

මගේ මෙ මැ එෆ් බී ලිපි හිස සරසන පැදි දෙ පදය මා සතු වුව ද එහි ගැබ් වැ ඇති මනරම් සැසැඳුම අන් සතු යැ. එවන් මැයක් යෙදුම හුදෙක් මා ළබඳ එෆ් බී රස දතුවන ගේ කුහුල වඩනට ගත් තැතෙක් නො වේ. ඉඳුරා මැ එය යළි යළි නැවුම් වැ විඳුමට හැකි වන හද පුබුදන එක්තරා පැදි මිහිරක් පිළිබඳ වැ පෙරැ ඉඟියක්, දෙනු වස් ගත් තැතෙක් පමණි.

කලකට පෙරැ ගොඩගේ පොත් හලෙහි ලාබ පොත් ගොඩක් ගරන අතරැ බාල ලෙස පැහැරැවුණු

'රස විත' නම් ගතෙක් මා අතැ පත් වුණි. එය හෙළ හවුල් බැතිමතකු වැ හුන් දා . දු . න වීරකෝන් වියතුන ගේ බැව් දුටු මම, සිත් ගත් නන් මැයෙන් යුත් රස විත් රැසෙක් රැඳි එමැ ගත වහා සතු කැරැ ගතිමි. දිගු කල් වියත් වීරකෝනුන් ඇසුරේ නැණ ඉසුරු ලබනට පින් මඳ වූයේ අප දෙදෙන ගේ නෑඹුල් හමුව ඔහු ගේ දිවියෙහි සැඳෑ කලැ මැ සිදු වූ හෙයිනි.

වීරකෝනුන් ගේ 'රස විත' ගතැ තුළැ ඇති ඇතැම් රස විතෙක් අප මන දල්වයි. තවෙකක් හද ඔද ගන්වයි. අනෙකක් අප සිත් කුල්මත් කරයි. මා මේ ඔබට පිරිනමනුයේ එ මැ 'රස විත' ගතැ තුළැ ඇති අන් සියල් රස විත් අබිබවා බබළන හැම කල් ඔබ කුල්මත් කරන මනකල් මැ රසවිත යැ. ඉන් හෙළි කැරෙන පවතට මුල් වූ එතරම් නොපතළ මනනඳ පැදි පබඳක් මැ ඊට එක් මැ හේතුව වෙයි. එවැන්නක් තෝරා පළ කැරුම එකතින් මැ 'රස විත' ගතෙහි පමණක් නො ව රසයෙන් ඔකඳ වැ ගිය වීරකෝනුන් ගේ හදෙහි ද අගය නඟන්නක් මැ යි. එමැ පැදි පබඳෙහි මිහිර එතරම් මැ මනරම් යැ. හැම කල් මැ මනකල් යැ. එය මැ මිහිරි මිහියක් නො වේ ද!

වීරකෝනුන් එමැ පැදි පබඳ ඇහිඳැ ගෙනැ ඇත්තේ 'පහිණ මිහිය' නමැති ගතිනි. 'පහිණ' යනු පණිවිඩය හෙවත් ලියුම යන අරුත දෙන හෙළ වදනකි. 'මිහිය' යනු මී වදයයි. මෙ මැ 'පහිණ මිහිය' වනාහි පැදියෙන් මැ බැඳි පහිණ පත් රැසෙකින් සැදි ගතෙකි. කවුරුන් කා උදෙසා බැඳි පැදි පහිණ පත් රැසෙක් ද? ඒ වූකලී බසිසුරු කිවිසුරු කුමරතුඟු මුනිදස්හු ජයමහ වෙල්ලාල කිවිඳුන් වෙනුයෙන් මැ බැඳි පැදි පහිණ පත් රැසෙකි. අරීසෙන් අහුබුදු කිවිඳුන් එ මැ පහිණ පත් ඇහිඳැ මෙ මැ 'පහිණ මිහිය' පළ කොටැ ඇත්තේ තම ගරු ගුරු ජයමහ වෙල්ලාලයනට හරසර පිණිස යැ.

පබඳක රස විඳුම සබඳිනි කිමෙක වැනී

අඟනක ඇද වැලඳ රති රස විඳුම වැනී

පැදි පබ ඳෙක රස විඳුම රති රස විඳුමට සම කොටැ විසිතුරු වැ වැනූ අන් තැනෙක් මින් පෙරැ ඔබට හමු වැ ඇද්දැයි නො දනුම්හ. පෙර දිගු පැළ දිගු සාහිත ලොවෙහිත් අප ගේ මැ පැරැණි හෝ නොපැරැණි සාහිත ලොවෙහිත් එවන් තැනෙක් ඇසු දුටු බවෙක් මගේ සිහියට නම් නො නැඟේ මැ යි. මේ සැසැඳුම ඇස සැනැසූ සැණින් මම කුල්මත් වීමි. එ වන් සැසැඳුමෙක් සඳහා පහළ වන කිවි සිතත් එතරම් මැ මිහිරි

නො වේ ද! කා සතු මිහිරි සිතෙක් ද? ඒ වූකලී බසිසුරු කිවිසුරු කුමරතුඟු මුනිදසුන් ගේ මැ අනුනට ගැති නැති රසැති කිවි සිත යැ. එමැ සැසැඳුම අන් සතු යැයි මවිසින් මුලින් මැ පැවැසුණේ එහෙයිනි.

කොග්ගලැ ජයමහ වෙල්ලාල කිවිඳු කිවිසුරු කුමරතුඟු මුනිදස් බැතිමතෙකි. වරෙකැ ඔහු පැදි පද බැඳුම හා පැදි රස විඳුම ගැන තම ගුරු දෙව් මුනිදසුන් ගෙන් උපදෙස් පැතුවේ පැදි පහිණ පතක් යවමිනි. වෙල්ලාල කිවිඳුනට උපදෙස් පිණිස මුනිදසුන් විසින් පහතැ පළ වන මන නඳ පැදි පබඳ එවුණේ ඊට පිළිතුරු විසිනි.

"රස කුළුගන්වන,

කලැ ඇතැම් පිය පබඳෝ

වරදක් වූ ලෙස පෑ

ඔකඳ කඳ කඳ කැඳවති.

"තද යැ වියවුල් යැ

හැකිළෙයි රහස සඟවයි

අත ඇදැ විඳියැ යුතු

නව පිය වදන ගුණ මේ.

"බැඳුම පුරුදු වත

බුරුල පානු වෙයි කෙමෙන්

පුරුදු නොවන්නවුනතැ

රස බිජුවට ඇසා වෙයි.

"සුදුසු තැනැ මැ පද

යොදා රහස නඟා දී

අත් පිටතැ බැඳැ සුබඳ

පිය වදන රස උනවයි."

(2482 වෙසක් අව 4.පාණදුරේ දී යැ.)

කුමරතුඟු මුනිදස් කිවිඳුන් පැදි පබඳක රස විඳුම හා අඟනක සමග රති රස විඳුම සම ලෙස සසඳමින් මෙ මැ පැදි පෙළ බැඳැ ඇත්තේ කිවි ලකරෙහි 'සෙලෙස්' නමින් දන්නා ලකරින් එය සුලකළ කරමිනි. සකු කිවි ලකරෙහි එය 'ශ්ලේෂාලංකාර' නමි. මේ ලකර පිළිබඳ සුල මුල 08 වන සිය වසැ මුලැ ඉන්දියාවෙහි විසූ සකු කිවි ලකර ඇදුරු සිරිමත් දණ්ඩීන්ගේ 'කාව්‍යාදර්ශ' ගතින් මෙන් මැ එය ඇසුරෙන් හෙළ පඬි 01 වන සේන නිරිඳුන් 09 වන සිය වස්හි කළ 'සියබස්ලකර' නම් හෙළ කිවි ලකර ගතින් ද දැනැ ගත මැනැවි. 'සෙලෙස්' යන හෙළ නම පළමු වැ හමුවන්නේ ද දැනට අප සතු පැරැණි මැ ගත වන එමැ 'සිය බස් ලකර' තුළැ මැ යැ. මුනිදසුන් ‍'ප්‍රබන්ධෝපදේශය' නම් තම මාහැඟි පොතෙහි 'අලංකරණය' නම් පිරිසිඳියෙහි මෙම ලකර සැකෙවින් පහදා ඇත්තේ මෙලෙසිනි.

"පද වශයෙන් එක මැ වුවද අර්ථ වශයෙන් දෙපක්‍ෂයක් හඟවා නම් එතන්හි වනුයේ 'ශ්ලේෂ' නම් අලංකාරයයි."

එක මැ වදන, එක් පසැක දී එක් අරුතකුත් අනික් පසැ දී අන් අරුතකුත් නඟන සේ යෙදුම කිවි ලකර වෙසෙසක් ලෙස සැලැකෙන බැව් ඉන් පැහැදිලි වෙයි. එවැන්නක් කිවි ලකරක් කොටැ ගැන්මෙහි වරද කිමැ? මීට නිදසුන් අප ගේ පැරැණි කවි පොත්වලැ සුලබ යැ.

සිරිඟර රසින් කුල්මත් බමරකු වන් කුමරතුඟු මුනිදසුන්, පබඳක රස විඳුමත් අඟනක සමග රති රස විඳුමත් සම කරමින් මින් පෙරැ නො ඇසු නො දුටු අයුරු බැඳි එමැ මියුරු පැදි පබ⁣ඳෙහි සැඟවැ ඇති සිලෙස් පදරුත් (එක මැ වදනට දී ඇති දෙ අරුත්) වෙන වෙන මැ නඟා ගෙනැ අපි දැන් එහි අරුත් රස විඳිමු.

මුනිදස් කිවිසුරන්ගේ පැදි පබඳෙහි පළමු පැදියෙහි යෙදුණු'පිය පබඳ' යන්නෙන් සොඳුරු පැදි පබඳ හා සොඳුරු අඟන යන දෙඅරුත මැ පළ වෙයි. පැදි පබඳ යන අරුතැති 'පබඳ' පදය සකු ප්‍රබන්ධ වදනින් බිඳුණකි. මනා වැ බැඳුණු යනු අරුති. අඟන අරුත දෙන 'පබඳ' පදය පිය බඳ යන්න ඇසුරින් සැදුණකි. සොඳුරු බඳක් හෙවත් සිරුරක් ඇත්තී යන අරුතින් අඟන පිය බඳ නම් වෙයි. අඟන අරුතැති පබඳ යන්න එයින් නිපන.

'පිය පබඳ' යන්නෙන් හැඟැවෙන මනනඳ කිවි පබඳ හා මන දඟ අඟන යන දෙ අරුත් කෙසේ සම වනු ද?

ඇතැම් කිවිඳෝ තම කිවි පබඳෙහි නැති දොස් පාමින් රස දතුවන් ලවා එහි රසය කුළු ගන්වා ගෙනැ, එනම් මුඳුනට මැ නංවා ගෙනැ මහත් සේ ඔකඳ වෙති.

ඇතැම් අඟනෝ ද තම පෙම්වතුන් තුරුලෙහි නෑළැවෙන කලැ උන් ගේ නැති වරද පා සුරතල් වෙමින් පෙම් රස කුළු ගන්වා නොමඳ වැ ඔකඳ වෙති.

('කුළු' යන්න සකු බසෙහි මුඳුන අඟවන 'කූට' යන්නෙන් බිඳුණකි.

'ඔකඳ' යනු සතුට යන අරුත දෙන වදනකි. එය සකු බසෙහි එන අවක්‍රාන්තික සහ පෙළ බසෙහි එන ඔක්කන්තික යන වදන්වලින් හෙළයට බිඳුණෙකි. පස් වනක් ප්‍රීතියෙන් එකක් එනමින් හැඳින්වෙයි. ඔක්කන්තික ප්‍රීතිය වූකලී මුහුදේ රළ නැඟැ බසින අයුරින් හටගන්නකි. 'ප්‍රීති' යන වදන , දිව ගිලෙන්නකු තුළ දිය දුටු සැණින් ඇති වන මන පිනා යෑම යන අරුතින් නිපන.)

දෙ වැනි පැදියෙහි හමු වන

'නව පිය වදන' යන්නෙහි ඇති 'වදන' පදය තුළැ මුහුණ සහ බස යන

දෙ අරුත මැ ගැබ් වැ ඇතියෙන්

පිය වදනක් හෙවත් පියකරු මුහුණක් ඇති අඟනත් මනරම් බසත් යන දෙක මැ 'නව පිය වදන' යන එක මැ පදයෙන් හැඟැවෙයි.

මෙහි ලා 'නව පියවදන' ලෙස වෙසෙසින් සැලැකෙනුයේ කිවි දුහුනන් ගේ හෙවත් කිවි කෙළි නුහුරු නුපුරුදු වූවන්ගේ බස හා රති කෙළි නුහුරු නුපුරුදු අඟන යැ.

මෙහි දී 'රහස' යන්න යෙදී ඇත්තේ සැඟැවුණු අදහස මෙන්ම රහසඟ ද යන අරුත් දෙකම දෙනු පිණිස යැ.

'අත' යන්න 'අරුත' සහ 'අත' යන දෙ අරුත මැ හඟවයි.

දුහුන කිවින් ගේ බස සහ රති කෙළි නුපුරුදු අඟන කෙසේ සරි වෙ ද?

කිවි දුහුනන් ගේ පබඳෙහි බස රළු යැ. අවුල් යැ. රහස හෙවත් අදහස නො සඟවා පැහැදිලි වැ හෙළි කිරීමට අසමත් වෙයි. ගැබ් වැ ඇති අත හෙවත් අරුත මතු කර ගත යුත්තේ ඉතා අමාරුවෙනි.

රති රසයට නුහුරු නුපුරුදු අඟන ද පළමු වැ මඳක් පසු බායි. අවුල් සිතින් පසු වෙයි. හැකිළෙයි. පැකිළෙයි. රහස හෙවත් රහසඟ අතින් සඟවයි. දුක සේ අත මුදවා ගෙන මැ රස විඳ ගත යුතු වෙයි.

තෙ වැනි පැදියේ අරුත් රස විඳිමු.

මෙහි එන 'රස බිජුවට ඇසා වෙයි' යනු රස බිජුවට බොල් වීමයි.

හොඳ පැදි පබඳවලැ රසය දුක සේ විඳැ පුරුදු වන තුරු එ වැන්නෙක රසය විඳ ගැන්ම පහසු නො වෙයි. නිබඳ පැදි පබඳ ඇසුර ලද කල මැ පෙරැ නො විඳි අමුතු අමුතු රස විඳැ ගැන්ම කෙමෙන් පහසු වැ යෙයි. එ විටැ රස බිජුවට බොල් වැ

නො යෙයි. සරු වැ යෙයි.

නව අඟනක සමඟ විඳින රති රස ද කෙමෙන් පුරුදු වැ යන තුරු මැ ඉබේ නො ලැබේ මැ යි. එය දුක සේ පුරුදු වන්නට මැලි වූ කලැ රස බිජුවට බොල් වැ යෙයි.

පබඳෙකැ රස විඳුම හා අඟනක සමඟ රති රස විඳුම විසිතුරුවට මැ සැසැඳෙනුයේ සිවු වන පැදියෙහි යැ.

මෙහි 'පද' යන්න යොදා ඇත්තේ

පද යෙදුම් හා දෙපා යන දෙ අරුත මැ දෙනු සඳහා යැ.'අත්' යන්නෙන් දෑත් සහ අරුත් හැඟැවෙයි.

සුදුසු තැන මැ පද යොදා මනා වැ බැඳි පැදි පබඳ වනාහි සැඟැ වැ ඇති අදහස උඩට නඟා අරුත පිටට හෙළි කොටැ රසය උනවන්නකි.

මනා වැ සිරුරැ වෙළුණු අඟන ද අත් පිටැ මතැ බැඳැ දෙ පයට වැර දී රහසඟ උඩට නඟා රති රස උනවන්නියකි.

සිරිඟර රසින් මත් කුමරුතුඟු බිඟු , පබඳක රස මිහිරත් අඟනක රති මිහිරත් සසඳමින් එදා නැඟු රස රැව් අද ද පිළි රැව් දෙයි.

ඔවුන්ගේ 'පැසැසුම් සමර' පබඳෙහි හමු වන මේ මාහැඟි පැදිය අසන්නැ!

පැරැණියන් ගත් මඟැ

ගැන්මේ කවර වරද ද

එ මඟැ දැන් නොපැරැණියෝ නොපැරැණියනෙව් යෙත් නම්

(පැසැසුම් සමර)

(පැරැණි අය ගිය පාරේ යෑම මොන වරදක් ද , අලුත් අය ඒ පාරේ අලුත් අය හැටියට යනවා නම්!)

නොපැරැණි පැරැණියෝ අද වෙති

හතර        වට

නොපැරැණියෙකි තවම ඔබ

මුනිදසුනි මට

(මෙහි කුමරතුඟු මුනිදස් කිවිසුරන් රුව සමග දිසෙනුයේ දා . දු . න වීරකෝන් වියතුන් ගේ රුව යැ.)

karunarathna amarasinghe

| කරුණාරත්න අමරසිංහ

(මුහුණ පොතින්)