සැක සංකා සහිත මැතිවරණ වර්ෂයක අභිමුව සිට ...

සැක සංකා සහිත මැතිවරණ වර්ෂයක අභිමුව සිට ...

ශ්‍රී ලංකාවේ අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ වසර 2020 අගෝස්තු මස  05 වැනි දිනයේදීය. ඒ සඳහා ජන්ද හිමියන් 16,263,885 ක ප්‍රමාණයක් ජන්ද භාවිතය සඳහා සුදුසුකම් සපුරා තිබුණි. ඊට  යටත් පිරිසෙන්, 31.95% ක් වූ ප්‍රතිශතයක  තරුණ  ජන්දදායක ප්‍රජාවක්ද අනතර්ගත විය. එහෙත් අනතුරුව උදාවූ වසර තුනකට මඳක් ආසන්න කාල පරාසයේ මෙරටේ කිසිදු මැතිවරණයක් පවත්වා නැත්තේය.

එමගින් අදහස් වන්නේ ඉන් ඔබ්බට පැවැත්විය යුතු කිසිදු මැතිවරණයක් මැතිවරණ කාල සටහනේ සඳහන්ව නැති බව  නොවේ. වසර 2020න් පසුව මැතිවරණ පැවැත්වීම තමන්ගේ දේශපාලන අනාගතය අඳුරේ හෙළන්නක් බවට වන  පාලක කාරකාදීන්ගේ  පූර්ව නිගමනය ඊට හේතු විය. එවිට ඔබ පෙරළා ඇසිය හැකි ප්‍රශ්නයක් ගැන ද උපකල්පනය කළ හැකිය. එනම් එලෙස , මැතිවරණ විරහිත කාල සමයක මැතිවරණ කොමිෂන් සභාව කුමක් කරමින් සිටින්නේද යන්නයි. ඒ ඔවුන්ගේ ව්‍යවස්ථාපිත කාර්යයන් දෙකෙන් ප්‍රමුඛතම එකක් වන්නේ මැතිවරණ පැවැත්වීම වන බැවිනි.

සැබවින්ම නිශ්චිත දිනයේදීම මැතිවරණ පැවැත්වීම සඳහා අවැසි බලයක් මැතිවරණ කොමිෂන් සභාව සතුව ඇත. ඒ සඳහා ජනරජය හොබවන විධායක ජනාධිපතිවරයාගේ සහය නිතැතින්ම ඔවුන් වෙත ලැබිය යුතුය (වසර 1978 නිර්මිත මෙකී ව්‍යවස්ථාව සාකල්‍යයෙන්ම හා ඉඳුරාම විධායක ජනාධිපතිවරයා බලසම්පන්න කොට ඇත්තේ දේශපාලන හර්කියුලිස්වරයෙක් සේය).

එහෙත් එම බලය අභිබවා ක්‍රියා කිරීමේ උපක්‍රමික හැකියාවන්ද  නෛතිකවම  නැත්තේ නොවේ.නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ පවත්වන ලද 08 වැනි පාර්ලිමේන්තු මැතිවරණය සහ 09  වැනි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ගන්නා ලද කාලය පිළිබඳව විමසීමට හැකියි.ඒ අනුව ලංකාවේ 08  වැනි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ දිනය වූයේ  වසර 1977............මස  ............දිනයේදීය.   ඊට සමගාමීව 09 වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය  යුතුව තිබුණේ වසර 1982 දීය. එහෙත් ඒ වෙනුවට එවකට රට කළ පාලකයා ජනතාවට ලබා දුන්නේ ජනමත විචාරණයක්ය. එමගින් ඉල්ලන ලද ජනතා වරම වූයේ එවකට පැවති පාර්ලිමේන්තුවේ කාලය  තවත් වසර පහකට දීර්ඝ කරදෙන ලෙසය. .අදාළ ප්‍රශ්ණයට  පිළිතුරු සැපයීම සඳහා සංකේත දෙකක්ද මැතිවරණ දෙපාර්තමේන්තුව හඳුන්වා දෙනු ලැබීය. ඒ ජනමත විචාරණයට අදාළ මැතිවරණ නීතියට අනුගත වෙමිනි. ලාම්පුව සහ කලගෙඩිය කරළියට පැමිණියේ එලෙසිනි.

අවසන අපේ පුරවැසි ප්‍රජාවේ සාමාජිකයෝ තමන්ට අළුත් මහජන නියෝජිතයින් අනවශ්‍ය බවට  සඵත කොට කතිර වැස්සකින් කළගෙඩිය පිරවීමට වගබලා ගත්හ. එබැවින් 09 වැනි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ වසර 1989 පෙබරවාරි මස 15  වැනි දිනයි. එහි සැඟවුණු අර්ථය නම් කිසිදු  මන්ත්‍රීවරයෙක් අසාධ්‍ය රෝගයක් වැලදී ඔත්පල නොවූයේ නම් හෝ  මරණයට පත් නොවූයේ නම් ඔහුට  හෝ ඇයට වසර ...................ක් සහ මාස මෙන්ම දින ...................ක ප්‍රමාණයක්   පාර්ලිමේන්තුවේ  ගත කිරීමට අවස්ථාව ලැබුණු බවයි.

මෙවැනි ක්‍රමවේද පටිපාටිගත ප්‍රජාතන්ත්‍රවාදයේ  (Procedural Democracy) ආවේණික අංග බව සැබෑය. එහෙත් ජනමත විචාරණය මගින් දශකයක කාලයක් සඳහා ඡන්ද  සිතියම හැකිලූ ආකාරය සාහසිකය. එහෙත් එහි කුරිරු නිර්මාණාත්මක බවක්ද ගැබ්ව නැත්තේ නොවේ. හේතුව නම් පරමාධිපත්‍යය බලය හිමි ජනයා ලවාම , තමන්ගේ පරමාධිපත්‍යය බලය අවතක්සේරු කිරීමට සැලැස්වීම ශුර හා ඇති සටකපට පාලකයෙකු හට මිස වෙනත් අයෙකුට පහසුවෙන් කල නොහැක්කක් වීමයි .

ඊටම ඈඳිය යුතු තවත් සාධකයක් ද ඇත. එනම් පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමේ දී  අදාළ සිව් අවුරුදු කාලය ඉක්මවා ගියද පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හට තවත් වසරකින් අදාළ ආයතන කාලසීමාව දිගු කිරීමට ඇති හැකියාවයි. නිදසුනක් ලෙස මෙවර පැවැත්වීමට යෝජිත පළාත් පාලන ඡන්ද විමසීමේදී ද මෙයම  සිදුවිය. ඒ නෛතිකව ඔහුට ලැබී ඇති බලතල ප්‍රකාරවය. එහෙත් එහි අන්තර්ගත හාස්‍ය නම් එලෙස පළාත් පාලන ආයතන කාලසීමාව වසරකින් දිගු කරන්නේ කුමන කරුණු මතදැයි  අදාළ අමාත්‍යවරයා කිසිදු අනාවරණයක් නොකිරීමයි. නිවැරදි ක්‍රමය නම් අදාළ ගැසට්ටුව සමඟ ජන්ද විමසීම වසරකින් කල් දැමීමට අදාළ හේතුද දැක්වීමයි. 

එපමණක් නොවේ. දැනට තාක්‍ෂණිකව අතුරුදහන්ව ඇති පළාත් සභා ජන්ද විමසීම ගැනද ඇත්තේ අඳුරු මතකයකි. ශ්‍රී ලාංකිකයන් හට නැවත සිහි කැඳවීම සඳහා පළාත් සභා ජන්ද විමසීම කොපමණ කලකින් නොපවත්වා ඇතිදැයි දක්වන සටහනක් පහත දැක්වේ.

අදාළ පළාත් සභා නවය ඒ ඒ සභාවට  නියමිත කාලය අවසන් වූ බැවින් විසිරුණු දින වකවානු

පළාත් සභාව     විසිරුණු දිනය

උතුර - 2018 ඔක්තෝබර් 25

මධ්‍යම - 2018 ඔක්තෝබර් 08

වයඹ - 2018 ඔක්තෝබර් 10

සබරගමුව - 2018 සැප්තැම්බර් 26

නැගෙනහිර - 2018 සැප්තැම්බර් 30

උතුරුමැද - 2018 ඔක්තෝබර් 01

දකුණ - 2019 අප්‍රේල් 10

බස්නාහිර - 2019 අප්‍රේල් 21

ඌව - 2019 සැප්තැම්බර් 08

මෙවැනි පසුබිමකදී ඉදිරියේදී පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය කල් දැමිය  හැකිදැයි සැක සංකා පළ  කරන්නෝ ද බහුලය. “කණා මැදිරියාගෙන් බැට කෑ මිනිහා ගිනි පෙළෙල්ලටත් බය බව” අපේ පැරැන්නෝ පැවසූහ. එබැවින් ජනාධිපතිවරණයද පෙනී නොපෙනී තිබෙන මායාකාරී යමක් සේ දකින ඡන්දදායකයන් බහුල වීම එතරම් පුදුම විය යුතු කරුණක් නොවන්නේය. 

මෙහිලා සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත්තේය. එනම් ඡන්ද ඉල්ලන්නේ විපක්ෂය සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පමණක් යැයි නැගෙන චෝදනාවයි. එහෙත් ඒ පිළිබඳව කිවයුත්තේ යම් උද්වේගකාරී අවස්ථාවකදී හැර සාමාන්‍යයෙන් ජනතාව ඡන්ද ඉල්ලා පාරට නොබසින බවයි. එනමුත් මහජනයා නිහඬව සිටියදී පවත්වන ලද සෑම මැතිවරණයකදීම  ඔවුන් නොබියව, අනලස්ව හා ඉමහත් අභිලාෂයෙන් ඡන්ද පොළට පියමං කොට තම යුතුකම ඉටුකොට ඇත්තේය.,ශ්‍රී ලංකාව කලාපයේ අනෙක් රටවල් හා සැසදීමේ දී ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තාකොට ඇත්තේය. අවසන් වරට පවත්වා ඇති මැතිවරණ /ජන්ද විමසීම් ත්‍රිත්වයක දී වාර්තා වූ ජන්ද ප්‍රතිශත මෙපරිදිය.

පළාත් පාලන ජන්ද විමසීම 2018 - 79.94%

ජනාධිපතිවරණය 2019 - 83%

පාර්ලිමේන්තු මැතිවරණය 202-75.89%

ඊට සමගාමීව තවත් කරුණක්ද මතු කළ ය යුතුව ඇත්තේය. එවැනි සැක සංකා මැද්දේ වුවද පාලක කාරකාදීන්ද තම පරම අභිලාෂය අත් නොහැර සිටීමේ  විශ්මයජනකය උත්සහයයි. . නිදසුනක් සේ දක්වන්නේ නම් පසුගිය පළාත්පාලන ඡන්ද විමසිම කල් දැමීම උදෙසා වත්මන් ආණ්ඩුව හොබවන බලධාරීන් අත්හදා බැලූ උපාය උපක්‍රම ප්‍රමාණය 32ක් පමණ විය. යම් හෙයකින් වර්තමානයේ ක්‍රියාත්මක මැතිවරණ නීති සංශෝධන පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන්  සභාව ද ලබන වසරේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම සඳහා යොදා ගැනීමේ හැකියාවක් නැත්තේද  නොවේ (එවැන්නක් කිරීමට නම් යෝජිත නිර්දේශ මඟින් නව මැතිවරණ ක්‍රමයක් හා ඊට අනුයාත සීමා නිර්ණය ක්‍රමවේදයක් යෝජනා කොට පාර්ලිමේන්තු අනුමැතියකට යටත් කල හැකිය. අනතුරුව එළඹෙන නෛතික හා ව්‍යවස්ථාපිත අභියෝග විසඳා ගත හැකිනම් පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම වැනි අවරගණයේ උත්සහයක් ගැනීමට වුව අපගේ පාලකයන් පෙළඹිය හැකිය). එසේ වුවහොත්  එය එකී මැතිවරණය කල්දැමීම සඳහා භාවිතා කරන පළමු උපක්‍රමය විය හැක්කේය. කෙසේ වෙතත් අප සර්ව ශුභවාදීව සිතන්නේ නම් පසුබිම මෙපරිදිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නියමය හෙවත් ඡන්ද දැන්වීම  නිකුත් කිරීම මැතිවරණ කොමිෂන් සභාවට භාරය. ජාතික ව්‍යසනයක් හෝ වෙනත් බාහිර පරසතුරු උපද්‍රවයක් නැතිනම් ජනාධිපතිවරණයට දින නියම කිරීම ඔවුන් විසින්  කලයුතුමය.

එහිදී සළකා බැලිය යුතු නිර්ණායකයක් ද අපගේ දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියා ඇත්තේය. එනම් 31.3  ව්‍යවස්ථාව කියා ඇත්තේ ජනාධිපතිවරයා මාසයට නො අඩු එහෙත් දෙමසකට නොවැඩි කාලයක් තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීම කළ යුතු බවය. එනම් යටත් පිරිසෙන් වසර 2024  සැප්තැම්බර් මස 04  වැනි දිනට පෙර හෝ පෙර කී නිවේදනය නිකුත් කළ යුතු වන්නේය.

එවැනි නියමයක් ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව දින 10 කට නොඅඩු සහ දින 21 කට නොවැඩී කාලසීමාවක් තුළ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම කළ යුතුය.ඊට සමගාමීව නාම යෝජනා භාර ගන්නා ස්ථානය ද දැනුම් දීම සිදුවේ.එලෙස නාමයෝජනා ලබා ගැනීමෙන් අනතුරුව සති හතරකට (04) නොඅඩු සහ සති හයකට (06) නොවැඩි කාලසීමාවක් තුළ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කිරීම සිදු කළ යුතුය. එය මැතිවරණ කොමිෂන් සභාව සතු ව්‍යවස්ථාපිත බැඳීමයි.

පුර පසළොස්වක් පොහෝ දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක් ජනාධිපතිවරණය පැවැත්වීමට තෝරා ගැනීමටද වගබලා ගත යුත්තේය.  එහෙත් ජනාධිපතිවරණය සඳහා දින ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රජය එම දිනය යම් රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කළහොත් කුමක්‌ කළ යුතුද? එවැනි අවස්ථාවක දී එවැන්නක් නොසලකා නියම කරගත් දිනට ම මැතිවරණය පැවැත්වීමරට මැතිවරණ කොමිෂන් සභාවට  හැකිය.

කෙසේ වෙතත් මෙතෙක් 08  වතාවක් (අවස්ථා දෙක බැගින් ජනාධිපති ධූරයේ  කටයුතු කළ ජනාධිපතිවරුන්ද ඇතුළත්ව) විධායක ජනාධිපති ධුරයේ රැඳුණු  විධායක ජනාධිපතිවරුන් අභ්‍යාස කරන ලද එක් වරප්‍රසාදයක් වත්මන් ජනාධිපතිවරයාට අභ්‍යාස කල නොහැකිය. එම   ධූරයේ රැඳුනු   ඩී.බී විජේතුංග  මහතාට ද එම බලය අභ්‍යාස කිරීමේ අවසථාවක් නොතිබුණි .

එනම්  තමන්ට අභිමත දිනෙක ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අභිලාෂය දැනුම් දීමයි.  හේතුව විජේතුංහ  මෙන්ම වික්‍රමසිංහ යන දෙදෙනාම අනුප්‍රාප්තික ජනපතිවරුන් වීමයි (Succeeding Presidents) එතෙක් ජනාධිපති ධූරය දැරූ ජනාධිපතිවරුන් දෙදෙනාගේ ඉතිරි කාලය එනම් වසර 05 ක කාල සීමාව සම්පුර්ණ කිරීම ඔවුන් දෙදෙනා සතු මූලික කාර්යයයි. ඩී.බී. විජේතුංග  මහතා  හට එම අවස්ථාව උදා වූයේ එවකට විධායකය හෙබවූ රණසිංහ ප්‍රේමදාස මහතා අකල්හි ඝාතනයට ලක්වීමෙනි. වත්මන් ජනාධිපතිවරයා හට එම වාසනාව උද වූයේ ' මහජන අරගලය' මඟින් ජනිත කල ප්‍රතිවිරෝධයට (Resilience) ඔරොත්තු දීමට නොහැකිව තම ධූරය අතහැර යෑමෙනි.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31,3 ඉ 40,1 අ යන අනු ව්‍යවස්ථා දෙක එක විට කියවා ගැනීමෙන් ඉහත ප්‍රකාශිත කරුණ පැහැදිලි කරගත හැකිය.එහෙත් මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අප භීතියට පත් කරන යමක්ද ඇත්තේය.එනම් පසුගිය පෙබරවාරි මස 05 වැනි දින පැවැති කැබිනට් රැස්වීමේ ගත් තීරණ කිහිපයක්ය. එකී තීරණ මෙලෙස සාරාංශගත කළ හැකිය.

                          01. ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම බිලියන  10ක මුදල් සීමාවේ සිට ච/විධානය කළ යුතු වීම.

                         02.දැනට යෝජිතව ඇති පළාත් පාලන ඡන්ද විමසීම පවත්වනු ඇත්තේ වසර 2025 යැයි දැක්වීම (එයද වර්තමානයේ ක්‍රියාත්මක මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුවය)

මෙකී කරුණු ගැන අපගේ අදහස සාරාංශගතව දක්වන්නේ නම් මෙපරිදිය.

පළමුවැන්න නම් මැතිවරණ සඳහා වැයවන මුදල අඩුකිරීම හැමවිටම යහපත් ක්‍රියාවකි. එහෙත් කැබිනට්ටුව එලෙස කියන විට අප  නිති  තැති ගන්නවන්නේය. හේතුව මුදල් නැතැයි කියා ඡන්ද කල් දමන රටක අපි දිවි ගෙවීමයි.

දෙවැන්න නම් ඡන්දය පැවැත්වීම ගැන හෝ නොපැවැත්වීම ගැන කැබිනට්ටුවේ කතා කිරීම ගැන කිසිදු ගැටලුවක් නැත.එය ඔවුන්ගේ අයිතියයි.  එහෙත් සැබැවින්ම එවැනි තීරණයක් ගතයුත්තේ පාර්ලිමේන්තුව මිසක් වෙන අන් කවර ස්ථානයක් හෝ නොවේ. දේශපාලන නායකයන් සහ පාර්ලිමේන්තුව සතු බලය එක් දේශපාලන පක්‍ෂයක් හෝ දෙකක් නියෝජනය කරන ඇමතිවරුන් පිරිසක් මහදවල් උදුරා ගැනීමේ භයංකාර උත්සාහය පැරදවීමද අප  සතු වගකීමක් බවට පත්ව ඇත්තේය. එසේ නැත්නම් අපගේ පැරැන්නන් කියූ ලෙසම කැබිනට්ටුව “ලබ්බට තැබූ අත  පුහුලට ද තබනු ඇත්තේය.”

manjula gajanayake 1

| මංජුල ගජනායක