2026 අගෝස්තු 26 වන දින කොළඹදී පැවති 12 වන UNI Apro-JPGU Kanto ශිෂ්යත්ව ප්රදානෝත්සවයේදී ශ්රී ලාංකික තැපැල් සේවක පවුල්වල තරුණ තරුණියන් විසි එක් දෙනෙකු (21) සිය අධ්යාපන කටයුතු වෙනුවෙන් මූල්යමය සහයෝගය ලැබූහ.
මෙම ශිෂ්යත්වලාභීන් අතර විවිධ අධ්යාපන මට්ටම්වල පසුවන ශිෂ්යාවන් 12 දෙනෙකු සහ ශිෂ්යයින් 9 දෙනෙකු ඇතුළත් වේ. විශ්වවිද්යාල ප්රවේශය අපේක්ෂාවෙන් උසස් පෙළ (A/L) හදාරන සිසුන්ට මෙන්ම, අවම වශයෙන් වසර දෙකක විශ්වවිද්යාල අධ්යාපනයක් සම්පූර්ණ කර ඇති සිසුන්ටද මෙම ශිෂ්යත්ව මඟින් සහාය සැලසේ.
ඔවුන් දැනට හදාරන සහ ඉදිරියේදී හැදෑරීමට අපේක්ෂිත ක්ෂේත්ර අතරට ඉංජිනේරු විද්යාව සහ වෛද්ය විද්යාව ඇතුළත් වේ. ශිෂ්යත්වලාභී සිසුවියන්12 දෙනාගෙන් 9 දෙනෙකුම ප්රධාන වශයෙන් ඉංජිනේරු විද්යාව ඇතුළු STEM (විද්යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත) ආශ්රිත විෂයයන් හදාරන හෝ හැදෑරීමට සැලසුම් කර සිටින අය වන අතර, ශිෂ්යත්වලාභී සිසුවියන් දෙදෙනෙකු වෛද්ය විද්යාව හදාරමින් සිටිති.
මෙම වසරේදී ශිෂ්යත්ව මණ්ඩලය සාම්ප්රදායික ශාස්ත්රීය පරීක්ෂණවලින් ඔබ්බට ගිය නව තේරීම් ක්රියාවලියක් හඳුන්වා දුන්නේය. මෙහිදී පළමු වරට, මීට පෙර පැවති බුද්ධි මට්ටම පදනම් කරගත් (IQ) පරීක්ෂණය වෙනුවට කණ්ඩායම් හැඟීම, ගැටලු විසඳීමේ හැකියාව සහ ප්රායෝගිකව දැනුම යෙදවීමේ හැකියාව ඇගයීමට ලක් කෙරිණි. එමෙන්ම මූලික ඇගයීම මාර්ගගත (online) ක්රමවේදය ඔස්සේ පවත්වන ලදී.
නව තාක්ෂණික, පාරිසරික සහ සමාජයීය අභියෝගයන්ට සාමූහිකව මුහුණ දිය හැකි සහ එක්ව කටයුතු කළ හැකි තරුණ පරපුරක අවශ්යතාවය මෙම වෙනස මඟින් පිළිබිඹු වන බව ශිෂ්යත්ව මණ්ඩලයේ සභාපති ජයශ්රී ප්රියලාල් මහතා ප්රකාශ කළේය. පන්ති කාමරයෙන් ඔබ්බට දැනුම සොයා ගිය සහ සිය ඉගෙනුම් කටයුතු සඳහා ඩිජිටල් මෙවලම් ඵලදායී ලෙස භාවිත කළ අයදුම්කරුවන් පිළිබඳව මණ්ඩලයේ විශේෂ පැසසුම හිමි වූ බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම සිසුන්ගේ දක්ෂතාවයන් උත්සවය තුළින්ම මනාව ප්රදර්ශනය විය. උත්සවයේ ආරාධනා පත්රය සහ න්යාය පත්රය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද්දේ ශිෂ්යත්වලාභියෙකු වන ගිම්හාන් සමරවීර විසිනි.
ශිෂ්යත්වලාභීන් වෙනුවෙන් අදහස් දැක්වූ ඩී. පසඳි දිනෙල්කා අල්විස් ප්රකාශ කළේ, මෙම ශිෂ්යත්වය මූල්යමය ආධාරයකට වඩා වැඩි යමක් බවයි. එමඟින් සිසුන්ට තම අධ්යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සහ තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉමහත් ධෛර්යයක් මෙන්ම ආත්ම විශ්වාසයක් ලබා දෙන බව ඇය පැවසුවාය.
ශිෂ්යත්වලාභීන්ගේ පවුල්වල සාමාජිකයන් ලබා දුන් සහයෝගය සහ කළ කැපකිරීම් ඇගයීමට ලක් කළ ඇය, තමන්ට ලැබුණු මෙම වටිනා අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙළා ගැනීමේ වගකීමක් සිසුන් සතු බවද පෙන්වා දුන්නාය.
"යම් දිනක අප අතරින් කෙනෙකුට තවත් සිසුවෙකුගේ සිහිනය සැබෑ කර ගැනීමට උපකාර කිරීමට හැකි වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා," යැයි ඇය පැවසුවාය.
ජපන් තැපැල් සේවකයන්ගේ සහයෝගය ඇතිව 2002 වසරේදී ආරම්භ කරන ලද මෙම ශිෂ්යත්ව වැඩසටහන මඟින් මුල් අවදියේදී සිසුන් දස දෙනෙකුට (10) ආධාර ලබා දෙන ලදී. එතැන් පටන් මේ දක්වා තරුණ තරුණියන් 150 කට අධික පිරිසක් මෙයින් ප්රතිලාභ ලබා ඇත. මීට පෙර ශිෂ්යත්ව ලැබූ බොහෝ දෙනෙකු විශ්වවිද්යාල අධ්යාපනය සාර්ථකව නිම කර වෛද්යවරුන්, ඉංජිනේරුවන්, හෙදියන්, භාෂා විශේෂඥයන්, මාධ්යවේදීන්, විලාසිතා නිර්මාණකරුවන් සහ වෙනත් ක්ෂේත්රවල වෘත්තිකයන් ලෙස සේවය කරති.
මෙම වැඩසටහන පිටුපස ඇති සබඳතාවය මූල්යමය ආධාරයකට පමණක් සීමා වූවක් නොවේ. ශිෂ්යත්වලාභීන්ගේ ඇගයීම් පණිවිඩ සහ ප්රගති වාර්තා, ජපානයේ සිටින තම සාමාජිකයන් සමඟ බෙදා ගැනීමට JPGU Kanto කටයුතු කරන අතර, එමඟින් ඔවුන්ගේ දායකත්වය තුළින් අත්කර දී ඇති ප්රතිඵල පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ. මෙම තොරතුරු යාවත්කාලීන කිරීම් හේතුවෙන් වෘත්තීය සමිති සාමාජිකයන් තුළ මෙම වැඩසටහන සඳහා වන උනන්දුව සහ අඛණ්ඩ සහයෝගය තවදුරටත් වර්ධනය වී තිබේ.
JPGU Kanto කලාපීය මූලස්ථානයේ කමිටු සාමාජික හිනාරි යසෝජිමා (Hinari Yasojima) විසින් ඉදිරිපත් කරන ලද JPGU Kanto සභාපති කෙන්ජි සයිකි (Kenji Saiki) මහතාගේ පණිවිඩයක දැක්වුණේ, මෙම ශිෂ්යත්වය දෙරටේම තැපැල් සේවකයන් අතර ගොඩනැඟී ඇති සමීප සබඳතාවයේ ප්රතිඵලයක් බවයි.
"මෙම ශිෂ්යත්ව ප්රදානෝත්සවය, UNI සංවිධානය, ශ්රී ලංකාවේ තැපැල් වෘත්තීය සමිති සහ JPGU Kanto කලාපීය මූලස්ථානය අතර පවතින දිගුකාලීන මිත්රත්වයේ සහ සහයෝගීතාවයේ සංකේතයක් බව මා විශ්වාස කරනවා," යැයි සයිකි මහතා පැවසීය.
UNI සංවිධානය හරහා ජපාන සහ ශ්රී ලාංකික තැපැල් සේවකයන් අතර වසර 25 කට අධික කාලයක් මුළුල්ලේ පැවති අදහස් හුවමාරුව සහ සහයෝගීතාව තුළින් වර්ධනය වූ විශ්වාසය හා මිත්රත්වය මෙම වැඩසටහන මඟින් මනාව පිළිබිඹු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය. මෙවර ශිෂ්යත්වලාභීන් 21 දෙනාට සුබ පැතුම් එක් කළ සයිකි මහතා, තම අරමුණු ජය ගනිමින් යහපත් අනාගතයක් ගොඩනඟා ගැනීම සඳහා මෙම අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගන්නා ලෙස ඔවුන් දිරිමත් කළේය.
පසුගිය වටයන් ඔස්සේ, තරුණ පරපුර මුහුණ දෙන වෙනස් වන තත්වයන්ට ගැළපෙන පරිදි මෙම වැඩසටහන හැඩගැසී ඇත. 2019 වසරේ පැවති 9 වන ශිෂ්යත්ව උළෙලේදී අනාගත රැකියා ලෝකයට අවශ්ය කුසලතා පිළිබඳව අවධානය යොමු කෙරිණි. 10 වන ශිෂ්යත්ව ප්රදානය ශ්රී ලංකාවේ පැවති දැඩි ආර්ථික අර්බුදය මධ්යයේ පැවැත්වුණු අතර, කොවිඩ්-19 (COVID-19) වසංගතය හේතුවෙන් ඇති වූ බාධා කිරීම්වලින් පසුව වසර පහකට පසු පළමු වරට සියලු දෙනාගේ සෘජු සහභාගීත්වයෙන් 11 වන උළෙල 2024 දී පවත්වන ලදී.
"දශක දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ, මෙම ශිෂ්යත්ව වැඩසටහන සඳහා අඛණ්ඩව මූල්ය ආධාර ලබා දෙමින් ජාත්යන්තර සහයෝගීතාව වෙනුවෙන් වූ සිය දැඩි කැපවීම ප්රදර්ශනය කිරීමට JPGU Kanto සමත්ව තිබෙනවා. මෙවැනි අර්ථවත් වැඩපිළිවෙළකට දායක වීමට ලැබීම UNI Asia & Pacific කලාපීය සංවිධානයට මහත් ගෞරවයක්," යැයි UNI Asia & Pacific කලාපීය ලේකම් රාජේන්ද්ර ආචාර්ය (Rajendra Acharya) මහතා පැවසීය.
"12 වන කණ්ඩායමේ ශිෂ්යත්වලාභීන් 21 දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර, ඔවුන් තම අධ්යාපනය මඟින් තමන්ගේ ප්රජාවට සහ සමස්ත සමාජයට සේවය කරනු දැකීමට අපි මහත් බලාපොරොත්තුවෙන් පසුවනවා."
මෙම ශිෂ්යත්ව ප්රදානෝත්සවය පැවැත්වුණේ අගෝස්තු 26–27 යන දිනවල කොළඹදී පැවති 7 වන UNI Asia & Pacific තැපැල් සහ සැපයුම් සම්මේලනයේ (Post and Logistics Conference) සමාරම්භක සැසියෙන් අනතුරුවය. මේ තුළින් එම සම්මේලනයට සහභාගී වූ කලාපීය හා ගෝලීය තැපැල් වෘත්තීය සමිති නායකයින්, ශිෂ්යත්වලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ එක්රැස් වීමට අවස්ථාව උදා විය.මෙම උත්සවය සඳහා JPGU සහ UNI Apro තැපැල් සහ සැපයුම් අංශයේ සභාපති මසාමි අදාචි (Masami Adachi), UNI Global Union තැපැල් සහ සැපයුම් අංශයේ සභාපති ජෑන් සිම්ප්සන් (Jan Simpson), UNI Global Union තැපැල් සහ සැපයුම් අංශයේ ප්රධානී කෝර්නීලියා බර්ගර් (Cornelia Berger), ශ්රී ලංකා තැපැල්පති රුවන් සත්කුමාර මහතා, JPGU Kanto හි නියෝජිතයින් සහ ශ්රී ලංකාවේ තැපැල් වෘත්තීය සමිති නායකයින් සහභාගී වූහ.
මෙම වැඩසටහන ශ්රී ලංකාව තුළ තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (UPTO), ජාතික තැපැල් සහ විදුලි සංදේශ සේවක සංගමය (NPTWU) සහ ශ්රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය (SLPTSU) යන වෘත්තීය සමිති විසින් UNI Asia & Pacific සහ ශිෂ්යත්ව මණ්ඩලය සමඟ ඒකාබද්ධව ක්රියාත්මක කරනු ලබයි.








