කාන්තාවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක්: මුස්ලිම් දැරිය ආරක්ෂා කරමින් භික්ෂුණිය නොතකා හරිමුද?

කාන්තාවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක්: මුස්ලිම් දැරිය ආරක්ෂා කරමින් භික්ෂුණිය නොතකා හරිමුද?

Gender මත පදනම් වෙලා කාන්තාවන්ට කෙරෙන නොසලකා හැරීම්, නින්දා - අපහාස, කාන්තාවක් වීම නිසා ගොදුරුවෙන ප්‍රචණ්ඩත්වය, ලිංගික අපහාස, හිංසන සහ rape යනාදී මේ සියල්ල ගැන අපි කාලාන්තරයක් මුළුල්ලේ කතාකරමින් ඉන්නවා. 

ඒ වගේම කාන්තාවට එරෙහි මේ ප්‍රචණ්ඩත්වය වළක්වන්නේ කොහොමද කියලත් ලෝකේ බොහෝ රටවල් වගේම ලංකාවෙත් වරින්වර සංවාදයක් මතුවෙමින්, යටයමින් තියෙනව. අපි එහෙම සංවාද කරන අතරේ, කාන්තාව දිනපතාම වාචිකව හෝ ශාරීරිකව හිංසනයට, අපහාසයට ලක්වෙමින් ඉන්නව.

ඔබට මතක ඇති විශේෂයෙන්ම ලංකාවේ කාන්තාවන් අතුරින් 90%ක්ම පොදු ප්‍රවාහනයේදී කුමන හෝ ආකාරයක ලිංගික හිංසනයකට ගොදුරුවෙලා තියෙන බව එක්සත් ජාතීන් කරපු සමීක්ෂණයකින් මෑතදී අනාවරණය වුනා. (https://www.bbc.com/sinhala/sri-lanka-38163761)

ඉතින් මෙන්න මේ වගේ පසුබිමක තමා UNFPA ඉල්ලීම මත ආචාර්ය රමණි ජයසුන්දර Gender සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධ  ප්‍රතිපත්තියක් එළිදක්වල තිබුනේ. ජාතික ප්‍රතිපත්තියක් පමණක් නොවෙයි, නීතියක් බවටත් පත්වෙන්න පුළුවන් මේ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ වැඩපිළිවෙලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉල්ලීම මත පහසුකම් සලසන්නේ One Text Initiative ආයතනය. 

පුරුෂාධිපත්‍යය රජයන පාර්ලිමේන්තුවක, මන්ත්‍රීවරියන් "පෙරල ගන්න" කතාකරන ජනතා නියෝජිතයින් ඉන්න සමාජයක නින්දා, අපහාසවලට ලක්වෙමින්, පක්ෂ භේද අමතක කරලා මන්ත්‍රීවරියන් 12 දෙනා වගේම ආචාර්ය රමණි ඇතුලු පිරිස මේ අතගහපු වැඩේ ඇත්තටම අගය කළ යුතුයි.

විශේෂයෙන්ම ඩයනා රාජ්‍ය ඇමතිවරිය "පෙරල ගන්න" කතා කරපු වෙලාවේ කිසිම මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් ඒ අපහාසයට විරෝධය නොපෑ බව ආචාර්ය ධම්ම දිසානායක සිහිපත් කළේ මන්ත්‍රීවරියන් දෙන්නෙක් වගේම ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයාත් සාකච්ඡා සභාවේ ඉන්න අතරවාරයේ.

ඒ නිසා ප්‍රතිපත්ති නැත්නම් නීති හැදුව කියල සමාජයක මේ ආකල්ප වෙනස්වෙන්නෙ නැති බව, ඒ සාකච්ඡාවේදී ධම්ම වගේම මමත් පෙන්නල දුන්න. 

මට මතකයි BBC World Service වෙනුවෙන් ඊජිප්තුවේ කාන්තා ලිංගඡේදනය (FGM) ගැන මම කරපු ගවේෂණය. (https://www.bbc.com/news/world-middle-east-57530121)

ඊජිප්තුවේ FGM තහනම් කළේ 2008 දී. ඒත් අදත් ඊජිප්තුව කියන්නේ ලෝකේ වැඩිපුරම කාන්තා ලිංගඡේදනය කරන රටවලින් එකක්. (කියවන්න - https://www.bbc.com/sinhala/world-56602588)

ඒ නිසා නීති හැදීමෙන් පමණක් නොනැවතී, අධ්‍යාපන ක්‍රමයේ ඉඳල, සමාජයේ විතරක් නෙවෙයි විශේෂයෙන්ම කාන්තාවන්ගේත් අදහස් සහ ආකල්පවල දැවැන්ත වෙනසක් කිරීමේ අවශ්‍යතාව ඒ සාකච්ඡාවේදී සංවාදයට ලක්වුනා.

උදාහරණයක් විදියට තවමත් FGM කියන කුරිරු "චාරිත්‍රය" කරන රටවල දැරියන්ට ඒ අමානුෂික වේදනාව දෙන්නෙ, නැත්නම් බලකරන්නෙ පුරුෂයෝ නෙමෙයි; කාන්තාවෝ.

අනික ලංකාවේ මුස්ලිම් ළමා විවාහ ගැන අවුරුදු කිහිපයක්ම මම කරපු ගවේෂණයෙදි (https://www.bbc.com/sinhala/sri-lanka-40002629) හෙළිවුණේ ළමා විවාහ නවත්වන්න බොහෝ මුස්ලිම් පුරුෂයින් අකමැති වගේම මේ "statutory rape" කිරීම නවත්වනවට මුස්ලිම් සමාජයේ කාන්තාවනුත් විශාල පිරිසක් අකමැති බව. සමහර කාන්තාවන් අතිශය දරුණු විදියට මට විවේචන එල්ල කළා. (https://www.facebook.com/watch/?v=845141572310259)

ඒ කතාව කිවුවම වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ වැදගත් දෙයක් මතක් කරලා දුන්න.

ලංකාවේ අම්මල කෑම එක වෙනම බෙදල දීල, ඇඳුම් සෝදලා පවිත්‍ර කරලා දීල තවමත් පුතාට විශේෂ සැලකිල්ලක් දක්වන බව ඇය සිහිපත් කළා. වෛද්‍යවරිය කියන විදියට කාන්තාව මේ විදියට නොසලකා හැරීම, කොන්කිරීම ආරම්භ වෙන්නේ ගෙදරින්මයි; මුලින්ම ඒක කරන්නේ අම්ම.

ජාතික ප්‍රතිපත්තිය හදන වෙලාවේ වචන භාවිතයේ වැදගත්කම අනෝමා රාජකරුණා මතු කළා. ඒ කියන්නේ Gender වගේ වචනයක් හරියටම කොහොමද පරිවර්තනය වෙන්න ඕන කියන එක. "සමාජභාවී" කියන එක යෝජනා වුණත්, ඒකත් සුදුසුම වචනය කියල මට හිතෙන්නේ නෑ. සමාජභාවී කීවම ඒකෙන් ඇඟවෙන්නෙ Gender කියන දේ කියල මට නම් දැනෙන්නෙ නෑ.

ඒ වගේම මේ ප්‍රතිපත්තියට ඇතුළත් වෙන මූලික තේමා ගැනත් සාකච්ඡාවේදී මතුවුනා.

විශේෂයෙන්ම මුස්ලිම් ළමා විවාහ සම්බන්ධ කරුණ මතු කළේ දොලවත්ත මන්ත්‍රීවරයා. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) සංශෝධනය කරන්න පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ගෙනාපු යෝජනාව කැබිනට් මණ්ඩලය මාර්ගයෙන් සම්මත කරගන්න දොලවත්ත මන්ත්‍රීවරයා උත්සාහයක යෙදිල ඉන්නවා.

මුස්ලිම් දැරියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ඉතා යහපත් දෙයක් වුණත්, භික්ෂු නායකත්වයේ පුරුෂාධිපතිවාදී විරෝධය නිසා ජාතික හැඳුනුම්පතටවත් හිමිකමක් නැති ලංකාවේ දහස් ගණන් භික්ෂුණීන් ගැනත්, බාල වියේදීම ශාසනයට ඇතුළත් කරන දැරියන් ගැනත් අවධානය පළ කළ යුතුව තිබුන කියල මට මතක් වුණේ රැස්වීමෙන් පස්සේ.

විශේෂයෙන්ම වෙනත් සමාජයක වැරදි හදන්න කලින් අපි මුලින්ම අපේම වැරදි හදාගන්න ඕනේ කියල මම දැඩිව විශ්වාස කරනවා. එහෙම නොකරනවා නම් අපිට අනෙකාගේ වැරැද්ද පෙන්නා දෙන්න සදාචාරාත්මක අයිතියකුත් නෑ.

One Text Initiative එකේ කනකා අබේගුණවර්ධන අවසර දෙනවා නම් -:) අපි ඒ ගැනත් වෙලාවක දීර්ඝව කතා කරමු.

නීතිඥ ශිරාල් ලක්තිලක නීතිමය පසුබිම විස්තර කළා. විශේෂයෙන්ම ලංකාවේ නීති සම්පාදනය කියන්නේ කාන්තාවන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා කෙරෙන පුරුෂයන්ගේම විතරක් ක්‍රියාවක් බව ශිරාල් පෙන්නලා දුන්න. ඊට පස්සේ තේ පානය වෙලාවේ ඔහු කිවුවේ, අපේ වැඩේ නීති හැදීමට උපකාර කරන එක, ඒක ක්‍රියාවට නැගීම සහ සමාජය දැනුවත් කිරීම අනිත් අයට භාරයි කියල.

ඇත්ත. ආචාර්ය රමණී, UNFPA, මන්ත්‍රීවරියො, වන් ටෙක්ස්ට් එකේ ශිරාල්, කනකා, හරේන්ද්‍ර දසනායක ඇතුළු කණ්ඩායම වැදගත් වැඩකට මුල පුරලා.

ඉතින් මේක සමාජයට ගෙනයාම අපි හැමෝගෙම වගකීමක්.

ඒ එක්කම මට තවත් දෙයක් මතක් වුනා. ලිංගිකත්වය මත පදනම්ව සිදුවන ප්‍රචණ්ඩත්වය ගැන පසුගියදා මම කරපු ප්‍රකාශයකට පිළිතුරු දීපු සමන්ති දිසානායක, ප්‍රචණ්ඩත්වයට එරෙහිව කාන්තාවන් නැගී සිටිය යුතුයි කියන අතරෙම ප්‍රචණ්ඩව හැසිරෙන පුරුෂයින් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන බොහෝ දුරට සාකච්ඡා නොවෙන බව පෙන්නලා දීල තිබුන.

ඇත්ත. ඔවුන්ට දඬුවම් දීම වගේම ඔවුන් එයින් වැළැක්වීමටත් මේ කතාබහ ඉදිරියට යන්න ඕනේ.

අපි කතා කරමු. වාද කරමු.

කාන්තාව වගේම දරු, දැරියන් ඇතුළු අපේ සමස්ත සමාජයම පෙළන මේ ප්‍රචණ්ඩ සංස්කෘතිය දුරු කරමු.

saroj pathirana

| සරෝජ් පතිරණ - ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී

 

සබැඳි පුවත්