"දොම්පේ ආයා" - Domestic Workers

"දොම්පේ ආයා" - Domestic Workers

පෘතුගීසීන් ලංකාවට පැමිණ කොළඹ නගරය ඔවුන්ගේ බලකොටුවක් ලෙස ගොඩනඟා ගත් සමයේ සිටම කොළඹ ප්‍රභූ පැලැන්තියේ නිවාසවල ගෘහ මෙහෙකරුවන් හෙවත් වැඩකාරයන් සිය නිවෙස්වල තබා ගැනීම  එකල සිය පවුලේ ප්‍රභූත්වය ප්‍රකට කරන සාධකයක් ලෙස ඔවුහු සැලකූහ. සාමාන්‍යයෙන් එකල කොළඹ විසූ විදේශික ප්‍රභූ නිවාස  බංගලා (Bungalow) ලෙස ද  කොළඹ නගරයේ විසූ දේශීය සමහර ප්‍රභූ නිවෙස් වලව් ලෙස ද හැඳින්වූ අතර කොළඹ එවැනි වලව් පැවතියේ අවම වශයෙනි.

නමුත් මෙම දෙපාර්ශවයේම ප්‍රභූ නිවෙස්වල ගෘහ මෙහෙකරුවන්  තබා ගැනීම ඔවුන්ගේ විලාසිතාවක් මෙන්ම තම සමාජ මට්ටම ඉහලට ඔසවා තබන සාධකයක් ලෙස ඔවුහූ සැලකූහ. ඒ සමාජ මට්ටම සලකා බැලූ නෑ නිවසක සිටින ගෘහස්ථ මෙහෙකරුවන්ගේ සංඛ්‍යාව හා එම ගෘහස්ථ මෙහෙකරුවන්ගේ තරාතිරම අනුව ය.

පෘතුගීසීන් හා ලන්දේසීන් ගෙන් පැවත එන පවුල්    ඉංග්‍රීසින් මේ රට අල්ලා ගැනීමෙන් පසු යම් ප්‍රමාණයක් ඒ ඒ රටවල් වලට ගිය අතර තවත් පිරිසක් මෙරට ම රැඳී සිටියහ. ඉංග්‍රීසීන් මෙරට පැළපදියම් වූ පසු ඔවුන්ගේ පවුල්වල හා නිවෙස් හි ආවතේවකරුවන් ලෙස මෙම පෘතුගීසි හා ලන්දේසි පවුල්වල අය බහුල වශයෙන් යොදා ගත්හ.දේශීය ප්‍රභූ පවුල් ද එම මාර්ගයේම යමින් පෘතුගීසි හා ලන්දේසි ගෙන් පැවත එන අය තමන්ගේ  නිවෙස්වල මෙහෙකරුවන් ලෙස තබා ගැනීමට උනන්දුවක් දැක්වූහ.

එයට බලපෑ ප්‍රධාන හේතු වූයේ බටහිර පන්නයේ ආහාර පිසීමට,එම සංස්කෘතික චර්යාවන් තම දරුවන්ට හුරු කිරීමට, බටහිර ක්‍රමයට සාද සමාචාරවල දී පැමිණෙන ආගන්තුකයන්ට ගෞරවනීය ලෙස සැලකීමට ආගන්තුක සත්කාර කිරීමට ඔවුන් තුළ පවතින ඉහළ දැනුම හා පළපුරුද්දයි. සිංහල සුද්දන්ට ද අවශ්‍ය වූයේ තමන්ගේ දරුවන් බටහිර පන්නයට හුරු හුරුකිරීමට නිසා ඔවුන් ද   තම නිවෙස් වන ඉදිරිපස මෙහෙකාර කටයුතු සඳහා සහ දරුවන් රැක බලා ගැනීමේ කටයුතු සඳහා උපරිම වශයෙන් "ලන්සි ආයලා" යොදා ගැනීමට උත්සුක විය.(ලන්දේසි මෙහෙකරුවන්ට ඔවුන් කිව්වේ ලංසිය කියාය)

එකල සාමාන්‍යයෙන් කොළඹ ප්‍රභූ නිවසක මෙහෙකරුවන් ආවතේව කරුවන් හා පරිවාර සේවාවන් සඳහා පුද්ගලයන් විස්සකට ආසන්න පිරිසක් සිටි බවට පොත පතේ සඳහන් වන තොරතුරු අනුව අපට සිතා ගත හැක.මේ අතර ළමා මෙහෙකරුවන් ද බහුල වශයෙන් සිටි බව සත්‍යයකි.ඔවුන් බොහෝවිට හැඳින්වූයේ boy හෝ කොල්ලා වශයෙනි.

  

බ්‍රිතාන්‍යයේ නිවෙස්වල එකල සිටි  ගෘහස්ථ කම්කරුවන්, සේවකයන්, මෙහෙකරුවන් ඇමතු නාමයන් පහත දැක්වෙන අතර ඊට සමාන නම්වලින් මෙරට  නාගරික ප්‍රභූ පැළැන්තියේ නිවෙස් වල  ගෘහස්ත සේවකයන් ද නම් කරනු ලැබීය.

(Ayah) , Nanny,  Babysitter,Bootboy,Butler,Bodyguard,

Charwoman, Chauffeur, Cleaner, Cook, Coachman, Dairymaid, Dog walker, Footman, Game keeper, Gardener, Governess, Groundskeeper, Hall boy, Head Gardener, Horse trainer, Gatekeeper, Houseboy, Housekeeper, kitchen maid, Lackey, Lady's maid, Laundress, Maid, Majordomo, Masseur, Nursemaid, Page or Teaboy, parlormaid, Personal shopper, porter, postilion, Retainer, Scullery maid,Stable boy or Groom , Stable Master, Valet, Wet nurse,  Maidservant , Maid

බ්‍රිතාන්‍ය සමාජයේ එකල තිබූ සමහර සේවා  ලංකාවේ නොතිබුණු අතර,ඒ අනුව ඔවුන්ගේ මෙරට අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි  මෙරට මෙහෙකරුවන් සඳහා සේවක නාම ගලපා ගත්හ. 

කුස්සිඅම්මා, කෝකි, ආයම්මා, නැනී, ඩෝබි, බෝයි, අප්පු, චොචර්, ඩ්‍රයිවර්, බෝයි/කොල්ලා පොඩියන්, මුරකාරයා, තෝටකාරයා, වේටර්, වැඩිහිටියන් බලා ගන්නා සාත්තු සේවක සේවිකාවන් (caregiver), කිරි ලමයා, මේට්‍ර්න්වරියන් (ළදරුවන් බලා ගැනීමට විශේෂ පුහුණුවක් ලද අය ), බත් අරං යන පුද්ගලයා හෝ බත්කාරයා බක්කිය බඳින කෙනා, වාහන සෝදන අය, කරත්ත දක්කන්නා , බල්ලන් ඇතුළු සුරතල් සතුන් බලා කියා ගන්නා කෙනා, ගෙවල් පිරිසිදු කිරීමට පැමිණෙන අය ( මේ සඳහා විශේෂයෙන් වතු දෙමළ හෝ ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවලින් පැමිණි ජනයා යොදා ගත්හ) ප්‍රභූ කාන්තාවන් සමග මාකට් යාමට වෙනම පිරිසක් (කාන්තා, පිරිමි සහ  ළමා මෙහෙකරුවෝ) ප්‍රභූ  නිවෙස්වල සිටියහ.මෙම ප්‍රභූ කතුන් විශේෂ ගමන් යන විට ඔවුන් ඇන්දවීමට සහ සැරසිලි කිරිමට තවත් පිරිසක් සිටියහ.ඔවුන්ට ඇඳුම් මැසීමට ඔවුන් තෝරාගත් පි ගත් පිරිස් සිටි අතර සමහර නිවෙස් වලට පැමිණ එම නිවසේ දීම එම ප්‍රභූ කාන්තාවන්ගේ හා දරුවන්ගේ ඇඳුම් මසා දී සිදුකෙරිණ.

නුවරඑළියෙ ප්‍රභූ නිවෙස් වල Beater නම් විශේෂ සේවකයෙක් සිටියේ දඩයමේ දී සතුන් එලවන්නය.

මේ අයට එම ප්‍රභූ නිවෙස්වල පැවරුණු රාජකාරි වෙන වෙනම තිබූ අතර ඔවුන් එකිනෙකා අන්‍යයන්ගේ වැඩ කටයුතු හෙවත් රාජකාරිවලට බද්ධ නොවී සිටීම විශේෂ කාරණයක් විය. ඔවුන් සිදු කරන්නේ තමන්ට පැවරී ඇති රාජකාරිය පමණි.

ඉංග්‍රීසි ප්‍රභූ පවුල්වල නිවෙස් වල ගෘහස්ථ සේවකයන්  ලෙස ලන්දේසි පවුල්වල අය බොහෝ බොහෝ දුරට යොදා ගත් අතර කොළඹ ජීවත් වූ ඉහල සිංහල ප්‍රභූ පවුල් නිවෙස්වල ද සමහර තනතුරු සඳහා  එම ලංසි හෝ ඉංග්‍රීසි මෙහෙකරුවන් යොදාගත් අතරම  කොළඹට ආසන්න ග්‍රාමීය ප්‍රදේශවලින් ගෘහ මෙහෙකරුවන් ගෙන්වාගැනීම ඔවුන්ගේ ක්‍රමය වී තිබුණි. ගම්මන සිටින කෝරාල ආරච්චිල ගම්මුලාදෑනි හරහා ගම්වල  සිටි තරුණියන් බහුල වශයෙන් මෙසේ කොළඹ ගෙවල් වල වැඩට ගෙන්වා ගැනීම සිදු කෙරිණ. පසුගිය සියවසේ   තුන්වෙනි  දශකය වන විට  මෙම ග්‍රාමීය මෙහෙකරුවන් නගරයට සැපයුම් කිරීමේ විශේෂ  තැරැව්කාර පුද්ගලයෝ ද බිහි වී තිබුණි.ඔවුන් ගම්වලට ගොස් දරුවන් බහුල විශාල පවුල්වල සිටි අවුරුදු දහතුනේ සිට ඉහලට තරුණියන් යම් අත්තිකාරම් මුදලක් පියාට හෝ මවට හෝ පවුලේ භාරකාරයාට ගෙවා එම තරුණයා කොළඹ බංගලාවල වැඩට පංඟරාතු කිරීම ඔවුන්ගේ සේවාව බවට පත් කරගෙන තිබුණි. ඒ වෙනුවෙන් මේ තැරව්කාරයාට යම් මුදලක් ලැබෙන අතර මාසික පඩියක් ලබා දෙන ලබාදෙන පොරොන්දුව මත මෙම තරුණිය රැගෙන පැමිණිය ද ඉන්පසු ඇයට වැටුපක් ලැබීම නිශ්චිත නැත. අඳින්න ලැබෙන්නේ ද ගෙදර නෝනලා ඇඳ ඉවත් කළ ඇඳුම් ය.තරමට වඩා විශාල මේ ඇඳුම් "බාංච්චු ගවුම්" ලෙස එකල හැඳින්වුණි.

මෙහෙකාරයන් හා ළමා මෙහෙකරුවන්ට අඳින්න ලැබුණේ  බංගලාවේ මහත්තයාගේ පරණ ඇඳුම්ය.  ඒවා තම ශරීරයට  වඩා විශාල කලිසං හා ෂර්ට් විය. ඒවා නම් කළේ ද "බාච්චු කලිසං ෂර්ට්" කියාය.කන්න බොන්න ලැබුණේ ද ගෙදර අය කා බීමෙන් පසු ඉතිරි වූ දේවල්ය.නිදා ගැනීමට ලැබුණේ කුස්සියේ හෝ ගබඩා කාමරයක හෝ ගරාජයක හෝ   අගුපිලක පැදුරු කඩමාල්ලක හෝ රෙදි කැබැල්ලකය.

"පෙරවන රෙද්දක් වත් හම්බ උනේ නැහැ. සමහර වෙලාවට නෝනලාගේ අයින් කරපු බෙඩ්ෂීට් තමයි අපේ පොර වන්නේ. ඒක ඉතිං ඉතාම අහම්බෙන් හම්බ වෙන දෙයක්.සමහරක් දවස් වලට තඩි මීයෝ අපේ ඇඟවල් උඩින් දුවනවා. ඒ විතරක් නෙමෙයි ගෙදර වැඩ කරන පිරිමි රෑට අපේ ළඟට එන්න හදනවා. වැඩකාරි හොඳට  ඇහැට කනට පේන කෙල්ලෙක් නං මහත්තයලගෙනුත් ලොකු බේබිලාගේනුත් බේරිල්ලක් නෑ" යැයි අවුරුදු හතළිහකට වඩා බංගලාවක බැලමෙහෙවර කළ අත්තම්මා කෙනෙක් වරක් ලියුම්කරු සමඟ පැවසීය.

කොළඹ සිංහල ප්‍රභූ පවුල් සඳහා  තැරැව්කරුවන් බොහෝ විට තරුණයන් රැගෙන ආවේ ගම්පහ පළාතෙනි. එකල සියනෑ කෝරලය යනු කොළඹ බංගලාවල ට මෙහෙකාරියන් සපයන ජනප්‍රියම මිනිස් ෆැක්ට්‍රි කලාපය  බවට පත් වී තිබුණි. මෙයට එක හේතුවක් වූයේ ඔවුන් ඉතා ඉක්මනින් කොළඹට රැගෙන යෑමට ඇති පහසුවයි. එසේම  සුදු පාලකයන්ගේ නිලතල නම්බුනාම ගත් රාජකාරි ආවතේවකරුවන් බහුලව එකල සිටියේ සියනෑ කෝරළයේ බැවින්, කොළඹ ප්‍රභූ පවුල් ඔවුන් හරහා තම නිවෙස්වලට මෙහෙකාරියන් සපයා ගැනීමේ දී මෙම රාජකාරි ආවතේවකරුවන් තමන්ගේ ගම් ප්‍රදේශවල සිටින සුළු මුලාදෑනීන්ව ඒ සඳහා තෙරපුම් කළ බැවින්, ඔවුන් මෙම ගම්වල සිටි අතරමැදියන් හරහා ඒ ගම්වල සිටි තරුණයන් කොළඹ බංගලාවල වැඩකාරකමට යැවීම සියලු දෙනාගේම ජාම  බේරා ගැනීමේ පුරුද්ද බවට පත් වී තිබුණි. මෙය මේ අතරමැදියන් හෙවත් තැරැව්කාරයන් මෙම ළාබාල තරුණියන් කොළඹ බංගලාවල  මෙහෙකාරකමට ගෙන යාමේදී පෙන්වා දෙන්නේ "කොළඹ  බංගලාවල වැඩට ගියාට පස්සෙ  මුන්ට කොළඹ  සුර සැප ලැබෙන" බවත්, ඒ නෝනා මහත්තයාලා දෙවිවරු වගේ. තමන්ගෙම දරුවන්ට වගේ මුන්ට සලකන්නේ" යනාදී වශයෙනි.

1930 දශකයේ අග භාගයේ කොළඹට ගෙන ආ තරුණියකට තැරැව්කරුවා එම පවුලේ වැඩිහිටියාට දී ඇති අත්තිකාරම් මුදලම උපරිමය රුපියල් දහයකි. ඔහු පවසන්නේ මාසික වැටුප රුපියල් පහක් බවය. එම වැටුප් තමන් මාසිකව ගෙදරට ලබාදෙන බවත් කෑම බීම ඇඳුම් පැලඳුම් සියල්ල නෝනලා ගෙදරින් ලැබෙන බැවින් ඇයට වියදමක් නොයන බව ද තරැව්කරුවා ආලවට්ටම් දමා වැඩිහිටියන්ට කියයි. නමුත් බොහෝ දුරට එම මාසික වැටුප ගෙදරට ලැබෙන්නේ නැත.ඒ පිළිබඳ විමසන විට තැරැව්කරුවා කියා සිටින්නේ "මේ කෙල්ල ඒ ගෙදර බඩු කඩලා ඒවට පඩිය කපලා හෝ ඒ සල්ලිවලින් කෙල්ලට ඇඳුම් පැළඳුම් අරන් දීලා" කියාය.

මෙයින් උරණ වන සමහර දෙමව්පියෝ එම බංගලා සොයාගෙන කොළඹ ගොස් තමන්ගේ දරුවන් නැවත ගෙදර ගෙන ඇවිත්, ටික කලකට පසු නැවත තව තැරැව්කරුවෙකු හරහා නැවත තව ගෙදරකට  වැඩට යැවීම එකල දෙමාපියන්ගේද ජාවාරමක් බවට පත්ව තිබී ඇතැයි කොළඹ ගෘහ මෙහෙකාරකමට ආ වැඩිහිටි මව්වරු පවසති. සමහර අවස්ථාවල තැරැව්කරුවාම එම මෙහෙකාරිය ප්‍රභූ නිවසින් බැහැරට ගෙන වෙනත් නිවසකට අලෙවි කරන බවත් එම මව්වරු පෙන්වා දෙති.

"සමහර ගෙවල් වල වැඩ අපිට දරන්න බැරි නිසා අපි බොරු ලෙඩ අරගෙන ගෙදර යනවා. ඒ ගියාම අපි ආයිත් එන්න බැහැ කියලා බිම හැපි හැපි අඬනවා.

සමහර අප්පුහාමිලා බොරු කියලා අපි ඉන්න ගෙවල් වලින් අපිව අරගෙන ගිහිල්ලා වෙන ගෙවල්වලට අපිව දීලා සල්ලි ගන්නවා. අපිට සතයක් වත් දෙන්නෙ නැහැ.අපේ අම්මලා තාත්තලා අපි ඉන්න බංගලා කොහෙද තියෙන්නෙ දන්නෙත් නෑ. මුන් සැරෙන් සැරේ අපි එහෙට මෙහෙට මාරු කරනවා. සමහර වෙලාවට ඇවිල්ල අපේ අම්මා තාත්තා මළා කියලා අපිව අරන් යනවා. මගට යනකොට කියනවා බොරු කියලා. ඒ වගේම අපේ ගෙදරට දෙන්න කියලා සල්ලි මේ ගෙවල් වලින් අරන් යනවා ඒ උනාට මුං අපේ ගෙවල්වලට සල්ලි දෙන්නෙ නෑ. අවුරුද්දකට විතර පස්සේ තමයි අපිට යන්තම් ගමේ යන්න හම්බවෙන්නේ. එතකොට තමයි දන්නෙ මූ අපේ පඩි සල්ලි අරගෙන ගෙදරට දීලා නැහැ කියලා. අපි බෝනික්කෝ වගේ පොඩි ළමයි. අපිට හරියට යට ඇඳුමක්වත් හම්බ වෙන්නේ නෑ.    (තැරැව්කරුවන්ට ඔවුන් අමතන්නේ අප්පුහාමි කියාය. මේ පුද්ගලයා ගම පිළිගන්නෙ  කොළඹ පිළිබඳ මහා දැනුමක් ඇති ගෞරවනීය අයෙකු ලෙසය.කොළඹ බංගලාවල නෝනා මහත්තුරු න්ගේ තරාතිරම ගැන කියමින්, ඔවුන් හා  ඔහුගේ ඇති සම්බන්ධය හුවා දක්වමින්, තමන්ට කොළඹ බංගලාවල නෝනා මහත්තුරුන් ගෙන්  ඕනැ දෙයක් කරගන්න පුළුවන් යැයි කයිවාරු ගහන ඔහු  සරම සහ කෝට් බෑය ඇද  රැජිනගේ ඡායාරූපය සහිත මිට ඇති උස කුඩයක් රැගෙන සමහරවිට පීකොක් සිගරට් ටින් එකක් ද අතැතිව ගම්වල කඩමණ්ඩිවල සැරිසරයි. කඩමණ්ඩියට පැමිණෙන මිනිස්සුන්ට කොළඹ බංගලා පිළිබඳ සුන්දර කතා කියන ඔහු දවසකට එක මිනිහෙක් හෝ රවටා ගෙන ඔවුන්ගේ දරුවෙක් කොළඹට රැගෙන යෑමට සමත් වන බව දොම්පේ සිට කොළඹ වැඩට ලියුම්කරුට සිය මිත්තණිය  කියා ඇත.)

හැටේ දශකයේ ඉතා ජනප්‍රිය වූ "දොම්පෙ ආයා" ගීතයට පදනම් වෙන්නේ සියනෑ කෝරලෙන් කොළඹට ආ ගෘහස්ථ මෙහෙකාරියන්ගේ කතාවේ කොටසකි.සියනෑ කෝරල අමතරව රයිගම් කෝරළයෙන් ද හේවාගම් කෝරයෙන්ද  කොළඹ බංගලාවලට මෙහෙකාරියන් එකල සැපයුම් කර තිබුණි.

 

(ගෘහස්ථ මෙහෙකාරියන් හා මෙහෙකරුවන් හා ළමා මෙහෙකරුවන් පිළිබඳ මෙරට සාහිත්‍යමය සාක්ෂි පිළිබඳ  හැදැරීම  ඉදිරියේ දී කරනු ඇත)

Upul Janaka

    | උපුල් ජනක ජයසිංහ