එක් කලාපයකට පමණක් සීමා නොවන ස්වභාවික ආපදා ලෝකයටම පොදු වූූ තත්ත්වයකි. මිනිස් ජීවිත වලට, දේපළවලට හා පරිසරයට හානි කරන මෙම ස්වභාවික ආපදා සුළි කුණාටු, ගංවතුර, නාය යෑම්, ගිනිකඳු පිපිරීම, ලැව් ගිනි ඇතිවීම, සුනාමි යනාදි වශයෙන් විවිධ ස්වරූපයන්ගෙන් හඳුනාගත හැකිය. මේවායින් එල්ල කෙරෙන බලපෑම කිසිදු භේදයකින් තොරව සැමට එක සේ අත්විඳින්නට සිදුවේ. මිනිසාටත්,සතුන්ටත්, පරිසරයටත් එය එසේම ය.
අපේ රටට ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී සිදු වූ ස්වභාවික ආපදා ලෙස සුනාමි, බුරවි සුළි කුණාටුව මෙන්ම ඉතාම මෑත කාලයේ සිදු වූ දිට්වා සුළි කුණාටුව සුවිශේෂීව හඳුනාගත හැකිය. මේ සෑම තත්ත්වයකදීම මේ රටේ සෑම පුද්ගලයකුටම භේදයකින් තොරව බලපෑම් එල්ල කරනු ලැබුව ද ස්වභාවික ආපදාවක දී මුහුණ පෑමට සිදුවන තත්ත්වයන් හමුවේ කාන්තාව සම්බන්ධ සුවිශේෂීව කතාබහට ලක් වේ. මන්දයත් කාන්තාවක් වීම හා පුරුෂයකු වීම මත පවතින්නා වූ ඇතැම් වෙනස්කම් මත පුරුෂයා පරයා කාන්තාවෝ අසරණ වීමේ ප්‍රවණතාවය ඉහළය. ශ්‍රී ලංකාවේ සමස්ත ජනග්‍රහණයෙන් 51% වන කාන්තා ප්‍රතිශතයෙන් 75% කවත් කාන්තාවෝ පිරිසක් ඉතාම මෑත සිදු වූ දිට්වා සුළි කුණාටු තත්ත්වයට මුහුණ පාන්නට ඇත.
විශේෂයෙන්ම ස්වභාවික ආපදා තත්ත්වයන්වලදී ඒවාට මුහුණ පෑමට සිදුවන්නේ ක්ෂණිකව ය. ස්වභාවික ආපදාවකදී අනපේක්ෂිත ලෙස සිදුවන සංසිද්ධීන් හමුවේ කාන්තාවෝ සැබෑවටම අසරණය. ආරක්ෂාව සනීපාරක්ෂාව, පෝෂණය, ලිංගිකත්වය,වගකීම් යනාදී කාරණා මත කාන්තාවන් අපහසුතාවට පත්වීම සුලබය.
ආපදාකාරී තත්ත්වයන්වලදී විශේෂයෙන්ම ගංවතුර, නාය යෑම්, සුළි කුණාටු වැනි තත්ත්ව වලදී කාන්තාවන්ට තම පුරුදු නිවසෙන් කඳවුරුවලට හෝ වෙනත් ආරක්ෂිත ස්ථානයකට යාමට සිදු වේ. ගැබිනියන්, කිරිදෙන මව්වරුන්, මාසික ඔසප් වීමට ලක් වූ කාන්තාවන්, වැඩිහිටි මහලු කාන්තාවන් මෙන් ම වැඩි වියට පත්වීමට ආසන්න වයසේ දැරියන් හා යෞවනයේ පසුවන තරුණියන් වශයෙන් විවිධ අවස්ථාවල පසුවන කාන්තා චරිත ඒ් තුළ අපහසුතාවයට ගොඳුරු වේ.
ආපදාවකට පෙරත් ආපදා අවස්ථාවකදීත් කාන්තාව ඇය මත වන වගකීම් නිසා වැඩිපුරම අසරණභාවයට පත් වේ. මන්දයත් කාන්තාවක් නිවස තුළ විවිධ භූමිකා දරමින් යුතුකම් හා වගකීම් ඉටු කරයි. ස්වභාවික ආපදාවකට මුහුණ පෑමට ආසන්නයේ කාන්තාව පවුලේ අනෙකුන් කෙරෙහි අවධානය යොමු කරන අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වේ. මවක් ලෙස කාන්තාවක් පවුල තුළ කටයුතු කරන්නේ ප්‍රථමව තම දරුවන් ආරක්ෂා කර ගැනීමටය. ගැහැණු දරුවකු සිටින මවකට එහිදී ලැබෙන පීඩනය දෙගුණය. වගකීම් දෙගුණය. මන්දයත් මවක් නිරන්තරයෙන් කටයුතු කරන්නේ තම දියණිවරු රැක ගැනීමටය.
එසේම ජීවිතය තුළ පියවරෙන් පියවර ගොඩනඟා ගත් ජීවිතය, දේපළ, පවුල, ආදරය අහිමිවීම ගැන කාන්තාවක් වදවීම ස්වභාවයේම සිදුවන්නකි. කාන්තාවකගේ බැඳීම් ශක්තිමත්ය. එනිසා ඇය බැඳීම් හා වස්තුව කෙරෙහි දැඩි ලෙස බැඳෙන්නේ ස්වභාවයෙන්මය. මේ හරහා කාන්තාවක මානසිකව ද පීඩනයට පත් වේ.
මානසිකව පමණක් නොව කායිකව කාන්තාවට මුහුණපාන්නට සිදුවන දුෂ්කරතා අපහසුතා දෙස අවධාන යොමු කිරීම ද ඉතා වැදගත්ය.
හදිසි ස්වභාවික ආපදා තත්ත්වයක දී කඳවුරුවලට යාමට සිදුවන අතර එහිදී කිසිදු පෙර සූදානමක් නැතිව වහා ඉවත් වීමට සිදුවන තැන්වලදී කාන්තාවන්ට මුහුණපෑමට සිදුවන්නේ දැඩි අපහසුතාවන්ටය. මන්දයත් කාන්තාවක් ලෙස දෛනිකව ඇතිවන අවශ්‍යතාවයන් ගැන කල්පනා කර ඒවා සූදානම් කරගෙන තම නිවසෙන් පිටවීමට තරම් කල් නොමැති බැවිනි. ප්‍රථමව ජීවිතයේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ උපදෙස් මත වහා ඉවත්වීමට සිදු වේ.
මෙවැනි තත්ත්වයකදී ගැබිනියන්, කිරි දෙන මවුවරුන්, මල්වර වියේ දැරියන්, යෞවනියන්, මහළු කතුන් වශයෙන් මේ කවර තත්ත්වයක සිටින කාන්තාවකට වුව කඳවුරකදී කාන්තාවක් ලෙස මුහුණපෑමට සිදුවන පොදු තත්ත්වයක් ලෙස සනීපාරක්ෂක ගැටලු මතු වේ. මෙහිදී බොහෝ දෙනකුගේ අවධානයට යොමු වන පළමු කාරණය නම් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා සැපයීම අවශ්‍ය බවයි. කාන්තාවන් ඔසප් වීම තුළ ඔවුන්ට අත්‍යවශ්‍ය දෑ සනීපාරක්ෂක තුවා බවයි. එය විවාදයකින් තොර සත්‍යයයි. එම අවශ්‍යතාවය නොමැතිවීම තුළ කාන්තාවන්ට මුහුණදිමට වන අපහසුතාවය ප්‍රබල ය. දිට්වා සුළි කුණාටු තත්වය හමුවේ කඳවුරුගත වූ ඇතැම් කාන්තාවන්ගෙන් අසන්නට ලැබුණේ “ සනිපාරක්ෂක තුවා නොතිබු නිසා රෙදි කෑලි ඇදගෙන සිටි බවයි” මෙවැනි අවස්ථාවක විකල්පයක් ලෙස භාවිතයට ගත හැකි ක්‍රමය නම් කපු රෙදි භාවිතයයි. නමුත් ආපදාක දි අවතැන් වු පිරිස් ලෙස කඳවුරක ගතකිරීමට වීම තුළ එය පවා අපහසු වන්නකි. ඒ් තුළත් කාන්තාවට මුහුණපෑමට වන්නේ අන්ත අසරණ තත්ත්වයකට ය. කාන්තාවක් මාසිකව මුහුණපාන හා දැඩි වේදනාවකට ලක්වන මේ තත්ත්වය ගැන සමාජයෙන් වසං කිරීමට කාන්තාව දැඩි ලෙස උත්සාහ දරති. තමා සිටින්නේ එවැනි තත්ත්වයක බව පිටස්තරයකු තබා පවුලේ අය හෝ දැන ගැනීම ලැජ්ජාවක් ලෙස සලකති. නමුත් කඳවුරක සිටියදී සිය ගණනක් පිරිස සමග සිටිද්දී එය වසං කිරීමට අපහසු ය. පොදුවේ භාවිතා කරන වැසිකිලි පද්ධතිය, නිදා ගැනීම, ආහාර ගැනීම, ඇඳුම් මාරු කිරීම, නෑම, ආදී වෙනදා තම නිවසේ සිට පෞද්ගලිකව තනිව කළ සියලු දේ මෙවන් අවස්ථාවක පොදුවේ පිරිසක් අතරේ සිදු කිරීමට හා හුවමාරු කර ගැනීමට සිදු වේ.
මාසිකව ඔසප් වීම්වලදී කාන්තාව දැඩි වේදනාවකට මුහුණපාන අතර වමනය, කොන්ද, බඩ, කකුල් අමාරු වලින් මිරිකෙමින් ගැහැණියක් මේ දවස් ගෙවා ගන්නේ ඉතා අමාරුවෙනි. එවැනි අවස්ථාවලදී ගෙදරදී සාදාගන්නා අත් බෙහෙත් ප්‍රතිකාර කිසිවක් කඳවුරකදී සපයා ගැනීමේ හැකියාව නොමැත. විදදරා ගන්නටම සිදු වේ. එසේම එවැනි අවස්ථාවලදී පිරිසිදුකම අනිවාර්යෙන්ම තිබිය යුතු වුවත් සනීපාරක්ෂක තුවා මාරු කිරීම, සෝදා පිරිසිදුව සිටීම, පිරිසිදු ඇඳුම් භාවිතය, ඒ්වා නිසි ලෙස බැහැර ඉකිරිම ආදිය මෙහිදී සුවිශේෂී පිළිවෙතයි. නමුත් කඳවුරකදී ඒවැනි සියල්ල නිවසේදී මෙන් කරගැනීමට පහසුකම් නැත. ඒ නිසාම තවත් අපහසුතාවයන්ට පත්වීමට සිදුවන්නේ පිරිමින්ට නැති ගැහැණුන්ට පමණක් ආවේණික ස්වභාවය නිසා ය.
අද වන විට සනීපාරක්ෂක තුවා සම්බන්ධ ලාංකීය සමාජයේ තිබූ ලැජ්ජාව ටිකෙන් ටික තුරන් වෙමින් ගොස් ඒවායේ අවශ්‍යතාවය ගැහැණු පිරිමි භේදයකින් තොරවම හඳුනාගෙන ඇත. අපේ රටට බලපෑ දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ අවතැන් වූ පිරිස් සිටින කඳවුරුවලට ආධාර රැගෙන යාමේදී පිරිමින් විසින් මෙම සනීපාරක්ෂක ද්‍රව්‍ය රැගෙන යෑම් අපි දුටුවෙමු.
සනීපාරක්ෂක තුවා සම්බන්ධ අවධානය යොමු වුවද ඒ හා සමානවම අවශ්‍ය කාන්තා යට ඇඳුම් පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානයට ලක් නොවේ. පිරිමින්ට මෙන් කාන්තාවන්ට කය වැසෙන්නට පමණක් ඇඳුමක් ඇඳීම ප්‍රමාණවත් නොවන බව රහසක් නොවේ. එවන් තත්ත්වයකදී ඔසප් දිනයක එලෙස යට ඇඳුම් තුන හතරක් මාරු කිරීමට සිදුවීම සාමාන්‍ය සිද්ධියකි. නමුත් කඳවුරක සිටියදී එවැනි පහසුකම් සලසා ගන්නේ කෙසේද යන්න ගැටළු සහගතය. දිනකට යට ඇඳුම් තුන හතරක් තබා එකම යට ඇඳුම දින දෙක තුනක් හැඳ සිටීමට පවා ගැහැණුන්ට සිදු වේ. සනීපාරක්ෂක තුවා මෙන්ම කාන්තා යට ඇඳුම්ද කඳවුරක සිටින විට කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් වනු ඇත. කඳවුරුගතව සිටි පිරිස් වෙත ආධාර ද්‍රව්‍ය රැගෙන යෑමේදී කාන්තාවන්ගේ ඉල්ලීම් අතර සනීපාරක්ෂක තුවා සේම කාන්තා යට ඇඳුම් ද විය.
කිරිදෙන මවුවරුන්, ගැබිණි මාතාවන් ද කඳවුරු තුළ සිටින බැවින් ඔවුන් මූලිකවම සනීපාරක්ෂාව සේම පෝෂණය සම්බන්ධ ගැටලුවලට මුහුණපානු ඇත. කිරිදෙන මවුවරුන්ට මෙන් ම ගැබිණි මවුවරුන්ට ද පෝෂණය අත්‍යාවශ්‍යය. විවේකය හා ආරක්‍ෂාව අත්‍යවශ්‍යය. නමුත් ස්වභාවිකව ඇති වූ ව්‍යවසනයක් හේතුවෙන් කර කියාගත නොහැකිව අසරණභාවයට පත්ව කඳවුරක දින කිහිපයක් ගත කිරීමට සිදුවන අවස්ථාවකදී තම නිවසේ මෙන් ආරක්‍ෂාවක් පෝෂණයක් හෝ විවේකයක් සපයා ගැනීම හෝ සපයා දීම අපහසු කාර්යයකි. ඒ තුළ එම තත්ත්වයේ පසු වන කාන්තාවන් මුහුණපාන ශාරීරික හා මානසික පීඩනය බලපෑම් එල්ල කරන්නේ ඔවුන්ට පමණක් නොව ඔවුන් තුළ වැඩෙන ළඳරුවන්ට ද සමඟය. කාන්තාවක් ගැබිණියක් වීම තුල ඇයගේ ආරක්ෂාව ප්‍රමුඛය. එම තත්වයේ සිටින කාන්තාවක ගෙවෙන තත්පරයක් පාසා අවධානයෙන් හා පරිස්සමින් සිටිය යුතු ය. දරු ප්‍රසූතිය ආසන්න ගැබිනි මව්වරුන් සිටින්නේ ඉතා අවධානම් තත්ත්වයේ ය. මෙවැනි අවස්ථාවක දි දරුවකු බිහිකරන්නට වුවහොත් ඒ් වේදනාව, ආරක්ෂාව, පවිත්‍රතාවය, අවදානම පුරුෂයන්ට පොදු නොවන කාන්තාවන්ටම පමණක් මුහුණපාන්නට සිදුවන පොදු අභියෝගයකි.
කිරිදෙන වයසේ සිටින දරුවන් හා කුඩා දරුවන් සිටින මව්වරුන්ට තම ආරක්‍ෂාව හා පෝෂණයට වඩා දරුවන්ගේ ආරක්‍ෂාව හා පෝෂණය ගැන වගකීමක් ඇත. ළමා ඇඳුම්, ඖෂධ, පැම්පස් ආදි දේ මෙන්ම ළමයින් මැසි මදුරු උවදුරුවලින් පවා ආරක්ෂා කර ගැනීමට අවැසි පහසුකම් සපයා ගැනීම පහසු නොවේ. මේ තත්ත්වයන් හමුවේ තම දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධ ගැටලු රාශියකට මුහුණ පෑමට කාන්තාවන්ට සිදුවනු ඇත.
කාන්තාවන් ලෙස යෞවන වියේත් ඉතාම ගැටවර මල්වර වියෙත් මල්වර වී නොමැති දැරියන්ට පවා කඳවුරු ගතවීමට මෙවැනි අවස්ථාවකදී සිදු වේ. විශේෂයෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ වේ. කඳවුරක් තුළ ගැහැණු පිරිමි භේදයකින් තොරව ජීවත්වීමට සිදුවීම තුළ මෙම වයස් මට්ටමේ සිටින දැරියන් විවිධ ලිංගික හිංසනයන්ට අපචාරයන්ට හෝ අපයෝජනයන්ට ලක්වීමට ඉඩ ඇත. යුද සමයේදී කාන්තාව හමුදාවන්ගෙන් ලිංගික අතවරයන්ට ලක් ලක්වූවා සේ මෙවැනිි අවස්ථාවකදී ද එය එසේ වීමට ඉඩ ඇත. මෙවැනි තත්ත්වයන් අපේ රටට පමණක් නොව ලෝකයේ ඕනෑම රටක කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වයන් වේ.
ආපදා තත්ත්වයකදී කඳවුරකදී පමණක් නොව ආපදාවට පසුව ගොස් නිවෙස් වෙත පැමිණීමෙන් අනතුරුව ද කාන්තාවට මුහුණපෑමට සිදුවන්නේ විඩාබර අවස්ථාවකටය. විනාශ වූ නිවාස, දේපළ, ජීවිත ගැන ඉතිරි වන පශ්චාත්තාපය සේම වාසස්ථානය යථා තත්ත්වයට පත් කර ගැනීමේ කාර්යයට මූලිකවම දායක වන්නේ කාන්තාවෝය. පිරිමින්ගේ සහයෝගය තිබුණද නැතුවද, පිරිමි නොමැති නිවෙස්වල ද මේ තත්ත්වයන් කළමනාකරණය කරගන්නේ කාන්තාවන් විසින්ම වන අතර මෙම අවස්ථාවල දි අවධානමටත් අපහසුතාවටත් මුහුණ පෑමට සිදුවිම අරුමයක් ද නොවේ.
ස්වභාවික ව්‍යවසනයකින් ජීවිත විනාශ වීම ස්වභාවිකය. එවැනි තත්ත්වයකදී තම බැඳීම්වලින් වෙන්වීමට සිදුවීම, තම ආදරණීයයන්ගේ අහිමිවීම දරාගන්නටත්, තනි වන්නටත්, ජීවිතයට මුහුණ දෙන්නටත් කාන්තාවට සිදු වනු ඇත. ආපදාවට ගොදුරු වන පවුල්වලින් ස්වාමිවරු අහිමිවන කාන්තාවෝ එතැන් සිට තම ජීවිතයට තනිව මුහුණ දිය යුතුමය. අපේ රටට බල පෑ දිට්වා සුළි කුණාටු තත්ත්වයේදී රටම කතා වූ ගුවන් හමුදා නියමුවරයකු වන නිර්මාල් සියඹලාපිටිය නිලධාරියාගේ ජීවිතය අහිමිවීම සිදුවන්නේ ඔහු ආපදාවට ගොදුරු වීමෙන් නොව ආපදාවට පත් වූවන් මුදවා ගැනීමටට යෑමේදීය. කෙසේ හෝ ඔහුගේ ජීවිතය අහිමිවීම තුළ තනිවීමට සිදුවුයේ ඔහුගේ බිරිඳට දරුවකු සමගය. මෙවන් කාන්තාවන්ට තම ජීවිතයේ සවිය වූ ස්වාමියා අහිමි වූ කාන්තාවන් කොතෙක් නම් මෙම ව්‍යසනයේදී තනිවන්නට ඇත. ඔවුන් ඉදිරි ජීවිතයට තනිවම මුහුණ දිය යුතු ය. කාලාන්තරයක් ගත වුවත් පවුලේ ස්වාමියා නොමැතිවීම තුළ මතුවන ප්‍රශ්න, ගැටළු, අභියෝග මේ සියල්ලකටම ඇය පුරුෂයකු වශයෙනුත්, ගැහැණියක වශයෙනුත් මුහුණ පෑ යුතුම ය.
ඒසේ තනිවන කාන්තාවන් දෙස සමාජය හෙළන අනුකම්පාව ඇතැම් කතුන්ට හිරිහැරයක්ම වන අතර ඇතැම් පවුල් තුළ දරුවන්ට පියා අහිමිවීම යන සංවේදනය තුළ කාන්තාවකට පවුල තුළ මවත් පියාත් යන භූමිකා දෙකම දරන්නට සිදුවනු ඇත. එවන් තත්වයක සිටින කාන්තාවන්ට වෙනත් විවාහයකට යොමුවන ලෙස පවුලේ අනෙකුන්ගෙන් බලපෑම් ඇතිවීමත්, එලෙසම ඇතැම් පුරුෂයන්ගේ අතකොළු බවට පත්වන්නටත් සිදුවන්නු ඇත.
එසේම තනිවිම තුළ කාන්තාවකගේ අසරණභාවය සුළු නොවෙන අතර කයින් හා මනසින් කොතරම් සවිමත්ව සිටි කාන්තාවක වුව මෙවන් අවස්ථාවක සියළු දේ අහිමිවිම තුළ ඇයට දරාගන්නට වන වේදනාව සුවිශාල ය. අපට බලපෑ දිට්වා සුළි කුණාටුව හමුවේ මෙලෙස තනි වූ කාන්තාවෝ ගැන කතා කොතෙකුත් දක්නට ලැබුණි. ඔවුන් යහමින් හම්බ කරමින් ගේ දොර ගොඩනඟාගනිමින් තම පවුල සමඟ ජීවත් වුව ද මේ ව්‍යවසනය හමුවේ සියල්ල කුණාටුව සමඟම ගසාගෙන යද්දි ඇදිවත පමණක් සමඟ තනි වූ කාන්තවෝ ඒ් තනිවීම් දරාගත්තේ ද ගැහැණියකට උරුම දරාගැනීම් එලෙසම දරාගෙනය. නමුත් සියල්ල අහිමි වූ තැන ඇතැම් කාන්තාවෝ මානසික රෝගීන් බවටත් ඇතැම් කාන්තාවෝ තම ජීවිතය නසා ගත් බවටත් ඛේදනීය කතා මේ ව්‍යවසනයේදි අසන්නට ලැබුණි.
ආපදාවකින් පසු යථා තත්ත්වයට ආ විට සාමාන්‍ය පරිදි නිවසට කොටුවන්නේ කාන්තාවයිි. එවැනි තත්ත්වයකදී කාන්තාව හුදකලාවීම, මානසික ආතතියට පත්වීම, තනිකම, අහිමිවීම් පිළිබඳ සිතමින් පසුතැවීමට කල්පනා කිරීමට ඇය පෙළඹෙන බැවින් එමගින් කාන්තාව මානසිකව පීඩනයට පත්වේ. දරුවන් අහිමි මව්වරුන්, ස්වාමිවරු අහිමි බිරින්දෑවරුන්, පියවරු අහිමි දියණිවරුන් හෙළන සුසුමන් තුළ හිර වී තිබෙන්නේ කාන්තාවගේ සැබෑ වේදනාවම ය.
ස්වභාවික ආපදාවක් වැනි තත්ත්වයකදී කාන්තාවන්ට මෙවැනි අභියෝගයන්ට මුහුණ පෑමට සිදුවීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ තුළ සැබෑවටම කාන්තාවෝ අසරණය. එය ස්වභාවික ව්‍යවසනයකදීත් වෙනත් එවැනි ව්‍යසනකාරි තත්ත්වයකදීත් සිදු විය හැකිය. ඒ් ස්වභාවයෙන්ම ස්ත්‍රිය හා පුරුෂයා වශයෙන් වන්නා වූ වෙනස්කම් මත ය.
මෙවැනි ආපදාකාරී තත්ත්වයන්වලදී කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, කාන්තා කටයුතු අමාත්‍යවංශ සතු වගකීම ඉතා වැදගත් වන බැව්ද සිහිපත් කළ යුතුය.
ශ්‍රී ලංකාව නිරන්තර ස්වභාවික ආපදාවන්ට මුහුණපාන රටක් නොවන බැවින් ආපදා කළමනාකරණයට නිසි හා ස්ථිර වැඩ පිළිවෙලක් හෝ පද්ධතියක් නොමැත. නමුත් එසේ පවතින්නේ නම් ඒ වෙනුවෙන් වෙනම මධ්‍යස්ථාන හෝ ක්‍රියාවලීන් ගොඩ නැගෙන්නේනම් අවශ්‍ය අවස්ථාවේදී ඒවා නිසි කළමනාකාරීත්වයෙන් භාවිතයට ගැනීමත්, සිදුවන්නා වූ විනාශය අවම කර ගැනීමටත් හැකි වනු ඇත. එවන් නිසි වැඩපිළිවෙළක් යටතේ කාන්තාවකට වුව මුහුණපෑමට සිදුවන ඇතැම් අභියෝග අවම කරගැනීමටද හැකිවනු ඇත.

| නිර්මලා දිසානායක

