සත්‍යග්‍රහය: ලංකාවේ දෙමළ ජනයාගේ නිදහස් ව්‍යාපාරය
එස්. පොන්නයියා (සංශෝධිත සංස්කරණය, 2024)
හැඳින්වීම
ශ්‍රී ලංකාවේ ජාතිකවාදය පිළිබඳ ප්‍රශ්නය නූතන දකුණු ආසියානු ඉතිහාසයේ වඩාත්ම ප්‍රතිවිපාක ගෙන දී තිබෙන, එහෙත් අවම ලෙස වටහා ගත් ගැටළුවලින් එකකි. එස්. පොන්නයියා මහතා ගේ සත්‍යග්‍රහය: ලංකාවේ දෙමළ ජනයාගේ නිදහස් ව්‍යාපාරය නමැති කෘතිය මෙම සංකීර්ණ භූ දර්ශනයට අගනා කවුළුවක් ලබා දෙයි. එය, අවිහිංසාවාදී විරෝධය රාජ්‍ය අනුග්‍රහය ලත් ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් තීරණාත්මක මොහොතක් වූ 1961 දෙමළ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ලේඛනගත කර ඇත. ඒ ව්‍යාපාරය අවසානයේ දිවයිනේ ජනවාර්ගික සබඳතාවල පසුකාලීන ගමන් පථය හැඩ ගස්වා ලීය.
1963 දී ඒ. කන්දයියා මහතා මුල් වරට ප්‍රකාශයට පත් කල, එස්. රත්නේස්වරන් සහ එම්. විජයපාලන් යන මහත්වරු 2024 දී සංශෝධනය කල සංස්කරණයේ පුළුල් කරන ලද මෙම කෘතිය, ඓතිහාසික වාර්තාවක් මෙන්ම අත්‍යවශ්‍ය දේශපාලන සාක්ෂියක් ද වශයෙන් පවතී. ආණ්ඩුවේ සිංහල පමණක් භාෂා ප්‍රතිපත්තියට එරෙහිව ෆෙඩරල් පක්ෂයේ සංයමයෙන් යුතුව කල සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය එහි විස්තර කෙරේ. මෙම උද්ඝෝෂණය උතුරු හා නැගෙනහිර පළාත්වල සිවිල් පරිපාලනය මාස දෙකකට ආසන්න කාලයක් අඩාල කළේය. වඩා වැදගත් දේ වන්නේ, පොන්නයියා මහතාගේ කෘතිය, සමානාත්මතාවය සහ ඇතුළත් කර ගැනීම උදෙසා දෙමළ ප්‍රජාව සතු අභිලාෂයන් සපුරා ගැනීමට ඉඩ හැරීමෙන් නොව, එම අභිලාෂයන්ට එරෙහිව බැටන් පොලු, කඳුළු ගෑස් සහ යුද නීතිය අමෝරා මුහුණ දුන් තීරණාත්මක සන්ධිස්ථානයක් ග්‍රහණය කර ගැනීමයි.
බැහැර කිරීමේ නිර්මාණ ශිල්පය
පොන්නයියා මහතාගේ මූලික ජයග්‍රහණය රඳා පවතින්නේ, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම කිසි විටෙකත් පෙර පැවති අනන්‍යතාවන්ගේ අනිවාර්ය ගැටුමක් නොවූ බව සාමාන්‍ය ජනයාගේ වචනවලින් පෙන්වා දීම තුල යි. ඊට වෙනස් අයුරින්, එම ගැටුම ඉතා වෙහෙස මහන්සි වී යලි යලිත් හිතාමතා දක්ෂ ලෙස සැලසුම් කරන ලද්දේ, තමන්ගේම බලය තහවුරු කර ගැනීම සඳහා භාෂා අයිතිවාසිකම්, බෞද්ධ ආගමික හැඟීම් සහ බහුතරවාදී මනෝභාවය හසුරුවන ලද අනුප්‍රාප්තික දේශපාලන නායකයින් විසිනි.
එම ගැටුම, ස්වදේශික ධනේශ්වර පන්තියක නැගී ඒම තුළින් ධනවාදය වැඩවසම් ක්‍රමයක් මත උත්තරාරෝපනය කල බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ සිට මෙම ගමන් පථය සළකුණු කරයි. මේ ස්වදේශික ධනේශ්වර පන්තිය අතිශයින් ධූරාවලි ගත සමාජ නිර්මිතයන්ට බැඳී සිටින අතර යුරෝපීය ලිබරල් පරමාදර්ශ ද අවශෝෂණය කර ගත්තේය.
ඔවුන්ගේ කෘතිය විසින්, සිංහල සහ දෙමළ ජනයා බෙදාහදා ගත් ශිෂ්ටාචාරාත්මක ජයග්‍රහණ මත පදනම් වූ සැබෑ අන්දමේ අන්තර්-වාර්ගික දැක්මක් වන "ලාංකික" ජාතිකවාදය පිළිබඳ සංකල්පය 1930 ගණන්වල සිට ක්‍රමානුකූල ව කැබලි කරන ලද්දේ කෙසේ දැයි පරීක්ෂා කිරීම අවශ්‍ය කෙරේ. දේශපාලන ක්‍රියාකාරීහු සැබෑ වාර්ගික දුක්ගැනවිලි විසඳනවාට වඩා, මැතිවරණ අපේක්ෂා ඉටු කර ගැනීම වෙනුවෙන් බෙදීම් තහවුරු කර ලීම සඳහා බහුතරය හා සුළුතරය අතර පවතින අසමතුලිතතා උපයෝගී කර ගත්හ.
700,000 කට අධික මලයියහ දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය අහිමි කළ 1948 ඩී එස් සේනානායක පාලන තන්ත්‍රයේ ලංකා පුරවැසි පනත සහ 1956 එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක පාලන තන්ත්‍රයේ සිංහල පමණක් පනත, මෙම බැහැර කිරීමේ ක්‍රියාවලියේ ව්‍යවස්ථාදායක සන්ධිස්ථාන සනිටුහන් කළේය. උදාහරණයක් ලෙස, 1958 දී රාජ්‍ය අනුග්‍රහය ලත් සිංහල මැර කල්ලි විසින් දෙමළ ප්‍රජාවන්ට එරෙහිව එල්ල කරන ලද පුළුල් ප්‍රහාරවලින් පසුව ඇති වූ ප්‍රචණ්ඩත්වය, එම ප්‍රතිපත්තිවලට අමතරව සිදු වූ ඒවා නොව, එම ප්‍රතිපත්තිවල පුරෝකථනය කළ හැකි ප්‍රතිවිපාකය විය. සංවිධානය කළ ශාරීරික ප්‍රචණ්ඩත්වය සමඟ කෙතරම් දුරකට නීතිමය බැහැර කිරීම ඒ වන විටත් සම්බන්ධ වී තිබුණේද යන්න හෙළිදරව් කරමින් කර්නල් රිචඩ් උඩුගම වැනි පුද්ගලයින් තීරණාත්මක මෙහෙවරක් ඉටු කළ අවස්ථාව වූයේ මෙය යි.
1961 සත්‍යග්‍රහය: ගරුත්වය ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙයි
පොන්නයියා මහතාගේ කතාවේ හරය අවධානය යොමු කරන්නේ 1961 සත්‍යග්‍රහ ව්‍යාපාරය කෙරෙහි ය. වෙනස් කම් කරන භාෂා ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම සඳහා එස් ජේ වී චෙල්වනායගම් මහතාගේ නායකත්වයෙන් දහස් ගණනක් දෙමළ පුරවැසියෝ සාමකාමී වාඩි ලා ගැනීම් වල නිරත වූහ. එකටෙක කිරීමෙන් තොරව කුරිරු රාජ්‍ය මර්දනයට මුහුණ දුන් විරෝධතාකරුවන්ගේ බිම් මට්ටමේ බලමුළු ගැන්වීම සහ විනය පිළිබඳ සවිස්තරාත්මක ලියකියවිලි මෙම කෘතියේ අඩංගු වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ඊ එම් වී. නාගනාදන් වැනි ප්‍රමුඛ නායකයින් ඇතුළු විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කළ විට, ශාරීරික හිංසනයන්ට ලක් වෙමින් සිටියදී පවා සත්‍යග්‍රාහකයෝ අවිහිංසාව සඳහා වූ සිය කැපවීම පවත්වා ගෙන ගියහ.
පොන්නයියා මහතා, යාපනයේ පොලිස් ප්‍රචණ්ඩත්වයට ප්‍රතිවිරුද්ධ ලෙස, ආධ්‍යාත්මික කැපවීමක් ලෙස ජලය පවා ප්‍රතික්ෂේප කළ සත්‍යග්‍රාහකයින් වෙත මඩකලපුවේ දී පොලිසිය සංයමයෙන් යුතුව දැක්වූ ප්‍රතිචාරය; පොලිස් කෲරත්වයට විරෝධය පළ කරමින් දේශපාලන සීමා මායිම් ඉක්මවා නීති වෘත්තිකයන්ගේ එකමුතු වීම; අසමගිය වපුරන්නට ආණ්ඩුව ගත් උත්සාහයන් හෙළා දුටු සිංහල විරෝධතාකරුවන් හය දෙනෙකුගේ සහභාගිත්වය වැනි කැපී පෙනෙන පරස්පරතා ග්‍රහණය කර ගනී. මෙම විස්තර, ව්‍යාපාරයේ සදාචාරාත්මක බලය සහ එය තලා පෙලා දමන්නට රජයේ පැවති අධිෂ්ඨානය යන දෙකම පැහැදිලි කරයි.
නිරායුධ විරෝධතාකරුවන් වෙත එල්ල කරන ලද කෲරත්වය, දේශපාලන පාට භේදයකින් තොරව තියුණු දෝෂ දර්ශනයට ලක් විය. පොලිසිය විසින් භාවිතා කරන ලද අධික බලය ප්‍රසිද්ධියේ පිළිගත් එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මහතා, විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට සලකන ලද ආකාරය ගැන පාර්ලිමේන්තුමය ක්‍රියාමාර්ග අනුගමනය කරන බව සඳහන් කළේය. කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කෙනමන් සහෝදරයා පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. ලංකා සම සමාජ පක්ෂයේ බර්නාඩ් සොයිසා සහෝදරයා සත්‍යග්‍රහය කළ ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු, පොලිසියේ හැසිරීම මෝඩ හා කුරිරු එකක් බවට හෙළා දුටුවේය. ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත, ලන්ඩන් පොලිසිය විරෝධතා විනය ගරුකව හැසිරවීම ත්, ඔවුන්ගේ ලංකා සගයන්ගේ හැසිරීම ත් අතර ආවැඩීමෙන් තොර සංසන්දනයක් ඉදිරිපත් කළේය.
යාපනයේ කැඳවූ සමුළුවක් දෙමළ භාෂාව පිළිගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටි යෝජනාවක් ඉදිරිපත් කරමින් දේශපාලන පක්ෂ එක්සත් කිරීමට උත්සාහයක යෙදුනේය. පොලිස් ප්‍රතිචාරය හෙළා දුටු එම යෝජනාව, පොලිස් කෲරත්වය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, පසු කාලීනව, එවැනි සහයෝගීතා ප්‍රකාශන ඔවුන්ගේ හැසිරීම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකළේය. සිංහල සහ බෞද්ධ ප්‍රමුඛතාවය තවදුරටත් තහවුරු කළ 1972 ව්‍යවස්ථාමය වෙනස්කම් වලින් පසුව, එම පක්ෂ බොහොමයක් ජාතිකවාදී හැඟීම් සමඟ පෙළගැස්වීම සඳහා සිය ස්ථාවරයන් වෙනස් කළහ. මෙම හැසිරීම නිරූපණය කලේ අන්තර්-වාර්ගික දේශපාලන හොඳ හිත කෙතරම් බිඳෙන සුළු එකක් ද යන්නයි.
නීත්‍යානුකූල දුක්ගැනවිලි විසඳනවාට වඩා හමුදා බලය යෙදවීම සහ යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කිරීම මගින් ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය ව්‍යසනකාරී බව සනාථ විය. එවකට විපක්ෂ මන්ත්‍රීවරයකු වූ ඩබ්ලිව්. දහනායක මහතා අනතුරු ඇඟවූ පරිදි, නොසන්සුන්තාව ආණ්ඩුවේ පාලනයෙන් ඔබ්බට පැතිරී යමින් පැවතුණි. එහෙත් සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය සංවාදය වෙනුවට මර්දනය තෝරා ගත්තාය . මෙම දරුණු මර්දනය, පසුකාලීන දශක කිහිපය තුළ සන්නද්ධ සටන්කාමී කණ්ඩායම්වල නැගීමට සෘජුවම දායක වෙමින් දෙමළ තරුණ පරම්පරාවක් අධෛර්යයට පත් කර ලීය.
අවිහිංසාවේ සිට සන්නද්ධ අරගලය වෙත
කෘතියේ ඉතාමත් බැරෑරුම් දායකත්වයක් වන්නේ අවිහිංසාවාදී විරෝධය දැක්වීමේ අසාර්ථකත්වය, සටන්කාමිත්වය සඳහා කොන්දේසි නිර්මාණය කලේ කෙසේද යන්න පිළිබඳව එය ඉදිරිපත් කරන විශ්ලේෂණයයි. මෙම ගමන් පථයේ මූලයන් ඊටත් වඩා ගැඹුරට දිව යයි. අර්ථවත් අන්දමේ ඉඩකඩක් ලබා දිය හැකිව තිබුණු ගිවිසුමක් වූ, 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අසාර්ථක වීම, 1958 දී දිවයින පුරා පළමු වාර්ගික කෝලාහලවලට මුල් පිරීය. සැලකිය යුතු ජීවිත හානිවලට මඟ පෑදූ කෝලාහල, ඊළඟ දශක කිහිපය නිර්වචනය කළ ප්‍රකෝප කිරීමේ සහ මර්දනය කිරීමේ චක්‍රයට පූර්වාදර්ශයක් සැපයීය.
සත්‍යග්‍රහයෙන් පසුව, 1965 ඩඩ්ලි-චෙල්වනායගම් (DC Pact) ගිවිසුම ද ඒ හා සමාන අන්දමට, ප්‍රධාන පියවර කිහිපයක් ඔස්සේ ව්‍යවස්ථාමය විසඳුමකට එළඹෙන්නට උත්සාහ කළේය. එම ප්‍රධාන පියවර වූයේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ පරිපාලන භාෂාවක් බවට පත් කිරීම, බෙදා හරින ලද බලතල සහිත දිස්ත්‍රික් සභා පිහිටුවීම සහ දෙමළ බහුතර ප්‍රදේශ ජන විකාශන වෙනස්කම් වලින් රැක ගැනීම සඳහා පළාත්වල ඉඩම් රහිත පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය දෙමින් ඉඩම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යි.
කෙසේ වෙතත්, සිංහල ජාතිකවාදී කණ්ඩායම්වල නිර්දය විරෝධය පෑම හේතුවෙන් ක්‍රියාවේ නොයෙදීම මගින් ගිවිසුම අසාර්ථක බවට පත් විය. කිසි විටෙකත් විධිමත් පරිදි අවලංගු නොකරන ලද නමුත් එය ප්‍රායෝගික ව අත හැර දමන ලදී. මෙම පාවා දීම, බොහෝ දෙමළ ජනයා සාමකාමී ප්‍රයත්නයන් නිෂ්ඵල ඒවා ලෙස දකින්නට මග පෑදූ සහ දෙමළ සටන්කාමිත්වයේ නැගී ඒම පොළඹවා ලූ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. 1965 දී ඉටු නොකරන ලද පොරොන්දු, බැහැර කිරීම්වලින් සමන්විත වූ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග එකට එක්ව, 1977 හා 1981 දී හොඳින් සංවිධානය කරන ලද දෙමළ විරෝධී කෝලාහල පොළඹවා ලීය. එම කෝලාහල 1983 ජූලි මාසයේ දෙමළ විරෝධී සංහාරයෙන් කූට ප්‍රාප්තියට පත් විය. දෙමළ ප්‍රජාව විනාශයට ලක් කළ ඒ සංහාරය, අනෙක් අතට, සාමකාමී සංහිඳියාවක් සඳහා පැවති අපේක්ෂාවන් අහෝසි කර ලීය.
එම මුල් කාලපරිච්ඡේදයේ නොවිසඳුනු දුක්ගැනවිලි වලට ප්‍රතිචාරයක් ම වූ 1961 සත්‍යග්‍රහය, අවසාන වූයේ සංවාදයට වඩා යුද නීතිය පැනවීමෙනි. භාෂාමය සමානාත්මතාවය සඳහා කරන ලද ඉල්ලීම්වල සිට වෙන් වීම සඳහා වූ ඉල්ලීම් දක්වා සිදු වූ සංක්‍රමණය, 1976 වඩුකොඩ්ඩෙයි යෝජනාවෙන් උච්චස්ථානයට පත් විය. ස්වාධීන දෙමළ ඊලමක් සඳහා එහි අඩංගු වූ ඉල්ලීම, අන්තවාදය නොව, ප්‍රජාවන් අතර පැවති විශ්වාසයේ බිඳවැටීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලින් ගෙන් දැඩි ලෙස විඩාවට පත් ව සිටීම පිළිබිඹු කළේය.
උපදේශාත්මක සමාන්තර, 2022 අරගලය විරෝධතා ව්‍යාපාරයෙන් ද උකහා ගත හැකිය. අවිහිංසාවාදී ක්‍රම උපයෝගී කර ගෙන ජනවාර්ගික සීමා මායිම් පසු කර ගිය නමුත්, එම ව්‍යාපාරය ද අධිකාරවාදී මර්දනයට මුහුණ දුන්නේය. මෙම සංසන්දනය මගින්, විසම්මුතියට එරෙහි රාජ්‍ය ප්‍රතිචාර නොකඩවා පැවතීම ත්, පිළිගැනීම හා සමානාත්මතාවය අපේක්ෂා කරන සුළුතර ජන ප්‍රජාවන් මුහුණ දෙන අනවරත අභියෝග ත් අවධාරණය කෙරේ. ඒ හා සමාන අයුරින්, එල්ටීටීඊය ශේෂ කල විනාශකාරී උරුමය ද අවශ්‍ය අවංකත්වයෙන් යුතුව පිළිගත යුතුය.
කෙසේ වෙතත්, සමස්තයක් ලෙස දෙමළ සටන්කාමිත්වය සන්දර්භගත ආකාරයෙන් සැලකිල්ලට ගැනීම බැහැර කල යුතු බවක් එයින් අදහස් නොකෙරේ. දේශපාලන ප්‍රචණ්ඩත්වයට සමාව දිය නොහැකි වුවද, එය වටහා ගත යුත්තේ සංස්කෘතික අපකීර්තියේ, සමාජ-ආර්ථික අහිමි කිරීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් ඇති කර ගත් ගිවිසුම් යලි යලිත් පාවා දීමේ රාමුවක් තුළයි. හෝ චි මිං ගේ සහ නෙල්සන් මැන්ඩෙලා ගේ උදාහරණවලින් පෙන්වා දෙන්නේ සන්නද්ධ අරගලය, අවසානයේ සාකච්ඡා මගින් ඇති කර ගන්නා විසඳුමක් වළක්වා ගත යුතු නැති බවයි. එය ශ්‍රී ලංකාවේ රජයත්, සටන්කාමී ව්‍යාපාරත් අවධානය යොමු කරන්නට අපොහොසත් වූ පාඩමක් වේ.

බුද්ධාගම, ධනේශ්වරය සහ අනන්‍යතා දේශපාලනය
දේශපාලන බලය ත්, බුද්ධාගම ත් අතර දිග හැරෙන සම්බන්ධතාවය පිළිබඳ විචිත්‍ර විශ්ලේෂණයක් පෙන්නුම් කරනු ඇත්තේ බෞද්ධ නිකායයන් ඓතිහාසික ලෙස බල මධ්‍යස්ථානවලට සමීපව කටයුතු කර ඇති ආකාරය යි. සමාජ ධූරාවලීන් විසුරුවා හරිනවා වෙනුවට ඒවා ශක්තිමත් බවට පත් කරමින් බුද්ධාගම පශ්චාත්-නිදහස් යුගයේ ධනේශ්වර රාජ්‍යය සමඟ නැවත පෙළ ගැසුණේය. ආගමික අනන්‍යතාවය, ජනවාර්ගික ගැටුම පිළිබඳ ඇතැම් විවරණවල ආධිපත්‍යය දැරූ ආගමික අන්තවාදය පිළිබඳ සරල කතාන්තර සංකීර්ණ බවට පත් කරමින්, දේශපාලන බලමුළු ගැන්වීමේ ගොරහැඩි මෙවලමක් බවට පත් විය.
සිංහලයන් තෝරා ගන්නා ලද ජාතියක් ලෙස නිරූපණය කරන මහාවංශයේ මතවාදය, සිංහල නොවන සහ බෞද්ධ නොවන ප්‍රජාවන් කොන් කර ලන ධූරාවලි ගත ලෝක දෘෂ්ඨීන් නිර්මාණය කළේය. එහෙත්, සිංහල ජනතාවගේ නීත්‍යානුකූල සංස්කෘතික කාංසාවන් ද අප හඳුනා ගත යුතුය. ඔවුන්ගේ උද්දීපිත වාචික සම්ප්‍රදායයන් සහ සාමූහික මතකය, බහුත්වවාදය සමඟ ආවේණික වම පරස්පර විරෝධී නොවන, ස්වයං නිර්ණය සඳහා වූ අභිලාෂයන් හැඩ ගැස්වීය.
වෙනස්කම් කිරීම් නොනැසී පැවතීම
පොතේ සමකාලීන අදාළත්වය ඉස්මතු වන්නේ 1961 දී සිදු වූ දෑ එහි ලේඛනගත කිරීම සහ එම සිදුවීම් පසුකාලීන සිදුවීම් හා සමඟ සම්බන්ධ කිරීමට අවස්ථාව ලබා දීම තුළිනි. සමානාත්මතාවය සඳහා වාග්ලංකාරමය කැපවීම් තිබුණේ වුවද, අපට නිරීක්ෂණය කළ හැක්කේ, දශක ගණනාවක් පුරා අනුගමනය කරන ලද වෙනස්කම් කිරීමේ ප්‍රතිපත්ති හේතුවෙන් සුළුතර ප්‍රජාවන්ට දැනෙන දුරස්ථ බව සම්පූර්ණයෙන්ම වටහා ගැනීමට නව දේශපාලන පරිපාලනයන් ද දිගටම අසමත් වන බව ය. මැතිවරණ ක්‍රමය, දෙමළ ජනතාවට දේශපාලන සහන ලබා දීම සඳහා කරන දිරිගැන්වීම් සීමා කිරීමෙන් මෙම ආතතීන් තවත් සංකීර්ණ බවට පත් කර ඇත. ඕනෑම ආකාරයක බලය බෙදා හැරීමක් තර්ජනයක් ලෙස සලකන බොහෝ සිංහල ජාතික වාදීහු, දැනට පවතින බෙදීම් මගින් ඓතිහාසික ව දෙමළ ජනතාව බෙදුම්වාදය කරා වරක් තල්ලු කර දැමූ බව හඳුනා ගැනීමට අපොහොසත් වෙති.
අන්‍යෝන්‍ය විසඳුම් ඇති කිරීම සඳහා සිංහල සහ දෙමළ කතා කරන ප්‍රජාවන් යන දෙපිරිසේ ම දෘෂ්ටිකෝණ සලකා බැලිය යුතුය. 1956 න් පසු තරඟකාරී වාර්ගික ජාතිකවාදයන් මගින් ලාංකික ජාතිකවාදය විස්ථාපනය කර දැමීම්. ස්වයංව සිද්ධ වූ දෙයක් නොව, හිතාමතාම කරන ලද දේශපාලන, සමාජීය සහ සංස්කෘතික හැසිරවීමේ පුරෝකථනය කළ හැකි ප්‍රතිඵලයකි. එය, දෙමළ අභිලාෂයන්ට ඉඩ සැලසීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වෙන් වීම සඳහා කරන ඉල්ලීම් වැඩි වැඩියෙන් උත්පාදනය කල චක්‍රයක් ව තිබුණේය.
නිගමනය: බහුත්වවාදය සඳහා වහා සැලකිය යුතු තර්කයක්
සත්‍යග්‍රහය: ලංකාවේ දෙමළ ජනයාගේ නිදහස් ව්‍යාපාරය යනු 1960 ගණන්වල දුක් වේදනා පිළිබඳ වංශ කථාවක් පමණක් නොවේ. එම කෘතිය, බහුත්වවාදය සඳහා, දිවයිනේ සෑම ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවක් ම ආවරණය කර ගැනීමට තරම් ධාරිතාවකින් යුත් ලාංකික අනන්‍යතාවයක් පිළිබඳ සංකල්පයක් සඳහා වහා සැලකිල්ලට ගත යුතු තර්කයක් පෙන්වා දෙයි. 1961 සත්‍යග්‍රහ ව්‍යාපාරය පිළිබඳව සවිස්තරාත්මක ව ලේඛනගත කිරීම මගින් පොන්නයියා මහතා, ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රම මගින් යුක්තිය පසුපස හඹා ගිය අයගේ සදාචාරාත්මක එඩිතර බව, සහ අයිතිවාසිකම් පිළිගැනීම වෙනුවට රාජ්‍යයන් විසින් සාමකාමී විරෝධතා මර්දනය කිරීම තෝරා ගත් විට ඇති කරන ඛේදජනක ප්‍රතිවිපාක පැහැදිලි කර දෙයි.
බිම් මට්ටමේ බලමුළු ගැන්වීම පිළිබඳ සාක්ෂි ආරක්ෂා කරන ඓතිහාසික වාර්තාවක් ලෙස; සිංහල සහ දෙමළ ජාතිකවාදී විඥානයේ පෙළපත් සොයා යන දේශපාලන විශ්ලේෂණයක් ලෙස; සහ නොගත් මාවත ගැන, බහුත්වවාදී රාමුවක් තුළ සුළුතර අයිතිවාසිකම් සඳහා සැබෑ අන්දමට ඉඩකඩ ලබා දීමෙන් දිවයින දශක ගණනාවක ප්‍රචණ්ඩත්වයෙන් සහ දුක් වේදනාවන් ගෙන් බේරා ගන්නට ඉඩ තිබුණු බවට කරන සදාචාරාත්මක මතක් කිරීමක් ලෙස මෙම කෘතිය බහුවිධ අරමුණු සඳහා සේවය කරයි.
1961 සත්‍යග්‍රහය සහ 2022 අරගලය අතර සමාන කම් ගැන මහාචාර්ය ජයදේව උයන්ගොඩ කර තිබෙන නිරීක්ෂණය පොතේ කල් පවතින අදාළත්වය අවධාරණය කරයි. සාමකාමී විරෝධතා රටාවන් ප්‍රචණ්ඩකාරී මර්දනයට ලක් කළ, ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් තර්ජනාත්මකය යනුවෙන් බැහැර කළ, සුළුතර අභිලාෂයන් බෙදුම්වාදය ලෙස නිරූපණය කළ ආදර්ශ පිළිබඳ මෙම යුග චක්‍ර, ශ්‍රී ලාංකීය දේශපාලනය දිගටම හැඩ ගස්වන බව පෙනේ.
සමකාලීන විශ්ලේෂණ සහිතව පුළුල් කරන ලද මෙම සංශෝධිත පරිච්ඡේද 24 සංස්කරණය, සිදු වූයේ කුමක්ද යන්න පමණක් නොව, එසේ වූයේ මන්දැයි, සහ තවමත් කළ හැක්කේ කුමක් දැයි යන්න වටහා ගැනීමට කැමති සෑම ශ්‍රී ලාංකිකයෙක්ම අනිවාර්යයෙන් කියවිය යුතුය. පහසු පිළිතුරු නොසපයන මුත් එය, අතීතය පිළිබඳව සහ සැබෑ ලෙසම සියළු දෙනා ඇතුළත් කර ගන්නා අනාගතයක් දෙසට වැටී ඇති කිසියම් ශක්‍ය මාවතක් පිළිබඳව අවංක ගණන් බැලීමක් කිරීමට අවශ්‍ය ඓතිහාසික පදනම ඉදිරිපත් කරයි.
දකුණු ආසියානු ඉතිහාසය හදාරන විද්වතුන්ගේ, අවිහිංසාවාදී විරෝධතා ව්‍යාපාරවල නිරත සිසු සිසුවියන්ගේ සහ ජනවාර්ගික ගැටුම් නිර්මාණය කරනු ලබන්නේ සහ ඒවා විසඳා ගත හැක්කේ කෙසේද යන්න තේරුම් ගැනීමට කැප වී සිටින ඕනෑම කෙනෙකුගේ ඉතාමත් බරපතළ අවධානය ඉල්ලා සිටින පොන්නයියා මහතාගේ මෙම කෘතිය, ඔවුන්ට බහුල ලෙස ප්‍රතිලාභ ද සපයා දෙයි. ප්‍රචණ්ඩත්වයෙන් තොරව පීඩනයට එරෙහි වූවන්ගේ ගරුත්වය ලේඛනගත කිරීමේ දී, යුක්තිය සහ සමානාත්මතාවය සඳහා වූ ශ්‍රී ලංකාවේ නිම නොකළ අරගලයට අත්‍යවශ්‍ය සම්ප්‍රදායක් එය සංරක්ෂණය කරයි.
මෙම කෘතිය මූලාශ්‍රයක ලෙස බෙහෙවින් නිර්දේශ කෙරේ.

| ලයනල් බෝපගේ
2026 පෙබරවාරි 16 වන දා
- දෙමළ භාෂාව බැහැර කරමින් ඉංග්‍රීසි වෙනුවට සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව බවට පත් කළ, 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත
නීතිවල හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල වෙනස්කම් ඇති කර ගැනීම අරමුණු කර ගත් මහජන, ප්‍රචණ්ඩකාරී නොවන සහ හෘද සාක්ෂියට එකඟ ව නීතිය කඩ කිරීමේ ව්‍යාපාරයක්- ඒ හා සමාන ලෙස 1970 දශකයේ අගභාගයේ දී, සංවාදයක් සඳහා ජවිපෙ කළ ඉල්ලීම සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රතික්ෂේප කළාය. ජවිපෙ උත්සාහය වූයේ සභාග රජය තුළ සිටින සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ ප්‍රචණ්ඩ ලෙස ජවිපෙ මර්දනය කිරීමේ ව්‍යාපාරයක් මෙහෙයවන බව පැහැදිලි කර, උත්සන්න වෙමින් පැවතුණ විෂම චක්‍රය අවසන් කරන්නට ය.

