ඇඟළුම් සේවකයන් හිංසනයට ලක් නොවූවෙකු සෙවීම නොමළ ගෙයකින් අබැටක් සෙවීමක් ද?

ඇඟළුම් සේවකයන් හිංසනයට ලක් නොවූවෙකු සෙවීම නොමළ ගෙයකින් අබැටක් සෙවීමක් ද?

අපනයන සැකසුම් කලාප වල ඇඟළුම් සේවකයන්ගේ ජීවිත : හිංසනයට ලක් නොවූවෙකු සෙවීම නොමළ ගෙයකින් අබැටක් සෙවීමක් ද?

විදේශ මුදල් සංචිත හිඳී යාමත් සමග ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය නිසා විදේශ විනිමය ඉපයීම වෙනදාට වඩා තරමක් සාකච්ඡාවට තුඩු දී ඇති මාතෘකාවකි.

ශ්‍රී ලංකාවට වැඩි ම විදේශ විනිමයක් උපයා දෙන ක්ෂේත්‍ර තුනක් පැහැදිලි ව හඳුනාගත හැකි අතර ඒ, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, ඇඟළුම් කර්මාන්තය සහ තේ කර්මාන්තයි.

මෙම ක්ෂේත්‍ර තුනේ ම අතිශය බහුතරයක් මානව ශ්‍රමය කාන්තාවන්ගේ වන අතර වසර ගණනක් පුරා විසඳී නොමැති බරපතල ප්‍රශ්න ප්‍රමාණයකට ද මෙම ක්ෂේත්‍ර වල සේවකයන්ට දශක ගණනාවක් තිස්සේ මුහුණ දීමට සිදු වී තිබේ.

ඇඟළුම් ක්ෂේත්‍රය යනු නිදහස් වෙළඳ කලාප ආරම්භයේ සිට ම විවිධ අර්බුදකාරී තත්වයන්ට මුහුණ දී තිබෙන ක්ෂේත්‍රයකි. රට ම අගුළු ලෑ මොහොතක වැඩ අවසන් කර සිය ගම්බිම් බල යාමට නොහැකි ව වෙළඳ කලාපවල නවාතැන් තුළ සිර වී ආහාර පවා සපායා ගත නොහැකි ව අසරණභාවයට පත් බොහෝ ශ්‍රමිකයන්ගේ කතා වසංගත සමයේ දී මාධ්‍ය විසින් බොහෝ අවස්ථාවල වාර්තා කර තිබුණි.

දශක ගණනවක් තිස්සේ මෙලෙස ඇඟළුම් කම්කරුවන් මුහුණ දෙන දැවැන්ත ගැටලු සහ ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයක වාර්තාවක් මාර්තු 15 දින 'නීතිය සහ සමාජ භාරය' සහ 'ෆෝරම් ඒෂියා' විසින් නිකුත් කරන ලදී.

ඇඟළුම් සේවකයන්ගේ ජීවිතය සිර ව ඇති "අසාධාරණයේ හුය"

බස්නාහිර පළාත තුළ පවතින අපනයන සැකසුම් කලාප තුනක් වන කටුනායක, බියගම සහ වතුපිටිවල කලාපවල සේවය කරන අවිධිමත් ශ්‍රමිකයන් (මෑන් පවර් සේවකයන්) මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කර සකස් කරන ලද මෙම වාර්තාව "අසාධාරණයේ හුය (Threads of Injustice)" ලෙස නම් කර තිබුණි.

මෙම මුලික අධ්‍යයනය සඳහා පුද්ගලයන් 57 දෙනෙකු නියැඳිය වශයෙන් තෝරාගෙන තිබූ අතර කර්මාන්තශාලා ස්ථිර සේවකයන් 42ක් සහ මෑන් පවර් සේකයන් 25 දෙනෙකු එයට ඇතුලත් ව තිබුණි.

එනම් කාන්තාවන් 42ක්, පිරිමින් 14ක් සහ සංක්‍රාන්තික ලිංගිකයෙකු වශයෙනි. නියැඳිය හඳුනාගැනීම සඳහා ඩාබිඳු සාමූහිකය, ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරය සහ ශ්‍රමාභිමාණී යන සිවිල් සංවිධානවල සහය ලබාගෙන තිබේ.

මෙම වාර්තාවේ ප්‍රධාන ගැටලු කිහිපයක් හඳුනාගෙන ඇති අතර එහි එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ ලිංගිකත්වය සහ පුද්ගල සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයයි.

හිංසනයට ලක් නොවූවෙකු සෙවීම නොමළ ගෙයකින් අබැටක් සෙවීමක් ද?

මෙම වාර්තාවෙන් පෙන්වා දෙන අන්දමට අපනයන ආදායමෙන් 44%ක් උපයා දෙන ඇඟළුම් කර්මාන්තය තුළ රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 15%ක ප්‍රතිශතයක් සේවය කරන අතර එයින් 78%ක් ම කාන්තාවන් ය.

මෙම කාන්තාවන් සේවා ස්ථානයේ දී මෙන් ම ඔවුන් කණ්ඩායම් වශයෙන් රැඳී සිටින නවාතැන් වලදී ද විවිධ හිංසනයන්ට ලක්වන බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

එවැනි බලපෑමක් සිදු වූ විට පැමිණිලි භාරගැනීමේ ක්‍රියාවලියක් නොතිබීම මෙන් ම එවැනි චෝදනාවක් ඉදිරිපත් කළ විට දී වින්දිතයාට ම නැවත චෝදනා එල්ල කිරීම නිසා මෙම තත්වය භයානක ලෙස සාමාන්‍යකරණයට පත් ව තිබෙන බව වාර්තාව එළිදැක්වීම අතරතුර පැවති සංවාදයේ දී ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක චමිලා තුෂාරි පැවසුවා ය.

පැහැදිලි සංඛ්‍යා දත්ත මෙතෙක් ගණනය කර නොමැති වුවත් කුමන ආකාරයේ හෝ ලිංගික හිංසනයට පත් නොවූ වෙලඳ කලාප සේවිකාවක් සොයා ගැනීම 'කිසිවෙකු නොමළ ගෙයකින් අබ ඇටයක් සෙවීමක්' වැනි යැයි ඇය පැවසුවා ය.

මෑන් පවර් සේවයේ යෙදෙන කාන්තාවන්ට කර්මාන්තශාලා වල නිලධාරීන් සහ පිරිමි ශ්‍රමිකයන්ගෙන් එවැනි බලපෑම් එල්ල වූ අවස්ථාවල දී ඔවුන් එම කර්මාන්තශාලාවල මානව සම්පත් කළමනාකරණ අංශය දැනුවත් කළ ද ඔවුන්ගේ පැමිණිලි භාර ගැනීම හෝ නොකළ බව එම අවස්ථාවට පැමිණ සිටි අපනයන සැකසුම් කලාප සේවිකාවක් වන ශ්‍රීධරන් නිලානි සිය අත්දැකීම් ඇසුරෙන් විස්තර කළා ය.

ඇතැම් අවස්ථාවල දී මෑන් පවර් සේවිකාවන් සේවයට ගැනීමේ දී ඔවුන්ගේ පෙනුම මත ද ප්‍රවණතාවයක් ලැබී ඇති බව තොරතුරු සෙවීමේ දී අනාවරණය වී තිබේ.

මෙම අපනයන සැකසුම් කලාප ආශ්‍රිත ව සංක්‍රාන්තික ලිංගිකයන් ඇතුළු LGBTQ+ ප්‍රජාව ද සේවයේ යෙදෙන අතර ඔවුන් බොහෝ අවස්ථාවල හිංසනයන්ට නිරාවරණය වීමේ වැඩි ඉඩක් ඇතැයි වාර්තාව ඉස්මතු කර තිබේ. ඔවුන්ට, ශාරීරික හිංසනවලට මෙන් ම වාචික හිංසනය නිසා ඇතිවන මානසික හිංසනයට ද ගොදුරු වීමට සිදු ව තිබේ.

ස්ටෑන්ඩ් අප් ව්‍යාපාරයේ අශිලා දන්දෙනිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ සංක්‍රාන්තික ලිංගිකයන්ට භාවිත කිරීමට වැසිකිළියක් කර්මාන්තශාලා තුළ නොමැති බවයි. ඔවුන්ට විවේකාගාර භාවිත කිරීමේ අවස්ථාව ද අහිමි ය. සිය සංවිධානය කර්මාන්තශාලා සමග සිදු කළ සාකච්ඡාවලින් පසු ව කර්මාන්තශාලා දෙකක් පමණක් සංක්‍රාන්තික ලිංගිකයන්ට වෙන ම වැසිකිළි පහසුකම් ලබා දී තිබේ.

"ෆැක්ටරිවලට ගිහින් කතා කරද්දි මේව ද ප්‍රශ්න කියලා ගොඩක් ෆැක්ටරිවලින් අපට බැන්නා. ඕවද දැන් තියෙන ප්‍රශ්න ඇහුවා." යැයි එම සාකච්ඡා වල දී ඇය මුහුණ දුන් අත්දැකීම පැහැදිලි කළා ය.

බස්නාහිර පළාත තුළ  පවතින අපනයන සැකසුම් කලාප තුනක් වන කටුනායක, බියගම සහ වතුපිටිවල කලාපවල සේවය කරන අවිධිමත් ශ්‍රමිකයන් (මෑන් පවර් සේවකයන්) මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කර සකස් කරන ලද මෙම වාර්තාව "අසාධාරණයේ හුය (Threads of Injustice)" ලෙස නම් කර තිබුණි. | බස්නාහිර පළාත තුළ පවතින අපනයන සැකසුම් කලාප තුනක් වන කටුනායක, බියගම සහ වතුපිටිවල කලාපවල සේවය කරන

අවිධිමත් ශ්‍රමිකයන් (මෑන් පවර් සේවකයන්) මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කර සකස් කරන ලද

මෙම වාර්තාව "අසාධාරණයේ හුය (Threads of Injustice)" ලෙස නම් කර තිබුණි.

අනාරක්ෂිත සේවා පරිසරය

මෙම වාර්තාවෙන් මතුකරන මීලඟ ප්‍රධාන ම ගැටලුව වන්නේ අනාරක්ෂිත සේවා පරිසරයයි. එනිසා 'ශ්‍රමය' සහ 'ගෞරවණීය ශ්‍රමයක්' සඳහා ඇති අයිතිය ද අහිමි වී ඇත.

කර්මාන්තශාලා ස්ථිර සේවකයන් විසින් සිදු කිරීමට අකමැති අවධානම් සහගත කාර්යයන් සඳහා බොහෝ අවස්ථා වල දී මෑන්පවර් සේවකයන් යොදාගන්න බව වාර්තාව අනාවරණය කරයි.

එහෙත් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල හෝ ආරක්ෂා වීමේ උපකරණ කිසිවක් ලබා දී නොමැති බව ද එහි සඳහන්ය.

වාර්තාව නිකුත් කිරීමේදී පැවති සාකච්ඡාවේ දී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අවධාරණය කළේ මෑන්පවර් සේවකයන් එවැනි ප්‍රධාන වැඩවල යෙදවීම නීතිවිරෝධී බවයි.

1980 වර්ෂයේ ලබා දී ඇති නඩු තීන්දුවකට අනුව කර්මාන්තශාලාවේ ප්‍රධාන/ මූලික වැඩ කිරීම සඳහා අවිධිමත් සේවකයන් යොදාගැනීම සිදු කළ නොහැකි බව ඇය පවසයි.

වසංගත සමයේ කළ සේවක කප්පාදුව

වසංගත කාලසීමාවේ දී මෑන් පවර් සේවකයන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා අහිමි වූ අතර දැවැන්ත සේවක කප්පාදුවක් ද සිදුවිය. ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි පවසන්නේ ඇතැම් කර්මාන්තශාලා වල ස්ථිර සේවකයන් 80%ක් දක්වා පවා කප්පාදු කළ බවයි.

මේ හේතුවෙන් දැනට සේවයේ යෙදී සිටින ශ්‍රමිකයන්ට විශාල වැඩ තොගයක් කිරීමට නියම වී තිබේ. ඔවුන්ට විශාල ඉලක්ක (targets) ලබා දී ඇති අතර ඒවා සපුරාලීම සඳහා ආහාර විවේකය පවා නොගෙන වැඩකරන්නට සිදු ව තිබෙන බව මෙම වාර්තාවට සමගාමී ව එළිදැක් වූ කෙටි වාර්තා චිත්‍රපටයේ අදහස් දක්වන ශ්‍රමිකයෝ ප්‍රකාශ කරති.

"පොඩ්ඩක් වැරදුණත් හරක් වගේ වැඩ කරන්න එපා, බූරුවෝ වගේ වැඩ කරන්න එපා කියලා බනිනවා. පිරිමි අයට බනින ඒවා මට මෙතන කියන්න බෑ. ලන්ච් එක ලංවෙනකොට සුපවයිසර් ඇවිත් බනිනවා ලන්ච් එකට නොයා හරි ටාගට් මහන්න කියලා. සමහර ළමයි බයට ම ලන්ච් එකට නොයා, ටී ටයිම් නොයා, වතුර නොබී වැඩ කරනවා" යැයි එම වාර්තා චිත්‍රපටයේ අදහස් දක්වන කර්මාන්තශාලාවක ස්ථිර සේවිකාවක් වන 21 හැවිරිදි කාංචනා පවසයි.

වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටි නම් සඳහන් කිරීමට අකමැති වූ පුද්ගලයන් කිහිපදෙනෙකු ම පැවසුවේ වැසිකිළියට යාමට ගත කරන කාලයෙන් ඉලක්ක (targets) සඳහා වැඩකිරීමට කාලය ඉතිරි කරගැනීමට ශ්‍රමිකයන් ජලය හෝ පානය කිරීමට විවේක නොගෙන වැඩකරන බවයි.

නිකුත් කරන ලද වාර්තාවේ අනාවරණය කරන ආකාරයට ඔවුන්ගේ නියැදියෙන් 78% ක් මුත්‍රා ආසාදන, මුත්‍රා ගල්, ගැස්ට්‍රයිටිස් සහ මස්පිඩු වේදනා ඇතුළු විව්ධ රෝගී තත්වයන්ට මුහුණ දී සිටිති.

නිවාඩු ගැනීමේ අපහසුතාවය, කායික අපහසුතා මෙන් ම නින්දා සහගත ලෙස බැන වැදීම හේතුවෙන් ඇතිවන මානසික පීඩනයෙන් ද මෙම කම්කරුවන් පීඩා විඳින අතර එනිසා ම ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයක් පවතින බව චමිලා තුෂාරි වැඩිදුරටත් පැහැදිලි කළා ය.

රැකියාව අහිමිවන රැස්වීමේ නිදහස

ශ්‍රී ලංකාවේ දැනට පවතින කම්කරු නීති යටතේ වෘත්තිය සමිතියක් පිහිටුවා ගැනීම හෝ වෘත්තිය සමිතියකට බැඳීම කම්කරුවන් සතු අයිතිවාසිකමකි.

කෙසේවෙතත් එම අයිතිවාසිකම අපනයන සැකසුම් කලාපවල සේකවයන්ට අහිමි වූවකි. මෙම වාර්තාවේ නියැදියට ඇතුළත් ප්‍රතිචාරකයන්ගෙන් 55%ක් අවුරුදු 01 සිට අවුරුදු 05 දක්වා සේවයේ යෙදී සිටින අය වන නමුත් ඔවුන්ගෙන් වෘත්තීය සමිති පිළිබඳ ව කවර හෝ අත්දැකීමක් ඇත්තේ ඉන් 5%කට පමණි.

වෘත්තීය සමිති සඳහා සම්බන්ධ වූ බවට තොරතුරු වාර්තාවන අයව අසාධාරණ ලෙස සේවයෙන් නෙරපා දැමීමට කර්මාන්තශාලා පාලනාධිකාරීන් කටයුතු කරන බව වාර්තාව අනාවරණය කරයි. කෙටි වාර්තා චිත්‍රපටයේ අදහස් දක්වන 27 හැවිරිදි නිතූෂා පවසන්නේ 'වෘත්තීය සමිතියකට එක්ව වැඩ කරන්නට හැකි නම් එය හොඳ යැයි' තමා සිතන බවයි. 'තමන්ට ඇති ප්‍රශ්න සාකච්ඡා කිරීමට 'එවිට හැකි යැයි ඇය පවසයි.

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් බියවැද්දීම සඳහා ඇතැම් අවස්ථාවල යම් යම් දේශපාලනඥයන්ව හෝ විවිධ කල්ලි කණ්ඩායම් මෙහෙයවීම ද කර ඇතැයි වාර්තාවේ සඳහන් ය. වැඩසටහන අතරතුර මෙම තත්වය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවේ කෙතරම් ප්‍රශ්න තිබුණ ද වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වය වෙනුවෙන් සිය රැකියාවෙන් වන්දි ගෙවීමට ඇති නොහැකියාව නිසා මෙම සේවකයන්ගෙන් 95%ක් ම පාහේ කිසිඳු වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වයකට සම්බන්ධ නොවන බවයි. ආයෝජන මණ්ඩල පනත තුල වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වයට ඇති ඉඩකඩ අහුරා තිබුණ ද සාමාන්‍ය කම්කරු නීති යටතේ එම අයිතීන් ඇති නිසා මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති අධිකරණ ක්‍රියාමාර්ග ගෙන පවා තිබෙන බව එම සාකච්ඡා සභාවේ දී මතුවිය.

ප්ලේන්ටියෙන් දිවිසරි කරගන්නා මෑන් පවර් සේවකයෝ

"ඇවරිවත්තට ඔබ ගියොත් ප්ලේන්ටියකින් දවස් කීපයක ආහාරවේල සරි කරගත් ශ්‍රමිකයන් ඔබට සොයාගන්න පුළුවන්" යැයි කෙටිවාර්තා චිත්‍රපටයේ අදහස් දැක් වූ ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ සභාපති නීතීඥ ස්වස්තිකා අරුලිංගම් පවසයි.

මෑන්පවර් සේවක ප්‍රමාණය රැකියා අවස්ථා ප්‍රමාණයට වඩා අඩු වීම නිසා උදෑසන 07ට ආරම්භ වන වැඩමුරයේ රැකියා අවස්ථාවක් ලබාගැනීමට මෑන් පවර් ශ්‍රමිකයන් පාන්දර 04 පමණ සිට ආයෝජන මණ්ඩලය අවට රැඳී සිටිති. මෑන්පවර් ඒජන්සිවලින් ඔවුන්ව විවිධ දිනවල විවිධ ස්ථානවල සේවයේ යොදවන නිසා ඔවුන්ට නිශ්චිත සේවා ස්ථානයක් නොමැත. එමෙන් ම ඔවුන්ගේ දෛනික වැටුපෙන් 25%-30%ක් පමණ මුදලක් මෙම ඒජන්සිකරුවන් විසින් අයකරගන්නා අතර ශ්‍රමිකයාට ලැබෙන්නේ රුපියල් 900ක් වැනි සුළු මුදලකි. දිනයේ සේවා මුරය අවසන් වන තෙක් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් එම ඒජන්සිකරුවන් ඇපයට තබාගෙන සිටින බවත් වාර්තාව හෙළි කරයි. සේවක නිල ඇඳුම් සපයා ගැනීමට සිදුවන අවස්ථාවල දී හෝ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට සහ සනීපාරක්ෂක වියදම් පවා ඔවුන්ට ඒ ලැබෙන සුළු වැටුපෙන් ගෙවීමට සිදුවන බව වාර්තාවේ දැක්වේ.

කෙසේවෙතත් ස්ථිර සේවකයන්ට නිවාඩු ලබා ගැනීම ඉතා අපහසු කර ඇති දැඩි නිවාඩු ප්‍රතිපත්ති නිසා සහ දීර්ඝ සේවා මුරවලින් පසුව විවේක ගැනීමට අවශ්‍ය නිසා ඇතැම් ස්ථිර කාන්තා ශ්‍රමිකයන් පවා මෑන් පවර් සේවයට යාමට උනන්දු බව සාකච්ඡාවේ දී මතු වූ කරුණකි.

සේව්‍යයා සහ සේවකයා පැහැදිලි ව හඳුනාගත හැකි විධිමත් රැකියා ක්ෂේත්‍රයක් වන මෙම ක්ෂේත්‍රය "විධිමත්භාවයේ සිට අවිධිමත්භාවයට යාම" සිදු ව ඇති බව නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවා ය.

මෙම ක්ෂේත්‍රයේ ස්ථ්‍රිර සේවකයන් ප්‍රමාණය ලක්ෂ හතරක් වන විට මෑන් පවර් සේවකයන් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න විශාල අගයක් ගන්නා බව නීතිය හා සමාජ භාරයේ පර්යේෂිකාවක් වන රශ්මිනී ද සිල්වා වාර්තාව එළිදක්වමින් ප්‍රකාශ කළාය.

මෙම මෑන්පවර් සේවකයන් සේවා ගිවිසුම් හෝ වෙනත් නිල ගිවිසුමකින් ආයතනයකට බැඳීමක් නොමැති නිසා අනෙක් සේවකයන්ට හිමිවන දීමනා, වරප්‍රසාද සහ සේවක අර්ථ සාධකය වැනි සමාජ ආරක්ෂණයන්වලට හිමිකම් නොකියන බව ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

කර්මාන්තශාලාවල දී මෑන් පවර් සේවකයින්ට වෙනස්කොට සැළකීමක් සිදු කරන අතර ඔවුන්ට ආහාරපාන පවා ලබා දෙන්නේ සීමා සහිත ව බව කෙටි වාර්තා චිත්‍රපටයේ අදහස් දක්වන 29 හැවිරිදි මෑන් පවර් සේවකයෙකු කියා සිටියේය.

"තේ වෙලාවට දෙන ශෝටීට්ස් මෑන් පවර් අයට දෙන්නේ නෑ. උදේට පාන් දෙනවා. මෑන් පවර් අයට දෙන්නේ තේ එක විතරයි. බත් කනකොට වැඩිපුර හොදි බෙදාගන්න බෑ."

බොහෝ කර්මාන්තශාලාවල ස්ථිර සේවකයන් ආහාරගෙන අවසන් වන තුරු ඔවුන්ට ආහාර ගැනීමටවත් ඉඩක් ලබා නොදෙන බව මෙම අවස්ථාවට එක් ව සිටි ඇඟළුම් ශ්‍රමිකයෝ පැවසූහ.

මෙම ක්ෂේත්‍රයේ ස්ථ්‍රිර සේවකයන් ප්‍රමාණය ලක්ෂ හතරක් වන විට මෑන් පවර් සේවකයන් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න විශාල අගයක් ගන්නා බව නීතිය හා සමාජ භාරයේ පර්යේෂිකාවක් වන රශ්මිනී ද සිල්වා වාර්තාව එළිදක්වමින් ප්‍රකාශ කළාය.| මෙම ක්ෂේත්‍රයේ ස්ථ්‍රිර සේවකයන් ප්‍රමාණය ලක්ෂ හතරක් වන විට මෑන් පවර් සේවකයන් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න විශාල අගයක් ගන්නා බව

නීතිය හා සමාජ භාරයේ පර්යේෂිකාවක් වන රශ්මිනී ද සිල්වා වාර්තාව එළිදක්වමින් ප්‍රකාශ කළාය.

දොස් පවරන්න නොව වෙනස් කරන්න

මෙම වාර්තාව එළිදැක්වීමේ අරමුණ "දොස් පැවරීමක් නොව වෙනස් කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීම" බව නීතිය සහ සමාජ භාරයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සකුන්තලා කදිරගාමර් පැවසීය. ඒ සඳහා වාර්තාවෙන් සොයාගත් දත්ත පදනම් කරගෙන නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කර තිබේ.

අපනයන කලාපවල වෙනම කම්කරු මහලේකම් කාර්යාල පිහිටුවීම, කම්කරු දෙපාර්තමේන්තුවේ නිරන්තර සුපරීක්ෂණය මෙන් ම වෘත්තීය සමිති නොමැති ව හෝ සෘජුව පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවය

ශ්‍රමිකයන්ට මුහුණදීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන්ට රාජ්‍ය ආයතන සඳහා යාමට නිවාඩු ලබා ගැනීමට ඇති ප්‍රායෝගික ගැටලුව (දීර්ඝ සේවා මුර අවසන් කර ශ්‍රමිකයන් පැමිනෙණ විට බොහෝ රාජ්‍ය ආයතන වල ( උදා: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පොලිසිය, කම්කරු කාර්යාල වැනි ආයතන) රාජකාරී වේලාවන් අවසන් ව තිබීම නිසා ඔවුන්ට පැමිණිලි කිරීමට, සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරගැනීමට හෝ අවස්ථාවක් ප්‍රායෝගික ව අහිමි වී ඇත).

කම්කරු කොමසාරිස්වරයා යටතේ මෑන් පවර් සේවකයන් ලියාපදිංචි කරවීම සහ ඔවුන්ට ද ස්ථිර සේවකයන්ට මෙන් සේවක අර්ථ සාධක අරමුදල් වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම

බොහෝ මෑන් පවර් සේවකයන් රට අභ්‍යන්තරයේ සිට විවිධ ප්‍රදේශ වලින් සංක්‍රමණය වූ අය බව සහ එවැනි ශ්‍රමිකයන් ව ලියාපදිංචි කරගැනීම මෙන් ම ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව ලබා දීමේ වැදගත්කම

උද්ධමනය දිගින් දිගටම වැඩි වීම නිසා ශ්‍රම්කයන්ට වැටුප් ලෙස හිමිවන මුදලේ වටිනාකම අඩු වීමේ ගැටලුවට මුහුණ දීමට සිදු ව ඇත. එමෙන් ම ඔවුන්ට සිදු කිරීමට ඇති වැඩ ප්‍රමාණය ද කර්මාන්තශාලාවලින් මේ වන විට දෙගුණ කර ඇති පරිසරයක උද්ධමනය සහ කර්මාන්තයේ ලාභ මත පදනම් වූ වැටුප් ගණනය කිරීමක් සිදු කිරීමේ වැදගත්කම

එමෙන් ම සාමූහික ගිවිසුම් පවත්වා ගැනීමේ වැදගත්කම සහ සේවක අයිතිවාසිකම් සුරැකීම ප්‍රවර්ධනය කළ යුතු බව

ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය අවම වැටුපට විශාල ශ්‍රමයක් වැය කිරීමට සිදුව ඇති රැකියා ක්ෂේත්‍රයකි.

නමුත් රට තුළ පවතින වාතාවරණය සහ රැකියා හිඟ බව නිසා අකමැත්තෙන් හෝ එම රැකියාවේ නිරත වීමට එම ශ්‍රමිකයන්ට සිදුව තිබෙන්නේ අවම සේවා හෝ ආරක්ෂණ පහසුකම් යටතේයි.

දීර්ඝ සේවා මුරවලින් පසුව ප්‍රමාණවත් විවේකයක් ගැනීමට කාලය හෝ පහසුකම් ඔවුන්ට නැත.

ඔවුන් ලබන පෝෂණයට සාපේක්ෂව විශාල ශ්‍රමයක් රැකියාව සදහා වැයකිරීමට සිදු ව ඇති නිසා විවිධ රෝගාබාධයන්ට ලක් වීමට සිදු ව තිබීම වාර්තාවෙන් හෙළි ව ඇති කරුණකි.

අවම වෘත්තීය අයිතිවාසිකම් පමණක් නොව අවම මූලික අයිතිවාසිකම්වත් භුක්ති විඳීමට නොහැකි තරමට ම ශ්‍රමිකයන්ව 'වැඩ පිඩනයකට' හා ' වෙනස් කොට සැළකීමකට ලක් කිරීම' සම්බන්ධයෙන් නිසි සහ කඩිනම් පියවර ගත යුතු බව එළිදක්වන ලද මෙම වාර්තාව විසින් අවධාරණය කොට තිබේ.

(bbc/sandeshaya)