මිනිස් වෙළඳාමේ  පිටට නොපෙනෙන කටුක ඇත්ත මෙන්න (සත්‍ය සිදුවීමකි)

මිනිස් වෙළඳාමේ  පිටට නොපෙනෙන කටුක ඇත්ත මෙන්න (සත්‍ය සිදුවීමකි)
වර්තමාන සමාජය තුළ කතිකාවට ලක්විය යුතු මිනිස් වෙළඳාම අදවනවිට බහුලව සිදුවෙන නමුත් වැඩිවශයෙන් කතාබහට ලක් නොවෙන මාතෘකාවක් ලෙස හැඳින්වීම අරුමයක් නොවේ.මක් නිසාද ඇතැම් අය තමා මිනිස් වෙළඳාමේ ගොදුරක් බවට පත්ව තිබෙන බවත් නොදැන එසේත් නොමැති නම් වෙනත් විකල්පයක් නොමැතිව දැනුවත්කමින්ම මිනිස් වෙළඳාමට ගොදුරුවන අවස්ථාද එමටයි.
 
බොහෝ අවස්ථාවල කාන්තාවන් හා ළමුන් මිනිස් වෙළඳාමට ගොදුරුවන අවදානම් කණ්ඩායම ලෙස සැලකුවද වර්තමානයේ පිරිමි පාර්ශවයද ඊට ගොදුරුවෙන බව පෙනේ.
 
මිනිස් වෙළඳාම තුළ මූලිකව සිදුවන්නේ පුද්ගලයින්ගේ නිදහසට බලහත්කාරයෙන් සීමා පැනවීමයි. එහිදී බලහත්කාරයෙන් ශ්‍රමය සූරා කෑම,වැටුප් කප්පාදුව, ලිංගික සූරා කෑම වැනි විවිදාකාරයෙන් ගොදුරක් බවට  පත්වෙන අවස්ථාද අසරණභාවය,ණය තුරුස් ගෙවා ගැනීමට නොහැකිව ලිංගික ගොදුරක් බවට පත්වෙන අවස්ථා වර්තමානයේ සුලබ වී තිබේ.
 
එවැනිම සිදුවීමක් ඇතුළත් වීඩියෝ පටයක් අප වෙත ලැබී තිබෙන අතර එය සත්‍ය සිදුවීමක් බැවින් ඒ හරහා සමාජය දැනුවත් කිරීම අතිශය කාලෝචිත ක්‍රියාවක් බව හැගේ.
 
මෙම කතාවේ ප්‍රධාන චරිතය අසරණවූ මවක් වන අතර සිය සැමියාගේ අසනීප තත්ත්වය සුව කරගැනීමට අවශ්‍ය වූ බැවින් සිය නිවස උකස්කර මුදල් ලබාගෙන එම මුදල් සිය සැමියාගේ අසනීප තත්ත්වය සුවකර ගැනීමට වියදම් කර තිබේ.කෙසේ නමුත් අවසානයේ සැමියා අසනීප තත්ත්වය නිසාම මරණයට පත්ව තිබෙන අතර ඇය සහ ඇගේ දරුවා අන්ත අසරණභාවයට පත්වන්නේ ඒ සමඟමයි.
 
ආර්ථිකමය ගැටළු හේතුවෙන් මුදල් අවශ්‍ය නිසා නිවස උකස්කළ පුද්ගලයාගෙන් තවත් මුදල් ලබා ගැනීමට ඇයට සිදුවෙනවා. නමුත් එහිදී නිවස බේරා ගැනීම සඳහා මුදල් නොමැති නිසා එයින් ප්‍රයෝජනගත් උකස්කරු දිගින් දිගටම ඇයව ලිංගික සූරාකෑමකට ලක් කර තිබෙන අතර ඇගේ වචනයෙන්ම පවසනවා නම් "ඔහු කියන කියන පදේට නටන්න වුනා පාරට බහින්න බැරි කමට" යැයි ඇය පැවසීය.
 
මෙවැනි සිදුවීම් අනන්තවත් සමාජය තුළ සිදුවෙන මුත් ඒවා ගැන වැඩි කතාබහක් සිදු නොවන්නේ මිනිස් වෙළඳාමට ගොදුරුවන පුද්ගලයින්ගේ අසරණභාවය හෝ නොදැනුවත්කම නිසා බව මේ සිදුවීමෙන්ම පැහැදිලි වෙයි.
 
මිනිස් වෙළඳාම සමාජයෙන් තුරන් කිරීම කළ හැකිද යන්න ගැන ඇත්තේ ගැටළුවක් වුවත්  එය වළක්වා ගැනීමට සමාජය තුළින්ම හඬක් ඉදිරිපත් විය යුතුයි. මෙම අපරාධයට එරෙහිව නීතියේ ඇති ප්‍රතිපාදන ගැන පොදු ජනතාව දැනුවත් විය යුතුයි. එයට කාලය එළඹ ඇති බැවින් අපි අවදියෙන් ඉමු. මිනිස් වෙළඳාමට එරෙහි පෙළගැසෙමු. අපරාධකරුවන්ට නිසි දඬුවම් ලැබෙන තෙක් එක්ව සටන් කරමු.