සෞඛ්‍ය මාර්ගඋපදේශ යාවත්කාලීන කරමින් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අනිවාර්ය කරයි

සෞඛ්‍ය මාර්ගඋපදේශ යාවත්කාලීන කරමින් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අනිවාර්ය කරයි

කොරෝනා වෛරසයට එරෙහිව දෙවන එන්නත් මාත්‍රාව ලබා ගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් එන්නත ලබා තිබීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව නිවේදනය කළේ කොරෝනා ආසාදිතයින් හා ආශ්‍රිතයින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගඋපදේශ යාවත්කාලීන කරමිනි.

එසේ කෝවිඩ් -19 ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශය යාවත්කාලීන කර ඇත්තේ, නව ප්‍රභේද සමඟ වෙනස් වූ වෛරසයේ ක්‍රියාකාරීත්වය, එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම කොවිඩ් පිළිබඳව අලුත්ම විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වුවත්, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නම් නිවාසගත නිරෝධායනයට ලක්විය යුතු නොවේ. ඔවුන්ට තමන්ගේ එදිනෙදා කටයුතු නව සාමාන්‍ය ජීවන රටාව අනුව කරගෙන යා හැකි අතර යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් පමණක් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂාවක් සිදු කර ගැනීම ප්‍රමාණවත් වන බව එම නව මාර්ගෝපදේශයන්හි දක්වා ඇත.

Sri Lanka COVID vaccination

මෙසේ සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූවා යැයි සැලකෙන්නේ වයස අවුරුදු 20 ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගතකර ඇති පුද්ගලයින් පමණි.දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබීම එමගින් අනිවාර්ය කර ඇත.එමෙන්ම නව මාර්ගඋපදේශ වලට අනුව, දෙවැනි මාත්‍රාවෙන් පසුව ආසාදිතයකු බවට පත්වුවහොත් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා, ආසාදනය වූ දිනයේ සිට මසක පරතරයක් පැවතීම ප්‍රමාණවත් වේ.වයස අවුරුදු 16-19 අතර දරුවන් පූර්ණ එන්නත්කරණයට එක ලක්වී ඇතැයි සැලකෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වූ පසුව බවට එම නව මාර්ගෝපදේශයන්හි දක්වා ඇත.වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් ගත වූ පසු පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් දෙස සැලකේ.මෙලෙස පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පළමු පෙර ආශ්‍රිතයන් සියලු දෙනා දින 7 ක කාලයක් නිවාසගත නිරෝධායනයට ලක්වීම අනිවාර්ය කර ඇත.රෝග ලක්ෂණ ඇති වූවොත් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇති බවට එම එම නව මාර්ගෝපදේශයන්හි දක්වා ඇත.

එන්නත් ලබා ගැනීම සඳහා තරුණ ප්‍රජාව දැඩි මැලිකමක් දක්වන්නේ ඇයි?

මේඅතර මේ දින වල බොහෝ දෙනෙකු කොරෝනා වෛරසයට එරෙහි බූස්ටර් එන්නත ගැනීමට මැලිකමක් දක්වන්නේ එම එන්නත ලබාගැනීමෙන් විවිධ අතුරු ආබාධ ඇති වන බවට පවසමිනි එහෙත් විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ සරුභාවයට හෝ ලිංගික බෙලහීන තත්ත්වය සමග ෆයිසර් එන්නතේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය, සහ ඔසප් චක්‍රයේ ගැටලු වැනි රෝගී තත්ත්වයන් සහ ෆයිසර් එන්නත අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ශර්මිලා ද සිල්වා පැවසිය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා සිටියේ එන්නත් ලබා ගැනීම සඳහා තරුණ ප්‍රජාව දැඩි මැලිකමක් දක්වන බව ය.

"අපිට ලෙඩ්ඩු එනවා සමහර වෙලාවට කොන්දේ කැක්කුමක්, අතේ කැක්කුමක්, බඩේ කැක්කුමක්, දවස් දෙක තුනක් තිස්සේ තියෙන රෝගී තත්ත්වයක් නිසා. ඒගොල්ලෝ හිතනවා මාසෙකට කලින් ගහපු එන්නත නිසා කියලා. ඒ කියන්නේ එන්නතෙන් පස්සේ ඇතිවෙන සෑම රෝගී තත්ත්වයක්ම හිතනවා අර එන්නත නිසා ඇතිවෙලා තියෙන්නේ කියලා. මේක මිනිස්සු අතර තියෙන මිත්‍යා මතයක්. තරුණ පරම්පරාව මේ එන්නත ගන්නවා හොඳටම මඳි. නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය, ඔසප් චක්‍රයේ ප්‍රශ්න ඇතිවීම ෆයිසර් එන්නත නිසා ඇති වෙන ප්‍රශ්න නෙමේ," ඇය පැවසුවා ය.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට වසරක් සපිරෙයි

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර එළඹෙන ජනවාරි 29 වන දිනට වසරක් සපිරෙයි.

එයට සමගාමීව දිවයිනේ සියලු රෝහල්/ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ යටතේ බූස්ටර් එන්නත්කරණ වැඩපිළිවෙල එම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවීමට සැලැසුම් කෙරෙන අතර, මෙමඟින් දිවයින පුරා ජනගහනයෙන් සෑම ඉලක්කගත පිරිසකටම එන්නත් මාත්‍රා තුනම ලබාදීමට පියවර ගැනේ.

මෙම වැඩසටහනට හරහා දිවයින පුරා රෝහල් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන 1500ක පමණ එන්නත්කරණ වැඩපිළිවෙල විශේෂ වැඩසටහනක් ලෙසින් ක්‍රියාවට නැංවෙන අතර, එම ස්ථානයන්හි එන්නත්කරණයේ වර්ෂපූර්ණ වැඩසටහන ද ක්‍රියාවට නැගේ.

සෑම සෞඛ්‍ය මධ්‍යස්ථානයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ තුළ බූස්ටර් එන්නත ලබා දීමේ වැඩපිළිවෙල වඩාත් ප්‍රවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇත.

Keheliya Rambukwella

| එන්නත් ලබා නොගත් පුද්ගලයින් ප්‍රසිද්ධ ස්ථානයන්ට යෑමෙන් වැලැක්වීමේ හැකියාව ඇතැ යි අමාත්‍යවරයා කියා සිටියේ ය

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා කඩිනමින්

පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගත යුතු බව ලොවම කතාකරමින් සිටින අවදියක ශ්‍රී ලංකාව එම තීරණය ගත් බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසිය.

ඒ අනුව මේ වන විට එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන තිබෙන පිරිස් පූර්ණ එන්නත්කරණය සඳහා බූස්ටර් එන්නත ද ලබාගතයුතු වනු ඇත.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට රජය සැලසුම්කර තිබේ.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව පවසා සිටියේ ය. අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විට ගෙන ඇති බව ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, "ෆුලි වැක්සිනේටඩ් කියලා මීට පස්සේ නිර්වචනය කරන්නේ වැක්සින් තුනම ගත්ත අයට. නොගත්ත අය ප්‍රසිද්ධ ස්ථානවලට යෑමෙන් වැළකීමේ හැකියාවක් අපට තියෙනවා. ඒ වෙනුවෙන් ඇප් එකකුත්, QR කෝඩ් එකකුත් හදන්න දැනට අපි තාක්ෂණික අමාත්‍යාංශයේ කණ්ඩායමකට භාර දීලා තියෙනවා. ඒක ලැබුණු වහාම අපි ඒ නීතිය, එහෙම නැත්නම් ගැසට් එකක් ගහලා, නැත්නම් පාර්ලිමේන්තුවේ හරි ගෙනල්ලා කටයුතු කරන්න හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා,"යි පැවසීය.

පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා කඩිනමින් ක්‍රියාවට නංවන බවත්, ඒ සඳහා වන නීතිමය අධ්‍යයන කටයුතු අවසන්ව ඇති බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ ය.

මේ වන විට ඊට අදාල ගැසට් පත්‍රය සකස් කෙරෙමින් පවතින බවට ඔහු පැවසීය. අනෙකුත් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක යෙදෙන බව අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ ය.

එමෙන්ම කේත අංකය හා යෙදුම සැකසීම ඩිජිටල් තාක්ෂණික අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කෙරෙන බවත්, එන්නත්කරණ කාඩ්පත පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී අනිවාර්ය කිරීම එම කටයුතු අවසන් වූ වහා හැකි ඉක්මනින් සිදුකෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

වසරක් තුළ එන්නත්කරණය වඩාත් සාර්ථක වූ ලොව පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇතැ යි ද, එය තවදුරටත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙනයාම සඳහා බූස්ටර් එන්නත ලබාගැනීම ජනතාවගේ වගකීම වන බව ද හෙතෙම පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අවදානමට ලක් වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට සෑම විටම මාත්‍රා එකකින් හෝ දෙකකින් පසුව කොවිඩ්-19 ට එරෙහිව උපරිම ප්‍රතිශක්තිය වර්ධනය නොවන බැවින් ඔවුන්ව ආරක්ෂා කිරීමට අමතර මාත්‍රාවක් අවශ්‍ය විය හැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ මධ්‍යස්ථ හෝ දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට කොවිඩ්-19 එන්නතේ අතිරේක මාත්‍රාවක් ලබා දිය යුතු බවයි.

එම සංවිධානය පවසන්නේ සිනොවැක් (Sinovac) සහ සයිනොෆාම් (Sinopharm) එන්නත සඳහා, පළමු සහ දෙවන මාත්‍රාවල ඉහළ මට්ටමේ ආවරණයක් ලබා ගත් පසු, ප්‍රාථමික ශ්‍රේණියේ දිගුවක් ලෙස, වයස අවුරුදු 60 සහ ඊට වැඩි ප්රමුඛ කණ්ඩායම් තුළ අය සඳහා එන්නත් කාලසටහනට තුන්වන එන්නත ලබා දීම ගැන රටවල් සලකා බැලිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි..අමතර මාත්‍රාවක් බූස්ටර මාත්‍රාවකට වඩා වෙනස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අතර මාත්‍රාවක් හෝ දෙකකින් පසු ප්‍රමාණවත් ආරක්ෂාවක් වර්ධනය නොවන පුද්ගලයින් සඳහා ලබාදෙන අමතර මාත්‍රාව එන්නත් කරණයේ ප්‍රාථමික කොටසක් ලෙස සැලකන අතර කොවිඩ්-19 ට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් වර්ධනය කර ගැනීමට මෙම පුද්ගලයින්ට උපකාර කිරීම එම අමතර එන්නතෙහි අරමුණයි.

තුන්වන ලොක්ඩවුන් කිරීමක් සඳහා කිසිදු සූදානමක් නැහැ

රට තුන්වන වරටත් ලොක්ඩවුන් කිරීමක් සඳහා කිසිදු සූදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කළේ ය. ඔහු පවසා සිටියේ එසේ කිරීමට සිදුවුවහොත් රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වන බව යි.

එමඟින් "විශාල කඩාවැටීමක්" සිදුවිය හැකි බවත් අමාත්‍යවරයා පැවසිය.

මේ වන විට මෙරටින් වාර්තාවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව යළි ඉහළ යමින් තිබෙන බවට දත්ත පෙන්නුම් කරයි. ඊයේ (ජනවාරි 24) දිනය තුළ නව ආසාදිතයින් 877ක් හඳුනාගැනුණු අතර ඉන් අටදෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් වේ.

විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පවසා සිටියේ මේ වන විට සමාජය තුළ රෝගීන් විශාල පිරිසක් සිටින බව යි.

"ජනතාව ඒකරාශී වීමේ සීමාවක් නැත්නම් සහ නොමිළේ ලබා දෙන එන්නත ලබා ගන්න පෙළෙඹෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම මේක වැඩි වෙයි," විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියේ ය.

පාසල් දරුවන්ට දෙවන එන්නතත්

මේ වන විට පාසල් දරුවන්ගේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාවට නැංවෙන අතර වයස අවුරුදු 15 - 19 අතර දරුවන්ගේ පළමු එන්නතට මාස තුන සම්පූර්ණ වී ඇත්නම් දෙවන එන්නත ලබාදීමේ වැඩපිළිවෙල ද ක්‍රියාවට නංවා ඇතැ යි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

බූස්ටර් එන්නත සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මෙරටට ගෙන්වා ඇතැ යි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියේ ය. ඔහු පැවසුවේ මේවන විට ඉන් භාවිතා කර ඇත්තේ මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් පමණක් බව යි.

දැනට ගෙන්වා ඇති ෆයිසර් මාත්‍රා මුලින්ම කල් ඉකුත්වීමට නියමිතව ඇත්තේ ලබන ජුලි මාසයේ දී යි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටින්නේ ඇතැම් පිරිස් බූස්ටර් එන්නත් සම්බන්ධයෙන් අනිසි බියක් මෙන්ම පදනම් විරහිත අනිසි ප්‍රචාර ගෙනයන බව යි.

ඒවා තුළ කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇති බැවින්, ඉලක්කගත සෑම පිරිසක්ම එන්නත් මාත්‍රා තුනම ලබාගැනීම ජීවිත සුරක්ෂිතතාවයට ප්‍රබලම සාධකය වන බවත් අමාත්‍යවරයා පැවසීය.

(bbc/sandeshya/sinhala)