ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සම්බන්ධයෙන් 2023 දී ඇඩ්වකාටා ආයතනය විශේෂ විමර්ශනයක් සිදුකරන ලදී. එහි දී තේ කර්මාන්තයේ නිෂ්පාදන සාධක, ශ්‍රම වෙළෙඳපොළ, තේ වෙළෙඳපොළ තත්ත්වය සහ ඉඩම් සම්බන්ධ තත්ත්වය අධ්‍යයනය කරන ලදී. මෙහි දී වැඩි දුරටත් තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ අලුත් වෙළෙඳපොළ ප්‍රවේශ සම්බන්ධයෙන් සොයා බැලීමට ද ඇඩ්වකාටා පියවර ගත්තේය.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය දෙස අවධානය යොමු කරන විට පෙනී යන්නේ ‘කළු තේ’ කිලෝ ග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමට වැඩිම පිරිවැයක් දරන රට වන්නේ ශ්‍රී ලංකාව බවයි. එහි අදහස වන්නේ ගෝලීය වෙළෙඳපොළට කළු තේ අපනයනය කරන ඉන්දියාව, කෙන්යාව වැනි රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වියදම ඉහළ බවයි.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන පිරිවැය ඉහළ අගයක පැවතීමට ප්‍රධාන හේතුව වන්නේ තේ නිෂ්පාදනයට සම්බන්ධ ශ්‍රමිකයින්ට ගෙවන වැටුප සෙසු තරඟකාරී රටවලට සාපේක්ෂව ඉහළ අගයක් ගැනීමය. තේ කර්මාන්තය තුළ ශ්‍රමික වියදම නිෂ්පාදන පිරිවැයෙන් 70-80%ක් අතර කොටසකට හිමිකම් කියන අතර, එහි අදහස වන්නේ තේ නිෂ්පාදනයට සම්බන්ධ වන ශ්‍රමිකයින්ට සමස්ත නිෂ්පාදන වියදමින් 70-80%ක් පමණ වැටුප් වශයෙන් ගෙවන බවය.
ඉහළම වැටුප අපේ
මෙහි දී තවත් වැදගත් කරුණක් සඳහන් කළ යුතුය. ‘නෙළන දළු කිලෝවකට’ වැඩිම මුදලක් ගෙවන රට වන්නේ ද ශ්‍රී ලංකාවය. ඉන්දියාව සහ කෙන්යාව සමඟ මේ මුදල සැසදීමක් කළහොත් එය 200%ක හෝ 300%ක පමණ පරතරයක් වේ.
මෙහි හානිකර ප්‍රතිවිපාකය වන්නේ නෙළන ලද දළු කිලෝවකට හෝ කම්කරු ශ්‍රමය වෙනුවෙන් ඉහළම මිලක් ගෙවන රට ශ්‍රී ලංකාව වුව ද ශ්‍රම ඵලදායීතාවය අඩුම රට වන්නේ ද ශ්‍රී ලංකාවය. උදාහරණයක් ලෙස ලංකාවේ කම්කරුවෙකු දිනකට තේ දළු කිලෝ 18ක් පමණ නෙළන නමුත් කෙන්යාවේ තේ දළු නෙළන කම්කරුවෙකු දිනකට තේ දළු කිලෝ 60ක් පමණ නෙළනු ලබන්නේය. ඉන්දියාවේ තත්ත්වය කෙන්යාවේ තරම් නොවුණ ද ඉන්දීය කම්කරුවෙකු දිනකට තේ දළු කිලෝ 40ක් හෝ 50ක් කඩන බව වාර්තා වේ.
මෙම තත්ත්වය ලංකාවේ වත්මන් කම්කරු නීතියට හේතු වී තිබේ. වත්මන් නීතිය අනුව තේ දළ කිලෝ 18ක් කඩනු ලබන කම්කරුවෙකුට දෛනික වැටුප ලෙස රුපියල් 1750ක් හිමිවේ.

| ආචාර්ය සුදාරක ආරියරත්න
පොදුවේ සලකා බලන විට ලංකාවේ තේ කිලෝවක නිෂ්පාදන වියදම ඉතා ඉහළ අගයක පැවතීමට සහ ශ්‍රම ඵලදායීතාවය අඩු වීමට බලපාන ප්‍රධාන කරුණ වන්නේ කම්කරු වැටුප් සම්බන්ධයෙන් පවතින නීතිය. ලංකාවේ පවතින්නේ පැමිණීම අනුව අවම වැටුපක් ගෙවන ක්‍රමයකි. එහි අදහස වන්නේ වතු කම්කරුවෙකු සේවයට පැමිණ දළු කිලෝ 18ක් කඩනු ලැබුවොත් අදාළ දිනයේ දෛනික වැටුප ඔහුට හිමිවන බවය. මෙම පසුබිම තුළ සේවක අභිප්‍රේරණයක් සිදු නොවන අතර ‘වැඩිපුර’ වැඩ කිරීමට ඔවුන් උනන්දු කිරීමක් සිදු නොවේ.
ලංකාවේ වතු කම්කරු වැටුප තීරණය කරනු ලබන්නේ වතු කම්කරු වෘත්තීය සමිති සහ ආණ්ඩුවේ මැදිහත් වීමෙනි. මෙහි අරමුණ වන්නේ නිෂ්පාදන ඵලදායීතාවය වැඩි කිරීම නොව වතු කම්කරුවන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමය. මෙම ගණනය කිරීම් අනුව ඔවුන්ට මාසිකව අවම වැටුපක් හිමිවන නමුත් එය ඔවුන්ට ද වාසිදායක යැයි සිතිය නොහැකිය. ඊට හේතුව වන්නේ වතු කම්කරුවන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති අවස්ථාව මේ හරහා අහිමි වීමය.
සතුටක් නැති රැකියාවක්
මෙහි ඇති ප්‍රධාන ගැටලුව වන්නේ මෙම වතු කම්කරුවන් දළු නෙළන ආකාරය නිරීක්ෂණය කිරීමට තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ද සේවයේ යෙදවීමට සිදුවීමය (කංකානි). මේ වැඩ පරීක්ෂක කංකානිවරුන්ගෙන් වතු කම්කරුවන්ට දැඩි පීඩනයක් එල්ල වන අතර, එය ද ඔවුන්ගේ ඵලදායීතාවය හීන වීමට හේතුවක් වේ. එසේම එය ඔවුන්ගේ සේවා තෘප්තිය පහළ හෙළීමට හේතු වන අතර එය යළිත් ඔවුන්ගේ ඵලදායීතාව හීන කිරීමට හේතුවක් වේ.
මේ සේවක අතෘප්තිය පෙන්වන පැහැදිලි උදාහරණයක් වන්නේ වතු රැකියාවෙන් ඉවත් වී වෙනත් රැකියාවලට යොමු වන වතු කම්කරුවන් පිරිස වේගයෙන් වර්ධනය වීම ය. මේ තත්ත්වය සංඛ්‍යාත්මකව පැහැදිලි කළ හොත් 2000 වර්ෂයේ දී වතු කම්කරු රැකියාවේ නිරත වූ පුද්ගලයින්ගෙන් 1/3ක් මේ වන විට සිය රැකියාවෙන් ඉවත් වීම වෙනත් රැකියා වලට යොමු වී ඇත.
රැකියාවේ අතෘප්තිය වතු කම්කරුවන්ට පමණක් අදාළ වූ ගැටලුවක් නොවේ. තේ වතු හිමියන් ද අතෘප්තියෙන් පසු වන අතර එය ද තේ කර්මාන්තයේ උන්නතියට බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ.
මෙම ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දීමට අදාළ පාර්ශ්ව කඩිනමින් අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් සේවක – සේව්‍ය දෙපාර්ශ්වයම අතෘප්තියට පත්ව සිටීමේ ගැටලුව වහාම විසඳා ගැනීමට පියවර ගත යුතුය.
විසඳුම්
මේ ගැටලුවට තේ පර්යේෂණායතනය ද විවිධ විසඳුම් ඉදිරිපත් කර ඇති අතර ඇතැම් වතු සමාගම් ද විවිධ පියවර ගෙන ඇත. ඒ අතර වඩාත් තිරසාර විසඳුමක් වන්නේ ‘තේ ආදායම දෙපාර්ශ්වය අතර බෙදා ගැනීමට’ පියවර ගැනීම හෝ එවැනි ප්‍රවේශයක් වෙත යාමය. වතු කම්කරුවන් ‘කුඩා තේ වතු හිමියන්’ බවට පත් කරන මෙම සංකල්පය අනුව වත්තේ යම්කිසි බිම් කොටසක් වතු කම්කරුවාට පවරා දීම සිදුවේ. අදාළ ඉඩමේ තේ වගාව නඩත්තු කර ගෙන පවත්වා ගෙන යාම ඔහුගේ වගකීමක් බවට පත් වන අතර තේ දළු නෙළීමේ වගකීම ද ඔහුට පැවරේ.
මෙහි දී වතු කම්කරුවාට දෛනික හෝ මාසික වැටුපක් ගෙවීම වෙනුවට මාසිකව ඔහු සපයන තේ දළු ප්‍රමාණය අනුව ගෙවීම් කිරීමක් සිදුවේ. මෙම තේ දළු වෙන්දේසියේ දී අලෙවි කිරීමෙන් ලැබෙන ආදායමෙන් යම් කිසි ප්‍රතිශතයක් වතු කම්කරුවාට හිමි වන ආකාරයට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
ධනාත්මක බලපෑම
මෙය අංශ කිහිපයකින්ම ධනාත්මකය. විශේෂයෙන් මෙම සංකල්පයේ දී වතු කම්කරුවාට ගෙවනු ලබන්නේ දෛනික හෝ මාසික වැටුපත් නොවන දළු වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් යම්කිසි ප්‍රතිශතයකි. එය ඍජුව වගාවේ ඵලදායීතාවය සමඟ සම්බන්ධ වේ. ඒ අනුව තමන්ගේ තේ කට්ටියේ ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම තුළින් වැඩි දළු ප්‍රමාණයක් නෙළා ගැනීමට හා එතුළින් වැඩි ආදායමක් ලබා ගැනීමට වතු කම්කරුවාට අවස්ථාව උදා වේ. මෙය වැටුපක් ලබා ගැනීමට වඩා පැහැදිලිවම ඔහුව ධෛර්යමත් කරන පියවරක් ලෙස සැලකිය හැකිය.
තේ කර්මාන්තය සම්බන්ධයෙන් ඇඩ්වකාටා කළ සමීක්ෂණයේ දී ඉහත ආකෘතිය ක්‍රියාත්මක කළ වතු කිහිපයක් නිරීක්ෂණය කළ අතර එහි දී හඳුනා ගත්තේ වැටුප් ලබනවාට වඩා වැඩි ආදායමක් වත්තේ කොටස්කරුවෙක් වීම තුළින් කම්කරුවන් උපයා ගන්නා බවය. (සියලු දෙනා නොවේ).
මෙම ආකෘතිය වතු කම්කරුවන් තුළ ධනාත්මක පෙළඹීමක් ඇති කිරීමට, ඔවුන් වැඩි ආදායමක් ලබා ගැනීමට පමණක් නොව වතු පරිපාලනය සම්බන්ධයෙන් ද වාසිදායකය. මේ ආකෘතිය තුළ වතු කම්කරුවන් තමාට හිමි බිම් කට්ටිය තුළ සියලු කටයුතු කළ යුතු හෙයින් ඔවුන්ව අධීක්ෂණයට කංකානිවරුන් යෙදවීම, සුපවයිසර්වරු යෙදවීම ආදිය අවශ්‍ය නොවේ. වතු කම්කරුවන්ට ස්වාධීන, සිය කැමැත්ත අනුව කටයුතු කළ හැකි වාතාවරණයක් පවතින හෙයින් ඔවුන්ගේ ඵලදායීතාවය ඉහළ යාමට ද මෙය හේතුවක් වේ.
නිරීක්ෂණය
මෙම සමස්ත ක්‍රියාවලිය තුළ ඇඩ්වකාටා නිරීක්ෂණය වූයේ නව ආකෘති හා සංකල්ප ක්‍රියාත්මක කිරීම තුළින් තේ කර්මාන්තයේ දීර්ඝ කාලීන තිරසාරභාවය ප්‍රවර්ධනය කළ හැකි බවය.
එසේම වර්තමාන තාක්ෂණික දියුණුව, විශේෂයෙන් කෘත්‍රිම බුද්ධියේ දියුණුව සමඟ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ හැකියාව ද ඇඩ්වකාටා සොයා බලන ලදී.
එහි දී නිරීක්ෂණය වූයේ ලෝකයේ සෙසු රටවල මට්ටම ලංකාවේ තේ වගාව තුළ පැළ බද්ධ කිරීම සහ කප්පාදු කිරීමේ තාක්ෂණය දියුණු වී නොමැති බවයි. ලංකාවේ තේ කර්මාන්තයට තාක්ෂණය යොදා ගැනීම කඩිනම් අවශ්‍යතාවක් වශයෙන් ද සැලකිය හැකිය. ඊට හේතුව වන්නේ තේ වතුවල රැකියාවලින්, වතු කම්කරු රැකියාවලින් ඉවත් වන පිරිස වේගයෙන් ඉහළ යාමක් සිදු වුව ද වතු කම්කරු රැකියා සඳහා වන නව යොමු වීම අතිෂය දුර්වලය. මේ පසුබිම තුළ අනාගතයේ දී වතු කම්කරු රැකියා වලට ශ්‍රමිකයින් සොයා ගැනීම අභියෝගාත්මක විය හැකිය. මෙම අභියෝගයට මුහුණ දීමට වඩාත් ඵලදායී සහ සුදුසු පියවර වන්නේ මේ දක්වා යොදා නොගත් නවීකරණය සහ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය වෙත කඩිනමින් තේ කර්මාන්තය ද ගමන් කරවීමය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධාන කරන ‘කතිකාව’ සංවාද මාලාවේ ‘තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග’ නම් තේමාව යටතේ පැවැති කතිකාවේ දී ආචාර්ය සුධාරක ආරියරත්න මහතා ඉදිරිපත් කළ අදහස් ඇසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත ලිපියකි.
