කාන්තාව වනාහි මිහිපිට ඇති ශක්තිමත්ම මානව වස්තුවයි. ස්ත්‍රියක් තම උත්පත්තියේ සිට විවිධ භූමිකාවන් දරමින් එකම සිරුරක් තුළ චරිත කිහිපයක් ජීවමාන කරනු ඇත. දියණියක, මවක, බිරිදක, සොයුරියක, මිත්තණියක, ව්‍යවසායිකාවක, සේවිකාවක ආදි වශයෙන් විවිධ වූ අවස්ථාවන් ජිවිතය තුළ දරමින් දැයක් තනන්නට එළිය දෙනු ඇත.
ලෝකයේ පැවැත්ම තීරණය වනුයේ “හිරුගේ රැසිනුත්, මවගේ කිරිවලිනුත්” බව මැක්සිම් ගෝර්කි තම “අම්මා” කෘතියේ සඳහන් කිරීමෙන් පැහැදිලි වනුයේ මවකගේ වරුණ පමණක් නොව සමස්ත කාන්තාවගේ ජීවමාන ශක්තියයි. බිළිදියක් ලෙස කිරි සිනාවෙන් නිවසක් එළිය කරමින් තරුණියක් වී ලෝකය සුන්දර කරන්නේ ය. බිරිඳක ලෙස කුටුම්බයක් රකින ඇය ස්ත්‍රියක ලෙස දේශයක් ගොඩනඟනු ඇත. එනිසාම මෙලොව ජීවනාලිය නම් කාන්තාවයි.
කාන්තාව නිර්වචනයට ශක්තිමත් නිර්වචනයක් මෙයයි කීම අසීරු ය. මන්ද යත් ඒ නිර්වචන පරයා කාන්තාවකගේ ශක්තිය ඉස්මතු වන අවස්ථා ලෝකයේ කාන්තා චරිතවලින් එදත් අදත් හමු වී ඇති අතර එය හෙටත් එසේම වනු ඇත. මේ හා සවිමත් කාන්තාව සැමරිය යුතු ය. ඒ වෙනුවෙන් ම ජාත්‍යන්තර වශයෙන් කාන්තාව සැමරීමේ දිනය ලෙස සෑම වසරකම මාර්තු මස 08 වැනිදා ප්‍රකාශයට පත් කොට වෙන් කර තිබේ. ඒ අනුව අද ලෝකයේ රටවල කාන්තා දිනය ලෙස කාන්තාව සමරනු ඇත.
කාන්තා දිනය සැමරීම අද බව බොහෝ දෙනෙකු දැනසිටිය ද එහි අතීතය හා ආරම්භ වූයේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට අවබෝධයක් හා දැනුවත්භාවයක් නොමැත. එනිසා මාර්තු 8 වනදා ජාත්‍යන්තරව පිලිගත් කාන්තා දිනය බවට පත් වූයේ කෙසේ දැයි සොයා බැලීම වැදගත් ය.
කාන්තා දිනය ලොව පුරා සමරනු ලබන්නේ කාන්තාවන් උදාකරගත් ජයග්‍රහණයන් වෙනුවෙන් ගෞරව කිරීමේ හා කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි. 20 වැනි සියවසටත් පෙර සිට මෙම කාන්තා දිනය සැමරීම සිදු කර තිබුණත් එය ඒතරම් ප්‍රසිද්ධ කරුණක් නොවී ය.
1909 වර්ෂයෙ දි ප්‍රථම වතාවට කාන්තා දිනයක් සමරා ඇත්තේ ඇමරිකාවේදීය. මෙම සැමරුමට පෙර 1908 දී නිව්යොර්ක්හි පැවති වැඩවර්ජනයකදී කාන්තාවන් 15,000ක් පමණ එක්ව ඡන්ද අයිතිය ඉල්ලා සිටීම, ඔවුන්ගේ වැඩ කරන පැය ගණන අඩු කරන ලෙස හා වැටුප් වැඩි කරන ලෙස උද්ඝෝෂණ කර ඇත. ඒ අනුව කාන්තාවන් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබේ. ඉන් අනතුරුව 1910දි කාන්තා දිනයක් සමරා ඇත. එය ඉන්පසු ලොව පුරා අවධානයට ලක් වූ කාරණයක් විය.
1910 දි කෝපන්හේගන්වල “ජාත්‍යන්තර වැඩ කරන කාන්තාවන්ගේ සමුළුවක්” පැවැති අතර එම සමුළුවේදී ක්ලාරා සෙට්කීන් (Clara Zetkin) නම් ජර්මන් ජාතික සමාජවාදීනිය පවසා ඇත්තේ කාන්තාවන් සැමරීමට, කාන්තා අයිතීන් ප්‍රවර්ධනය කිරීමට කාන්තා දිනයක් පැවැත්විය යුතු බවයි.
ඇයගේ එම යෝජනාව 1910 දි සම්මත වන අතර 1911 වර්ෂයේ මාර්තු 19 වැනි දා ජාත්‍යන්තර වශයෙන් කාන්තා දිනයක් සමරා ඇත. එම සැමරුමට ජර්මානු, ඩෙන්මාර්ක, ස්විස්ටර්ලන්ත කාන්තාවන් මිලියන ගනණක් සහභාගි වූ බව ද වාර්තා අනුව සඳහන් වේ.අනතුරුව 1977 වර්ෂයේදි එක්සත් ජාතින්ගේ මහ සම්මේලනයේ දි ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලෙස ඔවුන් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින ලදි. මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ස්ථිරව පිළිගැණුනේ ඉන්පසුව ය. එතැන් පටන් විවිධ ජාත්‍යන්තර තේමාවක් පදනම් කරගෙන කාන්තා දිනය සමරනු ලබයි. ඒ අනුව මෙවර 2026 ජාත්‍යන්තර කාන්තා දින ගෝලීය තේමාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ "Right, Justice, Action for All Women and Girls" (සියලූම කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය) යන්නයි.
ශ්‍රී ලංකාවේ ද සෑම වර්ෂයකම කාන්තා දිනය මාර්තු මස 08 වන දින සමරනු ලබයි. එසේ ශ්‍රී ලංකාව තුළ කාන්තා දිනය සැමරීම ප්‍රථම වතාවට ආරම්භ කරනු ලබන්නේ 1978 වර්ෂයේදී ය. එතැන් සිට මේ දක්වා සුවිශේෂී වූ තේමාවන් යටතේ එය සමරනු ලබයි.
මෙවර ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා දිනයේ සැමරීම මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ රුහුණු විශ්ව විද්‍යාලීය රවිද්‍රනාත් තාගෝර් ශාලාව හා මාතර වෙරළ උද්‍යාන පරිසරයේදී ය. 2026 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමේ ප්‍රධාන අරමුණ වන්නේ කාන්තාවන් සතු සමාජ, දේශපාලනික හා ආර්ථික අයිතිවාසිකම් තහවුරු කරමින් ඔවුන් වඩාත් සක්‍රීය ලෙස රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම යන්නයි.
සාම්ප්‍රදායිකව කාන්තාව වටා බැඳ තිබු පවුරු බිඳමින් අද වන විට ලෝකයේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් කාන්තාවන්ගේ මැදිහත්වීම දැක ගත හැකි ය. ස්ත්‍රියකට නොහැකි පුරුෂයන්ට පමණක් හැකි යයි කියු බොහෝ දේ පවා ජයගැනීමට කාන්තාවට අවකාශය ගොඩනැඟී ඇත. මහ පොළොව පමණක් නොව ගුවන ජයගන්නට තරම් කාන්තාවෝ සමත් වි ඇත. ඒ් වෙනුවෙන් ලෝකයේ පමණක් නොව මේ රට තුළ ද ජීවමාන සාක්ෂි ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක ලොව ප්‍රථම කාන්තා අගමැතිණිය ලෙසත්, සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් සහ ලෝක ශූරතා පදක්කම් දිනු ප්‍රථම ආසියාතික කාන්තාව ලෙසත්, කපිතාන් මේනකා ප්‍රනාන්දු ප්‍රථම සිවිල් ගුවන් නියමුවරිය ලෙසත්, එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ජයන්ති කුරුඋතුම්පාල ත් ඉතිහාසයට එක් වනු ඇත. කාන්තාවකගේ ශක්තියට, වටිනාකමට හා හැකියාවට මේ නිදසුන් කිහිපයක් පමණි.
කාන්තාව සතුව කොතරම් ශක්තියක්, හැකියාවක්, බුද්ධියක් තිබුණ ද සමහර පුරුෂයන්ට හා සමහර සමාජවලදි අදටත් ඇය පුරුෂාධිපත්‍ය යටතේ සිටිය යුතු, නිවෙසේ මුළුතැන්ගෙට පමණක් සීමා වූ සාමාන්‍ය ගැහැණියක් පමණි. මෙරට 51% තරම් වන මෙරට කාන්තා ජනග්‍රහණයෙන්, 36% ක ශ්‍රම බලකායකට කාන්තාවන් හිමිකම් කියන අතර දළ දේශිය නිෂ්පාදිතයෙන් 22%කට සෘජුවම දායක වන්නේ කාන්තාවන් ය. නමුත් සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික හිංසන ඇතුළු කවරාකාරයේ හෝ හිංසනයකට ලක් වේ. මේ සියළු දේ දරාගනිමින් පවුල මෙන් ම සමාජ දේහය ද රැක ගන්නා කාන්තාවෝ දැයට අභිමානයක්. බිලියන 4.09ක් තරම් වූ ලෝක කාන්තා ජනග්‍රහණයේ සෑම කාන්තාවක් ම සුන්දර තැනැත්තියක්. නමුත් ඇතැම් කාන්තාවන්ට ඒ් සුන්දර බව අහිමි ය. ඇතැමුන් ඇය ඒ්කී සුන්දර ජීවිතය අහිමි කර ඇත. එබැවින් ලොව සෑම කාන්තාවක් ම රැකගත යුතු ය. ලොව පැවැත්මේ තීරණාත්මක මානව වස්තුව වන කාන්තාව සැමරීම ඇයට ගෞරවයක්, අභිමානයක්. නමුදු එය එක් දිනකට පමණක් සීමා විය යුත්තක් ද නොවේ.

| නිර්මලා දිසානායක

