හපුහින්න බිබික්කම හා ස්වයං සිද්ධ වස්ත්‍රහරණ ලිපි පොජ්ජ (1 කොටස)

හපුහින්න බිබික්කම හා ස්වයං සිද්ධ වස්ත්‍රහරණ ලිපි පොජ්ජ (1 කොටස)

හසුන් පත කලක්  අප සන්නිවේදනයේ ඉහළ තැනක් ගත් කදිම මෙවලමකි. හසුන් පත් බොහෝය. ඉනුත් එය පෙම් හසුනක් වන්නේ නම් එහි ඇති සොමිගුණය වඩාත් වර්ධනය වන්නේය. හසුනේ උපත කවදා කෙසේ කොතැනක සිදුවුණි දැයි අපි නොදන්නෙමු. එහෙත් විශ්මකර්ම චීනුන් පැපිරස් පත්‍ර  ලෝකයට හඳුන්වා දීමටත් පෙර සිට ම ලොව හසුන්පත් අතිනත ගියේය.  පුරාතණයේ නසරත්හි ජේසුස් හා පස්වැනි අබ්ගාර් රජු අතර  සිදුවූ ඓතිහාසික ලිපි හුවමාරුව ඊට කදිම සාක්‍ෂිය.

අපගේ සාහිත්‍ය වංශයේ නොමැකෙන නමක් තැබූ මාර්ටින් වික්‍රමසිංහයන් ද තම තුන් ඈඳුතු නවකතා මාලාවේ කේන්ද්‍රීය චරිත මත්තේ දිසි, චරිත ලක්‍ෂණ අපට කදිමට පත්තියම් කල එක් මඟක් නම් හසුන්පත් අභියස ඔවුන් දක්වන ප්‍රතිචාර ලිවීමයි. එබැවිණි අප දැනගත්තේ නන්දා තුළ පියල් කෙරෙහි ක්‍රමයෙන් මෝරන ආලයක් මෝදු වේගෙන එනබව. එසේ නොමැත්තේ නම් පියල්ගේ ලියුම් කරදහි තමන් අතපත් විගස ඇය තම මව වූ මාතර හාමිනේට කියාසිටි පරිදි විසිකරනු ඇත්තේ ලිප්බොක්කට මිස අල්මාරියට නොවේ.

 

මේ ලිපි හබය එවන් පෙම්හසුන් හුටපටයක් නොවේ. මෙරටේ නිළධර තන්ත්‍රය හොබවන ධුරාවලිගතව සිව්වැනි තැන ඉන්නේ යැයි සැළකිය හැකි එච්. කේ. ඩී. ඩබ්. එම්. එන්. බී. හපුහින්න සියළු තේරීම් භාර නිළධරයන් අමතා යැවූ ලිපියකි. ඔහු මෙරටේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය හොබවන්නාය. ජනවාරි මස 10 වැනි දින ප්‍රකාශිත එකී ලිපිය එක් පසෙකින් නියෝගයක් වන්නා සේම අනෙක් පසින් ඉහළ නිළධරයෙකුගේ පණිවුඩයක් කඩිමුඩියේ සන්නිවේදනය කරන්නකි.

එහෙත් ප්‍රමිලා බිසවගේ එක් පාද යුග්මයක දිසි කළු ලපය ගැන කටමැත දොඩා හිස් ගැසුම් කෑ  දස්කොන් සේම හපුහින්නද තම සහුර්ද ජන පර්ෂද්හි අපවාදයටත්, අනාගතයේ ලැබිය හැකි දඬුවමකටත් යටත් ක්‍ෂුද්‍ර නිළධරයෙක් බවට රූපාන්තරණය  වී ඇත්තේය. මෙහි පවත්නා සදය උපහාසය හා සරදම නම් හපුහින්න කඩේ යැවූ අමාත්‍ය මණ්ඩල ලේකම් ගොයියා වන ඩබ්. එම්. ඩී. ජේ. ප්‍රනාන්දු වගේ වගක් නැත්තා සේ නිහඬ සිටීමයි. ඔහුගේ අභද්‍ර වදන ඔස්සේ පෙරට ආ හපුහින්න ගිලටීනය පේන මානයේය.

මෙය නිසැකවම ''මගේ නොවන මගේම ලියුමක් තිබුණා'' හා සම ස්වභාවයකි. වරක් මෙකී අමාත්‍යංශය ම හෙබවූ අමාත්‍ය ෆයිසර් මුස්තෆා ද ගීනස් වාර්තාවක් පිහිටවූයේය. එනම් තමන් පාර්ලිමේන්තුවේ සභාගත කල වාර්තාව තමන් විසින් ම පරදවමින්ය. මෙරටේ ඊට පෙර එවන් පූර්වාදර්ශයක් නොවීය. එබැවින් බැලූ බැල්මට මේ අමාත්‍යංශ බිම භූතයන් අරක්ගත් බිමකි. එසේ සිතන විට හපුහින්න  විවිධ නිර්වචන හා සිතිවිලි ජනිත කරන බිබික්කමක් බඳුය. මෙකී හපුහින්න චරිතය විදාරණය මෙරටේ සුපිළිපන්න රාජ්‍ය සේවයක් බිහිකිරීමේ එක් නොවරදින මඟකි.

මෙකී හසුන් පොජ්ජේ නිර්මාතෘ හපුහින්න පරිපාලනයට නවකයෙක් නොවේ. ඔහු රාජ්‍ය සේවයට එක්ව අදට මේ ගෙවී යන්නේ 11,786 දිනයයි. (එනම් වසර 32 ක් හා මාස 03 කුත් දින හයකි).  ඔහුට අණදුන් ප්‍රනාන්දුගේ පරිපාලන දිවිය ද වසර  31 ක් ඉකුත්ව මාස 08 ක්  දින 27 කින් සැරසී ඇත්තේය. එබැවින් මොවුන් ළදරුවන් නොවේ. යටත් පිරිසෙන් දශකයක කාලයක් හිසකේ පැසුණු නරුම දේශපාලකයන් කඩේ යැවූ අපාය සහායකයන් සේ හැසිරුණු පරිපාලනය නම් කළල් දියේ සිටවූ ඇද ගැසූ ඉනිය.  මහින්ද දේශප්‍රිය මහත්මා එදින සැන්දෑවේ සිහිකළ පරිදි මෙහි ඇති ශෝකී පසුබිම නම් හපුහින්න, තේරීම්භාර නිළධරයාගේ මෙහෙයුම නොපිරිහෙලා දත් තැනැත්තෙක් වීමයි. ඔහු එක් පාර්ලිමේන්තු මැතිවරණයක් හා පළාත් සභා ජන්ද විමසීමක් දිස්ත්‍රික්බදව මෙහෙයවූ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙක් යැයි ඔබට ඇදහිය හැකිද?.

කෙසේවතුදු, හපුහින්න යූනියන් පෙදෙසේ අමාත්‍යංශයට නවකයෙකි. වත්මන් ආණ්ඩුවේ ගොබ්බ රාජ්‍ය ඇමැත්තෙකුට නිලනිවසක් දීමට මැලි වූවා යැයි කියා වෙනතකට මාරු කොට යැවූ මායාදුන්නේ ලේකම්වරයා  වෙනුවට ගෙන්වා ගත්තේ හපුහින්නය. ඊට පෙර ඔහු අදියුරුකම දැරුවේ  කාන්තා, ළමා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේය. සැබවින්ම එකී අමාත්‍යංශය සපුරා නිෂ්ක්‍රිය ආයතනයක් ලෙසින් අගතියට පත්කොට පරිපාලනය උඩුයටිකුරු කරමින් අමුතුම පාලනයක් ගෙනගිය හපුහින්න කිසිදා සමාවක් දිය නොහෙන කරුමයකට ද  අත ගැසුවේය. එනම් ජාත්‍යන්තර ප්‍රමිතියට පිටුපා මෙරටේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා නිවැරදිව  දැක්විය යුතු  නාමකරණය වෙනස් කිරීම සඳහා වත්මන් ජනපතිට උපදෙස් දීමයි. දැන් කියන්නේ ''විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන්'' කියාය. (හපුහින්නගේ සම්ප්‍රදායික හා ආචීර්ණ කල්පිත විශ්වාස කෙතරම් හානිකරදැයි ඔබට වටෙහෙනු ඇතැයි මා හඟිමි). 

මෙලෙස ප්‍රාදුර්භුත ලේකම්වරයා වෙත අමාත්‍යංශයේ වපසරිය කියා දිය යුත්තේ එහි රැඳි අතිරේක ලේකම්වරයන් හා ලේකම්වරියන්ය. අවාසනාවට එහි සිටින එවැන්නෝ පැරැණි දෙමළ භාෂාගත පිරුළකින් කියන සේ දිව්‍ය ලෝකයට යන්නට කතා කල ද වහලට නැග කුකුලෙක් හෝ අල්ලන්නට බැරි පරිපාලකයෝය. (මෙකී අතිරේක ලේකම්වරුන්ගේ ඩියුටිය වන්නේ ලේකම්වරයා ලියුම් ගසා කුජීත වනවිට සව්දිය පිරිම දැයි සෙවීමට විශේෂ කමිටුවක් පත්කිරීම යෙහෙකි).

තරිඳු උඩුවරගෙදර සරල සිංහලෙන් ලියා ඇති ලයනල් ප්‍රනාන්දු ජීවන චර්යාව වහා කියවන ලෙස මා හපුහින්නයන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. එහි 'A man for all seasons' යනුවෙන් පැණෙන එක් පරිච්ජේදයකි. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක හමුවේ බෑ කියන්නට බැරි යමක් ගැන බෑ කියූ මනරම් විලාසය එහි අන්තර්ගතය.

 

මෙකී සංතෑසිය හමුවේ එක් සුබවාදී පැතිකඩක් ද විවරව ඇතැයි යන්න අපගේ නිරීක්ෂණයයි. එනම් දෂ්ඨ නොකරන්නේ යැයි සිතා දරමිටියටත් බඳින්නට හැදූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ මැතිවරණ කොමසාරිස්වරයා  මෙන්ම සමස්ත කොමිෂන් සභාව පෙන්වා ඇති සැබෑ වෘත්තීය පරිචයයි. ලිපිය දුටුවනම (එය කුමක් හෝ අවාසනාවක් නිසා මැතිවරණ කොමිසමට යොමුකොට නැත) මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායකයන් ගත් අනගි පියවරද මෙරටේ රාජ්‍ය නිළධරයන්ගේ අනාගත ගෞරවය සදන්නේය.

මා නැවතත් සිහිකරමි. රාජ්‍ය සේවය  යනු තමන් කැමති හා අකමැති දෙපිරිසටම සේවය කිරීමයි !!

manjula gajanayake 1

| මංජුල ගජනායක

(මෙහි ව්‍යවස්ථාපිත -නෛතික හා පරිපාටිගත පසුබිම දෙවැනි කොටසින් විස්තර කෙරේ)