පීඩිතයන් රජුන් කළ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

පීඩිතයන් රජුන් කළ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ඉන්දියාව ජාතික නිදහස ලබා හැත්තෑපස් වසරක් පිරීමත් සමගම එරට සිදුවූ ඓතිහාසික සිද්ධියක් දෙස මුළු ලොවම දෑස දල්වා බලා සිටියේය. එනම් එක්තරා ආදිවාසී කාන්තාවක ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවනේ රාෂ්ට්‍ර පතිනිය වීමය. නැතහොත් රාෂ්ට්‍රපති පදවියට පත්වීමය. ඇය ද්‍රෞපදී මුර්මු මහත්මාවයි. ඇය අයත් වන සන්තාල් නමැති ආදිවාසී ජන කොට්ඨාසය ඒ ගණයට වැටෙන අනික් ඒවා අතර විශාලත්වය අතින් මෙන්ම පුරාණත්වය අතින්ද මුල් තැනක් ගනියි. ඉන්දියාවේ ආදිවාසී ජනයා රටේ මුළු ජනගහනයෙන් සියයට 8.06ක් ලෙස සැලකේ. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (05) වැනි උපලේඛනය (schedule) යටතේ ආදිවාසී ජනයා සමාජ අසාධාරණයට ලක් වුණ ජන කොට්ඨාසයක් හැටියට නිල වශයෙන් පිළිගැනීමට භාජනය වී ඇත. ඔවුන් එහි හැඳින්වෙන්නේ උපලේඛන ගත ආදිවාසී ජන කොට්ඨාස (scheduled tribes) යන විශේෂ යෙදුමෙනි. ඉන්දියාවේ එවැනි ජන කොට්ඨාස 645 ක් පමණ ඇත.

යශ්වාන් සිංහ නම් තරඟකරුවා පරදවමින් ද්‍රෞපදී මුර්මු මහත්මාව ඉන්දීය ජනපති තරඟයෙන් ජයග්‍රහණය කළ බව 2022 ජූලි මස 21 වැනි බෘහස්පතින්දා ලෝකයට ප්‍රකාශ වීමත් සමගම මනුෂ්‍ය සාධාරණත්වය සහ සමානාත්මතාව අගයන ජන හදවත් සතුටින් ඔකඳ වූවා නිසැකය. ඉන්දියාවේ මෙම පරමෝත්තර තනතුරට පත් පළමු ආදිවාසී කාන්තාව වන ද්‍රෞපදී මුර්මු මහත්මාව එම පදවිය ලත් දෙවැනි වනිතාවයි. ඉන්දියාවේ රාෂ්ට්‍රපති පදවියට පත් පළමු වනිතාව වූයේ ප්‍රතිභා පතිල් මහත්මාවයි. ඇය ඉසිලුවේ ඉන්දියාවේ 12 වැනි රාෂ්ට්‍රපති පදවියයි.

ඉන්දියාවේ අභිනව රාෂ්ට්‍රපතිනිය වූ ද්‍රෞපදී මුර්මු මහත්මාව දැන් උසුලන්නේ 15 වැනි රාෂ්ට්‍රපති පදවියයි. එම පදවියට පත් දෙවැනි කාන්තාව මෙන්ම පළමු වැනි ආදිවාසී කාන්තාවද වූ ඇයට පෙර ඉන්දියාවේ 14 වැනි රාෂ්ට්‍රපති පදවිය ඉසිලුවේ රාම්නාත් කෝවින්ද් මහත්මාය. ඔහු වූකලී පහත් යැයි සම්මත දලිත් නම් ජන කොට්ඨාසයෙන් රාෂ්ට්‍රපතිපදවියට පත් දෙවැන්නාය.

පළමුවැන්නා වූයේ ඉන්දියාවේ 10 වැනි රාෂ්ට්‍රපති පදවිය දැරූ කේ.ආර්.නාරායන් මහත්මාය. සමාජ අසාධාරණයට ලක් වුණ ජන කොට්ඨාස හැටියට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිල වශයෙන්ම පිළි ගෙන ඇති අඡූත (ස්පර්ශ නොකළ යුතු/untouchable)

ජන කොට්ඨාසය හා පහත් යැයි සම්මත සෙසු ජන පිරිස්ද හැඳින්වීමට ඉන්දීය ව්‍යවස්ථාවේ යෙදී ඇති නිල යෙදුම වනාහි 'උපලේඛන ගත කුල' (scheduled castes) යන්නය.

ඉන්දියාවේ 03 වැනි රාෂ්ට්‍රපති පදවියට පත් වූයේ මුස්ලිම් ජාතිකයෙකි. ඔහු වූකලී සකීර් හුසේන් මහත්මාය.විශිෂ්ට ගණයේ අර්ථ ශාස්ත්‍රඥයෙකු මෙන්ම ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙක්ද වූ ඔහු ඉන්දියාවේ කීර්තිමත් .දේශපාලනඥයෙක් විය.

ද්‍රෞපදී මුර්මු මහත්මාව 1958 ජුනි මස 20 වැනි දින ජන්ම ලාභය ලැබුවේ අන්ත පසුගාමී දිස්ත්‍රික්කයක් වූ මයුර්බාන්ජ්හි උපර්බේද නම් ගමේ සන්තාල් නමින් දන්නා ආදිවාසී පවුලක දැරියක ලෙසිනි. දර ළිපේ ඉයූ පිහූ , අතින් වතුර ඇද ගත් , වැස්සට කොටන විදුලිය පමණක් දකිමින් , කුප්පි ලාම්පු එළියෙන් සියලු වැඩ කර ගත් මිනිසුන් විසූ එකී ගමේ පවුල්වලින් පළමුව පාසල් ගිය දැරිය වූයේ ද්‍රෞපදීය. ඇය අකුරු කළ රාම දේවි ගෑනු පාසල දැන් ඔඩිසාහි බුවනේස්වර නගරයේ රාම දේවි කාන්තා විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත.

පළමුව ගුරුවරියක ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ

ද්‍රෞපදිය පසුව රජයට අයත් ආයතන කීපයක සේවයෙහි නිරත වූවාය. ඇගේ දේශපාලන ජීවිතය ඇරඹෙන්නේ රයිරන්ග් පූර් නගර සභාවෙනි. ඒ 1997 අවුරුද්දේ එහි නාගරික මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වීමෙනි. පසුව ඇය එහි නගරාධිපතිනියද වූවාය. අනතුරුව ද්‍රෞපදිය රයිරන්ග් පූර් ව්‍යවස්ථාදායක සභාවේ සභිකවරියක ලෙස දෙවරක්ම පදවි දරුවාය.ඔඩිසා ප්‍රාන්තයේ දුෂ්කර ගමකින් මතු වුණු පළමු ආදිවාසී කාන්තා නායකත්වය වූ ද්‍රෞපදී මුර්මු

මහත්මාව පසු කලෙක එම ප්‍රාන්තයටම අයත් ජහර්කන්ඩ්හි පළමු ආණ්ඩුකාරවරිය බවට පත්වීම ඇගේ දේශපාලන ගමන් මගේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් විය. එකල බලයේ සිටි ආණ්ඩුවද දැනුවත්ව සම්මත කර ගැන්මට තැත් කළ ඉඩම් පනත් දෙකකට ආණ්ඩුකාරිය වශයෙන් ඇය එක හෙළා විරුද්ධ වූයේ ඉන් තම ආදිවාසී ජන වර්ගයාට සිදුවිය හැකි බලවත් අනර්ථය ගැන සැලකීමෙනි. තමාද අයත් ආණ්ඩු පක්ෂය ගෙනා පනත් බැව් නොසලකා එම පනත්වලට එරෙහි වීමෙන් ඇය දැක්වූ ජන කරුණාව නිසා ඇගේ කිතු ගොස තුඩ තුඩ පැතිර ගියේය.

අද ද්‍රෞපදී මුර්මු මහත්මාව සකල ඉන්දීය රාජ්‍යයේම පළමු පුරවැසියා වෙයි. එසේම එරට සන්නද්ධ ත්‍රිවිධ හමුදාවන්ගේම ආඥාපති වෙයි.

ස්වකීය මාතෘ භූමියේ වෙසෙන ජනයා පමණක් නොව සකල ලෝකයේම වෙසෙන ජනයාද ශීර්ෂ ප්‍රණාමයෙන් සදා සිහි කරන ආචාර්ය භීමරාවෝ රාම්ජී ආම්බෙඩ්කර් නම් අභීත උදාර මානව ප්‍රේමියා එදා තමා විසින් නිර්මිත ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කොට තිරසර නීතියක් බවට පත් කරන ලද 16 ,17 , හා 244-244 A යන අගනා වගන්ති නොවන්නට මෙදා ආදිවාසී කාන්තාවක වන ද්‍රෞපදී මුර්මු

මහත්මාව හට පමණක් නොව පහත් යැයි සම්මත කුලයකට අයත් සෑම පුද්ගලයෙකුටම ඉන්දියාවේ පරමෝත්තර තානාන්තරය වන මෙම රාෂ්ට්‍රපති පදවි ප්‍රාප්තිය හුදු සිහිනයක්ම වනු ඒකාන්තය.

(16) වැනි වගන්තිය:

ජනතාවට රැකියා සැපයීමේදී සමාන අවස්ථා සැලසීම.

(17) වැනි වගන්තිය:

අඡූත (ස්පර්ශ නොකළ යුතු) ජන වර්ග වාදය (untouchability) අහෝසි කිරීම.

(244-244 A) වැනි වගන්තිය:

සමාජ අසාධාරණයට ලක් වූ ජන කොට්ඨාසවල හා ආදිවාසී ජනයාගේ මානව හිමිකම් සුරැකීම.

(පහත දිස් වන්නේ නව  රාෂ්ට්‍රපතිනි ද්‍රෞපදියගේ හා ආචාර්ය

ආම්බෙඩ්කරයන්ගේ සේයා රූ යුගලයයි.)

(2022 ජූලි 26 වැනි අඟහරුවාදා 'ලංකාදීප' පුවත්පතේ පළ වුණු මගේ 'විවරණ මිහිර' ලිපියයි මේ.)

l කරුණාරත්න අමරසිංහ