ඇෆ්ගනිස්ථානයේ තවත් සිසුවියන් 330,000කට පාසල් අධ්‍යාපනය අහිමි වෙයි

ඇෆ්ගනිස්ථානයේ තවත් සිසුවියන් 330,000කට පාසල් අධ්‍යාපනය අහිමි වෙයි

මේ වසරේදී ඇෆ්ඝනිස්ථානයේ ගැහැනු ළමුන් 330,000කට අධික පිරිසක් ද්විතීක අධ්‍යාපනය ආරම්භ කිරීමෙන් වළක්වනු ඇතැයි යුනිසෙෆ් සංවිධානය බීබීසී පුවත් සේවයට පවසා තිබේ. තලිබාන් රජය 2021 වසරේදී ප්‍රකාශ කළේ, වයස අවුරුදු 13දී එනම්, 6 ශ්‍රේණිය අවසන් වූ පසු ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලබා නොදෙන බව ය. 13 හැවිරිදි සයිනාබ්, එලෙස නව වසරේ අධ්‍යාපන කටයුතු ආරම්භ නොකරන එක් ගැහැනු දරුවෙකි.

පසුගිය මාස කිහිපය පුරා, සයිනාබ් ඔම්ලට්වලට වෛර කළා ය. බදින බිත්තරවල සහ කිරිවල සුවඳ ඇයව, තමන් පාසල් ගිය පසුගිය වසර කරා රැගෙන යයි. ඒ, මීට මාස 6කටත් වඩා අඩු කාලයකට ඉහතදී ය. ඇය එකල සතුටින් කාලය ගත කළා ය. එකල ඇය, උදෑසන යාච්ඤාව සඳහා අවදි වන අතර, ඇගේ බාල සොහොයුරියන් සහ වැඩිමල් සොහොයුරා සමග පාසල වෙත පිය මනින්නී ය. ඔවුන් දැන් ඇය නොමැතිය නව පාසල් වාරය ආරම්භ කර තිබේ. එමෙන් ම, ඔම්ලට් සුවඳ ඇයට අහිමි වූ සියල්ල යළි මතකයට රැගෙන එයි.

A graphic of a girl in head covering sits on floor reading a book

6 වන ශ්‍රේණියෙන් පසු ගැහැනු දරුවන්ට පාසල් යාමට ඉඩ නොදෙන බව සයිනාබ් කලක සිට දැන සිටි නමුත්, එහි යම් වෙනසක් සිදු වනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවා ය. ඇය ඉගෙනීමට බෙහෙවින් ප්‍රිය කළ අතර, විද්‍යාවට පමණක් නොව චිත්‍ර කලාවට ද ඇය එක සේ දක්ෂතා දැක්වූවා ය.

"පන්තියේ පළවෙනියා," ඇගේ ආඩම්බරකාර පියා එසේ කියද්දී සයිනාබ් ලජ්ජාශීලීව සිනාසෙන්නී ය. අවශ්‍ය ඕනෑ ම වෘත්තියක සාර්ථකත්වයට පත්වීමට ඇයට හැකියාවක් තිබිණි. එහෙත්, පසුගිය දෙසැම්බරයේ ඇගේ අවසන් ප්‍රාථමික පාසල් විභාගයෙන් පසුව, ඇගේ ප්‍රධාන ගුරුවරයා විභාග ශාලාවට පැමිණ සයිනාබ්ගේ වසරේ ගැහැනු ළමුන්ට දැනුම් දුන්නේ, ඔවුන්ට මාර්තු මාසයේ ඇරඹෙන නව පාසල් වර්ෂය සඳහා නැවත පැමිණීමට නොහැකි බව ය.

"එයා ගොඩක් දුක් වුණා," තමන්ගේ කලකිරුණු දියණිය ආපසු නිවස කරා පැමිණි ආකාරය දුටු ඇගේ පියා වන ෂහීර් පවසයි. "එයා ඉන්න තත්ත්වය බලාගෙන ඉන්න අමාරුයි. මගේ දුවලා වෙනුවෙන් මට කිසි දෙයක් කර ගන්න බෑ. ඒ ගැන මට මං ගැන ම වැරදිකාර හැඟීමක් ඇති වෙනවා." ඔහු සිය පවුල සමග ඇෆ්ගනිස්ථානයෙන් පළා යාමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

"මට දැනෙන්නේ මගේ හීන අඳුරු වළකවැළලුවා වගේ හැඟීමක්," සුරක්ෂිත වීඩියෝ දුරකතන ඇමතුමක් ඔස්සේ සයිනාබ් මෘදු හඬින් පවසයි. එසේ කී ඇය තත්පර කිහිපයක් නිහඬව සිටින්නී ය. ඇගේ සිතුවිලි එකලස් කර ගැනීමට ඇයට කෙටි විවේකයක් දිය හැකි දැයි ඇගේ පියා අපෙන් විමසයි. මේ පිළිබඳව කතා කිරීම සමස්ත පවුලට ම විශාල පීඩනයකි.

සයිනාබ් වැනි ගැහැනු ළමයින්ට ඇති එක ම විකල්පය වන්නේ, රජය විසින් පාලනය කරනු ලබන මද්‍රසා ලෙස හැඳින්වෙන ආගමික පාසල් පමණි. කෙසේ වෙතත්, ඇෆ්ඝනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රෝසා ඔටන්බයේවා දෙසැම්බර් මාසයේදී එම සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දුන්නේ, ගැහැනු ළමුන් වෙනුවෙන් පවත්වන මද්‍රාසා පාසල්වල ගණිතය සහ ඉංග්‍රීසි වැනි විෂයයන් උගන්වන්නේ දැයි තහවුරු කර ගැනීමට තමන්ට හැකියාවක් නොපැවති බව ය.

සයිනාබ්ගේ පියා පවසන්නේ, සිය දියණියට පුළුල් අධ්‍යාපනයක් මද්‍රසා පාසලෙන් නොලැබෙන බව ය.

"ඒක පාසලට විකල්පයක් නෙවෙයි. ඔවුන් ඇයට උගන්වන්නේ ආගමික විෂයයන් විතර යි. එයාව ආගමික මද්‍රසා පාසලකට යැවීමේ අවශ්‍යතාවක් තියෙන බව මට පේන්නෙ නෑ," ඔහු පවසයි.

A graphic image of a man watching a group of Afghan school girls who walk with backpacks

| තාලිබාන් පාලනය යටතේ ගැහැනු ළමයින්ට හයේ පන්තියෙන් පසු පාසල් යා නොහැක

2021 අගෝස්තු 15 වන දින කාබුල් අගනුවර බලය අල්ලා ගැනීමෙන් පසු තාලිබාන්වරු ඇෆ්ගනිස්ථානය පාලනය කළහ. ඉන් සුළු කලකට පසු ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා එරටින් ඉවත් විය. ඔවුන්ගේ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් නිවේදනය කළේ, තමන් 1996 සහ 2001 රට පාලනය කළ තාලිබාන් දැඩි මතධාරීන් මෙන් ක්‍රියා නොකරන බව ය.

"අපේ රාමුව යටතේ කාන්තාවන්ට ඉ‌ගෙන ගැනීමට සහ රැකියාවල නිරත වීමට අවසර දෙනවා. අපේ සමාජය තුළ කාන්තාව බෙහෙවින් ක්‍රියාශීලී වනු ඇති," ‍ඔවුන්ගේ පොරොන්දුව වූයේ එය යි.

එහෙත්, සුළු කාලයකදී කාන්තා අයිතිවාසිකම් ආපසු හැරවෙන්නට විය. මාස කිහිපයක් ගත වෙද්දී 7 වන ශ්‍රේණියට හෝ ද්විතීයික පාසල් අධ්‍යාපනය සඳහා ගැහැනු ළමුන්ට ප්‍රවේශය අහිමි විය.

පසුව, විශ්වවිද්‍යාල සහ බොහෝ සේවා ස්ථාන පවා පිරිමින් සඳහා පමණක් බවට නියම කෙරිණි.

මේ වන විට, පිරිමි භාරකරුවෙකු නොමැතිව නිවසින් පිටතට යාමට හෝ පොදු උද්‍යානවලට යාමට කාන්තාවන්ට අවසර නැත‍.

එය නරක තත්ත්වයකි. යුනිසෙෆ් සංවිධානය බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ, 2021 වසරේ සිට පාසල් තහනම් කිරීම බලපා ඇති සමස්ත ගැහැනු ළමුන් සංඛ්‍යාව මිලියන 1.4 ඉක්මවන බව ය. ඒ අතරින්, දැරියන් 330,000 දෙනෙකු 2023 වසරේ 6 ශ්‍රේණිය අවසන් කළ, මේ වසරේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි අය වෙති.

කෙසේ වෙතත්, සෑම අයෙකු ම තාලිබාන් නියෝග පිළිපදින්නේ නැත.

සයිනාබ්ගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ, ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශවල පෞද්ගලික ප්‍රජාව විසින් මෙහෙයවන ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර, සයිනාබ්, ඉංග්‍රීසි පන්තිවලට සහභාගි වන බව ය. එය තවත් කොපමණ කලක් කරගෙන යාමට ඉඩ ලැබේ දැයි කිසිවෙක් නොදනී. එහෙත්, දැනට ඇයට මෙහිදී සිය යහළු යෙහෙළියන් හෝ හමුවීමට අවස්ථාව හිමි වෙයි.

ඔවුන්ගේ මානසික තත්ත්වය ශක්තිමත්ව පවත්වාගෙන යන ලෙස පවසමින්, ඔවුන්ව දිරිමත් කිරීමට ඇය උපරිම උත්සාහයක් දරන්නී ය. "මම ඒගොල්ලන් කැමති විනෝදාංශ හොයා ගන්න කියලා දිරිමත් කරනවා," ඇය බීබීසී පුවත් සේවයට පැවසීය. "මම ඒගොල්ලන්ව දිරිමත් කරනවා චිත්‍ර අඳින්න කියලා."

A graphic image showing a drawing by Zainab, which shows a young girl in a hijab standing in front of a locked school. There are two covered up women in the background and a crumpled up piece of paper in the foreground.

| අගුලු දමා ඇති පාසලක් ඉදිරිපිට සිටින දැරියකගේ චිත්‍රයක්, සයිනාබ් විසින් නිර්මාණය කර බීබීසීයට එවා ඇත

සයිනාබ් චිත්‍ර ඇඳීමට කැමැත්තක් දක්වයි. ආපසු පාසල් යා නොහැකි බවට ප්‍රධාන ගුරුවරයා දැනුම් දුන් දිනයේ පාසල අවසන් වී නිවසට පැමිණි අවස්ථාවේ සිට ඇය හැරුණේ, ඒ දෙසට ය.

ඇය තමන් විසින් අඳින ලද සිතුවමක් බීබීසී පුවත් සේවයට එව්වා ය. එහි සිතුවම් කර තිබුණේ, අගුළු දමා වසා ඇති පාසලක් ඉදිරිපිට සිටගෙන සිටින ගැහැනු දරුවෙකි. ඇය එම සිතුවම නම් කර තිබුණේ, 'ඇෆ්ගන් ගැහැනු දරුවන්ගේ කළු දවස්' ලෙස ය.

"පාසල් යන එක තහනම් වුණාට පස්සෙ මං මුලින් ම ඇන්දේ පාසලේ අගුළු දාපු ගේට්ටුවක් දිහා බලාගෙන ඉන්න පාසල් ශිෂ්‍යාවක්," ඇය පවසයි.

කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළ ධනාත්මකව සිටීමට ඇයට බල කෙරිණි. දැන්, ඇය අහස, උස් ගොඩනැගිල්ලක්, මලක්, හිරු හෝ ඇගේ සිහින සැබෑ වී ඇති මනඃකල්පිත අනාගතයක් වැනි සුන්දර දේ සිතුවම් කරන්නී ය. ඇය ලෝකයට දෙන පණිවුඩය වන්නේ, ඇ‌ය වැනි ඇෆ්ගනිස්ථානයේ ගැහැනු ළමුන් අමතක නොකළ යුතු ය, යන්න ය.

"තමන්ගේ අයිතිවාසියකම් ආපහු ලබා ගන්න ඇෆ්ඝන් ගැහැනු ළමයින්ට සහය දෙන්න," ඇය පවසයි. "ඇෆ්ගන් ළමයි ගොඩක් දක්ෂ යි. අපට අවශ්‍ය දක්ෂතා දක්වන්න අවස්ථාවක් විතර යි."

මේ පිළිබඳව අදහස් දක්වන ලෙස බීබීසී පුවත් සේවය තලිබාන් රජයෙන් ඉල්ලීමක් කළ ද, ඊට ප්‍රතිචාරයක් නොලැබිණි.

අතිරේක වාර්තාකරණය - මාරියම් අමාන් සහ ජෝර්ජිනා පියර්ස්

ආරක්ෂක හේතු මත ලිපියෙහි භාවිත කර ඇති නම් වෙනස් කරන ලදී.

(ආලියා ෆර්සාන් සහ මේඝා මෝහන් / බීබීසී ලෝක සේවය / bbc/Sinhala)