ලෝක කාන්තා දිනය පසුගිය 08දා. කාන්තාවන්ට එක දිනයක් ද කියලා කවුරුත් අහන්න පුළුවන්. එහෙම උනත් විවිධ සැමරුම් උත්සව ගණනවක් කාන්තාව වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා. තමන්ගෙ ජීවිතය ගැටගහ ගන්න වෙර දරන කාන්තාවෝ ඇගයීම ඇත්තටම විශිෂ්ට දෙයක්.
එතකොට ගණිකාව? ගණිකාවට කාන්ත දින සැමරුම් තියා තමන්ට හිමි අයිතිවාසිකම්වත් නෑ.
ලංකාවේ ගණිකා වෘත්තිය කියන්නෙ නීතිගත නොවුණත් ඉතා ප්‍රචලිත එකක් බව අපි හැමෝම දන්නවා. ඇස්තමේන්තුගත වාර්තා අනුව 40,000ක් විතර කාන්තාවෝ, ඒ වගෙම අවු. 18ට අඩු දැරිවියන් මෙම වෘත්තියේ යෙදෙනවා. එයින් ගොඩක් කාන්තාවන් කොළඹින් පිට දුෂ්කර පළාත් වල ඉඳන් රැකියාවක් සොයාගෙන කොළඹ ආව අය. මේ අය මෙම වෘත්තියට එන්න මූලික සාධකයක් වෙලා තියෙන්නෙ පිරිමියෙක්. ඒ කියන්නෙ රැකියාවක් හොයාගෙන කොළඹට එන අය ත්‍රී රෝද රථ රියදුරෙකු මගින් හෝ තමන්ගෙ රැකියා ස්ථානයේ ප්‍රධානියෙකු අතින් හිංසනයට ලක් වෙලා නැතිනම් අමතර ආදායමක් උපයන්න කැමති ද කියන වචන ටිකට රැවටිලා මේ වෘත්තියට පිවිසිලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ට කුඩු පැකට් එකක් ගන්න බෝතලයක් ගන්න බිරිඳව විකුණන සැමියෝ අතින් ද කාන්තාවො ගණිකා වෘත්තිය තමන්ගෙ වෘත්තිය කරගෙන තියෙනවා. ඒක එක්තරා රිසර්ච් ආයතනයකින් කරපු විශ්ලේෂනයක දී වාර්තා වෙනවා. ඒ වගේම කරන්න දෙයක් නැති කමට දරුවොන්ට කන්න දෙන්න, දෙමව්පියන්ට සලකන්න, එහෙමත් නැතිනම් රෝගයකට ගොදුරු වූ තමන්ගෙ සැමියව බලාගන්නත්, මෙම වෘත්තියේ යෙදෙන ලඳුන් සිටිනවා. එක්තරා සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙන ස්ත්‍රියක් කියන්නෙ පිළිකාවකට ගොදුරු වෙලා ඉන්න තමන්ගෙ සැමියව බේරගන්න ගණිකා වෘත්තියට එකතු වුණා කියලා.
ලංකාවේ පංති ක්‍රමය මෙම වෘත්තියෙත් දක්නට ලබෙනවා. වීදි ගණිකාවන්, ගණිකා මඩම් වල සිටින ගණිකාවන්, සම්බාහන මධ්‍යස්තාන වල සිටින ගණිකාවන්, ගර්භනී ගණිකාවන් සහ තමන් අඳුනාගත් සීමිත පිරිසක් සමඟ සුපිරි හෝටල් වල තමන්ගේ රාජකාරිය ඉටු කරන ගණිකාවන් ලෙස කාණ්ඩ කිහිපයක් දක්නට ලැබෙනවා. ඒ අනුව තරු පන්තියේ හෝටල් වල තම වෘත්තිය කරන අය ඉහළ පාන්තික අය ලෙසත් වීදි ගණිකාවන් පහළ පාංතික අය ලෙසත් හඳුන්වනවා.
ගර්භනීයත්වය කියන්නෙ ඉතාම උතුම් දෙයක් කියලා අපි හැවෝම පිළිගන්නවා. ඒත් මේ ආර්ථික තත්ත්වය අස්සේ වගේම මිනිසාගේ ආසාවේ පරිමාව නිසාම ගර්භනී ගණිකාවන් ද බිහි වී තිබෙනවා. ඒක හරිද වැරදිද කියලා නෙවෙයි මේ සාකච්ඡාව.. බොහෝ වේලාවට මේ කාන්තාවන්ට ඉපදෙන ළමුන්ට අත්වෙන්නේ ඛේදනීය ඉරණමක්. ඒක එතකොට සමාජ ප්‍රශ්නයක් වෙනවා. මේ අයට ගැහැණු දැරිවියක් ඉපදුනොත් අවුරුදු 13, 14 වෙද්දී ඇයට ද තම මව මෙන් අත් වෙන්නේ මේ වෘත්තියයි. පිරිමි ළමයෙකු නම් ඔහු සදාකාලිකවම තමන්ගේ මවගෙන් වෙන් වෙලා ළමා නිවාසෙක හැදෙනවා. ඉතින් මේ වගේ කාරණාවක දී ඒ ඉපදෙන ළමුන් හට තමන්ගේ උප්පත්තියෙ සිටම ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ වෙනවා, ඒ වගේම කිසිම සැනසීමක් නිදහසක් නොමැතිව ඔවුන්ට තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙන යන්න සිඳුවෙනවා.
අඩුම තරමේ ගණිකාවකට තමන්ගෙ සනීපාරක්ෂාව ගැනවත් හිතන්න වෙලාවක් නෑ. මොකද ඔවුන්ට ඕසප් වීමේ දවස් ටිකත් තමන්ගෙ ආර්ථිකයට දැඩි ලෙස බලපානවා. ඒ නිසා ඔවුන් විවිධ උපක්‍රම මඟින් එය මඟ හැරලා තමන්ගෙ වෘත්තිය කරගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙම ලඳුන්ට සමාජ රෝග පිළිබඳව ලොකු දැනුමක් නැහැ. මොවුන් අතර වේගයෙන් සමාජ රෝග පැතිරීමක් තිබෙනවා, මේ අනවබෝධය නිසා. ඒ වගේම තමන්ට සමාජ රෝග වැළදී තිබිය දී පවා වෘත්තිය අත්නොහැර රාජකාරිය ඉටු කරන පිරිස් පවා සිටිනවා. එය ඉතාම භයානක තත්වයක්. වර්තමානයේ සංවිධාන කිහිපයක් මගින් සහ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන තුළින් ගණිකා වෘත්තියෙ නියලෙන්නන් හට සමාජ රෝග පිළිබඳව මෙන්ම ආරක්ෂිත ලිංගික ක්‍රියා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනවා. ඒ වගේම මෙම ලඳුන්ට ඇති නීතිමය ගැටළු විසදා දීමටත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමටත් යම් සංවිධාන බිහිවී තිබෙනවා.
ඒ කොහොම වුනත් අපේ සමාජය ඇතුලෙ ගණිකාව කියන නාම පදය ඇසුණත් මිනිස්සු බලන්නෙ තාමත් වපර ඇසින්. පසුගිය කාලයක මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා, එක්තරා කාන්තාවක් තමන්ගේ රෝගතුර අම්මව බේර ගන්න ගණිකා වෘත්තියට පිවිසෙනවා, ඇය ගැන අසල්වාසීන් දැන ගන්නවා ඊටපස්සේ ඔවුන් ඇයගේ නිවස ගිනි තබනවා. පසුව ඇය සිය දිවි හානි කරගන්නවා. ඉතින් මෙහෙම සමාජයක අපි කාන්තා දිනය සමරලා වැඩක් ද තියෙනවද ?
සියළුම දෙනා කැමති සමාජයේ පිළිගැනීමක් ඇති රැකියාවක් කරන්න. නමුත් තම ජීවිතයේ කොහේ හෝ තැනක යම් වැරදිමක් නිසා මෙම වෘත්තියට පිවිසෙන ලඳුන් හට එයින් ගැලවීම්ක් නැති ද? රජ්‍ය ආයතන තුළින් මොවුන් හට ස්වයං රැකියා අවස්තා ලබා දුන්න ද නිසි මඟ පෙන්වීමක් නොමැති නිසා එම ව්‍යාපාර අඩපණ වනවා. ඒ වගේම මෙම වෘත්තිකයන් තමන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට බියක් දක්වන නිසා එම ආයතන තුළට ගොඩවන්නේ නැහැ. තමන්ගේ ජීවිත කාලය පුරාවටම කිසිම සතුටක් නොමැතිව කළකිරීමක් සහ තනිවීමක් එක්ක මේ කතුන් ජීවිතය ගෙනයනවා. අපිට පුළුවන් නම් මොවුන් ද සමාජයේ එක්තරා කණ්ඩායමක් කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්න සහ හෑල්ලුවට ලක් නොකර සිටින්න, එහෙම දවසකට මොවුන්ගේ ජීවිත ලස්සන වෙයි. ඒකට නීතිමය අවකාශයක් ඇතුලට ගණිකා වෘත්තිය ගේන්න අවශ්‍යයි. එහෙම රාමුවක් අස්සට මේක ගෙනාවොත් මේකට කැමති පිරිස විතරක් මෙතන රැඳිලා අනික් පිරිස් වෙන ජීවිතයක් සොයා ගනී. අනික් පැත්තෙන් මේක පිළිගත් වෘත්තියක් වුණොත් මේ හරහා ජනිත ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයි.
“ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනන ලඳුනේ
කුහුඹුවකුට වරඳක්
නැති වැරදිකාර ළඳුනේ…”
හේෂානි කරුණාරත්න (අයිතිය)