පෞද්ගලික අංශයේ සේවකයාටත් රු.5000/= දීමනාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

පෞද්ගලික අංශයේ සේවකයාටත් රු.5000/= දීමනාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

2022 වසර ආරම්භ වීමත් සමගම රටේ වැඩකරන ජනතාව ඉතා විශාල ජීවන වියදම් අර්බූදයකට මුහුණ දී සිටින අතර, වෙළඳපල තුල කෘෂි නිෂ්පාදන වල සිට සියළු නිෂ්පාදන මිල ඉහල යාම නිසා මෑතකාලීනව වාර්තා කරන ලද ඉහළම ජීවන වියදම ද වාර්ථා වූයේ පසුගිය දෙසැම්බර් මාසය තුල බවත්, මෙම තත්වය තුල රටේ වැඩකරන ජනතාවගේ ජීවත්වීම පිළිබඳව ගැටළුව දිගින් දිගටම උග්‍ර වෙමින් පවතින නිසා පෞද්ගලික අංශයේ සේවකයාටත් රු.5000/= දීමනාව කටයුතු කරන ලෙස අන්තර් සමාගම් සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

පසුගිය වසර කිහිපය තුල රටේ වැඩකරන ජනතාවගේ වැටුප් පිළිබඳව සමාලෝචනයන් සිදුවුනාද පෞද්ගලික අංශයේ සේවකයාගේ වැටුප් වැඩිවීමකට කිසිදු මැදිහත් වීමක් දැකිය නොහැකි විය.

2022 වසර ආරම්භ වීමත් සමගම රජය විසින් රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා රු.5000/= ක දීමනාවක් ලබාදීමට තීරණය කරන ලදී. පවතින ජීවන වියදම හමුවේ රාජ්‍ය සේවකයාට එය සහනයක් විය. රටේ ජීවන වියදම ඉහල යාම පිළිබඳව රජයේ අවධානය යොමු වීම මෙන්ම රාජ්‍ය සේවකයාට රු.5000/= ලබාදීම පිළිබඳව අවධානයෙන් සිටින පෞද්ගලික අංශය පිළිබඳව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය මේ මොහොතේ අතිශය වැදගත්ය.

රටේ නිෂ්පදන ක්‍රියාවලියෙන් 80% පමණ ඍජු දායකත්වයක් සපයන ශ්‍රම බලකායෙන් 80% නියෝජනය කරන්නේ පෞද්ගලික අංශයේ සේවකයින්ය.

2022 ආරම්භ වන විට රටේ හතර (4) දෙනෙකුගෙන් යුත් පවුලේ බඩුමල්ල සඳහා මසකට රු.55000/= පමණ වූ අතර, එය 2021 දෙසැම්බර් වනවිට රු.68000/= පමණ ඉහල ගොස් ඇත. මෙම තත්වය තුල රටේ වැඩකරන ජනතාවට ජීවත්වීමට සරිලන වැටුප් නොලැබෙති.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ 60% පමණ රු.25000/= අඩුවෙන් වැටුප් ලබන සේවකයින් වෙයි. එම නිසා රටේ ජීවන වියදම ඉහළ යන විට වැඩකරන ජනතාව ලබාදෙන සහන සියළුම වැඩකරන ජනතාවට ලැබිය යුතුය.

රාජ්‍ය අංශයේ සේවකයාට ජීවත්වීම අමාරු නිසා රු.5000/= දීමනාව ලබාදීමට කටයුතු කළා සේම පෞද්ගලික අංශයේ සේවකයාට ද එම රු.5000/= ලබාදීමට කටයුතු කිරීම රජයේ වගකීම ලෙස අපි දකිමු.

පෞද්ගලික අංශයේ සේවකයාට රු.5000/= ලබාදීම රටේ නිෂ්පාදනයටත්, සේවකයාගේ කාර්යක්‍ෂමතාවයටත් එය හේතුවනු ඇත. රටේ පවතින ජීවන වියදම් අර්බූදයට රාජ්‍ය, පෞද්ගලික භේදයෙන් තොරව මුහුණදෙන

වැඩකරන ජනතාව මේ මොහොතේ රු.5000/= දීමනාව ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ මැදිහත් වීම අපේක්‍ෂා කරයි. එබැවින් රටේ පවතින නීති සංශෝධනය කර පෞද්ගලික අංශයේ සේවකයින්ට රු.5000/= දීමනාව ලබාදීම මැදිහත් වන මෙන් අන්තර් සමාගම් සේවක සංගමය ලෙස අප ඉතා උවමනාවෙන් යුතුව ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කරනු ඇතැයි විශ්වාස කරන අප, එසේ පෞද්ගලික අංශයේ සේවකයාට රු.5000/= දීමනාව ලබාදීම හරහා පෞද්ගලික අංශය තුල මතුවන නොසන්සුන්කාරී තත්වය සමනය කිරීමට ද හේතුවන බව දන්වා සිටිමු.

එබැවින් මෙම කාරණාව සලකා පෞද්ගලික අංශයේ සේවකයින්ට ද එම රු.5000/= දීමනාව ලබාදීමට මැදිහත් වන ලෙස ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.