වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් ඊයේ මාර්තු 15 වන දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් මාර්තු 13 වන දිනට පෙර තීන්දු කර ප්‍රකාශයට පත්කර තිබූයේ ආණ්ඩුවේ බදු අය කිරීම්, බැංකු පොලී වැඩි කිරීම් හා ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ය.
ඔවුන් ඉදිරිපත් කරන ඉල්ලීම්වල මෙන්ම වැඩ වර්ජන තීන්දුවෙහිද පොදු එකඟතාවක් නොමැති බව ආරම්භයේදීම දකින්නට තිබුණකි.
පොදු ඉල්ලීම් 03 ට අමතරව, ඇතැම් වෘත්තීය සමිති ඔවුන්ගේ වැටුප් වැඩිවීම්, ජීවන වියදම් දීමනා හා සේවා ගැටළු සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් කරති. ජ.වි.පෙ ගුරු සංගමය කියා තිබුණේ ගුරු හා විදුහල්පති සමිති සන්ධානය ඔවුන්ගේ ඉල්ලීම්ද ඇතුළත් ඉල්ලීම් 08 ක් සමග වර්ජනයට හවුල්වන බව ය. තවත් අය ජීවින වියදම ඉහළ යාමට විරුද්ධ ඉල්ලීම් එකතුකර තිබිණ.
එයට හේතු වන්නේ බදු අය කිරීම් හා පොලී ඉහළ යාම වෘත්තිකයින්ට අදාලවන අයුරු ගුරුවරුන්ට, හෙදියන්ට, සංස්ථා ලිපිකරුවන්ට, පොදු සේවකයින්ට අදාල නොවීම ය. එහෙත් වර්ජනයේ “ආණ්ඩු විරෝධය” කර පින්නා ගැනීමට ඔවුන් ඔවුන්ගේ ආංශීය ඉල්ලීම්ද ඉදිරිපත් කරමින් වර්ජනයට හවුල් වන්නාහ.
වර්ජනය ක්‍රියාවට නැගීම ගැනද එවැනි වෙනස්කම් විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සමිතිය පළාත් 04 ක සංකේත වර්ජනයක් ආරම්භ කෙරුවේ මාර්තු 13 වන දිනය. ඔවුන් කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රතිචාර අනුව පසුදින වර්ජනය තීන්දු වන බවය. බැංකු සේවක සංගමය කියා තිබුණේ ඔවුන් මාර්තු 13 වන දින කලු පැළඳ සේවයට වාර්තා කරන බවත් ඉල්ලීම් සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිචාර යහපත් නොවන්නේ නම් පසුදින සිට කෑම පැයේ විරෝධතා පවත්වන බවත් ය. කොළඹ වරායේ පොදු සේවක සංගමය ප්‍රකාශකර තිබුයේ ඔවුන් 13 වන දින උදේ 07 සිට අකුරට වැඩ කරන බවත් ආණ්ඩුවේ ප්‍රතිචාර සාධාරණ නොවුනහොත් 15 වන දින උදය 07 සිට පසු දින උදය 07 වන තෙක් වරායේ සියලු වැඩ අත්හිටුවන බවය. ලංකා ගුරු සංගමය පවසා තිබූයේ ආණ්ඩුවේ ප්‍රතිචාරය වාසිදායක නොවුනහොත් වැඩ වර්ජනය පැය 24 කින් අවසන් නොකරන බවය.
පොදු ඉල්ලීම් මත ජාතික වැඩ වර්ජනයකට තීන්දු ගත යුත්තේ සමාජීය වගකීමක් ඇතිවය. වගකීමක් ඇතිව වර්ජන තීන්දුවක් ගැනීමට බහුතර සාමාජික සහභාගිත්වයක් ඇති පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් තිබිය යුතුය. මේ වර්ජන තීන්දුව එනමුත් වෘත්තිකයින්ගේ නායකත්ව තීන්දුවකි.
ඔවුන්ගේ ඉල්ලීම් අතුරෙන් වැඩි බරක් තැබෙන්නේ ආදායම් බදු වැඩි කිරීමට ය. ඒ ගැන කතා කෙරෙන්නේ අතිශය පෞද්ගලික හේතු සමගින් ය. “පඩියෙන් බාගයක් නිවාස ණයට කැපෙනවා. වාහනේ ලීසිං වලට තව ගාණක් කැපෙනවා. ඉතිරි ටිකත් බදු කියලා ගත්තම ජීවත් වෙන්නේ කොහොමද?” වැනි කතා ඔවුහු කියති.
නමුත් ආණ්ඩුවටද ආදායම් සෙවිය හැක්කේ බදු අය කිරීමෙනි. එබැවින් බදු අය කිරීම් වෙනුවෙන් වෘත්තිකයින් අතර මතුව ඇති විරෝධය සමාජගත විය යුත්තේ ආණ්ඩුවේ සමස්ථ බදු ප්‍රතිපත්තියෙහි ඇති ජනතා විරෝධී ස්වරූපය හෙළිදරුව් කරමින් මිස බදු අය කිරීමට විරුද්ධව නොවේ.
ආණ්ඩුව ආදායම් ඉහළ දමා ගත යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපිගොනු සංඛ්‍යාව වැඩි කරමින් නොවන බවත් බදු අය කරන්නට පෙර ආණ්ඩුව සමස්ථ ජාතික වියදම නිසියාකාරව ගණන් හදා ප්‍රකාශයට පත් කළ යුතු බවත් කිව යුතුව ඇත. රාජ්‍ය වියදම් අතර අනවශ්‍ය හා නාස්තිකාර වියදම් කපා හැරිය යුතු යැයි උදාහරණ සමග පෙන්වීමෙනි. සමාජය හමුවේ සාධාරණය කළ හැකි වාර්ෂික වැය කිරීම් සඳහා සමාජයේ පොහොසත්ම සියයට 20 ගෙන් වැඩි බදු ප්‍රමාණයක් අය කර, අඩු ආදායම් ලබන පහළ සියයට 40 ක ජනතාව සියලු බදු වලින් නිදහස් කිරීම සමග දැනට සියයට 84 ක් වන වක්‍ර බදු ආදායම සියයට 60 ක උපරිම සීමාව දක්වා ආරම්භයක් වශයෙන් අඩු කළ යුතු යැයි කිව යුතුය.
බදු අය කිරීමේ රාමුව එළෙසින් තීන්දුකර වක්‍ර බදු අඩු කිරීමේදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් වක්‍ර බදු ඉවත් කළ යුතු යැයිද කිව යුත්තේ මේ ආර්ථික අර්බුදයෙන් බැට කන බහුතර ජනතාවකට එමගින් විශාල සහනයක් ලැබෙන හෙයිනි. වෘත්තිකයින් අතර පහළ කාණ්ඩයට දෙකට බරක් වන බදු අය කිරීම අභියෝග කිරීමට වැඩි ශක්තියක් සහයෝගයක් ලැබෙන්නේ සමස්ථ සමාජයටම පොදු වාසියක් සහිත බදු අය කිරීමේ යෝජනා මාලාවක් විකල්ප ලෙස ඉදිරිපත් කළ විටය.
බැංකු පොලී වැඩි කිරීම අභියෝග කළ යුත්තේද එවැනි සමාජ සාධාරණයක් සහිත යෝජනාවක් සමගින්ය. එවැනි යෝජනා මගින් ආණ්ඩුවේ හා බැංකු පද්ධතියේ ආදායම් අඩු කෙරෙන්නේ නැති බවත් එවැනි යෝජනා මගින් සිදු කෙරෙන්නේ වැඩි බරක් දැරිය හැකි සහ දැරිය යුතු සමාජ ස්ථරය ඒ වෙනුවෙන් හවුල්කර ගනිමින් පහළ සමාජ ස්ථර සඳහා යම් සහනයක් ලබා දීම පමණක් බවත් පැහැදිලි කිරීම අසීරු නොවන්නකි.
මර්දනයට එරෙහිවීම මූලික අයිතියක් බව අලුතින් කිව යුතු නැත. විරෝධතා මර්දනය කිරීම වෙනුවට ආණ්ඩුවක් කළ යුත්තේ විරෝධතා මතු නොවන අයුරු ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමේ ප්‍රතිපත්තිමය තීන්දු සඳහා සමාජ සම්මුතියක් ලබා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී බහු පාර්ශවීය ජාතික හවුලක් තහවුරු කර ගැනීමය.
මේ කතාව අවසන් කිරීමට කිව යුත්තේ මෙවැනි පසුබිමක වෘත්තීය සමිති ඉදිරිපත් විය යුත්තේ නායකත්වයේ තීන්දු පොදු තීන්දු ලෙස ඉදිරිපත් කරමින් නොවේ යැයි කියා ය. ආණ්ඩුවට කියනවා වාගේම වෘත්තීය සමිති නායකයින්ටද කිව යුත්තේ වෘත්තීය සමිති දැන්වත් ප්‍රජාතන්ත්‍රීයකරණය කළ යුතු යැයි කියා ය. අසාර්ථක වැඩ වර්ජනයක් වූවත් ‘80 ජුලි මහ වැඩ වර්ජනය වෘත්තීය සමිති නායකයින්ගේ ඒකාධිකාරයට හරස්ව සේවක සේවිකාවන් තීන්දු ගත් ඓතිහාසික අත්දැකීමකි.
එය අසාර්ථක වූයේ ජයවර්ධන ජනාධිපතිගේ බලහත්කාරය නිසා නොවේ. එය අසාර්ථක වීමට හේතු කිහිපයකි.
ඒ කාරණා සියල්ල ජනාධිපති ජයවර්ධනගේ වාසියට පෙළ ගැසුනු පසු හදිසි නීතියද අත ඇතිව ඔහුට සාම්ප්‍රදායික රාජ්‍ය සේවාවන් කිහිපයක වර්ජනය තලා දැමීම එතරම් අපහසු නොවුනි. ‘80 ජුලි වැඩ වර්ජනය කුඩු පට්ටම් කළ “වීරයා” ලෙස ජයවර්ධන සැළකෙන්නේ එබැවිනි.
දේශපාලන තක්සේරු සම්බන්ධ එවැනි වාමගාමී දෝස හමුවේ වැඩ වර්ජනය අසාර්ථක වූවත් ‘80 ජුලි වර්ජනය සඳහා තීන්දු ගැනීමේත් ඒ සඳහා සාමාජිකයින් සූදානම් කිරීමෙත් සංවිධානාත්මක ක්‍රියාවලිය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශමත් ක්‍රියාවලියක් වූවකි. “වර්ජන තීන්දුව” ගැනීමට කාර්යාල, වැඩබිම් සූදානම් කිරීම ආරම්භ වූයේ වෘත්තීය සමිති 12 කින් සැදුම්ලත් “වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුවෙහි” එකඟත්වය ඇතිව කෑම පැයේ පැවැත්වූ සමිති සාමාජිකත්වයට සීමා නොකෙරුනු සේවක සාකච්ඡා සමගින්ය. ඒ වෙනුවෙන් වර්ජනයට ගොනු කළ ප්‍රධාන ඉල්ලීම් වූ “රුපියල් 300 ක ක්ෂණික වැටුප් වැඩි කිරීම සහ 1977 සිට වැඩි වුනු සහ ඉදිරියේදී වැඩි විය හැකි කොළඹ පාරිභෝගික ජීවන දර්ශකයෙහි සෑම ඒකකයක් සඳහාම රුපියල් 05 ක වැටුප් වැඩි කිරීම” සියලු කාර්යාල, වැඩබිම් සේවක සේවිකාවන් අතර සාකච්ඡා කෙරුණු ඉල්ලීම් බවට පත් කෙරුණි.
ඉන් පසු වැඩ වර්ජනයක් අරමුණු කෙරුණු ඒ ඉල්ලීම් මුල් කරමින් කෑම පැයේ ප්‍රසිද්ධ විරෝධතා ව්‍යාපාරයක් සතියකට වැඩි කාලයක් පැවැත් වින. වැඩ වර්ජනය සඳහා ඉල්ලීම් සමාජගත වූයේ එවැනි සමුහික ක්‍රියා සමගින්ය. ඒ අතර, විශේෂයෙන් නව සමසමාජ පක්ෂයේ දේශපාලනයට අනුගතවූ රජයේ ලිපිකරු සේවා සංගමය, දුම්රිය සේවක සංගමය, රජයේ කාර්යාල සේවක සේවා සංගමය, පළාත් පාලන වෘත්තීය සමිති සම්මේලනය, රජයේ මුද්‍රණාල සේවක සංගමය, ජනරජ සෞඛ්‍ය සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති විසින් වර්ජන තීන්දුවක් ගැනීමට කාර්යාල වැඩබිම් මට්ටමේ සේවක සේවිකාවන් හවුල් විය යුතු යැයි යෝජනා ඉදිරිපත් කළහ. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ලබාදීමේ “ජාතික කම්කරු නියෝජිත සමුළුවක” අවශ්‍යතාවය ඉදිරිපත් කරමින් ඔවුහු “වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුවට” බල කරන්නට වූහ.
ඒ බලපෑම් සමග 1980 මාර්තු 08 සහ 09 දෙදින උතුරේ සහ නැගෙනහිර සේවක සහභාගිත්වයක්ද ඇතිව කාර්යාල වැඩබිම් මට්ටමේ වෘත්තීය සමිති නියෝජිතයින් 5,000 ට අධික සංඛ්‍යාවක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙහි රැස්වී තම අත්දැකීම් හා ප්‍රශ්න විවෘත සංවාදයකට තබමින් ප්‍රධාන ඉල්ලීම් 02 ඇතුළු ඉල්ලීම් 23 ක් සමග වැඩ වර්ජන තීන්දුව ගනු ලැබූහ. එයට සූදානම් වීම් උත්සන්න වීමත් ඒ වෙනුවෙන් ජුනි 05 වන දින “ජාතික විරෝධතා දිනයක්” පැවැත්වීමත් ඊට එ.ජා.ප ආණ්ඩුවේ මැර ප්‍රහාරයක් හා පොලිස් ප්‍රහාර එල්ලවීමෙන් සැළකිය යුතු පිරිසක් රෝහල්ගත වීමත් වර්ජනය සඳහා වටපිටාව උණුසුම් කිරීමට හේතු විය. ඒ අතරින් කොමියුනිස්ට් පක්ෂ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සෝමපාල සහෝදරයා මිය යෑම වර්ජනයට අලුත් සටන්කාමිත්වයක් මුහුන් කෙරුවකි. වැඩ වර්ජනයක් සූදානම් කිරීමේදී මෙතෙක් ඉතිහාසයෙහි වර්ජන තීන්දුවක් ගැනීම සඳහා කාර්යාල, වැඩබිම් මට්ටමේ සේවක නියෝජනයක් සහිත සංවිධිත සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අත්දුටු වෙනත් වැඩ වර්ජනයක් මේ රටේ නැත.
ආණ්ඩුවක් වර්ජන තැලීමේදී හැම විට වර්ජනයට එරෙහිව සමාජයේ සෙසු කොටස් යොදා ගැනීමට උපා මාර්ග සැළසුම් කරන බව අමතක නොකළ යුත්තකි. එනිසාම ඉදිරියේදී වැඩ වර්ජන තීන්දු ගැනීමේදී ඉල්ලීම් නිවැරදිව සමාජගත කෙරෙන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් තහවුරු නොකර ගන්නේ නම්, මර්දනයට මුහුණ දීමේ හැකියාවද සීමා වනු ඇත.

| කුසල් පෙරේරා
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
2023 මාර්තු 16
