හිනැහී වැළපෙමු අපි ආයේ ..........

හිනැහී වැළපෙමු අපි ආයේ ..........
පැෆ්රල් සංවිධානය මට ඇරයුම් කලා ඔවුන්ගේ කාන්තාවන් සියයක් අනාගත දේශපාලන නායිකාවන් කිරීම සඳහා වන වැඩසටහනෙහි සයමස් ප්‍රගති සමාලෝචන වැඩසටහනකට. මගේ භූමිකාව වුණේ ඒ සියයෙන් සය දෙනෙක් විවාදයක් සඳහා සූදානම් කිරීම. ඉතිං අදාළ සැමරුම පිළිවෙලින් වේදිකාගත වන මොහොතේ ඉතා කඩිසරව එහෙමෙහෙ ගිය සුන්දර කාන්තාවක් දෙසත් මම බලා හිටිය. ඇය චම්පිකා අමරසේකර. ශ්‍රී ලංකා පදනමේ සභාපතිවරිය. 
 
ඇය ගැන මම ගොඩක් දේවල් දන්නෙ නැහැ. දිනක් මම ප්‍රධාන ශාලාවේ දේශනයක් කරල එළියට බහින කොටම දොරටුව ළඟ ඇය හිටිය. තැනැත්තිය හඳුනා ගත්ත නිසා මම ඇයත් සමඟ සිනාසුණා. එහෙත් ඇය ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. එක්කෝ වැඩ වැඩිකම නිසා. නැත්නම් නාඳුණන අය සමඟ සිනා නොවන බැවින්. 
 
ඔය පුංචි සිදුවීම ලියන්න කල්පනා කළේ මම මේ සටහන ලියන්නෙ ඇය හඳුණන නිසා නොවන බව කියන්න. අඩුතරමේ මාත් සමඟ සිනාසුණු කෙනෙක් හෝ නොවෙයි ඇය. එහෙත් හොඳටම සෑහෙනව ඇය කාන්තාවක් වීම සහ දේශපාලනිකව වින්දිතයෙක් වීම. මම මැතිවරණ නිරික්ෂකයෙක් බැවින් මෙය පොදුවේ අපගේ චෞරතන්ත්‍රවාදය විදහාලන්නක් ලෙසින් ඔබ සලකන්නේ නම් මම කැමතියි. 
 
පෙරකී පැෆ්රල් වැඩසටහන පැවැත්වෙන විට ඊට සහභාගී වීමට පැමිණි බොහෝ ආරාධිතයන් සමඟ ඇය නොමසුරුව පයුරුපායාසනයේ යෙදෙමින් සහ කාර්යමණ්ඩලය හමුවෙමින් හෝරා දෙකක් පමණ ගත කරන්න ඇති. තෙවැනි හෝරාව ඇරඹෙන මොහොතේ ඇය අත කුමක්දෝ ලිපියක් ඇති බවත් මහා කලබලයකින් ඉන්න බවත් පෙනුණා. එතැනින් ඒ සිදුවීම අවසන්. පැෆ්රල් වැඩසටහන යම්තාක් දුරකට අවසන් වන විට මා ආපසු නිවසට පැමිණියා. 
 
කෙසේ වෙතත් පසුදිනම එහි උගන්වන කථිකාචාර්යවරයෙක් හමුවුණා වෙනත්  අධ්‍යාපනික කටයුත්තකදී. හදිසියේ මට පෙරදින සිදුවූ අසාමාන්‍ය සිදුවීම සිහිවුණා. මිතුරු කථිකාචාර්යවරයාගෙන් ඇහුව ඔයාලගේ බොස් මොකද කලබලෙන් හිටියෙ කියල. යාළුවා කියපි 'අයියෝ මංජුල- ඔය වෙලාවෙ තමයි  මැඩම්ට සේවයෙන් අස්කළ බව කියල ලියුම ලැබුණේ' කියල. 
 
මම ඊට පස්සේ ඇහුව කවුද ඉතිං ඔතෙන්ට දාන මනුස්සය කියල. 
 
සමන් අතාවුදහෙට්ටි.............
 
ඇත්තටම මම නිරුත්තර වුණා. ආවේගය පාලනය කරගනිමින් මම මිතුරාට යෝජනා කළේ මේක රෝහණ බැද්දගේ මාලදිවයිනට යැවීම හා සමාන බවයි. 
 
මේ ලිපියෙ මම කැමතියි කරුණු දෙකක් අවධාරණය කරන්න. 
 
01. මේක ලංකාවේ දේශපාලනයේ ස්වරූපය. අපි දියුණු වෙන්නෙ නැත්තෙ මේ නිසා. දේශපාලකයන් තමන්ගෙ එකා මේව ඇතුළට ඔබන එබිල්ලට ලංකාව මෙහෙමවත් බේරිලා තියෙන එක පුදුමයි. ඒත් වඩාත් ජුගුප්සාජනක කරුණ එය නොවේ. කාන්තාවකට ගෞරවයෙන් කියන්න බැරිද පාලනාධිකාරයෙන් ඉල්ලා අස්වෙන්න කියල. ඇයි අපිට බැරි ඇයට දවස් කීපයක් දෙන්න. ලිපිය එවන්නේ අනෙකා පත්කළ බවත් තමුන් යා යුතු බවත් කියමින්. ලංකාවේ දැවැන්ත අධ්‍යාපනික ආයතනයක් මේක. 
 
ආචාර්ය රංජිත් බණ්ඩාර සහ සරත් කෝන්ගහගේ වගේ කෝලමුන් මේක විනාශ කලාට අදටත් ප්‍රෞඩ බිමක් මේ. එහෙව් තැනක් පාලනය කල කාන්තාවකට අපි ගෞරවනීය සමුගැනීමක් දියයුතු නැත්ද? (දේශපාලකයන් පසුපස ගොස් තනතුරු ගත්තම මඟුල් ගෙදර ගිය වව්ලට වෙනදේ සභාපතිනියට වෙලා තියෙනවා කියල කවුරුන් හෝ ඇහුවොත් මම එකටත් ඔව් කියල ඔළුව වනන්න කැමතියි).  
 
මෙහි තිබෙන අවනඩුව තමයි සුවිසල් විශාරදත්වයක් නැතත් අසාමාන්‍ය හැකියාවන් නැතත් මේ කියන තැනැත්තිය ඊට පෙර සිටි පිරිමි පරාණ වලට වඩා ආයතනය ප්‍රගතිය කරා රැගෙන ගිය තැනැත්තියක් වීම. මේ සිදුවීමත් සමඟ ඇය ශක්තිමත්ව සිටිනම් එය සතුටට කරුණක්. 
 
02. මේ තනතුරට ආවේ සමන් අතාවුදහෙට්ටි. ඔබ ඇහුවොත් මම කැමතිම ලාංකිකයෝ දහදෙනා කවුද කියල සමන් අතාවුදහෙට්ටි ඒ දහයේ ලැයිස්තුවේ ඉන්නවා. ඔහු නිහතමානී චර්යාවෙන් හෙබි ප්‍රේමකීර්ති පරපුරේ කලාකරුවෙක්. ලියන්න, කියන්න සහ සිතන්න මම ආදර්ශයට ගන්න ඉතිහාසයක් සහිත අනාගතවාදියෙක්. 
 
එහෙව් අතාවුදහෙට්ටි මේ වගේ කොන්ත්‍රාත් එකක් ගන්නේ මන්ද? මෙතැනට ඕන ජයදේව උයන්ගොඩ වගේ පර්යේෂකයෙක්. ජාවිඩ් යුසුෆ් වගේ බහුත්වවාදියෙක්. එහෙමත් නැත්නම් එච්. ඩබ්. ජයවර්ධන වගේ නිහඬ දැනුමැත්තෙක්. අතාවුදහෙට්ටිට  සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ තනතුරකට ඇදල දැම්මනම් හොඳයි. එයා එතැන දියුණු කරයි. සමහරවිට වෙනත් සන්නිවේදන ආයතනයක්. 
 
අතාවුදහෙට්ටි වෙත මාගේ ඇති කිසිදා නිමනොවන අසහාය ඇල්ම එලෙසම රඳවා ගනිමින් මම ලියන්නෙ මේක ලෙඩක්. බෙහෙත් නැහැ මිත්‍රවරුනි. තමන්ට වඩාත් ගැලපෙන තනතුරට යනවාට වඩා දෙන ඕන කුණ්ඩලවායක් කරේ දමාගන්න මිනිස්සු කලාකරුවන්ද?  
 
කවුරු හරි කියයි නැහැ නැහැ එයා වැඩේ ලස්සනට කරයි කියල. ඊට මගේ පිළිතුර තමයි වෙනත් මාධ්‍යකරුවන් සේ නොහැසිරී තමන්ගේ කාර්යය අතාවුදහෙට්ටි කලා විනා ඔහු අදියුරුකම් දැරූ කිසිදු ආයතනයක් ඉහළ සාමාර්ථයක් නොපෙන්වූ බවයි. මනෝහාරී ගෙනා අතාවුදහෙට්ටි රම්‍ය මිනිසෙක් වුණාට පදනම් ආයතනය භාර ගත්ත අතාවුදහෙට්ටි සුරම්‍ය මිනිහෙක් වෙන්නෙ නැහැ බොලැල්ලෑ -:)
 
ආයතන ප්‍රශ්ණය කෙසේවෙතත් මගේ අරෝව තියෙන්නෙ වෙනත් කරුණක් ගැන. චාරිකාලංකාරේ ගිය සමන්. අදටත් ලංකාරේ ගේන සමන්, හිනැහී වැළපෙමු අපි ආයේ පද ඇමිණු සමන් මෙහෙම ලොක්කා කියූ සැණින් ආයතනවලට පැනීම හරිද? රනිල්ට හී ගඩු කෙලින්වෙන්නේ නැතිවුණාට ගෑණියෙක් එළවනවා වගේ වැඩක් වෙච්ච තැනකට  ගිහිං වැඩ භාර ගන්න කොට සමන්ගේ සංවේදනා අක්‍රිය ද? ලංකාව වෙනස් වෙන්න නම් අඩුගානේ සමන්ලාවත් වෙනස් වෙන්න ඕන. 
 
සමන් කියන්නේ ගොඩක් මිතුරන්ට බෝපැලයක්. හැබැයි මේ සිදුවීම නිරික්ෂණය කල මට හිතුනේ සමන් කියන්නෙ ඔහුගේම නවකතාවක නමක තියෙන පරිදි වසාවාසි වගේ මිනිහෙක්. ලොක්කගේ බුලත් පයිය සරුකරන්න සමන්ලා වසාවාසි වෙලා බුලත් පයියේ හැංගිලා ඉන්නවා. 
 
මේ තමයි සමන්ලංකාරය!!
 

මංජුල ගජනායක