මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ අක්‍රමිකතා පිළිබඳව මහ බැංකුවට පැමිණිල්ලක්

මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ අක්‍රමිකතා පිළිබඳව මහ බැංකුවට පැමිණිල්ලක්

රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් කරන ලද අනාවරණයන් කීපයක තොරතුරු රැසක් සම්බන්ධයෙන් සුරකිමු ශ්‍රි ලංකා සංවිධානයේ සභාපති, පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි (21) ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට පැමිණිලි කර සිටියා.

උන්වහන්සේ ලබාදුන් පැමිණිල්ල පහත දක්වා ඇත.

මහ බැංකු අධිපතිතුමා,
ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ 01.
2021/01/21

මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි කිරීමයි.

රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් කරන ලද අනාවරණයන් කීපයක තොරතුරු රැසක් අප සංවිධානයට ලැබි තිබේ. එම තොරතුරු වලට අනුව ඉහත බැංකු දෙකේ සභාපතිවරුන් දෙදෙනාටම සෘජුවම චෝදනා එල්ල වන අතර එම කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හා කරුණු විමසීමට සුරකිමු ශ්‍රි ලංකා සංවිධානය වන අපි බලාපොරොත්තු වෙමු. එම පැමිණිල්ලට අදාල කාරණා වනුයේ,

1. මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ යන ඔහු යටතේම පවතින BDO විගණන සමාගමට 2020.06.20 වන දින මිලියන 23ක මුදලක් 4% ක පොලියට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනුමැතිය ලබා ගත්තේ ද? එසේ අනුමැතිය ලබා නොගත්තේ නම් ඔබ විසින් ඔහුට විරුද්ධව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

2. ලංකා බැංකුවේ කටුවන ශාඛාවේ බිලියන 3.1 ක ණය මුදලක් ඩී.එස්.ගුණසේකර සමාගමට ලබා දුන් ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත්ද?

3. කටුවන ශාඛාවේ දින 90 පිරුණු ණය පහසුකම් 06ක් පමණ තිබියදී, බිලියන 3.1 ක ණය මුදලක් පහලම සිටින ණය නිලදාරියාගේ සිට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ගැනිම දක්වා සිදුවන ක්‍රියාවලිය තුලදි කිසිදු නිළධාරියෙකුට ඔහුගේ ණය තොරතුරු කාර්‍යංශයේ වාර්තාව හා පසුගිය වාරික බැලීමට අපොහොසත් වූයේද? එසේ නොවන්නේ නම් සැලසුම් කරන ලද ආකාරය ට මුදල් ලබා දුන්නේ ද?

4. මහජන බැංකුව විසින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ Mashreq බැංකුවෙන් ණයක් ඉල්ලා සිටීමේදී සභාපතිවරයාගේ නියෝජිතයා ලෙස පුද්ගලයෙක් බැංකුව අමතා කොමිස් මුදලක් ඉල්ලූ බව අනාවරණය වි තිබේ. ඒ හේතුවෙන් මහජන බැංකුවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව බාර පුද්ගලයාගෙන් කරුණු විමසා පරීක්ෂණයක් කරන ලෙස මහ බැංකුවෙන් ඉල්ලා සිටිමි.

තවද මෙම බැංකු දෙකේම ඉහළ කළමණාකාරිත්වයට අවශ්‍ය සේ වැඩ නොකරන සියලුම නිළධාරීන් පළිගැනීම්වලට ලක්වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්නේ ද? එසේ නම් ඒ පිළිබඳවද පරීක්ෂණයක් කරන ලෙසද ඉල්ලා සිටිමි.