- ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මියගේ කවිත්වය පිළිබඳ ආවර්ජනා
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි සම්මානලාභී පරිවර්තකවරියක්, දක්ෂ ලේඛිකාවක් සහ අප හිතවත් මිතුරියක වන ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය රචනා කල මංගල කාව්‍ය සංග්‍රහය - කැකිරි පැළුවා සඳමඬල - නමැති කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීමේ භාග්‍යය චිත්‍රාටත්, මටත් ලැබුණි.
කීර්තිමත් ලේඛකයින් සහ විචාරකයින් විසින් මෙහෙයවන ලද එළිදැක්වීමේ සාහිත්‍ය සාකච්ඡා, මාතර රාහුල විද්‍යාලයේ සහ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ගත කල පාසල් කාලය වෙත මා රැගෙන ගියේය. සිංහල සාහිත්‍යය ඉගැන්වූ ආකාරය සමගින් මුලදී මට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු වුවද, අවසානයේ මම සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍ය සම්ප්‍රදායයන් ගැඹුරෙන් අගය කරන්නට පටන් ගතිමි. ජ්‍යෙෂ්ඨ පාසැල් සහතික විභාගයේ ඉංග්‍රීසි විෂය නිර්දේශය සඳහා මම, මගේ මුල් සාහිත්‍ය සංවේදීතාවන් හැඩ ගස්වා ලූ ස්ටීවන්සන් ගේ සම්පත් දූපත (Treasure Island) සමග වර්ඩ්ස්වර්ත්ගේ "ඩැෆඩිල්ස්" (Daffodils) හා "ඕඩ් ටු ඩියුටි" (Ode to Duty) ඇතුළුව තවත් බොහෝ කවීන්ගේ ඉංග්‍රීසි කාව්‍ය ඇතුළත් සංග්‍රහයක් අධ්‍යයනය කළෙමි.
ස්වර්ණකාන්තිගේ පළමු ප්‍රකාශිත එකතුව සංකේතවත් කරන මෙම කෘතිය, සිංහල කවි විසි එකකින් සමන්විත වන අතර ඉන් විස්සක් නිසඳැස් - නිදහස් පද්‍ය - රචනා වේ. සිංහල කාව්‍යය සාම්ප්‍රදායික ස්වරූපවලින් සහ පුරාතන භාෂාවෙන් වෙන්ව යෑම සම්බන්ධයෙන් ජී. බී. සේනානායක මහතා පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර කර තිබුනද, ගාල්ලේ මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ මහාචාර්ය සිරි ගුණසිංහ යි, 1956 දී ඔහුගේ මුල්ම සංග්‍රහය වන මස් ලේ නැති ඇට (Bones Without Flesh and Blood) කෘතිය මගින් සිංහල සාහිත්‍යයට නිදහස් පද්‍ය රචනා හඳුන්වා දුන්නේ. අලංකාරවත් සාහිත්‍යමය භාෂාව සහ සාම්ප්‍රදායික ප්‍රමිති පිළිබඳ ගුණසිංහ දැක්වූ නූතනවාදී නොසැලකිල්ල, උග්‍ර විවාදයක් ජනිත කරවමින්, එහි කලාත්මක දිශාව යලි සකස් කර සිංහල කවියේ විප්ලවීය වෙනසක් ඇති කලේය.

| ස්වර්ණකාන්ති රාජපක්ෂ
සාම්ප්‍රදායික පද්‍යයේ නොගැඹුරු බවට අභියෝග කරමින් ගුණසිංහ, කථා කරන භාෂාව යොදා ගැනීම වෙනුවෙන් සටන් කළේය. ලැබිය යුතු අඛණ්ඩ ශාස්ත්‍රීය අවධානය ඔහුගේ කෘතිවලට නොලැබුන ද, මෑත කාලීන කටු ගා දැමීම් මෙම නොසලකා හැරීම ගැඹුරු කර තිබුණ ද, සමාජය හුදකලා ජාතිකවාදී හැඟීම්වලින් ඔබ්බට ගෙන යාම සඳහා ඔහුගේ නූතනවාදී දැක්ම දැවැන්ත විභවයක් දරා සිටියේය. රාහුල විද්‍යාලයේ 8 වන වසරේ දී මගේ සිංහල සාහිත්‍ය ගුරුවරයා වූ එම්. එස්. සහබන්දු මහතා පැවැත්වූ පන්ති අතරතුර දී ගුණසිංහගේ නිසඳැස් කවි ගැන ඉගෙනීම විචිත්‍ර ලෙස මගේ මතකයේ රැඳී තිබේ.
පසුව, 1964 දී පමණ රිච්මන්ඩ් විද්‍යාලයේ දී, ප්‍රකට නාට්‍ය රචකයෙකු, විචාරකයෙකු, අධ්‍යාපනඥයෙකු සහ ශ්‍රී ලංකා වීදි නාට්‍ය කලාවේ පියා වූ නැසී ගිය ආචාර්ය ගාමිණී හත්තොටුවේගම, ඔහුගේ පාඩම්වල දී මෙම විවාදයන් යලි සාකච්ඡාවට ලක් කලේය. අකුටිලබවට හුරු නොමැතිව තිබුණ සමාජයක ඔහු, ලිංගික කුලුපග බව පිළිබඳ චමත්කාර රූපකයක් වූ, "සඳවතියේ මම ආවා සඳ පානේ සඳ උලන්ට" යන පද පෙල ඇතුළත් ගුණසිංහගේ කවියක් විශ්ලේෂණය කළ ආකාරය තවමත් මගේ මතකයේ පවතී.
මේ මතක සිහියේ තබා ගන්නා අතර ම, මා වෘත්තීමය සාහිත්‍ය විචාරකයෙකු නොවන බව පැහැදිලි කළ යුතුය. ඉඳහිට කවි සහ ගීත ලියා ඒවා ගායනා කර ඇති මා සාකල්‍ය වාදියෙකි. එසේ වුවත් ස්වර්ණකාන්තිගේ නිදහස් පද්‍ය එකතුව ගැඹුරින් ආවර්ජනය කරන්නට මට බල කර සිටියේය. ඔබ වින්ද ළමාවිය කවියේ ළමා කාලය සහ වැඩිහිටි බව, සහ සිහින සහ අහසින් යති අම්මාලා කවිවල දක්නට ඇති අන්දමට, ඇය ශ්‍රී ලංකාවේ ගත කල මුල් දිවිය සහ ඕස්ට්‍රේලියාවේ පරිණත කාන්තාවක් ලෙස ඇය සතු අත්දැකීම් අතර පවතින අසමානතාවන්, ඇගේ කවි ජීවිතයේ ද්විත්වයන් සළකුණු කරයි. ව්‍යුහය මෙන්ම තේමාව අතින් කැපී පෙනෙන කය මිස සිතක් නමැති කවිය, ස්වරූපය අතින් විශේෂත්වයක් දක්වයි.
චිත්‍රය නිහඬ කවියක් බවත්, කවිය කතා කරන චිත්‍රයක් බවත් ප්ලූටාර්ක් වරක නිරීක්ෂණය කළේය. ස්වර්ණකාන්ති ඒ හා අදාළ ආවර්ජනයක් ප්‍රතිරාවයට නංවයි: “කවියක් යනු දැකිය නොහැකි පින්තූරයකි. පින්තූරයක් යනු වචන රහිත කවියකි.” එළි දැක්වීමේ දී, කථිකයන් කිහිප දෙනෙකු කාලය, සංස්කෘතිය සහ සන්දර්භය හරහා කවියේ භූමිකාව විතැන් වන බව අපට මතක් කර දෙමින් මෙම අදහස් පුළුල් කර ලූහ. කවියාට එය සුව පත් කිරීමේ යාත්‍රාවක් විය හැකිය; පාඨකයාට එය සහකම්පනය සහ බෙදාහදා ගත් මනුෂ්‍යත්වය උදෙසා මාවත් විවෘත කර දෙන, තමන්ගේම ජීවිත හා උද්වේගයන් ගෙන් ඔබ්බට පවතින ජීවිත හා උද්වේග උදෙසා වන කවුළුවක් විය හැකිය.
ඓතිහාසික වශයෙන් ගත් විට, ලෝ වැඩ සඟරාව, සැළලිහිණි සන්දේශය, ගණදෙවි හෑල්ල, බුද්ධ ගජ්ජය සහ නරසීහ ගාථා වැනි කෘති තුල සාර ධර්ම සහ සංස්කෘතික මතකය සුරකිමින් කවිත්වය, ශ්‍රී ලංකාවේ මුල්කාලීන සාහිත්‍ය සංරක්ෂණාගාරය ලෙස සේවය කළේය. මතු පරම්පරාවට අත්දැකීම් ග්‍රහණය කර ගැනීමට දක්වන ඒ හා සමාන ආවේගයක්, ස්වර්ණකාන්තිගේ “අප දෙදෙනා” කාව්‍යය තුලින් මට දැනේ.
අයුක්තියට අභියෝග කරමින්, ආන්තීකරණයට ලක් කරන ලද අයගේ හඬ විස්තාරණය කරමින් සහ සමාජ ආවර්ජනය පොළඹවා ලමින් කවිය, දිගු කලක් තිස්සේ විරෝධතාවේ හඬක් ලෙස පැවත ඇත. කාන්තාවක් වශයෙන් ස්වර්ණකාන්ති කාන්තාවන්ගේ දුක් වේදනා, ඔරොත්තු දීමේ හැකියාව සහ අපේක්ෂාවන් ගැන සංවේදීතාවෙන් හා ධෛර්යයෙන් යුක්ත ව රචනා කරයි. “කය මිස සිතක්”, “වෙසතුරු සිරිත”, “ප්‍රයත්න” සහ “සායම” වැනි කවිවල මෙය වඩාත්ම ඉස්මතු වී පෙනේ.
වචන මාලාව පුළුල් කරමින්, අවබෝධය ගැඹුරු කරමින්, විවේචනාත්මක චින්තනය උත්තේජනය කරමින්, හා කලාවක් ලෙස භාෂාව කෙරෙහි රසිකත්වයක් පෝෂණය කරමින් කවිය, ලේඛකයා සහ පාඨකයා යන දෙදෙනා ම පොහොසත් බවට පත් කරයි. ප්‍රීතිය, ශෝකය, බලාපොරොත්තුව සහ ගැටුම් පිළිබඳ බෙදාහදා ගත් අත්දැකීම් හා සම්බන්ධ වෙමින් ජීවිතයේ සංකීර්ණතා සැලකිලිමත් ලෙස තෝරා ගත් වචන බවට ආසවනය කරන කවිය, පෞද්ගලිකත්වය විශ්වයීය බවට පරිවර්තනය කරයි. “දුරයි ”, “පිණිබිඳ” සහ “ස්නේහයෙන්” වැනි කවිවල රූපක, උපමා සහ රිද්මය දක්ෂ ලෙස භාවිතා කිරීමෙන් ස්වර්ණකාන්ති මෙය සාක්ෂාත් කර ගනියි.
කවි ලිවීම යනු සංවේදීතාව, තීක්ෂ්ණ බුද්ධිය සහ ශිල්පීය හැකියාව වර්ධනය කිරීමයි. ස්වර්ණකාන්තිගේ පුළුල් ජීවිත අත්දැකීම් සමඟ, වසර ගණනාවක් පුරා ඇය සාහිත්‍යය හා සමඟ නියැදි සිටීම, සාහිත්‍යය කියවීම සහ පරිවර්තනය කිරීම, ඇයට සුවිශේෂී දාර්ශනික සහ භාවාත්මක ගැඹුරක් ලබා දී තිබේ. ඇගේ කවි අවංක බවෙන් සහ අවදානමට බඳුන් වීමේ හැකියාවෙන් පොහොසත් ය. ඒවා ඇගේ භාෂා ග්‍රහණය පමණක් නොව ජීවමාන අත්දැකීම්, හැඟීම් දනවන කලාත්මක ප්‍රකාශන බවට හැඩ ගැස්වීමට ඇති ඇගේ හැකියාව පිළිබිඹු කරයි.
මෙම කාව්‍ය සංග්‍රහය දෘශ්‍යමය වශයෙන් ද කැපී පෙනේ. මෙම කෘතිය අතේ ගෙන යා හැකි ගැලරියක් බවට හරවා ලමින්, එහි කවියක් අඩංගු හැම පිටුවක් ම පාහේ ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ප්‍රදර්ශනවලින් ලබාගත් වර්ණ නිදර්ශන පිටුවකින් පොහොසත් කර ඇත. කියවීමේ සංවේදී අත්දැකීම ඉහළට ඔසවා ලමින් පද සහ රූප එකිනෙක හා බැඳේ. මෙම පිටු අලංකාරවත් කරන මහාචාර්ය සරත් චන්ද්‍රජීව ගේ අසිරිමත් සිතුවම් සහ කෘතියේ නිර්මාණය කෙරෙහි ඔහු දක්වා ඇති දැඩි අවධානය වෙනුවෙන් ඔහුට විශේෂ ප්‍රශංසාව හා කෘතඥතාව හිමි විය යුතුය.
ස්වර්ණකාන්තිගේ මංගල කාව්‍ය සංග්‍රහය පොතකට වඩා වැඩි යමක් ඉදිරිපත් කරයි. නිර්ලෝභිත්වයෙන් සහ අලංකාරයෙන් හෙබිව පිරිනමනු ලබන කාව්‍ය සහ දෘශ්‍ය කලාවේ කුලුපග සම්මිශ්‍රණයක් වන එම කෘතිය කියවිය යුතු, ළඟ තබා ගත යුතු, දැකිය යුතු සහ රස විඳිය යුතු එකකි. අඩංගු හැම වියමනක් තුල ම ජීවිතයේ සැමරුම් උත්සවයක් ඉදිරිපත් කරන එය, හමු වන්නට තරම් වාසනාවත් වන ඕනෑම කෙනෙකුට තිළිණයක් ද වෙයි.

| ලයනල් බෝපගේ

