කාන්තා දිනයට පමණක් මතක්වෙන කාන්තා අයිතීන් - කල්ප මදුරංග

කාන්තා දිනයට පමණක් මතක්වෙන කාන්තා අයිතීන් - කල්ප මදුරංග

සමස්ත ජනගහනයෙන් හරි අඩක් ඉක්මවා කාන්තාවන්ගේ ප්‍රතිශතය සඳහන් වුවද  ශ්‍රී ලංකා මහබැංකුවේ 2022 වාර්තාවට අනුව ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගීත්වය 32.1% ක්ව ඇත. මේ සඳහා බලපානු ලබන සමාජ සංස්කෘතික සහ ආර්ථික කාරණා සම්බන්ධයෙන් රටක් ලෙස සාධනීය මැදිහත් කිරීම් සිදු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව පැවසිය හැකිය.

කාන්තාවක් මත ඇයගේ කුඩාකල පටන්ම පැවරෙන පැටවෙන සමාජ සංස්කෘතික මතවාද සහ අදහස් වලින් ගැලවී යාම  පහසු නොවන අතර ඔවුන්ට මිය යාමට සිද්ධ වන්නේද එම සංස්කෘතියේ සිරකාර ගැහැනියක ලෙසය. මක් නිසාද ඇය මවක් ලෙස, බිරිඳක් ලෙස, තරුණියක් ලෙස, සේවිකාවක් ලෙස, දියණියක් ලෙස සහ සහෝදරියක් ලෙස සමාජය තුළ ජිවත් විය යුතු ආකාරය සමාජය විසින් උරුම කර දී ඇති අතර ඉන් පිටතට පැමිණීමට උත්සාහ දරන කල්හි එකී සමාජය විසින් දඬුවම් පමුණුවයි. එම භුමිකාවන්ගෙන් මිදීමට උත්සාහ කරන සහ සාම්ප්‍රදායික ගැහැණියකගෙන් මිදී පිරිමි හා සමානම මනුෂ්‍යයෙක් යන්න තහවුරු කරමින් ජිවත් වන ගැහැණුන් නැතිවාම නොවේ. වර්තමානයේ තමන් සිරකොට තිබෙන ගතානුගතික බැඳීම් වලින් නිදහස් විවෘත මනසකින් ලොව දකින ගැහැණුන් සහ පිරිමින්ගේ ප්‍රවණතාවයක් ඇති බව දක්නට ලැබේ. එසේම සාම්ප්‍රදායික ගැහැණිය යන භූමිකාවෙන් වෙනස්ව සිතීමම භය දනවන දෙයක් බව හෝ තමන්ගේ වටිනාකම් අහිමි වේදෝ යන දෙගිඩියාවෙන් පෙලෙන ගැහැණු සහ පිරිමි සිතීමම සිතීම බවට පත් වූ ගැහැණුද සමාජය තුළ ඉතා සුලභය. 

කාන්තා දිනයේදී මෙම කාන්තාවන් සඳහා නොයේක අයුරින් සැමරුම්, ගැහැනුන් සඳහාම වූ සාද, සංදර්ශන, උපහාර, ගැහැණු බඩු විකුණන දැන්වීම් වල අතිශයෝක්ති, ප්‍රචාරණ වැඩසටහන්, සමුළු සම්මන්ත්‍රණ ආදී බොහෝ දෑ වේ. බොහෝ විට ඒවාට අනුග්‍රහය දක්වන්නේද ගැහැණිය වෙළඳ දැන්වීම් වල නිරූපිකාවක් ලෙස හෝ වෙළඳ භාණ්ඩයක් කරන ලද වෙළඳ සමාගම් විසින්ය. ඒ ආයතන වලට අනුව සහ ඒ ආයතන වල පාරිභෝගිකයන් වන සමාජයට අනුව හොඳ අම්මා කෙනෙක් නම් චිකන් රසට පරිප්පු පිසිය යුතු වේ, නොඑසේ නම් අදාළ බේබි සබන්ම ගා බබාලා නෑවිය යුතුය, ජාතියේ මවක් වීමට නම් ඒ සන්නාමයේ ගෑස් භාවිත කළ යුතුය නැතහොත් ළමයින්ට ඔවුන් කියන කිරිපිටි පෙවිය යුතුය. කුඩා දරුවන්ට අන්දන නැප්කින් අනුව පමණක් නොව නුවණක්කාර ගෘහනියක් නම් වැඩි තේ කෝප්ප ගණනක් සෑදිය  යුතු අතර ඒ කිරි පිටි භාවිත කළ යුතුය. සනීපාරක්ෂක තුවා භාවිතයේදීද ඒ භාවිතා කරන බ්‍රෑන්ඩ් එක අනුව ඇය විශ්වාසයෙන් ඉදිරියට යන තරුණියක්ද යන්න ගැටළු සහගත වේ. එසේම දරුවන් ස්වාමියා සහ පවුලේ අයගේ හීන වෙනුවෙන් තමන්ගේ හීන කැප කරන කෙනෙක් විය යුතු අතර එසේ නොකරන්නේ නම් ය ගැහැනියක් නොවන බව මේ වෙළඳ සමාගම් විසින් සමාජයට ඒත්තු ගන්වයි.

ලංකාවේ ශ්‍රම බලකාය තුළ විධිමත් අංශයේ රැකියාවල නියුතු, නොඑසේ නම් ලංකාවේ කම්කරු නීති අණපනත් වලින් ආවරණය වන රැකියා කරන පිරිස සේම අවිධිමත් අංශයේ රැකියා වල නියුතු පිරිසක්ද වේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පල කරන ලද “ශ්‍රී ලංකාවේ අවිධිමත් රැකියා: ස්වභාවය, රැකියාවේ සම්භාවිතාව සහ වැටුප් නිර්ණායක” අධ්‍යයනයෙන් හෙළි වූයේ සියලුම රැකියා කරන පුද්ගලයින්ගෙන් සියයට 66 ක් අවිධිමත් අංශයේ රැකියා වල නියුතු බවයි.  එය  ශ්‍රී ලංකාවේ මුළු රැකියා නියුක්තියෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් අවිධිමත් වීම බරපතල කනස්සල්ලට හේතුවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන පරිදි 2019 දී  ශ්‍රී ලංකාවේ සේවය කරන මුළු මිලියන 8.2 න් මිලියන 5.5 (සියයට 67) පමණ අවිධිමත් ලෙස සලකනු ලැබීය. මෙම කම්කරුවන් ජාතික කම්කරු නීතිවලට සහ ආදායම් බද්දට හෝ සමාජ ආරක්ෂණ සහ රැකියා ප්‍රතිලාභවලට හිමිකම් නොකියයි.

මෙම අවිධිමත් අංශයේ රැකියා කරන පිරිසගෙන් සැලකිය යුතු බහුතරයක් කාන්තාවන්ද වේ. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ සේවය කරන ගෘහ සේවකයින්ද මෙම අවිධිමත් අංශයට අදාළ වන අතර ජාත්‍යන්තර කම්කරුවා සංවිධානය විසින් 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවන් පිළිබඳව කරන පර්යේෂණයට අනුව වාර්තාවන ගෘහස්ථ සේවකයින් ගණන 80000 ඉක්මවයි. ඉන් කාන්තාවන් සංඛ්‍යාව 66000ක් පමණ වේ. නමුත් අපට දක්නට ලැබෙන කාන්තා දින සැමරුම් වල තිබෙන ගැටලුව නම් මේ රැකියා ක්ෂේත්‍ර වල කාන්තාවන් ගැන සඳහන් වන්නේද යන්නයි. අවිධිමත් අංශයේ කාන්තාවන් වෙළෙන්දියන් ලෙස, පිරිසිදු කරන්නියන් ලෙස, ගෘහ සේවකයින් ලෙස, වෙළඳ සහයකයින් ලෙස, ඇඟලුම් සේවිකාවන් ලෙස, ස්වයන් රැකියා කරන්නියන් ලෙස, ආහාර සහ මගීන් ප්‍රවාහනය කරන්නියන් ලෙස සහ කෘෂිකර්මාන්තයේ හා ධීවර කර්මාන්තයේ සේවිකාවන් ලෙස, විවිධ කර්මාන්ත වල නිෂ්පාදන ශ්‍රමිකයින් ලෙස සේවය කරනු ලබයි. නමුත් මොවුන් සඳහා කිසිදු ආකාරයක ආරක්ෂණ නීති හෝ සමාජ ආරක්ෂණ නීති නොමැත.  නිදසුනක් ලෙස ගතහොත් ගෘහ සේවිකාවක් වයස්ගත වන තුරු යම් නිවසක සේවය කළහොත් යට රැකියාව කරගත නොහැකි වූ කල්හි රැකියාවෙන් ඉවත් කරයි. එවිට ඇයට ජිවිතයේ ඉතිරි කාලය ගත කිරීම සඳහා කිසිදු මුදලක් හෝ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලංකාවේ නැත. මෙවන් කාන්තාවන්ගේ රැකියා සුරක්ෂිතභාවය, හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව, සමාජ ආරක්ෂණ පිළිබඳව කාන්තා දින සැමරුම් වේදිකාවලින් ඇසෙන්නේ නැත. මක් නිසාද මේ සමාජයේ කාන්තාව බොහෝ දෙනාට කාන්තා දිනයේදී පමණක් මතක් වනවා සේම අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වක්‍රාකාරයෙන් හෝ මේ ආර්ථිකය පණගන්වන අවිධිමත් අංශයේ රැකියා වල නියුතු කාන්තාවන්ව කිසිවෙකුටත් මතක් නොවේ.  එම නිසා "අවිධිමත් අංශයේ කාන්තාවන් ඇතුළු සියලු කාන්තාවන්ට එරෙහි සෑම ආකාරයේම හිංසනයන්ට සහ වෙනස් කොට සැලකීම් වල එරෙහිව පෙළගැසෙමු!” යනුවෙන් තේමාවන් සහ සටන් පාඨ දීමට සිදු වේ.

පොලීසිය විසින් ගෘහ සේවිකාවක් ඝාතනය කිරීම

2023.05.11 දින වැලිකඩ පොලීසිය විසින් කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ ඉල්ලීම මත ඇගේ නිවසේ ගෘහ සේවිකාව අත් අඩංගුවට ගත් අතර එදින සවස ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. ඇගේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, වැලිකඩ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී රාජ්කුමාරි හට මොට ආයුධවලින් පහරදීම නිසා සිදුවූ ඝාතනයක් බව අනතුරුව හෙළි විය. මෙලෙස පොලිසිය විසින් සිදු කරන ඝාතන පිළිබඳව කාන්තා දින වේදිකාවල නොඇසෙන්නේ මන්ද? යන ප්‍රශ්නය නැගෙන අතර පොලිස් මිනීමරුවන්ගේ වැඩ තහනම් කළ පමණින් මෙවන් කාන්තාවන් සඳහා යුක්තියක් ඉටුවේද යන ප්‍රශ්නයද මතුවේ.

C 190 සම්මුතිය ට මොකද වුණේ?

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් වැඩලෝකයේ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම සඳහා  C190 නම් ප්‍රඥප්තියක් 2019 ජූනි මාසයේදී සම්මත කරන ලදී. එමගින් මෙතෙක් පවතී වැඩබිම යන්න සඳහා පුළුල් අර්ථකතනයක් දෙමින් වැඩ ලෝකය යන්න සඳහන් කළ අතර හිංසනය සහ ප්‍රචණ්ඩත්වය යන්නටද පුළුල් අර්ථකතනයක් ලබා දෙන ලදී. මෙම සම්මුතිය අපරානුමත කර ගැනීමට කම්කරු ඇමති නිමල් සිරිපාල, මනුෂ නානායක්කාර සහ වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් යැයි කියන් පුද්ගලයාද විවිධාකාරයෙන් පොරොන්දු දුන්නද ඔවුන් එය සිදු කළේ නැත. එය අපරානුමත කර ගැනීමට එවකට බොහෝ දෙනෙක් විවිධ උත්සාහයන් ගත්තද වර්තමානය වන විට එය හුදු කාන්තා දින සැරසිල්ලක් හෝ තවත් එක් සටන් පාටයක් බවට පත්ව ඇත. සටන් පාටයක් ලෙස හැඳින්වීමද එතරම් සුදුසු නැති බව හැඟී යන්නේ වැඩලෝකය තුළ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම සඳහා වන සටන් සමාජය තුළ දුලභ නිසා විය හැකිය. ඒ තුළද අවිධිමත් අංශයේ ගෘහ සේවකයන් වැනි සේවකයන් ගැන සඳහන් වුවද මෙතරම් නීති තිබියදීත් ගෘහ සේවකයන් මරාදමන, දුෂණය කරන රටක මෙවැන්නකින් පිළිසරණක් වේයැයි සිතීම ගැටළු සහගතය. අනෙක් කාරණය නම් ඇත්තටම මෙය රට තුළ අපරානුමත කර ගැනීමට අවශ්‍යද යන්නයි. එසේ අවශ්‍යනම් ඒ පිළිබඳව වන සටන් මේ සමාජය තුළ තීව්‍ර විය යුතු අතර පටු අපේක්ෂාවන්ගෙන් ඔබ්බට ගිය එකක් විය යුතුය.

ස්ත්‍රී- පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පතට මොකද වුණේ ?

2022 නොවැම්බර් මාසයේදී කාන්තා මන්ත්‍රිවරියන්ගේ සංසදය විසින් සහ "ස්ත්‍රී- පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම'' පිළිබඳව ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතක් සම්පාදනයට සාකච්ඡා ගණනාවක් පැවැත්වුණු අතර එය ජනාධිපති වරයාටද ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලදී. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් මේ සඳහා විශේෂ කාරක සභාවක් ද රැස්වන ලදී. එය " ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාව" නම් වේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් එකට දෙකක් හදන බව 2022.12.01 දින ජනාධිපති වරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

කෙසේ වුවද මෙම පනත් වලට වූයේ කුමක්ද යන්න සුදර්ශනී ප්‍රනාදුපුල්ලේ මන්ත්‍රිනි ඇතුළු මන්ත්‍රී සංසදය විසින්ද ප්‍රකාශයක් කළ යුතුය. මෙහි ඉතා කැපී පෙනෙන දෙයක් වුයේ ''ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තියේ 1 වැනි කෙටුම්පතේ ආර්ථික සවිබල ගැන්වීම සහ ඵලදායී රැකියා නියුක්තිය යන ක්ෂේත්‍රයයි. මක් නිසාද යත් එහි ප්‍රතිපත්තියෙහි අරමුණු වල අවිධිමත් අංශයට තවත් නව බලාපොරොත්තුවක් ඇති කරන්නක් විය. එනම් ''අවිධිමත් අංශය තුළ වැඩ කරන කාන්තාවන්ගේ දායකත්වය හඳුනා ගැනීම'', ගෘහස්ථ හා නිවෙස් පාදක සේවකයන් ඇතුළුව විධිමත් හා අවිධිමත් රැකියා නියුක්ති කේෂේත්‍ර තුළ සියළු කාන්තාවන්ට හා ස්ත්‍රී පුරුෂ සමාජභාවී සුළුතරයට සමාන අවස්ථා සහ ප්‍රතිලාභ, නෛතික සුරැකිතා, පුහුණුව, කුසලතා සංවර්ධනය සහ ඩිජිටල් නවෝත්පාදනය කරා ප්‍රවේශය, විශේෂ ආරක්ෂාවන් සහ සමාජ ආරක්ෂණ කරා ප්‍රවේශය සහතික කිරීම.

මේවා සිදු වූයේ නම් අවිධිමත් අංශයේ කාන්තාවන්ට මේ යුගයේ මේ තරම් ඛේදවාචකයන්ට මුහුණ දීමට සිදු නොවනු ඇත. ඔවුන් මේ පසුකරමින් සිටින මොහොත ඉදිර්යේදී ඉතාමත්ම නරක ප්‍රතිපලයන් කරා ඇද දමනු ඇත. ඔවුන් සිටින්නේ කිසිදු රජයක් හෝ බලධාරියෙකු තමන්ගේ ආර්ථික පීඩාවන් තඹ දොයිතුවකට මායිම් නොකරන සහ ඒ පිළිබඳව කිසිදු හැඟීමක් නැති පාලකයන් රජයන මොහොතකය.   

අප රජයෙන් ඉල්ලීමට කාරණා කිහිපයක් ඇත.

  • ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්ති සහ පනත් සකස් විය යුතුය. ඒ තුළ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කාන්තාවන්ගේ දායකත්වය පිළිගැනීමට ලක් කළ යුතුය.
  • වැඩබිම තුළ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම සඳහා වන C190 සම්මුතිය රට තුළ අපරානුමත කර ඊට අදාළ කම්කරු නීති සකස් කළ යුතුය.
  • ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති සකස් විය යුතු අතර එය ජාත්‍යන්තර වශයෙන් තහවුරු කිරීම සඳහා C 189 සම්මුතිය අපරානුමත කළ යුතුය.
  • අවිධිමත් අංශයේ කාන්තාවන් ඇතුළු සියලු කාන්තාවන්ට එරෙහි සෑම ආකාරයේම හිංසනයන්ට සහ වෙනස් කොට සැලකීම් වල එරෙහිව සකස් කරනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය යුතුය.

එසේම රජයට මතක් කල යුතු කාරණයක්ද ඇත. අවිධිමත් අංශයේ කාන්තාවන් ඇතුළු කාන්තාවන් බොහෝ පිරිසක් සංවිධානය වෙමින් සිටී. එය තමන් දෛනිකව මුහුණ දෙන පීඩාවන් සඳහා සාමූහිකව විසඳුම් ලබා ගනීම සඳහා වන ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයකි. ඒ ගැහැණු ප්‍රවාහයක්ව සුවිසල් මන්දිර අබියසට පැමිණෙන දිනය වැඩි ඈතක නොවිය හැකිය. එම නිසා සමාජ සමාන්තමතාවය සහ සාධාරණත්වයට හිස නමන්න.

එසේම සමාජයටද දිය යුතු පණිවිඩයක් ඇත. සෑම ගැහැණියක්ම සමාජ සත්වයෙකි. කිසිසේත්ම වෙනස්කොට සැලකීමකට ලක් නොවිය යුතු අතර එසේ සිදු කිරීමට මොනයම් හෝ සංස්ථාවක් විසින් හෝ අනුබල දෙන්නේ නම් මෙය ශිෂ්ට සමාජයක් නොවේ.

kalpa mduranga

| කල්ප මධුරංග

ප්‍රොටෙක්ට් සංගමය