නව වසරේ  ආර්ථිකයට විකල්පයක්

නව වසරේ  ආර්ථිකයට විකල්පයක්

අලුත් අවුරුද්ද සඳහා මෙවරත් සුභ පැතුම් ලැබෙන්නේ හැම අවුරුද්දේම මෙන් මට සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමින් ය. වික්‍රමසිංහ ආණ්ඩුව විසින් 2024 ජනවාරියේ සිට සේවා භාණ්ඩ 47 ක් හැර ඉතිරි සියල්ලට අදාල වනසේ සියයට 18 දක්වා “වැට් බද්ද” වැඩි කිරීමෙන් අනාථවන ජීවිත සඳහා සුභ පැතීම වෙනුවට අප කතා කළ යුත්තේ විසඳුමකි.

ජාතික ලැයිස්තුවක් නොතිබුණි නම්, අවුරුදු 60 ට පෙර 1960 මාර්තු මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබ ගෙදර තනිවූ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක අගමැති විජයානන්ද දහනායක මෙන් 2020 අගෝස්තු මැතිවරණයෙන් පරාජය වූ එ.ජා.ප නායක අගමැති රනිල් වික්‍රමසිංහටද සිදුවන්නේ ජාවාරම්කාරයින් සඳහා ආර්ථිකය හදන්නට නොව, දහනායක කෙනෙකු වන්නටය. ජනතාවගේ වාසනාවට ජාතික ලැයිස්තුවක් තිබූ නිසා රනිල් වික්‍රමසිංහට රට ගොඩ දැමීමේ වගකීම බාර ගැනීමට හැකි විනැයි නාගරික මැදපංතියෝ කියති. එහෙත් රාජපක්ෂලාගේ පොහොට්ටු සහාය නොතිබුණා නම් රට ගොඩ දමන්නට වික්‍රමසිංහ කෙනෙකු ජනාධිපති නොවන බැව් ඔවුහු නොකියති.

මැදපංතිකයින්ගේ ඒ කතා කවරක් වූවත් ආර්ථික අර්බුදය බරපතල් වන විටත් සදාචාරායක් නැති, සමාජ වටිනාකම් අතහැර දැමූ සහ ආකල්පමය වශයෙන්ද සමාජ සාධාරණයක්, යුක්තියක් ගැන කිසිදු අවධානයක් නොතිබූ විනාශකාරී සමාජයක පතුලටම අපි වැටී සිටියෙමු. එහෙත් ජනාධිපති වික්‍රමසිංහගේ කතාව නාගරික ආර්ථිකය ගැන මිස, බරපතල සමාජ පිරිහීමකට හසුව ඉන්නා නාගරික හා අර්ධ නාගරික සමාජයන්හි පහළ ස්ථර සහ ග්‍රාමීය සමජයේ බහුතරය ගැන නොවේ. ආර්ථික විශේෂඥයින්, කොළඹ ඉහළ මැදපංතිකයින් කතා කරන්නේද කොරෝනා වසංගතය එනවිටද බරපතල ලෙස පිරිහී තිබුණූ දූෂණ හා අපරාධ ඉහවහා ගිය, පරිසරයද විනාශ කෙරෙන ජයවර්ධන ලිහා දැමූ විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගැනීමක් ගැන පමණය.

ආර්ථික අර්බුදයේ කේන්ද්‍රීය ගැටළුව වන්නේ අපනයන වෙළඳාමෙන් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට නොහැකි අනාථ වීමකි. එනිසා ආනයන අපනයන වෙළඳ ශේෂය පියවා ගැනීමටත් රටේ අන්තර් හා සුපිරි ව්‍යුහ ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහාත් ඩොලර ණයට ගැනීම් කෙරිණ. ඒ මහ පරිමාන දූෂණයෙහි එක පැතිකඩකි. ඒ අතර ලබා ගත් ණය ගෙවන්නටද තව ණය ගැනීමට සිදුවූ අසීරු අඩියකට අපි පත් වීමු. වාරික පොලී ගෙවීමට හෝ නොහැකි හිඟන තත්ත්වයකට අපි 2020 අවසන් වන විට පත් වූයෙමු. කිසිවකුගෙන් තව දුරටත් ණය ගත නොහැකි තත්ත්වය හමුවේ 2022 අප්‍රේල් මාසයේ රට බංකොලොත් යැයි නව මහ බැංකු අධිපති ප්‍රකාශ කළේය.

ඒ වනවිට ආණ්ඩු දේශීය වශයෙන්ද ණය වී සිටියහ. පසුගිය ආණ්ඩු දෙක තුනම සේවක අර්ථසාධක අරමුදල ආණ්ඩුවේ පරිහරණයට ගැනීමට උත්සාහ කෙරුවේද කෝටි ගණනක සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආණ්ඩුවේ ආදායම් සඳහා යොදා ගැනීමටය.

ඩොලර ණය කතාව

අපි ඩොලර් ණය කතාවෙන් මෙය පටන් ගනිමු. ජා.මූ. අරමුදල සමග පැමිණි එකඟතා සියල්ලෙහි ඇත්තේ ඒ වනවිට තිබූ “බංකොලොත්” ලේබලය ගලවා ගෙන නැවත අලුතින් ණය ඉල්ලා ගැනීමේ පසුබිමක් හදා ගැනීම පමණය. ඒ වනවිට තිබූ ඩොලර බිලියන 34.8 ක ණය ගෙවීම් සඳහා වසර 10 ක 15 ක සහන කාලයක් ලබා ගැනීමෙන් නැවත ණය ගැනීමේ ඉඩක් හදා ගැනීමය. එය කිසිසේත් ස්ථාවර විසඳුමක් නොවේ. ස්ථාවර විසඳුමක් වන්නේ ගොඩ ගැසෙන යෝධ ණය කන්දරාව ටිකෙන් ටික හෝ පියවා ගැනීම සඳහා මෙතෙක් වාර්ෂිකව උපයා ගත් ඩොලර බිලියන 17 ක් 18 ක් පමණ වන විදේශ ආදායම ඩොලර බිලියන 25 ක් දක්වා හෝ ඉහළ දමා ගත හැකි විසඳුමකි. එවගේම ඩොලර බිලියන 22 ක් 23 ක් පමණ වන ආනයන වියදම ඩොලර බිලියන 20 ට අඩු මට්ටමකින් තබා ගත හැකි නියාමන වැඩපිළිවෙලකි. එසේ වුවහොත් නැවත ණය ගැනීමේ කරුමක්කාර පිළිවෙතින් මිදෙන්නටත් ජනතාවගේ සමාජ ආර්ථික පැවැත්ම රැක ගැනීමටත් ඉඩ ලැබෙනු ඇත.

එවැනි ආර්ථික යොමුවීමක් ජා.මූ.අරමුදලේ කොන්දේසිවල නැත. ජා.මූ.අරමුදල සමග කෙරුණු සාකච්ඡා සඳහා හෝ වික්‍රමසිංහ ආණ්ඩුව එවැන්නක් ඉදිරිපත් කර නැත. එහෙත් ජාවාරම්කාර වෙළඳුන් වෙනුවෙන් රස්තියාදුකාර සූදුපළ ආර්ථිකයක් හදන්නට වික්‍රමසිංහ පාලනය ජා.මූ. අරමුදලේ කොනදේසි නොතකා යෑමට පසුබට නොවෙති. සාමාන්‍ය ජනයා අන්ත අසරණ තත්ත්වයට පත් කෙරෙන වැට් බද්දේ කතාව පටන් ගන්නේ ජා.මූ. අරමුදල සමගවන එකඟතා ගිවිසුමෙහි අංක 28 යටතේ “බදු ප්‍රතිපත්ති සහ ආදායම් පරිපාලනය” යන විෂයට අදාලව සඳහන් වන 2008 අංක 14 දරණ “උපාමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත” යටතේ 2023 දෙසැම්බරය වනවිට ආණ්ඩුවේ බලධාරීන් විසින් අලුත් ව්‍යාපෘති අනුමත නොකළ යුතු යැයි වන කොන්දේසිය වික්‍රමසිංහ ආණ්ඩුව නොතකා හැරීමත් සමගය.

ගිවිසුමට මාස අටක් වන්නටත් පෙර 2023 දෙසැම්බර 22 වන දින, විෂය බාර ඇමති වශයෙන් ජනාධිපති වික්‍රමසිංහ අංක 236/65 දරණ ගැසට් නිවේදනය නිකුත් කරමින් දකුණු ආසියානු කලාපය සඳහා ප්‍රවාහන, ප්‍රසම්පාදන සහ සැපයුම් (Logistical) කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය දියුණු කිරීමේ උපාමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස එය හඳුන්වනු ලබන බවත් ව්‍යාපෘති කටයුතු සම්පූර්ණ කිරීමට වසර 50 ක කාලයක් ලබා දෙන බවත් කියන්නේය. එකී අවුරුදු 50 ක කාලය තුල එම ව්‍යාපෘතිය සඳහා දේශීය ආදායම් බදු පනත, වැට් පනත, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත සහ රේගු බදු ආඥා පනත යන පනත් 05 යටතේ කෙරෙන බදු අය කිරීම් අත්හිටුවන බවද ගැසට් පත්‍රයෙහි සඳහන් වන්නේය.

කොළඹ වරාය නගරය උපාමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස බදු අය කිරීමෙන් අවුරුදු 50 ක කාලයකට නිදහස් කළ විට රටේ ජනතාවට අහිමි කෙරෙන නිල ආදායම කොපමණද? එළෙසින්ම මේ වනවිට ආයෝජන මණ්ඩලය විසින් බදු නිදහස් කෙරුණු සියලු ව්‍යාපෘති හේතුවෙන් වාර්ෂිකව ජනතාවට අහිමි කෙරෙන බදු ආදායම කොපමණද?

ඒවා කිසිවක් නිසියාකාරයෙන් ගණන් නොබැලුවත් මේ ගැසට් පත්‍රයෙන් පමණක් අහිමි කෙරෙන වාර්ෂික ආදායමේ එකතුව අවම රුපියල් බිලියන තුන් හාරදාහක් හෝ විය යුතුය. ඒ හිඟය මුලුමනින් පියවා ගැනීමට නොහැකි වූවත් ඒ වෙනුවෙන් සැළකිය යුතු ආදායමක් පහසුවෙන් එකතු කර ගැනීමට ආණ්ඩු අත තියන්නේ වක්‍ර බදු වලටය. වැට් බද්ද සියයට 18 කිරීම හා අති බහුතර භාණ්ඩ ප්‍රමාණයකට වැට් බද්ද පැනවීම ඒ කතාව ය.

භාණ්ඩයකට වැට් බද්ද අය වන්නේ එකම තැනකදී නොවේ. වරායෙන් පිටට එන විට රුපියල් 100 ක භාණ්ඩයකට කිහිප තැනකදී වැල් පොලී මෙන් එකතුවන සියයට 18 ක වැට් බද්ද හේතුවෙන් පාරිභෝගිකයා අතට එනවිට එය ඇතැම් විට රුපියල් 200 ට වැඩි විය හැකිය. ප්‍රවාහනය වැනි ගාස්තුද ඉහළ යනවිට භාණ්ඩයේ මිල ඊටත් වැඩි විය හැකිය.

රස්තියාදුකාර සූදු වෙළඳපලක් වෙනුවෙන් ජාවාරම්කාරයින්ට ලබා දෙන සහන සහ වරප්‍රසාද සඳහා වන වියදම් පියවා ගැනීමට ක්‍රියාත්මක කරන මෙවැනි අතාර්කික, අසාධාරණ වෙළඳපල ආර්ථික ක්‍රියාවලියකින් සමස්ථ ජනතාවගේ ජීවිත වැදගත් අයුරින් පවත්වා ගත නොහැක. මේ විවෘත වෙළඳපල ආර්ථිකය වෙනස් කර වඩා සාධාරණ ආර්ථික ක්‍රියාවලියක් යෝජනා කරන්නට එනමුත් ජා.මූ. අරමුදල දන්නා ආර්ථික විද්‍යාවෙහි සූත්තර නැත. එනිසා 2024 “වැට් සාගතයට” උත්තර සොයන්නට සිදු වන්නේ සමාජ ක්‍රියාකාරීන්ට ය.

සමාජ වගකීමේ අලුත් එකතුව

මේ අලුත් අවුරුද්දේ වැට් සාගතයෙන් ගොඩ යෑමට, සමාජ ක්‍රියාකාරීන් වහා අතට ගත යුතු ඉල්ලීම් කිහිපයක් ඇත. ආණ්ඩුවට ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් ඉවත් වන්නට ඉඩ නොදෙන බලයක් එකතු කෙරෙන සමාජ ව්‍යාපාරයක් සඳහා මැදිහත් වන්නටද සිදුවනු ඇත. නව ආර්ථික ආකෘතියකට පිවිසීමේ පළමු පියවර වශයෙන් ඒ සඳහා මෙම ඉල්ලීම් මෙහි ගොනු කරමි.

සංකල්පීය පදනම

මෙම යොජනවන්හි මූලික පදනම වන්නේ,

  • සුභසාධනය නිශ්චිත වශයෙන් දුප්පතුන් ඉලක්ක කරන්නක් වීම
  • ආනයන අපනයන වෙළඳපල තරගකාරී වූවත් රාජ්‍ය නියාමනයක්ද ඇතිව පවත්වා ගැනීම
  • විදේශ ආයෝජන යොමු කැඳවා ගත යුතු ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනාගත් ජාතික සංවර්ධන සැළසුමක් ප්‍රසිද්ධකර තිබීම
  • අත්‍යාවශ්‍ය පොදු සේවා රාජ්‍ය හිමිකාරිත්වය යටතේ කලමනාකරණය කිරීම
  • “සංස්කෘතික මිනිසකු” ලෙස ජීවත්වීම සඳහා නිදහස් කාලයක් සහිත ඊට අවශ්‍ය අවම මාසික ජාතික ජීවන වැටුපක් සහතික කිරීම

ක්ෂණික අවශ්‍යතා

01. දෛනික ජීවිතයේ වියදම තීන්දු කෙරෙන සහල්, සීනි, පරිප්පු, කිරි පිටි, වැනි ආහාර සහ ඉන්ධන, සියලු ඖෂධ වර්ග සහ අධ්‍යාපනයට අදාල සරළ අත්‍යාවශ්‍ය උපකරණ වැට් බද්දෙන් වහා නිදහස් කිරීම

02. සමෟද්ධි සහ අස්වැසුම ඒකාබද්ධ කර පවුලේ මාසික ආදායම රුපියල් 30,000 ට අඩු සියල්ලන්ට 30,000 සම්පූර්ණ කිරීමේ සහන දීමනාවක් දෙසතියකට වරක් වාරික දෙකක් ලෙස 2024 ජනවාරි සිට අවම වසරකට ලබා දීම සහ මෙම හිමිකම් ලැබිය යුතු පවුල් තේරීම ග්‍රාම සේවා වසම් අනුව, විවෘත ජන සහභාගි පිළිවෙතකට සිදු කිරීම

03. ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රයේ සහ පාඩු නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය වහා අත්හිටුවා එම ආයතන සම්බන්ධ සියලු විස්තර වහා ප්‍රසිද්ධ කිරීම

04. ජා.මූ.අරමුදල සමග අත්සන් තැබූ ගිවිසුමෙහි අංක 28 කොන්දේසිය උල්ලංඝණය කරමින් 2023 දෙසැම්බර 22 වන දින, නිකුත් කළ අංක 236/65 දරණ ගැසට් නිවේදනය වහා අහෝසි කිරීම

05. බොහෝ පාර්ශව සිය කණස්සල්ල සහ විරෝධය සටහන්කර ඇති “තනි කම්කරු නීති කෙටුම්පත” නීතිගත කිරීමේ සියලු පියවර වහා අත්හිටුවීම

මධ්‍යම කාලීන පියවර සඳහා

01. 2022 දෙසැම්බර අවසානය වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි හිඟ ආදායම් බදු, දඩ මුදල් සහ පොලී එකතුව වන රුපියල් බිලියන 904 ත් රේගු දෙපාර්තමේන්තුව අය නොකරගත් රුපියල් බිලියන 61 ක රේගු බදුත් සුරාබදු දෙපාර්තමේන්තුව නිෂ්පාදකයින්ගෙන් වසර 10 ක කාලයක් අය නොකර ගත් සමස්ථ බදු ප්‍රමාණයත් ජනවාරි 01 දා සිට පෙබරවාරි 29 දක්වා කාලය ඇතුළත පූර්ණ ලෙස අය කර ගැනීමටත් ජනවාරි 31 දක්වා ප්‍රගතිය විස්තර සහිතව සතියක් ඇතුළත ප්‍රසිද්ධ කරන ලෙසත් අදාල ආයතන වෙත පැහැදිලි නියෝග නිකුත් කිරීම

02. ඉන්ධන සහ බල ශක්ති ක්ෂේත්‍රයේ ආයතන වල 2022 සහ 2023 වාර්ෂික අයවැය සවිස්තරව ප්‍රසිද්ධ කර, පෞද්ගලික සමාගම් වෙත ලබාදී ඇති ඔවුන්ගේ සේවා සැපයීම් කොන්තරාත් තුන් මසක් ඇතුළත අහෝසි කිරීමටත් කල් පමාකර ඇති ප්‍රතිජනන බල ශක්ති ව්‍යාපෘති සය මසක් ඇතුළත සම්පූර්ණ කිරීමේ සැළසුම් වහා ඉදිරිපත් කිරීමටත් අතිරික්ත සේවක සංඛ්‍යාව සඳහා සිව් මසක් ඇතුළත විශ්‍රාම යාමට හෝ සේවයෙන් ඉවත්වීමට සාධාරණ මූල්‍ය යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රයේ සහ පාඩු නොලබන සේවා හා නිෂ්පාදන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය යළි සළකා බැලීමටත් ආණ්ඩුව වහා පියවර ගැනීම

03. සියලු පළාත් සභා සඳහා මැතිවරණ මාර්තු මාසය අවසන් වන්නට කලින් පැවැත්වීම

04. උගත් පාඩම් හා ප්‍රතිස්නධාන කොමිසම විසින් ඉදිරිපත්කර ඇති නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කිරීම සඳහා සැළසුම් පළාත් සභා විසින් ජුනි මස අවසානයට පෙර සම්මත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

05. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ස්ථාපිත කරනු ලැබූ සහ ශ්‍රී.ල.නි.ප, ම.එ.පෙ, ජාතික හෙළ උරුමය, ඊ.පී.ඩී.පිය වැනි පක්ෂ පූර්ණ එකඟත්වය ලබා දී ඇති සර්වපාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාව වහා ප්‍රසිද්ධියට පත්කර එම වාර්තාව ක්‍රියාවට දැමීම වෙනුවෙන් අවශ්‍ය පාර්ලිමේන්තු පිළිවෙත ප්‍රකාශයට පත් කිරීම

මෙතැනින් එහා යන රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ යෝජනා මේ සමග කතිකාවකට තැබිය හැකිය. මෙය අලුත් අවුරුද්ද සඳහාවන මගේ යෝජනාව වන්නේය.

Kusal perera 1

| කුසල් පෙරේරා