රජයේ ආරක්ෂක අංශ විසින් පුරුෂයන්ට ලිංගික අපයෝජන කිරීම පිළිබඳව උතුරු නැගෙනහිරින් දිගටම හෙලිකෙරුණු ආකාරයේ වධ බන්ධන සිදුකළ බවට චෝදනා ලබන දකුණේ ඉහල පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිල්ලක් යවා තිබේ.
එම නිලධාරියා විසින් ජීවිත හානි කරනු ඇති බවට බියද දිවයිනේ ඉහළම පෙලේ නීතිඥ සමාගමක් විසින් කරන ලද එම පැමිණිල්ලේ සඳහන්ය.
බලහත්කාරයෙන් පුද්ගලයකු පොලිස් ස්ථානයකට ගෙනගොස්, නිරුවත් කර, සිහිනැති වනතුරු පහරදී, ලිංගික හිංසනයෙන් අනතුරුව දූෂණය කරන බවට තර්ජනය කළ බවට පැමිණිලි කර ඇත්තේ සබරගමුව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට විරුද්ධවය.
රත්නපුර කිරිඇල්ල මාර්ගයේ වාහනයක ගමන් කරමින් සිටි පුද්ගලයකුට එම නිලධාරියා විසින් පහර දෙනු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව පොලිස් නිලධාරියා වෛද්‍ය සේවා සහ සුබසාධන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබුණි.
නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් ජනාධිපතිවරයාට කරන ලද පිටු හතකින් යුත් පැමිණිල්ලේ දැක්වෙන පරිදි පොලිස් වධ හිංසාවට ගොදුරුවී ඇත්තේ රාජගිරියේ පදිංචි මිශාර රණසිංහයි.
මහමගදී පහර දීමෙන් අනතුරුව ඔහු බලහත්කාරයෙන් කිරිඇල්ල පොලිස් ස්ථානයට රැගෙන ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) සමග සිටි කිරිඇල්ල පොලිසියේ 15706 ආර් ඒ ජේ බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද වධහිංසාවේ හවුල්කරුවන් ලෙස පැමිණිල්ලේ සඳහන් වෙයි.
පොලිස් ස්ථානයේදී මිශාර රණසිංහ නිල පොලිස් රිමාන්ඩ් කුඩුවකට නොදමා ස්ථානාධිපතිගේ කාමරයට යාබද කාමරයකට රැගෙන ගොස් විදුලි පහන් නිවා දමා තිබේ.
“මේ අවස්ථාව වන විට සහකාර පොලිස් අධිකාරී ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකුම යටකී කිරිඇල්ල පොලිස් ස්ථානයේ සිටි බව සඳහන් කරන්නට අපට උපදෙස් ලැබී ඇත,” යි නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කියා සිටී.
ඉන් අනතුරුව සිදුවූ කම්පාවට, භීතියට හා පිළිකුලට හේතුවූ බවට ලිපියේ විස්තර කෙරෙන වධහිංසා මෙසේය.“
තම සේවාදායකයා මුහුණ දුන් දුර්භාග්‍ය සම්පන්න තත්වය හෙළිවීම වැලැක්වීම සඳහා කතාබහ කරන්නට චූදිත පොලිස් නිලධාරියා විවිධ වෑයම් දරන බව පවසන නීලකන්දන් හා නීලකන්දන් නීතිඥ සමාගම එමනිසා තමන්ගේත් පවුලේ සාමාජිකයන්ගේත් ජීවිතයට අනතුරක් වෙතැයි මිශාර රණසිංහ බිය පලකරන බව පවසයි.
යුද්ධයෙන් පසු කාලයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් දෙමළ පිරිමින් අත් අඩංගුවේ රඳවා තබාගෙන දුෂණය කර ඇති බවට මානව හිමිකම් සංවිධාන විසින් වසර ගණනාවක් තිස්සේ අනාවරණය කර ඇති තොරතුරු අසත්‍යයැයි කියමින් මේතාක් පැවති ආණ්ඩු හැමෙකක්ම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් මේ ආණ්ඩුවේ පාලන කාලය තුලදී වදදී දූෂණය කළ බව විස්තර කරන රටින් පලා ආ දෙමළ තරුණයන් පහළොස් දෙනකු පිළිබඳ තොරතුරු මානව හිමිකම් නීතිවේදිනී යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් ඉකුත් සැප්තැම්බරයේ නිකුත් කළ වාර්තාවකින් එලි දක්වා තිබුණි.
ඊට වසර තුනකට ඉහතදී එම සංවිධානය විසින් පල කරන ලද වාර්තාවක ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන රැඳවුම් කඳවුරු තුල ලිංගික දුෂණයට ලක්වූ බව පැවසෙන දෙමළ පිරිමින් 121 ක් ලබා දුන් තොරතුරු ඇතුලත් වෙයි.
වගකිවයුතු නිලධාරීන්ගේ නම් ද සහිතව හෙළි කොට ඇති ඒ කිසිදු ලිංගික අපරාධ චෝදනාවක් විමර්ශනය කිරීමට එදා මෙදාතුර ආණ්ඩු හෝ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හෝ ඉදිරිපත් වී නැතිවාක් මෙන්ම දිවයිනේ ප්‍රධාන ධාරාවේ දෙමළ නොවන ජනමාධ්‍ය ද ඒ ගැන ගවේෂණය කොට වාර්තා කළ බවක් දැනගන්නට නැත.
කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිස විසින් මිශාර රණසිංහට සිදුකළ බවට චෝදනා කෙරෙන වධබන්ධන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව ප්‍රකාශ කර තිබුණි.
(leader)
