අපේ රටේ මෙම අර්ධනාරි ප්‍රජාව පිළිබඳව පොදු මහා මාධ්‍ය තුළ විවෘතව සාකච්ඡා නොවන තරම්ය.එම නිසා එම ප්‍රජාව පිළිබඳව හොඳින්ම සහ විවෘතව කතා කරන ලලිත් ධර්මවර්ධන හමුවීමට අවස්ථාව සලසා දුන්නේ හිතවත් විෂ්ණු වාසු සහෝදරයාය.
ඒ අනුව ලලිත් ධර්මවර්ධන හෙවත් ලලිත් අයියා සමග ලියුම්කරු මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කළේ පසුගිය මාර්තු මස 13 වැනි දිනය.නමුත් පසුගිය අගෝස්තු 06 දා ලලිත් අයියා වයස අවුරුදු හැත්තෑ පහේ දී ලලිත් අයියා අපේ දර්ශන පථයෙන් සදහටම ඈත් වී යනතුරු එයා බලාගෙන සිටි මේ ලිපිය පළ කිරීමට නොහැකි වූයේ පුවත්පතේ එකල පළ වූ ලිපි මාලාව අවසන් වන තුරු අපි බලා සිටි නිසයි. සම්මුඛ සාකච්ඡාව අවසානයේ ලලිත් අයියා ලියුම්කරුට කියා සිටියේ "මගේ ජීවිතයේ මම කවදාවත් මේ වගේ අපේ ප්‍රජාව ගැන සහකම්පනයෙන් සාධාරණශීලී දෘෂ්ටියකින් (පුවත්පත්) interview එකක් කරලා නැහැ." යනුවෙනි.
නමුත් ලලිත් අයියා ඇසුරු කළ අය කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ ලලිත් අයියා එච්චර ඉක්මනට හැමදෙනාම ගෙන්ම ඈත් වෙයි කියලා. තමන්ගේ ජීවිතය සහ තමන්ගේ පරිවාර සාමූහිකය පිළිබඳව නිර්භීතව සහ අවංකවත් විවෘතවත් කතා කළ ලලිත්
ධර්මවර්ධනට මෙම ලිපිය උපහාරයක් වේවා.
(මෙම රචනාව තුළ පොන්නයා යන වචනය හැකි තරම් අඩුවෙන් පාවිච්චි කිරීමට ද උත්සාහ කළෙමි.එසේ එම වචනය භාවිතා කළේ එම ප්‍රජාව හඳුනා ගැනීමට පමණක් මිස ඔවුන්ට අපහාසයක් උපහාසයක් පිණිස නොවන බව පාඨක සහ එම ප්‍රජා මිතුරන් කරුණාවෙන් සලකන්න)
නපුංසක හෙවත් අර්ධනාරී/අර්ධ පුරුෂ චරිත පිළිබඳ ආගමික ග්‍රන්ථවල කෙසේ ලියැවී ඇත්දැයි පැහැදිලිව විස්තර කිරීමට තරම් කරුණු මම නොදනිමි.
නමුත් බයිබලයේ ද මෙම චරිත ගර්හිත චරිත ලෙස විවෘත සමාජයෙන් පලවා හැරී කතා ද ඊට සමාන කතා කුරානයේ ද ඇතැයි එම ආගමික මුලාශ්‍රවලට සමීප මෙම ලියුම්කරුගේ මිතුරෝ පවසති. ආටානාටිය සූත්‍රයේ ද මෙම ප්‍රජා කොටස පිළිබඳ යම් සඳහනක් ඇතැයි සුජිත් අක්කරවත්ත මහතා පවසයි.

| විෂ්ණු වාසු
කෙසේ වුවත් අර්ධ නාරි හෝ අර්ධ පුරුෂ ප්‍රජාවන් ඉතිහාසය පුරාම දිය ඇඳි ඉරිසේ ඇඳී මැකී ගොස් ඇති බව රහසක් නොවේ.
නපුංසක යන්නට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ She-male යන්න ය. Impotent (හෙවත් බෙලහීන) ලෙස ද තව තැනක දැක්වේ. බොහෝ භාෂාවල මෙම පුද්ගල ආදේශ නාමය වර නගන්නේ ලිංගික නොහැකියාව ලෙසය."දරුවන් ඉපැද්දවිය නොහැකි නම් ඒ නපුංසක වේ" යනුවෙන් ද අර්ථකථනය කෙරේ. සංස්කෘත බසින් "පුංසවත්" යනු පිරිමි දරුවා යන අරුත දේ.පුංස යනු පිරිමියා හෝ පිරිමි දරුවාය.පුංසක යනු පුතෙකු ඉපැද්දී විය හැකි පුද්ගලයාය. ඒ අනුව පුතෙකු ඉපැද්ද විය නොහැකි යන අරුත නපුංසක වේ.එසේම පුම් යනු පුරුෂයාය.න පුංසක යනු පිරිමි නොවන පුද්ගලයාය යයි ද භාෂාවේ කියවේ.
සංස්කෘත භාෂාවේ පණ්ඩක යන වචනයට ඇති ආසන්නතම තේරුම නපුංසකයා යන්න බව ද පණ්ඩක යන්නෙන් පොන්නයා යන වචන මිදී ආවා විය හැකි යන්න විෂ්ණු වාසු ගේ "සාරි ඇඳපු පිරිමි" පොතේ දැක්වේ.
සාමාන්‍ය නිර්වචනයන්ට අනුව "ස්ත්‍රී හා පුරුෂ සම්මිශ්‍ර ශාරීරික හා මානසික ද්විලිංගිකත්වයෙන් යුත් අර්ධ නාරිනියන්ට පොන්නයා යැයි කියනු ලැබේ".
පොන්නයා හෙවත් නපුංසකයා යනු එකම රේඛාවක් මත තබා හැඳින් වුවද එම වචන දෙකේ අර්ථය සහ චරිත වෙනස් ඉවුරු දෙකකි.
පුරුෂ මූලික ශරීරයක් සහිත ස්ත්‍රී මූලික ඇවතුම් පැවැතුම් සහ ජීවන රටා ඇති අර්ධ ස්ත්‍රීන්ට පොන්නයා යයි කීව ද නපුංසකයන් ලෙස අතීතයේ හැඳින්වූයේ අංග ඡේදනය කරන ලද මිනිසුන්ටය.
එසේම ලෝකය පුරා හමුවන ඉතිහාස කතා හා ජනකතාවල ද විශේෂයෙන් ආසියානු කලාපයේ රටවල රාජමාලිගාවල ඉතාම වැදගත් තනතුරු සඳහා නපුංසකයන් පත් කර තිබූ බවට තොරතුරු ඇත.චීනය, කොරියාව, ඉන්දියාව වැනි රටවල එවැනි කතා හමුවේ.
උපතින් නපුංසකයන් වූ මෙන්ම , වෘෂණ කෝෂ ඉවත් කිරීම මගින් එම තත්ත්වයට පත් කරන චරිත පුරාණ ද ඒ අතර දැක් වේ. ඔවුන් දැඩි රාජ පාක්ෂික,ඉතාම ශක්තිමත් සහ දීර්ඝායුෂ විඳින පුද්ගලයන් ලෙස එම කතාවල ඉස්මතු කර ඇත.මේ අය ඒ ඒ රටවල්වල විවිධ නම්වලින් හැඳින්වී ඇත.
අතීතයේ උපතින් එවැනි ද්වි ලිංගික චර්යා සහිත චරිත අපේ රටේ පැරැණි හෝ ඉතිහාස කතාවල හමු නොවුණ ද අංග ඡේදනය කිරීමෙන් පසු(වෘෂණ කෝෂ ඉවත් කිරීමෙන් පසු) නපුංසකයන් බවට පත් කළ වීර චරිත ආසියානු කලාපයේ සමාජ වලින් හමුවේ. ලංකාවේ රජ මාලිගාවල අන්තඃපුර ආරක්ෂකයන් ලෙස කටයුතු කළ හා ජපානය, කොරියාව,චීනය,ඉන්දියාව වැනි රටවල රාජ සභාවල ඉහළ තනතුරු හෙබ වූ එවැනි ගරු කටයුතු නපුංසක චරිත පිළිබඳ තොරතුරු එම රටවල ඉතිහාස කතාවල දැක් වේ.
එකල රජ මාලිගාවල සහ රටේ මෙම නපුංසක රාජ්‍ය සේවකයන් පිළිබඳව තිබුණේ අති විශේෂ ගෞරවනීය පිළිගැනීමකි.
දාහතර වන ශත වර්ෂයේ අති දැවැන්ත චීන නාවික හමුදාවට නායකත්වය දුන් සහ ක්‍රි.ව.1411 රයිගම පාලනය කළ වීර අලකේශ්වර හෙවත් අලගක්කෝනාර අත්අඩංගුවට ගෙන චීනයට රැගෙන ගිය ෂෙන්- හේ චීන රාජ සභාවේ සිටි නපුංසක නිර්භීත සෙනෙවියෙකි.කොරියාවෙන් ද එවැනි නපුංසක රාජකීය නිර්භීත චරිත රැසක් හමුවේ.
මෙම නපුංසක චරිත හා එවැනි චරිත සහිතව ඉපදීමට හේතු වූ කරුණු පිළිබඳ මහා නාරද කස්සප ජාතකයේ සහ ලෝහ කුම්භ ජාතකයේ ද තොරතුරු දැක්වේ.පැරණි බයිබලයේ හෙවත් ශුද්ධ බයිබලයේ ද නිගරු කටයුතු පුද්ගලයන් ලෙස මෙම ප්‍රජාව පිළිබඳ තොරතුරු දැක්වේ.
මලයාලම් බසින් කාට හෝ ආදරයෙන් කතා කරන විට "පොන්නු" යනුවෙන් යොදා කතා කෙරෙන බව ද දෙමළ භාෂාවේ පොන්නු යනු දිලිසෙනවා යන්නට සහ රත්තරන්වලට ද භාවිතා කෙරෙන බවත් පොන්නි සම්බා යනු දිලිසෙන සහල් යන අර්ථ ගැන්වෙන බව විෂ්ණු වාසු සිය "සාරි ඇඳපු පිරිමි" පොතේ තවදුරටත් පෙන්වා දී ඇත.
(උපුටා ගැනීමට අවසර දුන් විෂ්ණු වාසු මහතාට ස්තුතියි)
තොටළඟ තොරණ ෂෝ එකට සරල බායි එන්නේ මයිනර් ටැක්සි තුනක ගාඩ් එකක් දාගෙන...
නමුත් කාලයාගේ ඇවෑමෙන් අන්තපුර සහ අංග ඡේදනය සමාජයෙන් තුරන්වීමත් සමග එම නපුංසකයන් පිළිබඳ කතා දිය වී යත් දී, උප්පත්තිගත මානසික ද්විලිංග චරිත ලක්ෂණ මතින් නපුංසක චරිත ප්‍රකට කළ පුද්ගලයන් සමාජයේ සැරිසරනු දක්නට ලැබුණි.මුලදී ඔවුන් නපුංසකයන් ලෙස පොදුවේ හැඳින්වුවද පසුව ඔවුන්ට වෙන නම් පටබැඳුනි.ලාංකේය සමාජයේ එම නම වූයේ පොන්නයා ය.
මෙහි දී බොහෝ දුරට එම නම පටබැඳුනේ පුරුෂ ශරීර සහිතව ඉපද ස්ත්‍රී ලෝලීත්වයෙන් යුතුව ජීවත් වූ චරිත වලටය.
මෙරට ග්‍රාමීය ප්‍රදේශවල මෙවැනි අර්ධනාරී හැසිරීම් රටා සහිත නාරිදේහයන්ට ලොබ බඳින පිරිමි හෝ පිරිමි චරිත රූපකයන්ට පෙම්බඳින ස්ත්‍රීන් බහුල වශයෙන් දැකගන්නට නොලැබේ. සිටියත් ඔවුන් ඈත ගම්වල ජීවත් වන්නේ අනිත් අය අතරේ සාමාන්‍ය චරිත ලෙසමය.
නූතන ලාංකේය සමාජයේ බොහෝ දුරට මෙම අර්ධනාරීන් බහුල වශයෙන් රංචු ගැසී නාගරික උපසංස්කෘතික ජනපදවල එනම් මුඩුක්කු පැල්පත් ආශ්‍රිත නාගරික උප ජනකලාපවල රහෝගතව රාශිභූතව සිටිනු දක්නට ලැබිය හැක."එක කාමරයක අපි දහදෙනෙක් විතර කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙනවා".ඔවුන්ට තනිවම ජීවත්විය නොහැක. තනිවම පැවැත්මක් ද නැත. තනි වුණොත් ආරක්ෂාව ද නැත. ලිංගික මෙවලම් ලෙස සැලකෙන මෙම ප්‍රජාව අරබයා බැහැර සමාජයේ පීඩක තත්ත්වයන් ගොඩනැගීම හේතුවෙන් හැමවිටම මේ අය පණු ගුලියක් මෙන් සාමූහිකව ජීවත්වීමට පුරුදු වී ඇත. ඔවුන් තුළ ඒ වන සාමූහිකත්වයේ මහා උත්තම පුරුෂ ගති ලක්ෂණ අනිත් සමාජ කොටස් අතර කවදාවත් දක්නට ලැබෙන්නේ නැත.ඔවුන් කියන පරිදි "අපිට බෙදා ගන්න තියෙන්නේ අපිව විතරයි.අපිට බදා ගන්න ඉන්නේ අපිම විතරයි"
ඔවුන් කොළඹ වතු මුඩුක්කු හෝ ඒ ආශ්‍රිත ගර්හිත නිවාස කලාපවල තමන්ගේ පාඩුවේ ජීවත් වන අතර, එම සංස්කෘතික වටාපිටාවේ සෙස්සෝ ඔවුන්ව රැක ගැනීමද ඔවුන්ට ආරක්ෂාව සැලසීම ද සාමාන්‍යයෙන් දැක ගත හැක. විශේෂයෙන් වතුවල අයියලා මේ අයව තමන්ගේම කොටසක් ලෙස සැලකීම ඒ අයියලාට චණ්ඩින්ට ගෞරවය පිණිස සඳහන් කළ යුතු කාරණයකි.මෙම අයව නාගරික උපසංස්කෘතිය ඇතුලේ කවදාවත් ගර්හාවට ලක් නොකරන අතර ඔවුන්ට කවදාවත් පො...කියා ආමන්ත්‍රණය නොකරති. මුඩුක්කු පැල්පත්වල ජනතාව බොහෝ විට ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ඔවුන් තමන්ට ආරෝපණය කරගෙන ඇති - බොහෝ විට රොමැන්ටික්- සාමාන්‍ය නමිනි.(මම ජූහි...මම කරීනා...යනාදී ජනප්‍රිය නම් ඔවුන් තමන්ට ආරෝපණය කර ගන්නේ ඔවුන්ගේ සිහින චරිතවල පිටපත් බවට පත්වෙමින්ය)

| ඈන්ජලා සෙනෙවිරත්න | ලලිත් | විෂ්ණු වාසු
අපේ පරම්පරාව එන්නේ ඉන්දියාවේ චුන්නාකම් බ්‍රහ්මණයාගේ පරම්පරාවෙන්.
ඒ නිසා තමයි අපිට හුන්නො කියන්නේ.
නමුත් නාගරික ගර්හිත සමාජයෙන් බැහැර නාගරික සමාජයේ මධ්‍යම පාන්තිකයන් හා අනෙකුත් අය මෙම ප්‍රජා සාමාජිකයන් Lady boys/ පොන්සින්/ පොන්සි/ පොන්ටි/ පොන්ටින්/ පොන්ටික්/ නංගි මල්ලි/ ලඳේ/ ඇන්ටි ජුලෝලා/ හුකන්ජිනා/ පී අයියලා/ ලතා යනාදී තමන්ට ඔහු හෝ ඇයව ප්‍රක්ෂේපණය වන රූපකයට අනුව හැඳින්වීමට නම් හදා ගැනීමට පුරුදු වී ඇත.මෑත කාලයේ ඔවුන්ව හැඳින්වීමට "සමනලයා" යනුවෙන් ද ව්‍යවහාර කෙරිණ.
ස්ත්‍රී ලෝලීත්වය සහිත ජීවිතවල රැඳී සිටිති.තව සමහරු ස්ත්‍රී පෙනුම සහිතව ඉපිද පුරුෂ ගති ලක්ෂණවලට පෙම්බඳිමින් එම චරිතවල ජීවත් වෙති.එවැනි ස්ත්‍රීන් ලෙස ඉපිද පුරුෂ මූලික ආත්මවල ජීවත්වන පුද්ගලයන්ට "ගෑනු පොන්නයෝ' යැයි කියති.ඉතිහාසයේ අපට හමුවන එවැනි ස්ත්‍රී රූපික පුරුෂ පදනම්ගත ප්‍රෞඩ චරිතයකි ඇම්බැක්කේ දේවාලය කළ ගම්පොළ යුගයේ විසූ "හෙනකඳබිසෝ බණ්ඩාර." නමුත් පුරුෂ ශරීර සහිතව ස්ත්‍රි ආත්මවල ජීවත්වන අයට අමුවෙන්ම පොදුවේ පොන්නයා යයි ද කියති.
පොන්නයා යන වචනය අද ලාංකේය සමාජයේ පොදුවේ භාවිතා වෙන්නේ එම වචනයේ ඇති යම් කිසි ගර්හිත බව තවකෙකුට ආරෝපණය කරමින් නිග්‍රහ කිරීමටයබාල පහත් පෙළේ වැඩක් කළ විට යමෙකුට " පොන්න වැඩ කරන්න එපා" - "උඹ මහ පොන්නයෙක්... "ගෑණුන්ට ගහන පොන්නයා"යනාදී වශයෙන් කියා නිග්‍රහ කිරීම එවැනි අවස්ථාවකි.
මේ වචනය කියා කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නේ පුරුෂයෙකුට තරම් නොවන පහත් වැඩ කළ පුද්ගලයකුට අපහාසාත්මකව දෝෂාරෝපණය කිරීමටය.කිසිම වෙලාවක මෙම වචනය ස්ත්‍රියකට ආරෝපණය කර කතා නොකිරීම කැපී පෙනෙන ලක්ෂණයකි.යමෙකු කරන බාල වැඩවලට ද මේ උදෘතය බොහෝ විට යොදා ගනිමින් අපහාසාත්මකව දොස් නැගීම නාගරික උප සමාජයේ දක්නට ලැබේ.
කොළඹ අගනාගරික මහා සමාජයේ ද මෙම ප්‍රජාව ජීවත් වෙති.ඔවුන් නාගරික ඉහල ප්‍රභූ ජන සමාජයේ ආන්තිකකරණයට ලක් නොවූ, ගෞරවනීය අතිවිශේෂ සාමාජික ප්‍රජාවක් ලෙස ලෙස එම ඉහළ ප්‍රභූ සමාජයේ සැලකිලි ලබමින්, තමන්ට ආවේණික සංස්කෘතික සහ ලිංගික ජීවිතවල ජීවත් වෙති.ඔවුන්ට අත මිට යහමින් ඇති නිසා ඔවුන් තමන්ගේ ජීවිත සැහැල්ලුවෙන් අන් අයට අනාවරණය නොවන ආකාරයෙන් හා අන් අයගේ විරෝධයට පාත්‍ර නොවන අන්දමින් ගත කිරීමට සමත් වී සිටිති.එම නිසා ඔවුන්ට සෝපාහාස ආරෝපිත නම් වෙනුවට කියවෙන්නේ හැම විටම ගෞරවාන්විත බටහිර පන්නයේ නම්ය.
නමුත් නාගරික වීදි සරන අර්ධ නාරිනියන් බහුල වශයෙන් ජීවත් වූයේ ද ජීවත් වන්නේ ද අගනුවර තදාසන්න ජන ගුලි අභ්‍යන්තරයේ නිසා මේ මිනිස්සුන්ට කතා කරන නම් බොහෝමයක් ගොඩනැගුනේ කොළඹ අග නාගරිකයේ මිනිසුන්ගේ නිර්මාණ හැටියටය.
නමුත් මේ කිසිම නමකින් ඒ අයට අගෞරවයක් කිරීමට මෙමඩුක්කු පැල්පත් තුළ මිනිස්සු අදහස් කළේ නැත. මන්ද මේ චරිත ද කොළඹ නාගරික වතු මුඩුක්කු ජීවිතවල සමීපතමයෝ එනම් තමන්ගේම මිනිස් කොටස් හැටියට ජීවිත වන නිසාය.
නමුත් අද ශිෂ්ඨ සමාජයේ මෙම සංස්කෘතික ආගන්තුක හා ආන්තික චරිතවලට ගෞරවාන්විතව සැලකීමේ ප්‍රවණතාවයක් ඉස්මතු වෙමින් පවතී.ඊට හේතුව ජාත්‍යන්තර වශයෙන් මෙම ප්‍රජාව සෙසු සංස්කෘතික ප්‍රජාව හා සම තත්ත්වයේ ලා සැලකීමට ලෝකයා පෙළඹීමයි.
එම නිසා මෙම රචනයේ දී අපි ඔවුන්ට ආමන්ත්‍රණය කරන්නේ "අර්ධ නාරින්" යනුවෙනි.ඔවුන් සහෝදරයන් ද සහෝදරියන් ද යන්න අපට අදාල නැත.ඒ නිසා සියලු දෙනාට සහෝදරිය කියා අපි ආමන්ත්‍රණය කරමු.
ශ්‍රී ලාංකේය මහා නාගරික ජන සමාජයේ අර්ධනාරී ප්‍රජාව අතර අතිශය ගෞරවනීය චරිතයකි ලලිත් අයියා හෙවත් ලලිත් ධර්මවර්ධන හෙවත් කොණ්ඩා ලලිත්.
"මට මූණට ලලා කියන එවුන් මං නැති තැන මට පොන්න ලලි කියන බව මං දන්නවා. ඔව් මම පොන්නයෙක් තමයි ඉතින් කාටත් ඇති රුදාව මොකක්ද? "
ස්වකීය ආත්මීය ලාලසාව පෙරදැරිව අර්ධනාරියක් ලෙස ඉතාම ස්වාධීනව සහ ගෞරවනීය ලෙසත් අභිමානයෙන් යුතුවත් ජීවත්වන ලලිත් ධර්මවර්ධන විවිධ ගැහැට විඳ කොළඹට එන මෙම අර්ධනාරී ප්‍රජාවට අම්මා කෙනෙකු මෙන් රැකවරණය ආදරය සහ ජීවත්වීමට ශක්තිය දෙන මහා චරිතයකි ලලිත් අයියා හෙවත් ලලිත් ධර්මවර්ධන. මේ ප්‍රජා සාමාජිකයෝ සියලු දෙනා ලලිත් අමතන්නේ අම්මා හෙවත් මමී කියාය.සමාජයේ සහ පවුල තුළ විවිධ අත්හැර දැමීම් සහ කොන්වීම්වලට ලක්වන ඔවුන්ට සැබවින්ම ලලිත් යනු නොවැදූ අම්මාය.සමහරු ඇයට මමී යැයි ද කියති. මෙම අර්ධනාරී ප්‍රජාව අතර ලලිත් ජනප්‍රිය මෙන්ම සෙනෙහෙබර චරිතයකි.
කොහොමත් ලලිත් කෙලින් මිනිහා. ලලනා ගති වලින් ආඪ්‍ය වුණාට වචනය වෙනස් කරන ජාතියේ කෙනෙක් නෙමෙයි.කිව්වොත් කිව්වම තමයි.වයස පනස් නවයක්. හිසේ කෙස් ගානට යාළුවො. ලලිත් කියන්නේ සොත්ති උපාලි, මාළු නිහාල් වගේ චණ්ඩියෙක් නෙමේ.හරි අහිංසකයා. ඒ වුණත් කිසිම තැනක දී දෙකට නොනැමෙන, මහ රජ්ජුරුවන්ට වුණත් වචනෙකින්වත් යටත් නොවන චරිතයක්.
එසේම ලලිත් යනු සිංහල සිනමාවට ඔහු නැතිවම බැරි කොණ්ඩ ලලිත් ය.
"ලලිත් විශිෂ්ට කොණ්ඩා මෝස්තර සහ වේශ නිරූපණ ශිල්පියෙක්. එයාව නොදන්න කෙනෙක් චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ නැහැ.
කැමරා, ලයිට්, ට්‍රැක් ඩොලි පවා එයාගේ නම කිව්වම පිබිදෙනවා.එයා තමයි මාලනිගේ ස්ථාවර කොණ්ඩා මෝස්තර ශිල්පියා.ඒ වගේම මාලනී + සනත් ප්‍රේම වෘත්තාන්තයේ සහෘද ප්‍රධාන සාක්ෂිකාරයා.
ස්වර්ණා,සබීතා,ගීතා,සංගීතා එහෙමත් විශේෂ උත්සවවලට ගියේ ලලිත්ට කියලා කොණ්ඩේ සරසා ගෙන.
"අයියෝ ලලිත් ඔයා නැති දවසට මන් සිනමාවෙන් සමුගන්නවා පැටියෝ..." ගීතා නිතර කිව්වා.
"ලලිත්ගේ අතක් ගෑවුණාම ඇති" සංගීතා මැතිරුවා. ගාමිණි, විජේ, රවින්ද්‍ර, රොබින් ඔය කොයි කෙරුම්කාරයත් ලලිත්ගේ වචනෙට යටයි.කොච්චර ආඩම්බරකාර කැමරාමන් වුණත් වාමදේවනුත් එයාට අවනතයි.ඕනෑම වෙලාවක විව්ෆයින්ඩර් එකට ඇහැ තියන්න ඉඩ දෙනවා.
කොළඹට එන තම කුලකයේ ඕනෑම කෙනෙකුට ලලිත්ගේ නිවස විවෘතයි.දෙමළ ද මුස්ලිම් ද කොණ්ඩෙ බැඳල ද පච්ච කොටලද කරාබු දාල ද සාරි ඇඳල ද තරුණ ද මහලු ද ලලිත්ට අදාළ නැහැ.
ලලිත්ගේ සමකුලයේ පරම්පරාව එයාට අම්මා කියලා කතා කරන්නේ සත්තකින්ම එයා මව් ගුණයෙන් පරිපූර්ණයි.අතිශය ශිෂ්ට සම්පන්නයි දයාබරිත චරිතයක් නිසයි.
සාරි ඇඳපු පිරිමි - විෂ්ණු වාසූ.
කොළඹ අගනාගරිකය ඇතුලේ නාගරික උප ජනපදවල ජීවත් වන ජනතාවඅතරේ නොසැඟවී නිර්භීතව ජීවත්වන මෙම අර්ධනාරි චරිත පිළිබඳ බොහෝ කතා ටවර් හෝල් නාට්‍ය යුගයට පවා ඈඳී ඇත.
මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසයේ සඳහන් වන ප්‍රථම කාන්තා චරිතය ද රඟපෑවේ මේ අර්ධනාරි හෙවත් පුරුෂ ශරීර මූලික ස්ත්‍රියක් ලෙස සැලකේ.ඇයගේ රංගනයෙන් සමහරු මුසපත් වී ප්‍රේක්ෂකාගාරයේ ඇද වැටුණු බවට ද සමහර සටහන්වල දැක් වේ.සිංහල වේදිකාවේ ඇය ප්‍රථම රංග ශිල්පිනිය ලෙස ප්‍රකාශ කෙරුණද සත්‍ය වශයෙන්ම ඇය අර්ධ නාරිනියක් බව වරක් සරලා බායි මෙම ලියුම්කරු සමග ප්‍රකාශ කළාය.
සරලා බායි ද එවැනි චරිතයකි.පුරුෂ පාදම් ශරීරයක් සහිත ඇය හැමවිටම නර්තනයට එක් වූයේ ස්ත්‍රී රූපකයෙනි. ස්ත්‍රීත්වයට ආරෝපිතව ඇයගේ නර්තනයන් දකින කිසිම කෙනෙකුට ඇය පුරුෂයෙක් යැයි කිසිම විටෙක සිටින්නේ නැත.
මගේ සීයා ඊ.එස්.ප්‍රනාන්දු තමයි වැල්ලවත්තේ වෛශාකා විද්‍යාලයට ඉඩම පරිත්‍යාග කළේ.
කොළඹ නගරයේ මීට දශක දෙක තුනකට පෙර වෙසක් සමයේ "පො... ඩාන්ස්" දර්ශන අතිශය ප්‍රසිද්ධ හා ජනප්‍රිය වෙසක් අංගයකි.එසේම නත්තල්වලට කැරොල් නටමින් ගෙවල්වලට යන කණ්ඩායම් අතර ද මෙම අර්ධ නාරිනියන්ගේ නර්තන අතිශය ජනප්‍රිය ය. පොදුවේ ඔවුන්ට හා එම නැටුම් හැඳින්වූයේ පො.. ඩාන්ස් ලෙසය.විහාරස්ථ හා දේවාල ආශ්‍රිත පෙරහැරවලදී ද මේ අය නර්තනයට යොදා ගත් නමුත්, ඔවුන්ට ලබා දුන්නේ පෙරහැරේ අවසාන වලිගේ කොටස ය.නමුත් කොල්ලෝ රංචු ගැසුනේ මේ කෑල්ලේ ය.ඒ නිසාම මේ නැට්ටුක්කාරියන්ගේ ආරක්ෂාවට වෙනම සෙට් එකක් ඔවුන් සමග යාම සාමාන්‍යයෙන් සම්ප්‍රදාය විය.මේ නැටුම් සඳහා පලපුරුදු හා සැදී පැහැදී සිටි කණ්ඩායම් කොළඹ නගරයේ තැන් තැන්වල ජීවත් වූහ. මෝලමට හෝ පපරෙට උන් නැටුවේ ගිනි දළු වගේය.
"ඉස්සර තොටළඟ ෂෝ එකට සරලා බායි එන්නේ මයිනර් ටැක්සි තුනක විතර ගාඩ් එකක් දාගෙන" යැයි තොටළඟ ප්‍රජානායක උපතිස්ස පෙරේරා වරක් මෙම ලියුම්කරු සමග පැවසීය. මන්ද එකල ජනප්‍රිය නිළියකට තරම් විශාල ජනප්‍රිය භාවයක් සහ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇයට තිබුණි.
"කොල්ලො පොරකන්නේ කොහොම හරි අස්සෙන් අද දාලා පුක මිරි කන්න. එහෙම කරන එකා තමයි ඒ කාලේ අපේ හිටපු ලොකුම වීරයා. හැබැයි ඉතින් වටෙන් එන සැට් එකට හොරෙන් එහෙම අත දාන එක ලේසි පහසු වැඩක් නෙමෙයි.එහෙම කරලා අහු වුණොත් නැව් ගුටි තමයි"යැයි උපතිස්ස පැවසීය.
මේ මූලික ප්‍රස්තුතය මත හිඳ අපි ලලිත් අයියගේ කතාව අසමු.ඔහු කිසිවෙකුට නොකී බොහෝ තොරතුරු මෙම ලියුම්කරුට කී බව ඔහු කතාව අවසානයේ කී බව ද මෙහි සටහන් කරමි.

| ලලිත් ධර්මවර්ධන
ලලිත් සමග මෙම ලියුම්කරු සාකච්ඡාවට වාඩිවුණේ මෙම නාගරික අර්ධනාරි සංස්කෘතිය හා බැඳී ජීවන රටාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට නමුත්, වැල්ලවත්තේ මහා දැවැන්ත සැඟවුණ ඉතිහාසයක් ලලිත් අයියා ගෙන් එළියට ආවේ විශ්වාස කළ නොහැකි තරමේ විශ්මයක් ජනිත කරමින්ය.මෙම ලියුම්කරු ද වැල්ලවත්ත ප්‍රදේශයේ උපන් එහි ජීවත් වන අයෙකු වුවද ලලිත් අයියා වැල්ලවත්තේ ඊ එස් ප්‍රනාන්දුගේ මුණුබුරෙක් බව ඇසූ ප්‍රථම අවස්ථාව මෙය විය.එසේම වැල්ලවත්තේ සුන්නක්කර වංශයේ මහා ඉතිහාසයක් මෙම ලියුම්කරු පාදා ගත්තේ ලලිත් අයියාගේ මෙමසාකච්ඡාවෙනි.
එම නිසා අපි පළමුව ලලිත් අයියා ගෙන් වැල්ලවත්තේ ඒ සැඟවුණ පුරාණය අසා සිටිමු.
"මට නම් දෙකක් තියෙනවා. එකක් ලලිත් ධර්මවර්ධන.අනිත් නම ඊ. සී. ධර්මවර්ධන. ඒ කියන්නේ එළිය දුරගේ චන්ද්‍රසිරි ධර්මවර්ධන. ඒ කාලේ ළමයෙක් හම්බවුණ ගමන්ම අම්ම ගෙන් අහනවා ළමයට තියන නම මොකක්ද කියලා. මගේ අම්මා ප්‍රසව වේදනාව නිසා අසිහියෙන් ද දන්නෙ නැහැ අම්මා කියලා තියෙන්නේ එළියදුරගේ චන්ද්‍රසිරි කියලා තාත්තගේ නම.ඒ කාලේ හාල්පොත් තිබුණනේ.ඒ හාල් පොතට මගේ නම ලියාපදිංචි කරත් දි තාත්තා දාලා තියෙන්නේ එළියදුරගේ ලලිත් ධර්මවර්ධන ප්‍රනාන්දු කියලා. පස්සෙ කාලෙක මට තේරුණා මේ නම හරි දිග වැඩියි කියලා.මොකද ධර්මවර්ධන කියන්නෙත් ප්‍රනාන්දු කියන්නෙත් වාසගම්.ඒක නිසා මම ප්‍රනාන්දු කෑල්ල අයින් කරලා ලලිත් ධර්මවර්ධන කියන එක විතරක් ගත්තා.මම ඉපදුනේ 1950 ජනවාරි 27.ඉපදුනේ ද සොයිසා ලයින් හෝම් එකේ.අම්මා එළියදුරගේ සිලියට් නෝනා.අම්මා මාතර මිරිස්සේ. තාත්තා එළිය දුරගේ චන්ද්‍රසිරි ප්‍රනාන්දු. තාත්තා වැල්ලවත්තේ මැනින් ප්ලේස් එකේ.තාත්තලගේ උපන් ගම පරම්පරාවෙන් වැල්ලවත්තේ. මගේ පවුලේ මගේත් එක්ක නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි.
මගේ සීයගෙ නම ඊ.එස්.ප්‍රනාන්දු.එයා මුඩ්ලියර් කෙනෙක්. සීයා වෘත්තියෙන් කොළඹ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් (PHI). මගේ සීයා තමයි වැල්ලවත්තේ වෛශාකා විද්‍යාලයට ඉඩම පරිත්‍යාග කරලා ඉස්කෝලේ හදලා දීලා තියෙන්නේ.(එම පාසලට යන මාවත නම්කර ඇත්තේ ඊ.එස්. ප්‍රනාන්දු මාවත නමිනි) ඕකට කියන්නේ "රෑ ඉස්කෝලෙ" කියලා.ඒ කාලේ ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් වැල්ලවත්තේ බෙස්ට්ම ඉස්කෝලෙ තමයි වෛශාකා ඉස්කෝලේ. සිරිපාදේ වන්දනා සමයේදී සිරීපාදයට විදුලිය දෙන්න කලින් තාවකාලිකව විදුලිය දෙන ජෙනරේටරේ ගෙනිච්ච මේ ඉස්කෝලේ තිබිලා කියලා අපේ තාත්තා කියලා තියෙනවා මට. ඔතන පොල් අතු ඉස්කෝලේ කඩලා යුද්ධ කාලෙ දි පස්සේ හමුදා කඳවුරක් හැදුවා. ඉස්සර ඒකට ලයිට් දීපු ජෙනරේටරේ වෙන්න ඇති මේ සිරිපාද කාලෙට එහෙට ගෙනිච්චේ. මොකද ඒ පාරේ දිගටම හිටියේ හමුදාවේ ලොකු නිලධාරීන් ඒගොල්ලන්ගේ ගෙවල්වලටත් මේ ජෙනරේටරෙන් ලයිට් දීලා තියෙනවා.
යුද්දේ ඉවර වුණාට පස්සේ හමුදා කඳවුර අයින් කරලා අර ආමි එකේ ගොඩනැගිලිවලම ආයිත් ඉස්කෝලේ පටන් ගත්තා.
ඒ ඉස්කෝලේ මුලදි තිබුණේ මිශ්‍ර පාඨශාලාවක් හැටියට. පසු කාලෙක ඒ ඉස්කෝලෙ බාලිකාවක් කරලා ඒකෙ හිටපු පිරිමි ළමයි දැම්මා ඇරතියුසා ඉස්කෝලෙට. ඔය ඉස්කෝලේ බුදු මැදුරේ බුදු හාමුදුරුවන්ගේ දෙවුර වහපු බුදු බුදු පිළිමයක් තියෙනවා.ඒ පිළිමය වඩම්මලා තියෙන්නේ කිරුලපනේ ඇලන්මැතිනියාරාමෙන්.(එෆ්.ආර්. සේනානායකගේ බිරිඳ, ඇලන් සේනානායක මැතිනිය හැදූ පන්සල)
මේ පාසල පාලනය කළේ අපේ පවුලේ සහභාගිත්වය ඇති මණ්ඩලයකින්. තාත්තට අවුරුදු විසි එක වුණාට පස්සේ ඒක තාත්තට පවරන්න ඕනේ කියලා තමයි ඒ ලියවිලිවල තිබිලා තියෙන්නේ.
බැස්ටියන් ප්‍රනාන්දුලා තමයි ඒ ඉස්කෝලේ රන් කළේ. නමුත් පස්සේ තාත්තට ඉස්කෝලෙට එන්න දීලා නැහැ.අපේ සීයා යූඑන්පී. සීයා නගර සභාවට වැල්ලවත්ත ආසනයෙන් යූඑන්පී එකෙන් ඡන්දෙ ඉල්ලලා තියෙනවා.ඒ ඡන්දෙ වෙලාවෙ දි සීයලයි බැස්ටියන්ලයි අතර ගැටුමක් ඇතිවෙලා සීයට ගහපු වෙලාවෙ දි ඔළුව පැළිලා ලේ ගලන කොට ලේ වලට තියපු ලේන්සුව තාත්තා ළඟ මැරෙනකන් තිබුණා. සීයගෙ ගොඩක් සමීප සම්බන්ධකම් තිබිලා තියෙනවා ඕල්කට්තුමා, ඩී.බී. ජයතිලක, ධර්මපාලතුමා වගේ අය එක්ක. වෛශාක්‍ය ඉස්කෝලේ විවෘත කරන්න ඇවිල්ලා තියෙන්නෙ ඒ කාලෙ හිටපු ආණ්ඩුකාරතුමා. ඒ ඵලකය තාම තියෙනවා ඉස්කෝලේ ඇතුලේ.
සීයා ප්‍රතාපවත් යූඑන්පීකාරයා වුණාට තාත්තා සමසමාජ. තාත්තගේ හොඳම යාළුවා තමයි බර්නාඩ් සොයිසා. ඇන්.ඇම්.ට බෝම්බෙ ගහනකොට අත අල්ලපු රෙජී මැන්ඩිස්,ඇන්.ඇම්. පෙරේරා, ස්ටැන්ලි තිලකරත්න තාත්තා ලගින්ම ආශ්‍රය කළා.තාත්තගේ ලොකුම වැඩේ තමයි මැයි පළමුවෙනිදාට මැයි පෙළපාලි යන එක. තාත්තව හොයාගෙන සමහර පාක්ෂිකව එනවා ගෙදරට. "චන්ද්‍රසිරි සහෝදරයා ඉන්නවද" කියලා තමයි ඇවිල්ලා අහන්නේ. එතකොට මම ඒ අයට කියනවා "මෙහෙ සහෝදරයෝ නැහැ,මෙහේ ඉන්නේ මිස්ට චන්ද්‍රසිරි" කියලා.මේක ඇහිලා තාත්තා මට අල්ලා ගෙන ගැහුවා "මිනිස්සුන්ට එහෙම කතා කරන්න එපා" කියලා.
සීයා ප්‍රතාපවත් යූඑන්පීකාරයා වුණාට තාත්තා සමසමාජ
මේ සම්බන්ධකම් උඩ තාත්තා පස්සෙ කාලෙක බර්නාඩ් සොයිසාට කියලා වෛශාකා ඉස්කෝලේ ආණ්ඩුවට පැවරෙව්වා. ඒ 1962 දී. පාර්ලිමේන්තුව නිකුත් කළ ගැසට් නිවේදනයකින් තමයි ඒක පවරා ගත්තේ.තාත්තා කිසිම වන්දියක් ගන්නෙ නැතුව ඒක පවරලා දුන්නා.
අපේ පවුලේ පන්සල වැල්ලවත්තේ වේළුවනාරාමය නිසා මං සැරයක් පන්සලට ගිය වෙලාවේ දී නායක හාමුදුරුවෝ කිව්වා"ලලිත් මහත්තයෝ වෛශාකා ඉස්කෝලේ වැහෙන්න යන්නේ බලලා මොකක් හරි කරන්න. නැත්තං කවුරු හරි ඔය භූමිය ඩැහැගනී.අඩුගානේ ඉස්කෝලේ වැහෙනවා නම් ඒ භූමියවත් ඕගොල්ලන්ට ගන්න බලන්න" කියලා.පස්සේ මම ඉස්කෝලෙට ගියා.ඉස්කෝලෙට ඇතුල් වෙනකොටම මම දැක්කේ කිලුටු සුදු ගවුම් ඇදගත්ත පොඩි ළමයි වගයක් මිදුලේ වැලි ගොඩේ දූවිල්ලේ සෙල්ලම් කරනවා .මට අනේ අපොයි කියලා ගියා.ඊට පස්සේ ඉස්කෝලේ හිටියා ආරියසිරි කියලා සර් කෙනෙක්.එයාවයි ඉස්කෝලේ ගුරුවරියන් ටිකකුයි ලෑස්ති කරගෙන රොක්සිවත්ත, සුභූතිපුර, ඇළ ඉවුර, විහාර ලේන් එක ඔය හැම තැනම ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා ළමයි එක්කහු කරගෙන ඇවිල්ලා ඉස්කෝලෙට දාලා පොත්පත් ඇඳුම් පැළඳුම් සේරම දීලා ඉස්කෝලේ ආයිත් ගොඩ ගත්තා.
ඊට පස්සේ කාලයක් ගියාම ආයිත් මේ ඉස්කෝලේ ළමයි සෙන්ට් ක්ලෙයාර්ස් එකට දාලා මේක මොකක් හරි කරන්න කට්ටියක් ලෑස්ති වෙනකොට වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පාරේ ඉන්න "මාතා මාතික මෑණියෝ" කවුරුත් එයාට කියන්නේ "ශ්‍රී දේවි" නෝනා කියලා "මේක කඩා වැටෙන්න නොදී අපි ගොඩගමු ලලිත්" කියලා එකතු වෙලා,අපි හැමතැනටම කතා කරලා අවසානයේ බම්බලපිටිය ලින්ඩ්සේ විද්‍යාලයට මේ පාසල සම්බන්ධ කළා. මොකද සමහරු සෙන්ට් ක්ලේයාර්ස් එකට යන්න කැමති වුණේ නැහැ.දැන් ලින්ඩ්සේ එකේ ප්‍රාථමික අංශය තමයි වෛශාකා බාලිකා විද්‍යාලය.හැබැයි එක පොරොන්දුවක් පිට තමයි අපි මේ බද්ධ කිරීම කළේ ඒක තමයි ඉස්කෝලේ නම වෙනස් කරන්න බැහැ.
මගේ තාත්තගේ අම්මා මගේ ආච්චි කවුඩානේ සෙම්බරකොටුවේ ගෑනියෙක්. එයා නේපාලි එක් කෙනෙක්
ඇර්තියුසා ඉස්කෝලෙට ඉඩම් දුන්නෙත් අපේ සීයා. ඊ.එස්.ප්‍රනාන්දු. මමත් ඒ ඇර්තියුසා ඉස්කෝලේ ඉගෙන ගත්තා.එතන තිබුණා "තණකොළ වත්ත" කියලා අපේ සීයට අයිති ලොකු ඉඩමක්.ඒකෙන් පර්චස් හැටක කොටසක් දුන්නා දකුණු කොළඹ බාලිකා විද්‍යාලයට. පස්සේ ඒ බාලිකා විද්‍යාලය වහලා තමයි ඇර්තියුසා එක පටන් ගත්තේ. ඒ ඉස්කෝලේ පටන් ගත්තේ ඒ කාලේ වැල්ලවත්තේ තිබුණ ඇර්තියුසා චර්ච් කියන පල්ලියෙන්. ඒක තිබුණේ පරණ සැපයර් හෝල් එකත් එක්කම. ඒක නිසා තමයි ඒ නම ඒ ඉස්කෝලෙට ආවේ. ඇර්තියුසා එකේ පළමුවෙනි ප්‍රින්සිපල් තමයි මිස්ටර් තෝමස්. ඒ කාලෙ ඒ ඉස්කෝලෙ දෙවරු ඉස්කෝලයක්. උදේට සිංහල ළමයින්ට.හැන්දෑවට ලන්සි ළමයින්ට English Medium ඉස්කෝලේ තිබුණේ.
මෙම ඇර්තියුසා පල්ලිය වැල්ලවත්ත ඩබ්.ඒ. සිල්වා මාවතින් හැරී යන පීටර්ස්න් ලේන් හි වම් අත පැත්තේ මුල්ම ගෙවල් කීහිපය අතර කළු ගලින් කේතුකාරව හැදූ කුඩා නිවසක් වැනි දේව ගෘහයක්ව පැවැති බව එම නිවසට "පල්ලිය ගෙදර" යයි ප්‍රදේශවාසීහු පැවසූ බව ප්‍රදේශයේ පැරැණි පදිංචිකාරියක වන අනූෂා ප්‍රදීපිකා පෝල් මහත්මිය පවසන්නීය.අද එම නිවස එහි දක්නට නොමැත.
ෙඇර්තුසා ඉස්කෝලේ ළඟම තියන වැල්ලවත්තේ වේළුවනාරාමය හැදුවේ පර්චස් විසි හතක ඉඩමක. ඒ ඉඩම පූජා කළෙත් අපේ සීයා ඊ.එස්. ප්‍රනාන්දු මගේ තාත්තගෙ තාත්තා. ඒකෙ මුලින්ම හිටියේ මට මතක හැටියට පඤ්ඤාසිහ කියලා නායක හාමුදුරු කෙනෙක්.ඉඩම පූජා කරලා අවාසගේ හදලා තියෙන්නේ "සතර දිගින් වඩින මහා සංඝයාට" කියලා. ඒ කියන්නේ ඕන භික්ෂූන් වහන්සේ නමකට ඇවිල්ලා එහි ලැගුම් ගන්න පුළුවන් කියන එක.

මගේ සීයා වැල්ලවත්තේ. ආච්චි කවුඩානේ සෙම්බරකොටුවේ ගෑණියෙක්. සෙම්බරකොටුව කියලා කියන්නේ ඒ සෙම්බරකොටුවේ දළදා මාලිගාවට අළු හුණු නිෂ්පාදනය කළ නිසයි.ඒක නිසා තමයි අපිට "හුන්නො" කියන්නේ.ඒ කියන්නේ "සුණ්නක්කර වංශය". දළදා මාලිගාවට විතරක් නෙමෙයි රුවන්වැලි සෑයටත් හුණු දුන්නේ අපේ පරම්පරාව තමයි.අපේ ආච්චි ඇවිල්ලා නේපෝලි (නේපාල)) කලවං කෙනෙක්.ආච්චි හරියට චීන ගෑනියෙක් වගේ.
එතකොට සීයගෙ පැත්තේ අපේ මුත්තගේ එහා පරම්පරාවේ මුල් පුරුක "චුන්නාකම්" කියන බ්‍රහ්මණයා. එයාගේ පරම්පරාවේ මුල පටන් අරගෙන තියෙන්නේ සංඝමිත්තා තෙරණිය සමග ආව සොලොස් කුලයෙන්.ඔය හුණු නිෂ්පාදන කර්මාන්ත සම්බන්ධව සහ වෙහෙර විහාර චෛත්‍ය කර්මාන්තවල හුණු පිරියම් භාරව ඇවිල්ල තියෙන පරම්පරාව තමයි ඒ චුන්නාකම් බ්‍රාහ්මණ පරම්පරාව. අපේ පරම්පරාවේ මුල්ම පදිංචිය තිබිච්ච "චුන්නාකම්" කියන ගම තාමත් යාපනයේ ඒ විදිහටම තියෙනවා. මේ ඉතිහාසය ඔක්කොම මට කියලා දීලා තියෙන්නේ මගේ නැන්දා.
වැල්ලවත්තේ විශාල ප්‍රමාණයක් ඉන්න සුන්නක්කර වංශයේ අයගේ ඉතිහාසය පටන් ගන්නේ එතනින්. එතකොට ප්‍රනාන්දුලා කියන්නේ සිංහල වගේම බ්‍රාහ්මණ කුලයටත් සම්බන්ධ පරම්පරාවක් කියලා නැන්දා මට කියලා තියෙනවා.
අපේ පරම්පරාවෙ අය පයාගල මග්ගොනත් ඉන්නවා.මොකද ඒගොල්ලෝ තමයි මුහුදෙන් මේ බෙලිකටු සිප්පිකටු හුණුගල් ගොඩට ගෙනාවා අය. සීයගෙ තව ළඟම ඥාති සහෝදරයෙක් තමයි සේරුවාවිල පන්සල හොයා ගෙන ඒක දියුණු තත්ත්වයට ගෙනාවේ.එයා මුදළිදු වීරසිංහ.

| උපුල් ජනක ජයසිංහ

