All Stories

පෙට්ටිය වත් යවනු මැන මා ඉපදුන රටට....

 
පුරවා පැතුම් දහසක් හදවත ගැහෙන
පියඹා ආවෙ සත් සමුදුරු වළලු පැන
හැමුවා කුණාටුව ලෝකය නසාලන
නැගුණා හදෙහි ගිනි ජීවිතයම දැවෙන
 
ආ දා පටන් අතැඟිලි ගනිමින් උන්නේ
දැන් නම් දෙවසරකි හදවත ඇවිලෙන්නේ
මාගේ දරු පැටව් හැම සිහිනෙක එන්නේ
තුන් යාමයට ගෙදරයි ගොස් නවතින්නේ
 
දරුවන් එක්ක එක නින්දක් නිදියන්න
හිමි හට බතක් රස කර උයලා දෙන්න
පියවෙන්නට කලින් මව් නෙතු දැක ගන්න
හැකිනම් අපිව මේ කරුමෙන් ගොඩගන්න
 
අඬනව බෝනික්කා පොඩි දුව කෝ කියලා
පැන්සල් මකන බඩු පෙට්ටියෙ ගුලි ගැහිලා
පුතු හට ගත්ත සෙල්ලම් යානයේ නැගලා
එන්නට හිතෙනවා මව් තුරුලට පැනලා
 
මගෙ පස් පිඩට දෙණ මත ඉඩකදු නොතියා
සුදු වත ඇඳන් අප්පච්චී යන්න ගියා
අපි ගම රට යන්නේ කවදද මෙහෙම තියා
වැලලෙන්නට වෙයිද අපිටත් මෙහි දෙනෙත පියා
 
රට විරු කියලා පිලිගන්නවා එනකොට හොඳට
අසරණ උනදාට කිසිවෙකු සිටියේ නෑ අපට
උරුමය මෙයද දුප්පත් අසරණ කමට
පෙට්ටියවත් යවනු මැන මා ඉපදුන රටට...

 

-අතුල බන්ඩාර-

(මුහුණු පොතෙන් උපුටා ගැනීමකි)

පෙට්ටිය වත් යවනු මැන මා ඉපදුන රටට....

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image