ඩිංගිරි බණ්ඩා විජේතුංග - ශ්‍රී ලංකාවේ පළමු අනුප්‍රාප්තික ජනපති

ඩිංගිරි බණ්ඩා විජේතුංග - ශ්‍රී ලංකාවේ පළමු අනුප්‍රාප්තික ජනපති

කොළඹ සරසවියේ ජාත්‍යන්තර සබඳතා විෂය හැදෑරීමේදී ලත් භාග්‍යමත්ම වරප්‍රසාද අතරින් එකක් වූයේ එහි විසූ පිරිපුන් චරිත කිහිපයක රුවගුණ දැකීමයි. ජෝර්ජ් කුරේ යනු එවන් දුලභ ගණයේ ඇදුරෙකි. වරක් ඔහු වින්ස්ටන් චර්චිල් පිළිබඳ විවේචනාත්මක විග්‍රහයක් අතරතුර පැවසු වදනක් අදත් අප දෙසවන් රැව්පිළිරැව් දේ. ඒ මෙපරිදිය.

''All the great things are simple'' - සියලු ශ්‍රේෂ්ඨ දේ සරලයි.

මෙකී උධෘතය ඇසෙන නොඇසෙන මානයේ ඊට සමාන්තරව දැක්ක හැකි දේශපාලන චරිතයක් පිළිබඳව මේ දිනවල නිරතුරු කියවෙන්නේය. ඔහු ඩිංගිරි බණ්ඩා විජේතුංගයි. වරෙක සර්වෝදය ජාතික ශ්‍රමදාන ව්‍යාපාරයේ අප සුමිතුරු නිශාන්ත ප්‍රීතිරාජ් සුලවතුන් කල ඇරයුමක් ඔස්සේ මොණරාගලට ගොස් එහි රැස්වූ යෞවනයෞවනියන් රැසකට මා දිනක් පුරා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කියාදෙන අතරේ උරුගුවේ හිටපු ජනපති ජෝස් මුජිකාගේ සරල දිවිපැවැත්මේ අසිරිය පිළිබඳ වර්ණනාත්මක වදන් සමූහයක් තෙපළුවෙමි. ඒ අතරතුර නැඟී සිටි වාදාභිමුඛ ගැටවරයෙක් ඇසුවේ මුජිකලාටත් වඩා සරල කෙනෙක් ලංකාවෙත් හිටපු බව අපේ තාත්තා කියා දී ඇතැයි කියාය. ඒ නාඹර තරුණයාගේ පියා ඔහුට කියාදුන් මිනිසා ඩිංගිරි බණ්ඩා හෙවත් DB  ය (විජේතුංග මුදියන්සෙලාගේ ඩිංගිරි බණ්ඩා).

එහෙත් ඔහුගේ නිසල දේශපාලන චාරිකාව පිළිබඳ විවරණයකට මෙහි ඉඩක් නැත. වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහගෙන් ඉනික්බිති අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරාගැනීමේ ජාතික කර්තව්‍යය පිළිබඳ සැවොම තත්පරව සිටින මොහොතකි මේ. එබැවින් එහිලා මෙරටේ පළමු අනුප්‍රාප්තික ජනපති වූ ඩී. බී. විජේතුංග එලෙස තෙවැනි විධායක ජනපති වූ පසුබිම සැකෙවින් විමසීම මෙම සටහනේ අරමුණයි.

ඩී. බී. යන්න සමහර ශ්‍රී ලාංකිකයන් වරනැඟුවේ ''දුන්නොත් බාරගන්නම්' යනුවෙනි. එය බොහෝ වියපත් ශ්‍රී ලාංකිකයන් නිශේධනීයව භාර ගැනුමට රිසි වුවද මා එහි සුබවාදී ලකුණක් දැකීමට කැමැත්තෙමි. එනම් බොහෝ දේශපාලන නායක චරිත කියවා ඇතී මා ඔහුගෙන් දුටු එක් අනන්‍ය ලක්‍ෂණයක් පිළිබඳවය. ඒ අනිකක් නොව ඔහු කිසිදින තම නායකයා අභිබවා යෑමේ රතියෙන් පෙළුනෙක් නොවීමයි. එකී තතු කවරක් වුවද ඔහු වෙත දමා ගැසූ පරම චෝදනාවට ද පදනමක් තිබිණි. එනම් ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි  යන ප්‍රතාපවත් චරිතද්වය එක්සත් ජාතික පක්‍ෂය අරා වැජඹෙද්දී  ඩී. බී. විජේතුංග කෙලෙස අගමැති වරම දිනාගත්තේද යන්නයි. එබැවින්  මා ඉඳුරා එකක් කියමි. එනම් එය සපුරා රණසිංහ ප්‍රේමදාසගේ අභිලාශය විනා ඩී. බී. ගේ අභිප්‍රාය නොවන බවයි. ඩී.බී. යනු හිමකිරමක් හෝ අනෙකෙකුගෙන් ඉල්ලා භුක්ති විඳින්නෙක් නොවේ.

වසර 1916 පෙබරවාරි මස 15 වැනිදින උපන් ඩී.බී. සතියක පමණ කලක් මෙරටේ වැඩබලන ජනපති වීය. ඒ වසර 1993 මැයි මස ඝාතනයට ලක්වූ දෙවැනි විධායක ජනාධිපතිවරයා වෙනුවටය. අනතුරුව ඔහුගේ අනුප්‍රාප්තිකත්වය තහවුරු වූයේ මැයි මස 07 වැනිදාය. ඒ වනවිටත් ඔහු මෙරටේ අගමැතිවරයාය. ඒ වසර 1989 මාර්තු මස 06 වැනිදින සිට වසර 1993 මැයි මස 01 වැනිදින තෙක්ය. එපමණක් නොව ඔහු වසර එකහමාරක් පමණ  මෙරටේ ස්ථාපිත අති දැවැන්තම දේශපාලන පක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂයෙහි නායකත්වය ද දැරීය.

එවකට පාර්ලිමේන්තුව හෙබවූ කතානායකවරයා වූයේ එම්. එච්. මොහමඩ්ය. ඒ මෙරටේ 14 වැනි කථානායක ලෙසිණි. චිර ප්‍රසිද්ධ රජයේ නිළධරයෙක් වූ නිහාල් සෙනෙවිරත්න පාර්ලිමේන්තු මහ ලේකම් ධූරය දැරීය. වසර 1993 මැයි මස 04 වැනිදින කතානායකවරයා නිල වශයෙන් ජනාධිපතිධුර පුරප්පාඩුව පිළිබඳ නිවේදනය පාර්ලිමේන්තුවට දැන්වීමත් සමඟ අදාළ කාර්යාවලිය තුළ අනුප්‍රාප්තිකයා තෝරණ දිනය මැයි 07 වැනිදින බවට තීරණය කෙරිණි.

එදින නියමිත කටයුතු ප්‍රකාර ඩී..බී. නම යෝජනා කරන ලද්දේ විජේපාල මෙන්ඩිස්ය. ඔහු එවකට ප්‍රවාහන හා මහාමාර්ග ඇමතිවරයා වීය. ඊට සමගාමීව ඔහු ඩී..බී. ගේ එකඟතාව ඇතුළත් ලිපියද කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය. අනතුරුව යෝජනා ස්ථිරත්වය සිදුවූයේ ඒ. සී. එස්. හමීඩ් වෙතිනි. ඔහු එවකට අධිකරණ හා උසස් අධ්‍යාපන ඇමතිවරයා වීය. මෙකී පත්වීම් ප්‍රකාර අදටද අදාළ වන්නාවූ කරුණු කිහිපයක් ඇත්තේය. ඒවා සැකෙවින් මෙසේය.

#, එවක අනුප්‍රාප්තික ජනපතිගේ අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ අද වැඩබලන ජනපතිය. (තවත් තෙදිනකින් ඔහු මෙරටේ දසවැනි විධායක ජනපති වීමටද බැරි නැත).  එතෙක් ඔහු පාර්ලිමේන්තුවේ සභානායකවරයා වූ කර්මාන්ත, විද්‍යා හා තාක්‍ෂණ ඇමතිවරයා ද වීය. ඩී.බී. ගේ පත්වීමත් සමඟ රනිල් වික්‍රමසිංහ ඉතා අලංකාර  වදන් අන්තර්ගත පැසසුම් කතාවක් ද සිංහල බසින් පැවැත්වීය. ඩී.බී. ගේ අසහාය සරලත්වය හා වදන් භාවිතයේ පැවති කෙටි බව ඔහුගේ පැසසුමට ලක්විය. (ඔහු කෙතරම් සරල හා සංක්‍ෂිප්ත මිනිසෙක්ද යත් අඟුරු කකා, වතුර බිබී කොළඹ දුවන යකඩ යකා යැයි කීවා සේ වතුර පමණක් නොව බෙහෙත්ද බොමින් නිළධාරීන් සාදා දෙන පිටු සියගණනක දිගින් යුත් අයවැය කියවන මුග්ධ මුදල් ඇමතියන් අතර ඔහු අග්‍රෙශ්වර වීය. වරෙක ඔහුගේ අයවැය කතාව විනාඩි 45 කට සීමා වූයේ එබැවිණි).

#, ඩී.බී. ගේ අනුප්‍රාප්තිකත්වය ආණ්ඩු මෙන්ම විපක්‍ෂය ද පොදුවේ ඒකමතිකව අනුමත කෙරිණ. ජාතික එකඟතාවක් සොයන මෙසමයේ නයි පොළොං වෛරයකින් පිබිදෙන හා නිදන අපගේ දේශපාලන පක්‍ෂ නායකයන් හට මෙකී එකඟතාවේ දිගපළල විමසීම කැපය.

#, ඩී. බී. ගේ පුර්ව නායකයා මෙන්ම අදේශකයා ද වූයේ පිළිවෙලින් රණසිංහ ප්‍රේමදාස හා චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංගයි. මේ දෙදෙනාම අඩුවැඩි ලෙසින් අධිකාරීවාදී පාලනයක් ඔස්සේ රට මෙහෙයවීමට තැත් දැරීය. ඩී.බී. ඒ දෙදෙනා අතරේ වැජඹුණු අමුතු පාලකයෙක් වීය. ඔහු සදාකාලික නිවුණු හදින් හා සිහිළැල් දියදහරක් වන් මනස් තලයකින් හෙබි නැවතුණු මිනිසෙකි. එවකට බලවත් ලෝරන්ස් මාෆියාව පිටුදුටු ඔහු ලේක්හවුසියටද දේශපාලන නිදහස දුනි. පුද්ගල ප්‍රදර්ශන කාමයේ අංශු මාත්‍රයක් හෝ රඳවා නොගනිමටද වගබලා ගත්වග ද විශේෂය.

ඩී. බී. කිසිවිටෙකත් දේශපාලනය ආගන්තුකයෙක් නොවීය. උඩුනුවරින් පැමිණ ඉහළටම ගිය ඔහුගේ දේශපාලන ආගමනය සිදුවූයේ වසර 1947 දීය. ඒ එවකට ආහාර හා සමුපකාර අමාත්‍යවරයා වූ අබේරත්න රත්නායකගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසිණි. පසුකාලීනව  තොරතුරු හා මාධ්‍ය, තැපැල් හා විදුලි සංදේශ, විදුලිබල හා මහාමාර්ග මෙන්ම කෘෂිකර්ම සංවර්ධන යන විෂයයන් හෙබවූ ඔහු වයඹ ආණ්ඩුකාරවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වීය.

සැබවින්ම ඔහු රඩ් යාර්ඩ් කිප්ලින් කී බස සැබෑ කල මිනිසෙකි. ''රජ මැතිඳුන් හා ඔහු ගමන් කළේ වුව පොදුජනයා හා පැවති ඇසුර ඔහු අත නොහැරීය''. එහෙව් අනුප්‍රාප්තික ජනපතිධූරය උදෙසා අභිනවයෙන් ඇතිවූ සංග්‍රාමය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු!

manjula gajanayake 1

         | මංජුල ගජනායක