ලක් ඉතිහාසයේ පැරණිම රැකියාවක් ගැන කතාවක් (අවසන් කොටස) - උපුල් ජනක ජයසිංහ

ලක් ඉතිහාසයේ පැරණිම රැකියාවක් ගැන කතාවක් (අවසන් කොටස) - උපුල් ජනක ජයසිංහ

අපි ඉන්න මේක ඉස්සර තනිකර තණකොළ කොටුව. මේකට කිව්ව ඒ කාලේ "ගංගාස් තොටුපොල" කියලා. ඒ කාලේ කොළඹ ඕන මිනිහෙක් දන්නවා ගංගාස් තොටුපළ කියන්නේ මේ හරියට තමයි කියලා. පැරඩයිස් කියලා නමක් ඒ කාලේ තිබුණේ නැහැ. ආමර් වීදිය හන්දියට කිව්වේ මසංගස් හන්දිය කියලා. එතන ලොකු මසන් ගහක් තිබුණා. එතන තමයි බස් හෝල්ට් එක තිබුණේ අපිට මතකයි. එතන තිබුණ කැපිටල් හෝල් එක අයිති වෙලා තිබුණේ බායිලාට. පස්සේ ඒ හෝල් එක KG ගත්තා.(කේ. ගුණරත්නම්)

මේ බායිලගේ ලොකු පල්ලියක් දැනුත් තියෙනවා බම්බලපිටියේ. හැබැයි ඒගොල්ලෝ ඉස්සර හිටියේ, ඒ පල්ලිය තිබුණේ පිටකොටුවේ හතරවෙනි හරස් වීදියේ උඩ තට්ටුවක. මාසෙකට සැරයක් දෙසැරයක් ඒගොල්ලො ඒකට එනවා කෑම කනවා අපි දැකලා තියෙනවා. තාමත් ඒක ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. ආදම්ජී ලුක්මන්ජිලා ඒ බායි කට්ටිය තමයි. මේ ආදම්ජී ලුක්මන්ජීලට කොටුව පිටකොටුව පැත්තෙ මේ පැත්තේ ටවුන් හෝල් එකේ වටේ සෑහෙන ඉඩම් තිබුණා.

(රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පියා සේවය කළේ ද මෙම ආදම්ගේ ලුක්මන් ජීලාටය. පිටකොටුවේ රික්ෂෝ කරත්ත රෑට ගාල් කළ කෙහෙල්වත්තේ ඉඩම අයිතිව තිබුණේ ද මේ ආදම්ජී ලුක්මන්ජීලට බවත් එම රික්ෂෝ ගාල් කිරීමට අදාළ මුදල් එකතු කළේ ද එම සන්තබස්තියම පාරේ ආදම්ජී ලුක්මන්ජීලට අයත්ව තිබූ කඩකාමර පාලනය කළේ ද රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පියාණන් බව ආරියරත්න වෙදගේ වරක් පැවසීය.) සුගතදාස  ස්ටේඩියම් එක හදපු ඊට කලින් කුණු මෝල තිබුණ ඉඩමත් අයිති මේ ආදම්ජී ලුක්මන්ජිලට තමයි. සුගතදාස තමයි ඒක ආංඩුවට අරගෙන ඒ ස්ටේඩියම් එක හැදුවේ.

මහඉස්පිරිතාලේ ඕපීඩී එකට ඉඩම් දුන්නෙත් ඒගොල්ලෝ තමයි

ඒ නිසා ඒ OPD එක ඉස්සරහ (Round about) වටරවුමත් ඒගොල්ලන්ගේ තමයි. ඉස්සර ඒකෙ ආදම්ජී ලුක්මන්ජී කියලා ගහලා තිබුණා. ඒ ඉඩම් තමයි ඒගොල්ලෝ මේ ඉස්පිරිතාලෙට දුන්නේ.

ග්‍රෑන්ඩ්පාස්වලට කිව්වේ කොස්ගස් හන්දිය කියලා. එතන නගර සභාවේ පරණ මාකට් එක තිබුණා. තොටළඟ පැත්තෙන් එන පාර කෙලින් වීදියට යන හන්දියට කිව්වේ දිවුල්ගස් හන්දිය (ජේතවන හංදිය) කියලා. එතන දිවුල් ගස් කීපයක් තිබුණා පාර අයිනේ.

මේ පැත්තෙ තිබිච්ච පරණම කොම්පැනිය තමයි Mascon එක. ඒක හතළිස් ගණන් වල ඉඳන් තිබුණා.

BCC එකත් සුද්දගෙ කාලේ ඉඳන්ම තිබුණා. KG ගත්ත ඉඩම ඉස්සර චෙට්ටිනාට් කෝපරේෂන්කාරයාගේ. පුංචි බන්ඩා ගත්ත ඉඩමයි BMC ඉඩමයි ඔක්කොම ඒ චෙච්ටිනාට් කෝපරේෂන්කාරයාගේ තමයි. එයා යකඩ බිස්නස් තමයි ඔක්කොම කළේ .සිරිමාවොගේ කාලෙදි ඒ ඉඩම ආණ්ඩුවට ගත්තේ.

ඉස්සර මේ පැත්තේ හිටපු මන්ත්‍රීවරු තමයි සුගතදාස මහත්තයා. හලීම් ඉෂාක්, රාෂික් පරීඩ්, පීටර් කෙනමන් වගේ අය. වින්සන්ට් පෙරේරා හරි ජනප්‍රිය එක් කෙනෙක්. ගාඩ් නැතුව (මේ කියන්නේ පොලිස් ආරක්ෂක සේවය) හිටිය එකම මන්ත්‍රී එයා තමයි. සුපර් මනුස්සයා. ඔය ලොකු කචල් තියෙන කාලෙත් එයාට ගර්ඩ් නැහැ. ග්‍රෑන්ඩ්පාස්වල මෝලවත්තේ හිටියේ.( දැන් ස්වර්ණ චෛත්‍ය පාර) ඒ පාර තොංගලේම තමයි වින්සන්ට් පෙරේරා මහත්තයගේ ගේ තිබුණේ. එයාගේ නෝනත් හරි හොඳයි. එයාගේ ගෙට එහා පැත්තේ ගෙදර තමයි හිටියාගේ අක්කා. උසාවියේ වැඩ කළ විලියම් තමයි එයාව බැඳලා හිටියේ. ඒ වත්තේ පිටින් ආව එක් කෙනෙක් හිටියේ එයා විතරයි.වි න්සන්ට් පෙරේරා මුලින්ම නගර සභාවට ඉල්ලුවේ බයිසිකලෙන්. ඒ කාලේ ප්‍රේමදාසට වැඩිය හොඳ මාකට් එකක් තිබුණේ වින්සන්ට් පෙරේරාට තමයි. ප්‍රේමදාස ඉස්සෙල්ලාම ඉලෙක්ෂන් එකට ඉල්ලනකොට මේ වත්තේ කචල් එකක් ආවා. මට එතකොට අවුරුදු දාසයක් විතර ඇති. ප්‍රේමදාස මහත්තයට කචල් එක දානකොට මම එයාව ගෙනිහිල්ලා අපේ ගෙදර පුටුවක් තියලා වාඩි කරවලා, ප්‍රේමදාස මහත්තයාට කචල් එක දාපු අයත් එක්ක මං රණ්ඩුවට ගියා. පස්සේ අර ප්‍රේමදාස මහත්තයා එක්ක රණ්ඩුවට ආපු අය ගියා. මම එයා එක්ක අරුත් එක්ක ගේමට ගියත් පස්සේ කාලෙක එයා මට කිසි උදව්වක් කළේ නැහැ. මේක එතකොට නිව් බසාර් සීට් එක. අංක දාසය.

අපි ඉතින් ඒ කාලේ ඉඳන්ම අලියා තමයි. හැමෝම ඉතින් ගිහිල්ල දාන්නේ අලියා අලියා කියලා තමයි. අපිට එහෙම දේශපාලනය මුකුත් තේරෙන්නේ නැහැ. හැමෝම දාන නිසා කියන නිසා අපි දානවා.

ප්‍රේමදාස ජනාධිපති වුණාට පස්සේ අපිට එන්න කියලා අපි ගියා සිරිකොතොට. මම මන්ත්‍රීවෙලා අගමැතිවෙලා ජනාධිපතිි වුණා. මං හැමදාම වැඩ කරලා තියෙන්නේ පිට පැත්තට අවුට් සයිඩ් එකට තමයි.(ඒ කියන්නේ මැද කොළඹින් පිට) කොළඹ ඉන්න අයට මම මොකුත් හරියට කරලා නැහැ. මැද කොළඹ මිනිස්සුන්ට මම සලකන්න පටන් ගත්තේ මේ මැයි පළවෙනිදායින් පස්සේ තමයි කියලා කිව්වා. අපේ කරුමට මැයි පළමුවෙනිදා ප්‍රේමදාස මහත්තයා මැරුණා. එයා ඉස්සරත් දවසට ඔය වගේ මැයි පෙළපාලියේ දවසේ බැහැලා මිනිස්සු එක්ක ඇවිද්දා. එයා බය නැහැ. එදත් ඒ වගේම ගියා. මම දැක්කා.ඒ වෙලාවේ මම හදිස්සි වැඩක් නිසා ගෙදරට ආවා. මම  ගෙදර ඉන්න කොට මට සද්ද ඇහුනා ඩුම් ගාලා. බෝම්බෙ පිපුරුවේ අපේ කණ ළඟම වගේ

ප්‍රේමදාස මහත්තය

මං පාරට දුවනකොට දයානන්ද මහත්තය ආවා අපේ මහත්තයා ඉවරයි කියාගෙන. කෑලි කෑලි වෙලා ගියා, මුද්ද තියෙන අත විතරක් විතරක් තියෙනවා කිව්වා.

අපිට මතකයි ට්‍රෑම් කාර් ගියා. සත පහයි. අපේ බාප්ප තමයි ට්‍රෑම්කාර් ආරුමුගම් කියන්නේ. එයා ට්‍රෑම් කාර් ඩ්‍රයිවර්. ඒකට පස්සේ තමයි ට්‍රොලිබස් ආවේ. ඒක ගියේ වයර් එකට කොක්ක දාලා කරන්ට් එකෙන්. ඒ කොක්ක පැන්නහම ලීයකින් උස්සලා කොක්ක දාගෙන ආයෙත් යනවා.

ඒ කාලේ මේ පැත්තේ හිටිය අයියා තමයි තුවාන්. අපේ වත්තෙත් එහෙමයි හිටියා. හැබැයි ඒගොල්ලන්ගෙන් කාටවත් මිනිස්සුන්ට කරදර නැහැ. අපේ වත්තේ අයට පිට අයට ඇවිල්ලා කරදර කරන්ඩ දුන්නෙත් නැහැ. ඒගොල්ලෝ සාධාරණය තමයි බැලුවේ. අනික අපේ මේ වත්තට දෙයියෝ බලනවා. අපි පුංචි කාලෙම මේකෙ තිබුණා පොඩි කෝවිලක්. ඒකෙ තියෙන්නේ තියෙන්නේ බෝ ගහක් සහ තල්ගසක් එකට ඇඹරිලා ගිය ගහක්. ඒක හරි හාස්කම් තියෙන තැනක්. මේකෙ කාලි මෑණියන්ගේ සහ මුනියන්ඩිගේ කොවිල් දෙකක් තියෙනවා. අපේ එහා පැත්තෙන් මේ ෆ්ලැට් එක හැදුවා ඒකෙ විසි දෙකක් වික්කා. අපිට දුන්නේ නැහැ. ඒ වුණාට අද වෙනකන් ඒකට කාටත් එන්න දුන්නේ නැහැ.

සබැඳි කතාව

තව හනිෆා කියලා එක් කෙනෙක් හිටියා බණ්ඩාරනායක මාවතේ. කොටහේනෙ හිටියා ඕසි කොරයා (මේ ඔසී කොරයා විය යුතුයි). එයා සිංහල ආගම්කාරයා. එයා තමයි බණ්ඩාරනායක මරපු කතාවේ අහු වුණේ. එයා හිටිය වාසල රෝඩ් එක පාරේ.

මම ගියේ කොටහේනේ  මාරි අම්මා කෝවිල ළඟ කැතීඩ්‍රල් ඉස්කෝලෙට. සමහරු සෙන්ට්‍රල් එකට ගියා. මුස්ලිම් ඉස්කෝලෙකුත් තිබුණා.

ආමර්වීදියේ ෆ්ලැට් එක තියෙන තැන ඉස්සර තිබුණේ  ඉන්දියාවෙන් ආපු මිනිස්සු දාගෙන හිටිය පොඩි කඩ පේළියක්. 56 තමයි සර් ජෝන් මේ ෆ්ලැට් එක විවෘත කළේ.

මේ හරියේ තිබිච්ච හොඳ කඩ තමයි චන්ද්‍ර විලාස්, මුරුගා විලාස් තිබුණා. බණ්ඩාරනායක මාවතට  හැරෙන තැනම කොච්චි කට්ටියගේ තේ කඩයක් තිබුණා. සුලෙයිමාන් හොස්ටපිල් එක මම දන්න කාලේ ඉඳලම තිබුණා.

මේ පැත්ත හිටිය ලොකු සල්ලිකාරයෙක් තමයි සිරිල් සී පෙරේරා. එයාගේ ගේ තිබුණේ  හිල් ස්ට්‍රීට් එකේ. දැන් සංඝරාජ මාවතේ පල්ලිය තියෙන තැන තමයි එයාගේ වලව්ව තිබුණේ.(සංඝරාජ මාවතේ සංඝරාජ විද්‍යාලයට පිටුපස ඉඩමට අදටත් නම් කරන්නේ වලව්වත්ත කියාය. ටෙක්නිකල් හන්දියේ ඇති කතෝලික පල්ලිය ඉදිරිපිට ඇති බාට්ලිට් සමාගමේ කාර්යාලය පිටුපස ඇති විශාල නිවස මෙම වලව්ව බවත්, එකල ලෝරන්ස් විද්‍යාලයේ තිබුණේ මෙම වත්ත ඉදිරිපිට බවත්, සිසිර සේනාරත්න, ධර්මදාස වල්පොල, විවියන් ද සිල්වා බොරලැස්ස වැනි අය සිටියේ මාර්ටින් අයියගේ වත්ත නමින් හඳුන්වන මෙම වලව්ව පිහිටි වත්තේ බව  හිටපු නාගරික මන්ත්‍රී ආරියරත්න වෙදගේ  මහතා පවසයි) බ්ලුමැංඩල් රෝඩ් එකේ තිබුණේ ඔක්කොම එයාගේ ඉඩම් තමයි. ඒක තමයි දැන් සිරිල් සී පෙරේරා මාවත කියන්නේ.

සෙන් ඇන්තනීස්කාරයා සල්ලිකාරයෙක් වුණේ  පිටරටින් ගෙන්වපු ඇණ පෙට්ටියකට වැරදිලා රත්තරන් පෙට්ටියක් ඇවිල්ලා. කේජී කාරයා ෆිල්ම් හැදුවා පෑන් (Renold pen) ගැහුවා. ජැෆර්ජීලා බායිකාරයෝ. ඒගොල්ලෝ ලොකු සල්ලිකාරයෝ. ලීලා ස්ටෝර්ස් මුදලාලිලා හරි හොඳ කට්ටිය. ඒගොල්ලන්ගේ ස්ටෝරු තවම තියෙනවා.

හෙට්ටියාවත්තේ  ඉඳලා මාරි අම්මන් කෝවිල පැත්තට යන පොඩි පාරේ තිබුණ බිලිංවත්තේ හිටිය නාච්චිලේලා (අර්ධනාරී)  තමයි වෙසක් දවස්වලට ස්ටේජ් ගහලා ඩාන්ස් දාන්නේ. කොළඹ වෙසක් බලන්න එන මිනිස්සුන්ට අපි අපේ වත්ත ඉස්සරහ එළිවෙනකම් බත් දන්සල් දෙනවා.

සෙන් ඇන්තනීස්කාරයා සල්ලිකාරයෙක් වුණ හැටි

අපි පොඩි කාලේ ටවර්හෝල් එකේ පෙන්නුවේ ඉංග්‍රීස් පිච්චර් තමයි. (සෝරෝ) Zoro කියලා පිච්චර් වැලක් ආවා. අපි ඒවා බලන්න ගියා. ඔය ටවර් හෝල් එක ඉස්සරහ තියෙන ශාලීමාර් බාර් එක හරිම පරණ එකක්. අපි දන්න දවසෙ ඉඳන් ඒක එතන තියෙනවා. ඒ කාලේ අපේ මෙතනින් ගිය බස් තමයි 195  නුගේගොඩ හෙට්ටියාවත්ත බස් එක. 199 බොල්ලෑගල පිටකොටුව. 155 මට්ටක්කුලිය රත්මලාන.167 දෙහිවල තොටළඟ.

පනස් අටේ කචල් එක වෙලාවෙදි වත්ත ඇතුලේ ඉන්න  සමහර අය කුලප්පු කරවලා එළියෙන් කට්ටිය ආවා. ඒ වුණාට ඒවා ලොකුවට ගියෙ නැහැ. ෂේප් වුණා.

83 කචල් එක වෙලාවෙදි අපි දන්න යාපනේ ඉන්දියන් මුදලාලිලාව ගෙනල්ලා අපේ මේ ගෙවල්වල තියාගෙන බලා ගත්තා. බේර ගත්තා. රංජනාස් මුදලාලිව ගෙනල්ලා තියාගෙන බලා ගත්තේ අපේ පැත්තේ ඔලිවර් කියලා එක් කෙනෙක් තමයි. සමහරු ගෙවල්වලට ගහලා ඒ ගෙවල්වල බඩු අරන් යනකොට අපි උන්ට ගහලා ඒ බඩු අරගත්තා. අපේ වත්තේ ගේට්ටුව වහලා අපි කාටත් ඇතුලට එන්න දුන්නේ නැහැ.

අපේ ඩිපෝ එක තිබුණේ ග්‍රෑන්ඩ්පාස්වල. මගේ හාල් පොතේ කෑල්ල තවම තියෙනවා.( හැම කෙනාටම හැදුනුම්පතක් නොතිබූ යුගයක B කාඩ් එක තමයි කෙනෙක්ගෙ අනන්‍යතාවය හැටියට පිළිගත්තේ. ඒ නිසා මිනිස්සු ඒක තමන්ගේ වටිනාම දෙයක් හැටියට ආරක්ෂා කර ගත්තා)

නගර සභාවේ Dispenser තිබුණේ කාලි කෝවිල ගාව පනස් අටේ තමයි ස්ටාට් කළේ. නෝනා ඩොක්ටර් කෙනෙක් තමයි හිටියේ. ගොඩක් අය එයාට හරි කැමතියි. එයා හොඳට ආදරෙන් කතා කරලා බෙහෙත් දෙනවා.සී දේවි නෝනා. බබාලා හම්බවෙන්න ගියේ ස්ටේඩියම් එක ඉස්සරහා තිබිච්ච මැටිනිටි හෝම් එකට.

අපේ ලොකු සෙල්ලම තමයි රාග බෝල් ගහන එක. වාතියාර් කෙනෙකුත් හිටියා. එල්ලෙයි ෆුට් බොලයි ගහනවා.

ඒ කාලේ හෙට්ටියවත්තෙයි කොටහේනෙයි තොටළඟයි මෝදර ඉබ්බාගේවත්තෙයි තමයි රා තැබෑරුම් තිබුණේ. ඉබේවත්තේ හන්දියේ උඩ එකයි පල්ලෙහා එකයි දෙකක් තිබුණා. ඉස්සර අලුත්කඩේ උසාවි ඉස්සරහම බාර් එකක් තිබුණා. පල්ලෙහා රා බෝතල් කඩයක් තිබුණා. ප්‍රේමදාස දිනලා ඇවිල්ලා අලුත් කඩේ ගුණසේන ප්‍රෙස් එක තිබුණ තැන තිබුණ කිරි කඩේ කුඩු පට්ටම් කළා. මොකද ඒ කිරිකඩේකාරයා ශ්‍රී ලංකා.( මහතුන් මුදලාලි හෙවත් ජයලංකා මුදලාලි).

මට හැත්ත හතේ ප්‍රේමදාස මහත්තයා BMC එකේ රස්සාවක් දුන්නා. පස්සේ අපිව මාරු කළා  ඉංජිනේරු සංස්ථාවට. ඊට පස්සේ මං ඒකෙන් නතර වුණා.

මෙතන දැන් රෙදි හෝදන බක්කි පනහක් තියෙනවා. හැමදාම ඒවාවල වැඩ. කොළඹ ලොන්ඩරිවල  කරන අය ගොඩක් අපිට තමයි රෙදි ගෙනල්ලා දෙන්නේ. යාපනයේ කට්ටියත් අපිට රෙදි ගෙනල්ලා දෙනවා. අපි ඉරිදට ගිහිල්ලා බංගලා වලින් රෙදි අරගෙන එනවා.

අවුරුදු සියයකට ආසන්න කාලයක් පරම්පරා හතරක් පැරඩයිස්වත්තේ  ජීවත් වූ මේ ප්‍රජාවට ලබාදීමට කියා ඉදිකළ මහල් නිවාස අදටත් ඔවුන්ට ලබා දී නැහැ.

"අපිට දෙන්න කියලා මෙතන ෆ්ලැට් එකක් හැදුවා. ඒක හැදුවේ ඉස්සර අපි රෙදි වේළුව තැන. ආරියරත්න සන්තියාගු ඇවිල්ලා කිව්වා මෙතන අස් කරලා දෙන්න. අපි ෆැලට් එකක් ගහලා ඕගොල්ලන්ට දෙන්නම් කියලා. මහින්ද මහත්තයා පැරදෙන්න අවුරුද්දකට කලින් තමයි මේ බිල්ඩින් එක ගහන්න පටන් ගත්තේ. නගර සභාවෙන් තමයි මේ ෆ්ලැට් එක හැදුවේ. ෆ්ලැට් එක හදලා අවුරුදු අටක් විතර නිකන් වහලා තිබුණා.අපි පාවිච්චි කරපු ඉඩමේ  අපිට දෙන්න කියලා හදපු මේ ගෙවල් අද වෙනකන් අපිට දීලා නැහැ. මේකේ ගෙවල් විසි දෙකක් විකුණලා තිබුණා. ඒ ගෙවල් විසි දෙක දීලා තිබුණේ මුස්ලිම් අයට. එතකොට නගර සභාවේ හිටිය දොස්තර විජයමුණි මහත්තයා ඇවිල්ලා බලලා කිව්වා, මේ වත්තේ එදා ඉඳන් හිටියේ සිංහලයි දෙමළයි අය මේකේ කවුරුත් මුස්ලිම් අය හිටියේ නැහැ. ඒක නිසා මේ ගෙවල් දෙන්න ඕනේ මේ වත්තේ හිටිය සිංහල දෙමළ අයට මිසක් පිට ඉඳන් ආපු මුස්ලිම් අයට නෙමෙයි කියලා. මේක කාටවත් නොදී වහලා තියෙනකොට මේ ගෙවල්වල ජනෙල් දොරවල් ටොයිලට් බාත්රූම්  කුඩ්ඩො ඇවිල්ලා ගලෝ ගෙන ගියා. අපිට මොකුත් ඒක නවත්තන්න බැහැ. මොකද මේ ගෙවල් අපිට දීලා නැහැ .බැරිම තැන අපේ මිනිස්සු ගිහිල්ලා ඒ ගෙවල්වලට ඇතුල් වුණා බලෙන්.  අපි ගෙවල්වලට ගිහිල්ලා දැන් අවුරුදු තුනක් වෙනවා. අදටත් අපිට ලයිට් නැහැ. වතුර නැහැ. ඒවා දෙන්න එපා කියලා තියෙන්නේ නගර සභාව. කිසිම කෙනෙක් අද වෙනකන් ඇවිල්ලා ඒක බලලා අපිට හදලා දීල නැහැ.මේ ෆ්ලැට් එකේ සේරම ගෙවල් හැට හතරක් තියෙනවා. දැන් මේ ගෙවල්වල ඉන්නේ ඔක්කොම මේ වත්තේ අය පිට කාටවත් අපි එන්න දුන්නේ නැහැ.

පංචිකාවත්තේ  පැරඩයිස් ලොන්ඩරි වත්තේ අද ජීවත්වන මෙම ලොන්ඩරි කර්මාන්තයට එක් වූ පැරැණි පරම්පරාවෙන් පැවත තවත් එක් ගෞරවනීය සාමාජිකයෙකි හැට අට හැවිරිදි කායම්බු කායමේගම් මහතාය.

අපේ තාත්තලා ඔක්කොම ඉස්සෙල්ලාම සීයගෙ කාලේ ඉඳලම හිටියේ කපිත්තාවත්ත කෝවිල ලඟ ඩෝබි මඩුවේ. එතන ටැංකි තිබුණෙ නැහැ.බේරේ වැවෙන් තමයි රෙදි හේදුවේ. එතන තමයි ඒගොල්ලො මුලින්ම රෙදි හේදුවේ. සීයා ඇවිල්ලා තියෙන්නේ තමිල්නාඩුවේ මධුරෙයිවල කීලදොර ලඟ වාලම්දොර කියන ගමේ ඉඳලා. ඒ කාලේ අපේ සීයලා එක ඔක්කොම විසිපහක් විතර ඇවිල්ලා තියෙනවා ලංකාවට. අපේ තාත්තා ඉපදිලා තියෙන්නේ 1930 විතර. ඉන්දියාවෙන් ආව ඒගොල්ලො සමහරු මෝදර හිටියා. තොටළඟ හිටියා. එක එක තැන්වල ඩෝබිමඩු දාගෙන හිටියා. අපේ ලොකු තාත්තයි බාප්පයි හිටියේ මට්ටක්කුලිය ෆර්ගසන් රෝඩ් එකේ. තව පෑලියගොඩ කට්ටියක් හිටියා. තොටළඟ පාලම ළඟත් කට්ටියක් හිටියා. ඒගොල්ලො ඔක්කොම කැලණි ගඟේ අයිනේ තමයි රෙදි ඇපිල්ලුවේ.කොල්ලුපිටිය කට්ටියට හැම එහෙම ඇලක් තිබිච්ච නැති නිසා සුද්දා වතුර අරන් දුන්නා ඩෝබි බක්කිවලටම.

තාත්තගේ සීයගෙ නම කාලිමුත්තු. එයාගේ පුතා ඒ කියන්නේ මගේ තාත්තගෙ තාත්තා කුප්පයන්ඩි. අපේ සීයා කුප්පයන්ඩිගේ පුතා මගේ තාත්තගේ නම කායම්බු. කායම්බුගේ පුතා මම. ලොකු තාත්තා ක්‍රිෂ්ණ මූර්ති. තාත්තා ඉපදිලා තියෙන්නේ 1930 විතර. අපි සීයාව දැකලා නැහැ. ඒ කාලේ මරදාන ස්ටේෂමෙන් බැහැලා තමයි පිටකොටුවට යන්න ඕනේ. මරදාන රේල් බෝක්කුව (මරදාන දුම්රිය මාර්ගයට උඩින් යන මාර්ගයේ වර්තමාන පාලම) හදනකොට තමයි අපේ සීයලාව තාත්තලාව එතනින් අයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අපේ සීයලා BCC පාලම ළඟ ඇලේ රෙදි හෝදන්න ගත්තේ. ඒ පාලම ළඟම තමයි ගල් තියලා ඔක්කොමලා රෙදි හෝදන්න ගත්තේ. (බබාපුල්ලේ වත්ත)  ඉස්කෝලෙවත්තේ කට්ටිය ඔක්කොමත් රෙදි හේදුවේ මේ ඇලේ තමයි.කෙත්තාරාම ඇලෙත් සිංහල දෙමල ඔක්කොමලා රෙදි හේදුවා. ඊට පස්සේ  BCC පාලම ලොකු කරන වෙලාවේ තමයි අපිව එතනින් අයින් කරලා සුද්දෝ මෙතන ගෙවලුයි බක්කියි ලොන්ඩරි කාමර ඔක්කොම හදලා අපේ කට්ටිය මෙතනට දැම්මේ.

මේ ගෙවල් හැදුවේ කොයි කාලෙ ද දන්නේ නැහැ. ඒ වුණාට අපේ පරණ කක්කුස්සියේ ගහලා තිබුණා 1931 කියලා. ඒ කියන්නේ ගෙවල් ඊට කලින් හදන්න ඇති. සමහර කොලවල තියෙනවා මේ ගෙවල් හැදුවේ 1921 කියලා. ඒ කක්කුස්සිය 1985 කැඩුවා. මම ඉපදුනේ 1958. ලොකු තාත්තට හම්බ වෙච්ච ගේ 43. අපේ තාත්තාට මේ 13 කාමරය ලොකු තාත්තා අපිට දුන්නා. ඒකේ රෙදි දාන්න හම්බවෙච්ච මදින කාමරය තමයි දහතුනේ කාමරය. ඊට අමතරව පොඩි කාමර දුන්නා කිලුටු රෙදි දාන්න. ඉන්න වෙනම ගෙවල් දුන්නා. අපේ ගේ තිස් හත. ගෙවල් ඔක්කොම හතළිහක් විතර තියෙනවා. අපේ ලොකු තාත්තගේ පුතා ඉන්නවා නවය කාමරේ. එයා තමයි දැන් ඉන්න පරණම එක්කෙනා තමයි අපේ ලොකු තාත්තාගේ පුතා නවයේ කාමරේ ඉන්න කුමාරස්වාමි  මයිල්වාගනම්. එයාට දැන් අවුරුදු 75 ක් විතර ඇති.

1970 තමයි මම මෙතන රෙදි වැඩ කරන්න පටන් ගත්තේ. ඒ කාලේ පාන් පෝලිම් පාන් කාඩ් තිබුණා. මට කාඩ් ගන්න බැරි වුණ නිසා මම කුරුණෑගල සයිවර් කඩයක වැඩ කළා. රුපියල් දහයයි මාසෙට පඩි. මම වැඩ කරනකොට තාත්තා ඇවිල්ලා පඩිය අරගෙන යනවා. මාස තුන හතරකට එක සැරේ තමයි පඩි දෙන්නේ. එතකොට මට අවුරුදු දහතුනක් විතර ඇති. මම ඉපදුනේ පනස් හතේ. ඒ කාලේ චේගුවේරා රණ්ඩුව තිබුණා. කුරුණෑගල පල්ලෙහා පාලමට බෝම්බ තිබ්බා. ඊට පස්සේ අපි කොළඹ ආවා. එදා ඉඳන් තාත්තගෙ රස්සාව කළා අද වෙනකම්ම.

56 හෝ 83 හෝ සිංහල දෙමළ කෝලාහල කාලේ අපිට කාටවත් කරදර වුණේ නැහැ. නිකන් එක් කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා සෝබන දාලා ගියා. එච්චරයි. අපිට මේ සෝබන දාන්න ආවේ සිංහල අය නෙමේ දෙමළ කතා කරන අයම තමයි. මෙතන සිංහල ගෙවල් දහයක් විතර තමයි ඉතින් අනිත් ඔක්කොම දෙමල අය. දෙමළ සේරම ඉන්දියාවෙන් ආව අය තමයි. මලයාලම් එක් කෙනෙක් හිටියා. එයා බැන්දේ ලංකාවේ සිංහල එක් කෙනෙක්. එයා මැරෙනකොට වයස අවුරුදු එකසිය එකයි. ළඟදි තමයි එයා මැරුණේ.ඒගොල්ලන්ගේ දරුවෝ 19 ගෙදර තමයි ඉන්නේ.

56 හෝ 83 හෝ සිංහල දෙමළ කෝලාහලේ

අපේ රෙදි තැම්බුවේ බැරල්වල. මේ තම්බන බැරල් හදලා දුන්නේ නගර සභාව. ඒ බැරල් තිබිච්ච තැන දැන් වෙන ඒවා හදලා. ඒකට කියන්නේ අපි වෙල්ලායි කියලා.(මේ වචනය විවිධ අය විවිධ විදිහට උච්චාරණය කරති).

සබනුයි සෝඩායි දාලා හොඳට පොඟවලා මිරිකලා ගලේ ගහලා අව්වේ ටිකක් වෙලා තියලා තමයි වෙලාවේ දාන්නේ. පාන්දර හය වෙනකොට රෙදි ඔක්කොම හෝදලා වනලා ඉවරයි. මුලින්ම හොදලා දාන්නේ පාට රෙදි. සුදු රෙදි වෙනම හෝදනවා.

මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ත්‍රීවීල් එලවනවා. ලොකු පුතා විතරක් මේ රස්සාව කරනවා. අපි දැන් නළ ලිදෙන් තමයි වතුර ගන්නේ. මොකද නගර සභාවේ පයිප්පෙන් වතුර ප්‍රෙශර් එක අඩු වුණා. ගානත් වැඩි වුණා. මට විතරක් වතුර බිල ආවා රුපියල් හතලිස් පන් දාහක්. මෙම හැමෝටම ආව නිසා අපි ඒ වතුර අයින් කරලා නළ ලිඳක් ගහගත්තා. ඉස්සර පවුල් පනහක් හිටියට දැන් පවුල් තුන් සීයක් විතර මේකේ ඉන්නවා.

අපිට දෙන්න කියලා 2013 මේ හදපු ෆ්ලැට් එක තාම දෙන්නේ නැහැ. මේක අවුරුදු දහයක් විතර වහලා තිබුණා. අවුරුදු දෙකකට විතර කලින් අපි ඔක්කොම දොරවල් කඩාගෙන  ගෙවල්වලට ගියා. ඒ ගෙවල්වලට ලයිට් වතුර මොකුත් නැහැ. අපි බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ.මේ ගෙවල් නගර සභාවෙන් හැදුවට නගර සභාව තාම හරියට ඒක අපිට දෙන්ඩ ලෑස්ති කරලා නැහැ. මේවා වහලා තිබිච්ච කාලේ කුඩ්ඩො ඇවිල්ලා ඒවායේ තිබිච්ච ඔක්කොම  දොර ජනේල් ඔක්කොම බඩු ගලව ගෙන ගියා.දැන් බිත්ති විතරයි තියෙන්නේ ලයිට්වල වයර්වත් නැහැ.මෙතන ගෙවල් හැට හතරක් තියෙනවා.

අපි ඉස්සර රෙදි වේලන්න දාපු ඉඩම තමයි මේ ඉල්ලගෙන මේ ෆ්ලැට් එක ගැහුවේ අපිට දෙන්න කියලා.

පැරඩයිස්වත්ත හෙවත් ලොන්ඩරිවත්තේ දී හමුවූ තවත් ජීවමාන පැරණි නාගරික සෙල් ලිපියකි  පුණ්‍යමූර්ති.ඔහුගේ පියා කුමාරස්වාමි පුණ්‍ය මූර්ති.

"අපේ තාත්තලා මුලින්ම හිටියේ කොටහේනේ. අම්මා ඉපදිලා තියෙන්නේ බබාපුල්ලේවත්තේ. මම ඉපදුනේ පනස් තුනේ. අපේ තාත්තා හිටියේ නමය කාමරේ. ඉස්සර මේකට කිව්වෙ "ඩෝබිවත්ත" කියලා.

"මේ වත්තට දැන් අවුරුදු එකසිය දෙකක් වෙනවා" යයි කීවේ මෙම කතාවට එක් වූ ප්‍රදීපන්ය. මගේ සීයා කුමාරස්වාමි. මේ වත්තේ මුල ඉඳලම හිටපු කෙනෙක්. මේ අලුත් ෆ්ලැට් එක ගහපු තැන තිබුණේ තනිකරම වෙල.(වගුරු බිම) මේකට වැස්සෙන් කානු වලින් එකතුවෙන වතුර යන්නේ ඊශ්වරන් එක යටින්. ඒකෙ කබරයොත් හිටියා. පස්සේ අපි ශ්‍රමදානයක් දාලා මේ (වගුරු බිම)වෙල ඔක්කොම පිරෙව්වා. අපි පිරෙව්වට පස්සේ තමයි කට්ටිය ආවේ මේ ෆ්ලැට් බිල්ඩින් එක ගහන්න.

මේක හැදුවේ මුසම්මිල් මහත්තයා නගරාධිපති කලේ. එයා තමයි මේකට අඩිගල් (මුල්ගල)  තිබ්බේ. මේකෙ උඩ තට්ටුවේ මුස්ලිම් අය විසි දෙකකට ගෙවල් දුන්නා. අපේ වත්තේ අය නෙමෙයි පිට අයට. කොහොම හරි අපි ඒගොල්ලන්ට ඒ ගෙවල් ගන්න දුන්නේ නැහැ. ඊට පස්සේ අපිට දෙනවා කියලා හැදුවට මේ අවුරුදු දහයක් විතර අපිට දුන්නේම නැහැ.

දැන් මේකේ ලයිට් මීටර් වතුර මීටර් ඔක්කොම ගලෝගෙන ගිහිල්ලා. බැරිම තැන අපි ඇවිල්ලා මේ ගෙවල් ඇල්ලුවා. පොලිසියෙන් ඇවිල්ලා අපෙන් කට උත්තර ගත්තා. හැබැයි නගර සභාවේ ඩොක්ටර් විජයමුණි ඇවිල්ලා කිව්වා අපිට තමයි මේවා දෙන්න ඕනේ කියලා.

පස්සේ නගර සභාවෙන් ඇවිල්ලා මේ ගෙවල්වල ඇත්තටම ජීවත් වෙන මිනිස්සුන්ට ගෙවල්වලට නොම්බරයක් ගහලා කාඩ් එකක් දුන්නා. ඒ කාඩ් එක දුන්නේ අපි මේ ගෙවල්වල ඉන්නවා කියලා තහවුරු කරන්නේ කියලා නගර සභාවෙන් කිව්වා.

අපි නගර සභාවෙන් මේවට ලයිට් ගන්න විදුලි බල මණ්ඩලයට ලියුම් ඉල්ලුවට ඒවා දෙන්නෙත් නැහැ. වතුර ගන්න අපට ලියුම් දෙන්නෙත් නැහැ. අපි දැන් මේවට ඇවිල්ල අවුරුදු තුන හමාරක් විතර වෙනවා.

අතීතයේ  කොළඹ ජීවත් වූ ඉහළ ප්‍රභූන් වංශවතුන්ගේ ඉහළ මාලයේ රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය ප්‍රභූත්වය රැකගන්න ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් සාරසුබාවට සෝදා සකස්කර දුන් මේ මහා ශ්‍රම බලකායේ වර්තමාන පරම්පරාවට සිදුකරන මේ මහා අසාධාරණය කෙරෙහි මේ රටේ අද ඉහළ මාලයේ වැජඹෙන නිලධාරීන් හෝ දේශපාලඥයන්ගේ අවධානය යොමු වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

 

| උපුල් ජනක ජයසිංහ

(පින්තූර - අන්තර් ජාලයෙන්)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image