ළමා අපයෝජනය සහ ආගමික සංස්ථාවේ ලිංගික අයිතිවාසිකම්

child-abuse

ශ්‍රී ලංකාවේ බෞද්ධ සංඝ සංස්ථාව ආගමික ආයතනයක් පමණක් නොවේ. එය රාජ්‍යය, ජාතිය, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ අදහස් නිෂ්පාදනය කරන ප්‍රබල දේශපාලන-සමාජීය බලවේගයකි. රාජ්‍යත්වය අර්ථ දැක්වීමේ සිට ගිහි බෞද්ධයාගේ දෛනික ජීවිතයේ චාරිත්‍රානුකූල හැසිරීම් පාලනය කිරීම දක්වා සේම බෞද්ධ නොවන ජනතාවගේ සමාජීය, සංස්කෘතික අයිතීන් අර්ථ දැක්වීම කෙරෙහිද සංඝ සංස්ථාව සහ බෞද්ධ ආගමික ආධිපත්‍යය විශාල බලපෑමක් සිදු කරයි. එම නිසාම, පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලනඥයන් පාහේ සංඝ බලවේගය සමඟ ගැටීමෙන් වැළකීමට උත්සාහ කරති. බෞද්ධ බහුතරයක් වෙසෙන සමාජයක එය දේශපාලනිකව වංචනික යථාර්ථවාදී  හැසිරීමකි.

නමුත් මෙම සම්බන්ධතාවය තුළ පවතින ගැඹුරු පරස්පරයක් ඇත. එක් අතකින් භික්ෂූන් වහන්සේලා සාමාන්‍ය මනුෂ්‍යයන් නොව, අධ්‍යාත්මික වශයෙන් උසස් පිරිසක් ලෙස සමාජය විසින් ඉදිරිපත් කරනු ලැබේ. අනෙක් අතට, ඔවුන් ද මනුෂ්‍ය ජීවිතයක් ගත කරන, ආශාවන්, දුර්වලතා සහ සීමාවන් සහිත පුද්ගලයන් බව පිළිගැනීමට සමාජය බොහෝ විට මැලි වේ. ඒ නිසාම භික්ෂුවක් ලිංගික සම්බන්ධතාවයක නිරත වූ බවට හෝ විනය උල්ලංඝනයක් කළ බවට තොරතුරක් පළ වූ විට එය ආගමික සංවේදීතාවට පමණක් නොව, සමාජීය කෝපයකට ද හේතු වෙයි. දෛනිකව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ගිහියන් විසින් දණ්ඩනයට සහ ප්‍රසිද්ධ ගැරහුමට ලක්වන පැවිදි පිරිස ඉහළ යමින් තිබේ. දායකයාගේ වන්දනයට භාජනය වන භික්ෂූන් හෝ පූජකයන් ආගමේ සදාචාරයට පටහැනි ව ලිංගික සේවනය කිරීම හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ආදි චෝදනා මත ඔවුන්ගේ උදහසට ලක්වන අවස්ථා එමටය.

මෙහිදී වැදගත්ම දේ වන්නේ එකිනෙකට වෙනස් සංසිද්ධීන් දෙකක් එකිනෙකට පටලවා නොගැනීමයි. වැඩිහිටියන් අතර අන්‍යෝන්‍ය එකඟතාව මත සිදුවන ලිංගික සම්බන්ධතාවයක් යනු පළමු කාරණයයි. දෙවනුව, ළමයින් හෝ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සම්බන්ධ ලිංගික අපයෝජනය සම්පූර්ණයෙන්ම වෙනස්, දණ්ඩනීය නීතියට හසුවිය යුතු දෙයකි. පළමුවැන්න ආගමික විනය සහ පුද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් විය හැකි නමුත්, දෙවැන්න බරපතල අපරාධයකි. එය මානව හිමිකම් උල්ලංඝනයක් වන අතර නීතිය ඉදිරියේ දැඩි වගවීමකට ලක් විය යුතු තත්වයකි. ගෙවී ගිය සතිය දෙස බැලුවත් ආගමික ආයතන තුළ දරූවන් අපයෝජනය පිළිබඳ බොහෝ පුවත් වාර්තා වී ඇත. එය අතිශය බරපතල තත්වයකි.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ මහජන සංවාදය තුළ ඉහත සංසිද්ධීන් ද්වය අතර වෙනස බොහෝ විට මැකී යයි. ඇතැම් අවස්ථාවලදී, වැඩිහිටියන් අතර සිදු වූ බව කියන ලිංගික සම්බන්ධතා හේතුවෙන් භික්ෂූන්ට පහර දීම, ඔවුන්ව ප්‍රසිද්ධියේ අපහාසයට ලක් කිරීම හෝ සමාජීය වශයෙන් නීන්දාවට ලක් කිරීම දක්නට ලැබේ. එවැනි ක්‍රියාවන් නීතියේ ආධිපත්‍යයට පටහැනි ය.

භික්ෂුවක් වුවත්, පූජකයෙකු වුවත්, ඔහුට හෝ ඇයට හිමි මූලික මනුෂ්‍ය අයිතිවාසිකම් අහිමි නොවේ. ආගම කුමක් පැවසුවත්, වැඩිහිටියෙකුට තම ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ තීරණ ගැනීමේ අයිතියක් තිබේ. ආගමික සංවිධානයක සාමාජිකයෙකු වීම එම පුද්ගලයාගේ මනුෂ්‍යත්වය අහෝසි නොකරයි. එම නිසා විනය කඩ කිරීමක් ආගමික ව විවේචනය කළ හැකි වුවද, එය හිංසනයට ලක්වීමට හෝ මානව හිමිකම් උල්ලංඝනයට සාධාරණ හේතුවක් නොවේ.

එහෙත් මෙහිදී තවත් පරස්පරයක් මතු වෙයි. වැඩිහිටියන් අතර සිදුවන ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් අතිශය සදාචාරාත්මක භාවයක් පළ කරන සමාජයම, ළමා අපයෝජන චෝදනා හෝ බලය භාවිතා කර සිදුකරන ලිංගික සූරාකෑම් සම්බන්ධයෙන් බොහෝ විට තෝරාගත් නිහඬතාවයක් පවත්වාගෙන යයි. ආගමික ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීමේ නාමයෙන් චෝදනා යටපත් කිරීමට හෝ වගවීම ප්‍රමාද කිරීමට ද උත්සාහ දරයි. මෙය සදාචාරය නොව, සදාචාරයේ දේශපාලනයයි. වර්තමාන ජාතිවාදී විපක්ෂය අනුගමනය කරන පිළිවෙත ද මෙයට සමානය.

පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ සිද්ධිය මෙම පසුබිම තුළ කියවිය යුතුය. නඩු විභාගයකට පෙර කිසිවෙකු වරදකරු යැයි ප්‍රකාශ කළ නොහැකි වුවද, බරපතල චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය. එවැනි අවස්ථාවල ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ යුත්තේ පුද්ගලයන්ට ඇති ආගමික හෝ දේශපාලන බලපෑම නොසලකා ය.

මෙහිදී විශේෂයෙන් අවධානයට ලක් වන්නේ විපක්ෂයේ හැසිරීමයි. වත්මන් ආණ්ඩුවේ සෑම ප්‍රශ්නයක්ම දේශපාලන ආයුධයක් බවට පත් කිරීමට උත්සාහ කරන දේශපාලන පක්ෂ සහ නායකයන්, සංඝ සංස්ථාව හා සම්බන්ධ සංවේදී චෝදනා ඉදිරියේ බොහෝ විට නිහඬ වෙති. එම නිහඬතාවය නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොව, ආගමික ඡන්ද පදනම් අහිමි කර ගැනීමේ භීතිය සමඟ බැඳී ඇති දේශපාලන ගණනය කිරීමක් ලෙස බැලූමට පෙනේ. ආගමික බලය ඉදිරියේ දේශපාලන ධෛර්යය අතුරුදන් වන විට, වගවීම පිළිබඳ ඉල්ලීම ද බොහෝ විට අතුරුදන් වෙයි.

අවසානයේ, පරිණත සමාජයක් විසින් ආරක්ෂා කළ යුතු සදාචාරාත්මක කොන්දේසි දෙකකි. පළමුව, වැඩිහිටියන්ගේ අන්‍යෝන්‍ය එකඟතාව මත සිදුවන ලිංගික සම්බන්ධතා හේතුවෙන් කිසිවෙකුට හිංසනයක් හෝ සමාජීය දඩුවමක් පැනවිය නොහැකි බවත්, එය පුද්ගල නිදහස හා සදාචාර කලාපය තුළ පමණක් හදුනාගත යුතු දෙයක් බවයි. දෙවනුව, ළමයින්ට එරෙහි අපයෝජන, බලය භාවිත කර සිදුකරන ලිංගික සූරාකෑම් සහ වෙනත් අපරාධ කිසිදු ආගමික හෝ දේශපාලන ආරක්ෂාවකට යටත් නොවිය යුතු බවයි.

මෙම තත්වයන් අතර වෙනස හඳුනාගත නොහැකි සමාජයක් අවසානයේ කරන්නේ, එකඟතාව මත සිදුවන ලිංගිකත්වය දඩයම් කිරීමත්, සැබෑ අපයෝජකයන් වගවීමට ලක්වීම වලක්වා අවධානය වෙනතකට යොමු කිරීමත් පමණි. ඒ තත්ත්වය ශාසනය ආරක්ෂා කිරීමක් නොව, ශාසනය, නීතිය සහ මනුෂ්‍යත්වය යන සියල්ලම එකවර දුර්වල කිරීමක් ලෙසද අවබෝධ කර ගත හැකි ය.

| ආචාර්ය අතුලසිරි සමරකෝන්

(මුහුණ පොතින්)