හේ ඔස්ටින්ය !!!

හේ ඔස්ටින්ය !!!

ගෙවුණු 2023 වසර කොහොමදැයි විමසන්නෝ බහුලය. ඊට පිළිතුරක් දෙනු වෙනුවට යමක් උපුටා දැක්වීමට කැමැත්තෙමි. ඒ FB පෝස්ටුවක තිබුණු යමක්ය. අපේ එක් තරුණ මානවකයෙක් ලියා ඇත්තේ 2023 වසරේ සිදු නොවුනේ ''හිරේ ගියේ නැති එක විතරයි'' කියාය. සැබවින්ම බහුතරයක් ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ කතාන්දරය ද එයයි. සිරගත වූ පිරිස් ද නැත්තේ නොවේ. එහෙත් තුන්වේල-දෙවේලටත්, දෙවේලෙන් සන්තර්පණය වූ කුටුම්භ එක් වේලකටත්, එක් වේලක් හෝ පිරිමසා නොගත්තවුන් බහුලව උලා කෑමටත්,සම්මාදම් වූ අපකීර්තිමත් වසර 2023 යි.

ඒ අල්ලපනල්ලේ පෙරදින එනම් 31 වැනි දින, තුනේ කණිසමට මා තකහනියේ නුගේගොඩ සරසවිට ගොඩ වැදුනෙමි.ඒ  ඔස්ටින් බැලීමටය. ලිවීමේ  පහසුව පිණිස ඔස්ටින් යැයි කීවද ඔහු ගැන අපගේ ඇත්තේ නොසෑහෙන කැමැත්තකි. එබැවින් ඔස්ටින් යැයි සඳහන් සියලු තැන් අවසන් වන්නේ මහත්මා ලෙස යැයි සිතා ගනු මැනවි!! ඔස්ටින් ලෙස ලිවීම කඩප්පුලි රැඩිකල් කමක් නොවේ.  ලිපියේ ගලා යෑමට පහසුවකි.

ඔස්ටින්,  යටත් විජිත පාලකයන් අත රැඳුණු කොළඹ වරායේ සේවය කල වාප්පු ලිපිකරුවෙකුගේ දරුවෙකි. එනයින් රිදී හැන්දෙන් රන්කිරි කට කෑ, අර්ථපති පියෙකුට ජාතව විල්ලූද පලස් මත්තේ පා තැබූ දරුවෙක් නොවේ. සිරසේ අප සන් මිතුරු අසෝක ඩයසුන්ගේ පැතිකඩට ආ ඔස්ටින් සිනහමුසු මුහුණින් කල සිංහාවලෝකනයකදී දැක්වූයේ බණ්ඩාරනායක, වරාය ජනසතු කල මුල් සමයේ ඉංග්‍රීසි සමාගම් පාලකයන් තම සේවක කුටුම්භගත දරුවන් හට දුන් ශිෂ්‍යාධාරය නැවතී ගිය බවයි. එහෙයින් මාස කිහිපයක් විරැකියාගත පියාගේ ආර්ථිකය පිරිහුණු බවත් ,එබැවින් සමහර දිනෙක එතෙක් නිතිපතා ලැබුණු පොකට් මනි ද පිතුමන්ගෙන්  නොලැබුණු දින ද තිබූ බවත්ය. එවන් දිනෙක පාසැල්  පංති කාමරය අසළ පිහිටි ජල කරාමයකට පෑ දෝතේ පිරුණු ජලය, ඔහුගේ කුසගින්න නිවූ බවත් ඔහු කියා දැම්මේය.  ඒ අතීත කාමය විකුණා කෑමට කියූවක් නොව අසෝකයන්ගේ බහට දුන් අව්‍යාජ පිළිතුරකි.

මේ ඔස්ටින්, මෙරටේ  කීර්තිමත් රජයේ නිළධාරීන්ගේ පරම්පරාවේ අවසන් පුරුකේ දිවමන්ව සිටින දුලබ තැනැත්තෙකි. ඔහු, ඔහුගේ  ස්වයං ලිඛිත චරිතාපදානය ලියා ඇත්තේය. ඒ ''මම ඔස්ටින්'' නමිනි. ඉහතින් ඔස්ටින් බලන්නට ගියා යැයි කීවේ මේ ග්‍රන්ථ රත්නය මිලදී ගන්නට ගිය ගමන ගැනයි.   

මෙම ලිපිය ලියන්නේ ඔහුගේ ග්‍රන්ථය අතට පත් ආවේශයෙන් බව සැබවි. එහෙත් මෙබස්, ඊට ම සිමා වනවා නොවේ. අප ඔහු කෙරෙන් දුටු වෙසෙස් ලක්‍ෂණ ඇගැයීම  පළමු කාර්යයයි. ඔහුගේ චරිතයේ නැගීම් හා බැසීම් මතු නොව වැරදුනු තැන්ද නැත්තේ නොවේ. ඒ දිවියේ හැටිය. පරිසමාප්ත චරිත හමුවීමට නම්  අප සම්‍යයක්  සම්බුද්ධත්වය ලද යුතුය. නැත්නම් එක්කෝ මමංකාරය ඉහවහා ගිය සමන්ත භද්‍රයාණන් හෝ ෆාස්ටර් ජෙරම් හමුවිය යුතුය.

ඔස්ටින් යනු කවුද? ඔස්ටින් යනු බ්‍රැඩ්මන් වීරකෝන්ට පසු වැඩිම රාජ්‍ය නායකයන් පිරිසක් හා ස්රිජුව රාජකාරී කල විධායක නිළධරයන් අතලොස්සෙන් කෙනෙකි. විධායක ජනපතිවරුන් හය දෙනෙකුගේ සමීප බස් ඔහු අසා ඇත්තේය. එපමණක් නොවේ, ඔහු කදිම ලියන්නෙකි. මෙරටේ රාජ්‍ය සේවයේ සමාරම්භකයෙක් වූ ලෙනාර්ඩ් වුල්ෆ් මෙන් ලියන්නට හැකි රාජ්‍ය නිළධාරීන් ස්වල්පයක් වූ කුලකයේ ඔස්ටින් ඉන්නේ ඉතා ඉහලිනි. ''My Belly is White'' නිදසුන්ය. ඔහුගේ දීප්තිමත් හැකියාවේ දුලබ උරුමය වන්නේ ද්විභාෂාගත දැනුමයි. ඉන් ඔහු උකහා ගත් දැනුම කිසිවෙකුට, කිසිදා නොපරදින සෙයියාවක් ඔහුට සින්නක්කර ලියා දී ඇති සේය.

ඒ සැමට ඉහළින් අප, ඔහු වෙත සෙනෙහස පාන්නේ වෙන අන් කවර කරුණක් නිසා හෝ නොව ඔහු කිසිදු දිනෙක බලය බෙදාහදා ගැනීම (Power Sharing) හෝ ෆෙඩරල් (Federal)  වැනි කේන්ද්‍රීය කරුණු අරභයා තම ප්‍රතිපත්තිය වෙනස් කර නොගත් අදීන නිළධරයෙක් වූ බැවිනි. ඔහු නූස්ය. තලෙළුය. ඇස් කඩාගෙන යන ඇත්දළ පාටින් සුදිලෙන චර්මයෙන් වැසුණු ශරීර කුඩුවක්ද නැත්තේය. එහෙත් ඒ සැමට වඩා  මුවගේ රැඳී අයස්කාන්ත මන්දස්මිතියකින්  නිරතුරු සැරසුණු හේ ඉතා සියුම් කැරිස්මාවක් නඩත්තු කරන්නේය. එවන් ඉසියුම් ණුවනින් එහෙමෙහ යන පරිපාලනයේ හිටපු ලොක්කෝ දැන් දැන් බෙහෙතකටවත් සොයා ගැනීමට නැත්තේය.  තවද, සංවර්ධන පරිපාලනය විෂයෙහි ද ඔහු සතු ප්‍රමාණිකත්වය අවිවාදිතය.

එහෙත් ඔහු ගැන අප සතු නොකැමැත්ත ද ලියා තැබිය යුතුය. කෙතරම් හොඳක් ලීවද, එක් අසුබ යැයි සිතන වදනකින් කල හොඳ සියල්ල වැල් පොලී අනුපාතයට පස්සෙන් පන්නන්නේය. එනමුත් ඔස්ටින් විවේචන ඉවසන සුළු භාග්‍යමත් විශ්‍රාමිකයෙක් යැයි සිතා මෙය  ලියා තබමි.

මෙරටේ රාජ්‍ය සේවය කිසිදා ගොඩ ගත නොහැකි එක් අර්බුදයක් වන්නේ විශ්‍රාමික රාජ්‍ය නිළධාරීන් තම අතීත පෞරුෂය හා කිර්තිය දේශපාලන ව්‍යාපාර මත්තේ කැප කිරීමයි. සැබවින්ම එය කවර වූ හෝ දේශපාලන අයිතිවාසිකම් අහිමිව සිට විශ්‍රාමයට පිළිපන් මාණ්ඩලික/විධායක නිළධරයෙකුගේ ව්‍යවස්ථාපිත අයිතියකි. එහෙත් එලෙස ගොඩ නඟන දේශපාලන බලවේගය තුළින් තනතුරක් දිනා කටයුතු කිරීම අවැඩදායකය. එය අයහපත් පූර්වාදර්ශයකි. ඔස්ටින් දැන දැන ම ඉමහත් අභිරුචියෙන් චේතනාන්විතව වරද්දා ගත් අසමාන කඩතොල්ල මෙයයි.

හේ එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවක් පිහිටුවන සියලු තැන ඉහළම තනතුරක් ලද රාජ්‍ය සේවයේ කීර්තිමත්  විශ්‍රාමිකයෙක් විය. දිග කතාවක් කෙටි කොට පවසන්නේ නම් එක්කෝ ඔහුට රනිල් වික්‍රමසිංහ නැතිව බැරි විය. එසේත් නැත්නම් රනිල්ට ඔස්ටින් නැතිව බැරි විය. සෑම මැතිවරණ ජයග්‍රහණයක් ම ලැබ උදාවන ඊළඟ පළමු උදෑසන ඔස්ටින් රනිල්ගේ ''Top Priority'' ලැයිස්තුවේ සිටින්නේය. පොතට අනුව, ඔස්ටින් ලියූ බසින්ම ලියන්නේ නම් රනිල් බෑ කියන්නට බැරි වන සේ තනතුරක් වෙත ඔහුගේ නම යෝජනා කරන්නේ බර අවි ප්‍රහාරයක් සේය. ඊට ඔස්ටින් අවනත වී ඇත්තේ නොදැමුණු බ්‍රිගේඩියර්වරයෙක් ළඟ දණ නමන ආධුනික සෙබලෙක් සේය.  

ඔහුගේ පොත මඟින් අනාවරණය නොවූවද, විවිධ රාජ්‍ය නායකයන්ගේ පාලන මාදිලි විමසන්නෙකුට මේ ස්වයං ලිඛිත චරිතාපදානය ද දැනුම් සාගරයකි. JR බොහෝ විට ජනකාන්ත මෙන්ම ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙක් තම පාලන සහකරුවන් සේ යොදා ගත්තේ යම්සේද, රනිල් සහ රණසිංහ ප්‍රේමදාස හැම විටම තමන් මුල් කල දැන හඳුනාගත් සීමිත නිළධරයන් පිරිසක් වෙත තම සදාකාලික විශ්වාසය පෑවේය. එනයින් ඔස්ටින් රනිල්ගේ අභ්‍යන්තර කවය හෙවත් ''ඉනර් සර්කලය'' හොබවන්නේය.

සැබවින්ම ඔහු පෙරහැරේ නොගියද කිසිදා සිහිණෙන් හෝ පක්‍ෂයට ද්‍රෝහී නොවන අනුරාගී එක්සත් ජාතික පාක්‍ෂිකයෙකි. කිසිදා සිදු නොවේයැයි සිතිය හැකිව තිබූ කරූ එක්සත් ජාතික පක්‍ෂය වරක් හැර ගියද ඔස්ටින් පක්‍ෂයට සන්හිඳක් විය.ඔහු පක්‍ෂය  වැටුණු තැන නැගිටුවීමට අනුප්‍රාණය දුන් මහ මොළකරුවන්ගෙන් කෙනෙකි. රනිල් හැරුණු විට එහි වත්මන් නයුවන්  හට ඔහු හා හැරෙන්නටත් බැරිය.

එපමණක් නොවේ, සිරිකොතේ දේශපාලන ඔස්තාර්ලා සමඟ මැතිවරණ ව්‍යාපාරයක අවශ්‍යයෙන්ම පැවතිය යුතු සමබිමක් දිනා ගැනීම සඳහා ඔහු සමහර මැතිවරණ වලදී  මැතිවරණ දෙපාර්තමේන්තුව හා මුහුවී කල සම්බන්ධීකරණය ප්‍රශස්තය. එහෙත් ඒ පක්‍ෂ මට්ටමිනි. එකී මැදිහත්වීමේ සූරබව නිසාම එක්සත් ජාතික පක්‍ෂය ජයගෙනද ඇත. වසර 2002 ජයග්‍රහණය එවැන්නකි.වසර දෙකක් පමණ කෙටි ආයුෂක් විඳි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ, ඔස්ටින් ආරක්‍ෂක ලේකම් ද  විය. ඔහුට මුට්ටිය ඇල්ලූ දයා පැල්පොල දියුණු රටක තානාපතියෙක් විය. මෙලෙස තනතුරක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ලත් ඇරයුම පිළිබඳව නිවසේ සිදුවූ සාකච්ජාව ඔස්ටින් තම ග්‍රන්ථයේ කදිමට චිත්‍රණය කොට ඇත්තේය.

අදාළ දෙබසට අනුව ඔහුගේ ප්‍රාණසම බිරින්දෑ සහ වැඩිමහල් දියණියන් දෙදෙනා  නව ආණ්ඩුවේ තනතුරක් ගැනීම තරයේ පිළිකෙව් කළේය. එහෙත් බාල දියණිය සන්තුශ්‍යාගේ බස ඊට හාත්පසින් විරුද්ධ එකක් විය. ඇය පැවසුවේ අප්පුච්චා මහන්සි වී  අගති විරහිත ප්‍රතිපත්තියක් මත්තේ ගොඩනැගූ නව ආණ්ඩුවේ තනතුරක් නොගැනීම රනිල් අගමැතිතුමන්ට දෙන අතුල් පහරක් බවයි. අනතුරුව කුටුම්භ සංග්‍රාමයේ ජය බාල දියණියට හිමිවිය. සැබවින්ම ඇය ජය ගත්තා නොවේ. ඔස්ටින්ගේ නාඩි නිවැරදිව කියවූ පවුලේ සාමාජිකාව ඇය විය.

එහෙත් ඔහු කිසිදා නොපිළිගනු ඇති වුවද,  ගෙදර වැඩටික හා යාළුමිත්‍රයන්ගේ වැඩටික පමණක් ගොඩ ගෙන උසාවිය දෙසම ඇහැ ගහගෙන සිටි මන්ත්‍රීවරයෙක් (ජාතික ලැයිස්තු) වූ තිලක් මාරපන ආරක්ෂක ඇමතිවරයා වීම ඔහුගේ අභාග්‍යය විය. ඔහු කපටි හා සමහර විටෙක දක්‍ෂ නීතිඥයෙක් විය හැකි වුවද මේ හිටපු  නීතිපති ප්‍රතිභාත්මක ඇමැත්තෙක් නොවේ. ඔක්කොම කුණු බේරුවල් බොක්කට සේ රනිල්ගේ සටන් විරාමයේ  අස්කොන් ගැන අහුමුළුවල සිදුවූ සියලු විවේචන එල්ල වූයේ ඔස්ටින්ටය. නවලෝකයේ ප්‍රතිකාර ගත් බාල්රාජ් බලන්නට ඇපල් රැගෙන ගිය ගමන ගැන රාජපක්‍ෂ කඳවුරේ සිටි ස්වෝත්තමවාදී  දේශපාලකයන් මාධ්‍ය අභියස මොර දුන්නේ මේ සිදුවීමෙන් ලත් අදිසි අනුප්‍රාණය ද සමඟිනි.

එහෙත් දෛවයේ සරදම වන්නේ එලෙස සටන් විරාමය පතුරු ගැසූ දේශපාලකයන් අහින හට දිවියේ අනෙක් අඩ රැකගන්නට සිදු වූයේ එකී සටන් විරාමයේ  නිර්මාතෘ රනිල් වික්‍රමසිංහගේ අනුභාවය සහ ආශීර්වාදය ඔස්සේ වීමයි. එහි සංකල්පීය පියවරුන්ගෙන් කෙනෙකු වූ ඔස්ටින් තුළින් දිස්වූ තවත් එක් යහගුණයක් ද මෙකල ප්‍රකට විය. එනම් කවර ජරපත් දේශපාලන හාල් කෑල්ලක් කුමන විවේචනයක් කලද තමන් රිසි මඟ ගියා විනා ඔස්ටින් නොවේ ප්‍රතිඋත්තර බඳින ලද්දේ. සැබවින්ම ඊට හේතු වන්නට ඇත්තේ ඔස්ටින් සතු විචක්‍ෂණශීලී පරිපාලන දැනුම ම නොවේ. සටන් විරාමය හෝ සාම ක්‍රියාවලිය හෝ වෙනත් කවරක් වේවා ඒ සියල්ල ඔහු ඉමහත් මමායනයෙන් සිදුකල මැදිහත්වීම් වීමයි. මෙකී ස්වීයකරණය අද දවසේ පරිපාලකයන් කෙරෙන් ඇබින්දක් හෝ දිස්වන්නේ නැති බව පැවසීම ඔස්ටින්ට කරන ගෞරවයකි.

 ඔස්ටින් මෙවැනි දිගු ආඛ්‍යානයක් එනම් පිටු 468 ක ජිවිත කතාවක් ලියා තැබීම සැබවින්ම ප්‍රශංසාත්මකය. A man's face is his autobiography. යැයි කියු ලෙසම මේ මුද්‍රිත අක්‍ෂර මත්තේ අපට ඔස්ටින් දිස්වන්නේය. එනයින් ඔහු අසීරු කඩඉමක් ජයගෙන ඇත්තේය. එනම් කිව හැකිදේ නොවළහා කියා දැමීමයි.වැරදුණු තැන්ද දැක්වීමට යමෙක් නිහතමානී වීම පමණක් ප්‍රමාණවත් නොවේ. අත්තුක්කංසන පරවම්භනය ද හෙළා දැකිය යුතුය. දැන් දැන් පරිපාලනයේ ඉන්නා ඇත්තන් පමණක් ම නොවේ වෙනත් ක්‍ෂේත්‍රගත වෘත්තිමය පරිචයක් ඇති ගොබිලන්ද බොහෝ දෙනෙක් කරන්නේ එයයි. එනම් 'මං  පොර'' යැයි සිතා ලියන - කියන අතර වැඩක් කරන එකා ද හෙළා දැකීමයි.. එලෙස බලන කල ඔස්ටින්ගේ චරිතය හා එකී චරිතය විදාරණය කරන මෙකී කෘතිය උත්තුංග චරිතයක සුවිශිෂ්ඨ දර්පනයකි.

එලෙස ඔස්ටින් පිළිබඳ අසීමිත මමායනයෙන් අප අකුරු කලද ''ඔක්කොම හොඳයි -නහය මුක්කන්''යැයි කියන්නා සේ කිව යුතු වෙනත් අවශේෂ කරුණක් ද ඇත්තේය. එනම් අද අප රට වැටී ඇති ප්‍රපාතය ඔස්ටින්ලා ද නිර්මාණය කරන ලද මානව ස්පර්ෂිත ඛේදවාචකයක් බවයි. ඊට සරිලන නිදසුන් යුගලයක් මෙකී ග්‍රන්ථයෙන්ම උපුටා දැක්විය හැක්කේය.

පළමුවැන්න වසර 2015 යහපාලන තොවිලය ඇරඹුමේදී සිදුකල (විද්‍යාත්මක) අමාත්‍ය මණ්ඩල පත්කිරීම්ය. එහිදී අදාළ පත්කිරීම හා සබැඳි තාක්‍ෂණික බව පිරික්සීමේ වෙසෙස් කමිටුවක් පිහිටුවීය. ඒ සඳහා පත්කළ වෙසරදවරුන් හයදෙනා අතරේ ඔස්ටින්ද විය. එහිලා කමිටුවේ එක් නිර්දේශයක් වූයේ රිෂාර්ඩ් බදුර්දීන් වෙත පිරිනැමූ අමාත්‍ය ධූරය හා ඊට ගැට ගසා ඇති ආයතන ප්‍රමාණය සුවිශාල බවයි. මෙකී උභතෝකෝටිකය ලිහීමේ භාරදූර කාර්යය උරදරා ගත් ඔස්ටින්,  පසුදින අගමැති වික්‍රමසිංහයන් මුණ ගැසුණේය. ඉදින් ඔහුගේ පිළිවදන වූයේ 'ඔස්ටින් ඕක තමයි සංධාන දේශපාලනයේ හැටි'' යන්නයි.

දැන් මා ඔබෙන් අසමි.

මෙවැනි පසුබිමකදී ඔස්ටින් වැනි අසමාන පෞරුෂයක් සහිත පරිපාලන ඔස්තාර් කෙනෙක් කුමක් කල යුතුද? සන්ධාන දේශපාලනය කවරක් වුවද, ඊට එරෙහිව නැගී එන ප්‍රතිවිරෝධය හා ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ නාමයෙන් ඔස්ටින් තම සටන දිගටම කල යුතු බව මගේ අදහසයි. ලෝක සම්මානිත ජයන්ත ධනපාලයන් පවා උක්ත කමිටුවේ සිටීම අමතර වාසියකි.

එහෙත් සිදුවූයේ සුවච -කීකරු එක්සත් ජාතික පාක්ෂිකයා මතු වීමයි. ඔස්ටින් කලේ වික්‍රමසිංහ බස දේව වාක්‍යය සේ සළකා සටනින් පසුබැසිමයි. එපමණක් නොවේ, ඔහු එය එය සාධාරණීකරණය කරන්නේය. පොතට අනුව ඔහු කියන්නේ 'අපි නොසිතන ප්‍රශ්ණ දේශපාලකයන්ට ද ඇති බවයි. ජන්ද ගොඩ කැලේ ගියද රාජ්‍ය සේවය අඩුකිරීම වැනි නිබය තීරණ ගැනීමට රනිල් හැමදාම පෙරට ආවේය යන ප්‍රවාදය මින් දුරීභුත වන්නේය.

දෙවැන්න නම් මෛත්‍රී -ඔස්ටින් සබඳතාවේ රුවගුණ විමසීමයි. එකී සබඳතාව ඔස්ටින් තම ග්‍රන්ථයේ චිත්‍රණය කොට ඇති ආකාරය මනබඳින්නේය. පරිපාලකයා සහ පාලකයා අතර ඇති අවියෝජනීය සම්බන්ධයේ දිග පළල විමසීමට නම්  සියලු සරසවි මානවකයෝ (සමාජ විද්‍යා විද්‍යාර්ථින්) මේ ග්‍රන්ථය කිව යුතුයැයි මා තරයේ නිර්දේශ කරන්නට කැමැත්තෙමි. එහෙත් ඔහු මෛත්‍රී හමුවේ දෙන දෙන දේ ගන්නවා විනා, තමන්ට පහසුවෙන් කල හැකිව තිබූ න්‍යායාචාර්ය භූමිකාව සිදුකොට ඇතිදැයි යන්න සක සහිතය.

සැබවින්ම ඔස්ටින් චරිතාපදානය මඟින් මා උගත් පළමු කරුණ නම් මෙවන් සම්මානිත පරිපාලකයෙකුගේ සේවය උකහා ගැනීමට අපගේ රාජ්‍ය සේවාමය ව්‍යුහය කිසිදු ලෙසකින් අසමත් බවයි. ඉන් විපුල ඵල නෙලා ගත්තෝ රනිල් වික්‍රමසිංහ වැනි අමුතු ආකාරයේ මෝස්තරකාර ලිබරල්වාදීන්ය. දේශපාලන පක්‍ෂපාතිත්වය හමුවේ තමන් සතු උත්තර වටිනාකම් ක්‍රමයෙන් ශේෂව යන්නේය යනු කිසිදා, ලංකාවේ කිසිදු විශ්‍රාමික පරිපාලකයෙක් සිතන්නට කැමති කරුණක් නොවේ.

මේ ස්වයං ලිඛිත චරිතාපදානය තවත් ග්‍රන්ථයකින් හෙළිපෙහෙළි කල යුතු අගනා එකකි. එහෙත් අතත්‍ය අවකාශයේ සීමිත ඉඩ සන් කරන්නේ දැන් ඇතිය යනුය. එබැවින් අනාගත දිනෙක ඔස්ටින් ගැන යළිත් කතා කරන්නට මා කැමැත්තෙමි. එහෙත් මා අවිවාදයෙන් පිළිගනිමි. ඔහුගේ රසබර අතීත පුරාවෘත්තගත සාඩම්බර පරිපාලන සේවය, සියුම් පරිපාලන වේදයකට පුර්වාදර්ශ සපයන්නේය. මෛත්‍රිපාල සිරිසේන සියවසේ සිදුකල මරිමෝඩම වැඩේ වූ අගමැති වෙනස් කිරීම වැනි සංසිද්ධීන් අභියස ඊට ඩිප්ලෝමටිකව විරුද්ධ වීමේ භාවිතාවක් ඔස්ටින් සතු විය. ජන්ද ගණන් කරන ශාලාවේදී බලවත් දේශපාලකයන්ට අභියෝග කිරීමේ ජවයක් ඔහුට විය. එනයින් පරසිදු හැරී ට්රුමන් කියා ඇති මෙවදනින් මා ඔහු සරසමි.

''An honest public servant can't become rich in politics. He can only attain greatness and satisfaction by service'' ඔස්ටින්ද මෙරටේ බොහෝ පරිපාලකයන් හට ඊළඟ ආත්මයේ වුව අත්පත් කරගත නොහෙන ශ්‍රේෂ්ඨත්වයක් සේවය තුළින්ම අත්පත් කරගත්තෙකි.

ඔහු අසා සිටීමට හැකි කතාකරුවෙකි. කියැවීමට හැකි ලියන්නෙකි. සැමට සවන් දෙන ශ්‍රාවකයෙකි. සැළමුතු නුගිනුරා අසීමිතව විඳි සැමියෙකි-දයාබර පියෙකි. ඒ හැම අභිබවන තරමේ වැඩ කිරීම ම ආගම කරගත් දුලබ පරිපාලකයෙකි.

manjula gajanayake 1

| මංජුල ගජනායක