දික්කසාද කිරීමේ නඩු තීන්දුවෙන් පසුව ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවන් වියවුලක

දික්කසාද කිරීමේ නඩු තීන්දුවෙන් පසුව ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවන් වියවුලක

2017 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් "ත්‍රිත්ව තලාක්" ඉස්ලාමීය පිළිවෙත තහනම් කරන ලදී. මුස්ලිම් පුරුෂයෙකුට "තලාක්" (දික්කසාදය) යනුවෙන් තුන් වරක් පවසා මිනිත්තු කිහිපයකින් තම බිරිඳ දික්කසාද කිරීමට ත්‍රිත්ව තලාක් ක්‍රමය යටතේ අවසර ලැබී තිබුණි.

එවකට මෙම අධිකරණ තීන්දුව, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් සමරනු ලැබුවද, ඉන් වසර පහකට පසුව බොහෝ මුස්ලිම් කාන්තාවන් පවසන්නේ මෙම තීන්දුව විසින් තමන් ව දෙගිඩියාවකට පත් කර ඇති බවයි.

අෆ්රීන් රෙහ්මාන්, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් සතුටට පත් වූයේ, මාස කිහිපයකට පෙර තම සැමියා විසින් ලබා දුන් ඒකපාර්ශ්වික ක්ෂණික දික්කසාදය මෙම තීන්දුව පසුව නීත්‍යානුකූලව වලංගු නොවන බැවිනි.

නමුත් ඇය අපේක්ෂා කළ ආකාරයට කිසිවක් වෙනස් නො වූයේ, ඇගේ ස්වාමිපුරුෂයා ඇයව ආපසු භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

Triple talaq

| ඉන්දියාව 2017 දී ත්‍රිත්ව තලාක් ක්‍රමය තහනම් කළේය

 අදාළ තීන්දුවෙන් පස් වසරකට පසුව පෙත්සමක් ඉදිරිපත් කළ කාන්තාවන් පස් දෙනාගෙන් එක් අයෙකු වන රෙහ්මාන්, තමන් තවමත් විවාහකද නැතිනම් දික්කසාද යන්න පිළිබඳව අවිනිශ්චිතව පසුවන්නී ය.

මෙම පෙත්සම ගොනු කළ තවත් පෙත්සම්කාරියන් තිදෙනෙකුගේ කතාව ද මෙයම වී තිබේ. ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් ඔවුන් ව ආපසු භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා, දික්කසාදය වලංගු නොවූවත්, ඔවුන් තවමත් සිටින්නේ "දික්කසාද" තත්ත්වයේ ය.

මෙම නඩුවේ පෙත්සම්කරුවන්ගෙන් එක් අයෙකු වන්නේ භාරතීය මුස්ලිම් මහිලා අන්දෝලනයේ සම-නිර්මාතෘ සාකියා සෝමන් ය. ඇයට අනුව 2017 අගෝස්තු මාසයේ දුන් මෙම නඩු තීන්දුවෙන් සහ 2019 දී මෙම ක්‍රියාව සාපරාධී ලෙස සළකමින් ගෙන ආ නීතියෙන් යන දෙකෙන් ම, මුස්ලිම් කාන්තාවන්ට ඇතිවී ඇත්තේ මිශ්‍ර ප්‍රතිඵලයකි.

"ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සතුටින් නැවත විවාහ වී දරුවන් ද සමඟ සතුටින් පවුල් ජීවිත ගත කරන අතර, මෙම කාන්තවන්ට සිදුවී ඇත්තේ දිගටම තනිව ජීවත් වීමටයි" යි සෝමන් පවසන්නී ය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පෙර, ඉන්දියාව ත්‍රිත්ව තලාක් දික්කසාදයට අවසර දී තිබූ රටවල් අතළොස්සට අයත් වී තිබුණි.

මෙම පිළිවෙත නීති විරෝධී බව පවසමින් එය නීති විරෝධී ලෙසට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මුස්ලිම් කාන්තාවන් සහ ක්‍රියාකාරීන් විසින් දියත් කරන ලද උද්ඝෝෂණය මෙහෙයවන ලද්දේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ (BJP) රජය විසිනි.

ඉන් අනතුරුව, මෙහි ප්‍රධාන පෙත්සම්කාරිය වන ෂයාරා බානෝ, භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරන උත්තරාකාන්ද් ප්‍රාන්තයේ කාන්තා අයිතිවාසිකම් කණ්ඩායමක උප සභාපතිනිය ලෙස පත් කරන ලදී. පෙත්සම්කාරියන් අතුරින් තවත් අයෙකු වන ඉෂ්රත් ජහාන් ද භාරතීය ජනතා පක්ෂයට එක් වූවා ය.

Triple talaq

| ත්‍රිත්ව තලාක් ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ෂයාරා බානෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළාය

නමුත් අනෙකුත් පෙත්සම්කරුවන්ගෙන් සමහරෙකට ජීවිතය සමඟ අරගල කිරීමට සිදුව තිබේ. රෙහ්මාන් හට පසුගිය වසර ගණනාව තුළ ම ස්ථාවර රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ අතර ආටියා සබ්රි අර්ධ සටනකින් ජයග්‍රහණය කර ඇති නමුත් ඇගේ දෙමාපියන් සමඟ ජීවත් වීමට සිදුව තිබේ.

කෙසේ වෙතත් නිරීක්ෂකයින් පවසන්නේ, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ත්‍රිත්ව තලාක් දික්කසාදය අපරාධයක් බවට තීන්දු කළ නීතිය විසින් සමාජයේ යම් වෙනසක් ඇති කර ඇති බවයි.

"ක්ෂණික ත්‍රිත්ව තලාක් ක්‍රමය දෙවියන්ගේ නීතියක් නොවන බවට ප්‍රජාව දැනුවත් කර ඇති අතර බොහෝ ප්‍රාන්තවල සිටින අපගේ ස්වේච්ඡා සේවකයන් පවසන්නේ මේ වනවිට වාර්තා වන තලාක් නඩු සංඛ්‍යාව අඩු බවයි " යි සෝමන් පවසන්නීය.

නමුත් ඒ සමඟම පිරිමින් තම භාර්යාවන් අතහැර යාමේ සිද්ධීන් ද ඉහළ ගොස් තිබේ. නීතියට අනුව, මෙම වරද සිදු කරන සැමියන් වසර තුනක් දක්වා සිරදඬුවම්වලට ලක්විය හැකි නමුත් බොහෝ මුස්ලිම් පිරිමින් මෙම නීතිය ගැන ඇති අඩු දැනුම නිසා තවමත් තම භාර්යාවන් හැර යාමට කටයුතු කරති.

දකුණු ප්‍රදේශයේ හයිද්‍රාබාද් නගරයේ ෂහීන් කාන්තා සුභසාධක සංගමය පවත්වාගෙන යන ජමීලා නිශාත්, මෙම නීතිය හඳුන්වා දීමෙන් පසුව නගරයේ පැල්පත් ප්‍රදේශ ආශ්‍රිත විවාහ නඩු විස්සක් අධ්‍යයනය කිරීම සඳහා සිය ස්වේච්ඡා සේවකයන් යොදවන්නට කටයුතු කළා ය.

"සමීක්ෂණයට ලක් කරන ලද නිවාස 2,106 න් 683 ක ම සිය ස්වාමිපුරුෂයන් හැරදමා ගිය කාන්තාවන් සිටින බව ඔවුන් සොයා ගත්තා" යි ඇය පවසන්නී ය.

"පෙර අපට ලැබුණේ මෙවන් අතහැර යාම් පිළිබඳ නඩු දෙක තුනක් පමණි. නමුත් මෙම නීතිය හඳුන්වාදීමත් සමඟ නඩු ප්‍රමාණය හදිසියේම ඉහළ ගොස් තිබේ."

Triple talaq

| ක්ෂණික දික්කසාදය සාපරාධී වරදක් බවට ප්‍රකාශ කිරීමෙන් පසු තවමත් මුස්ලිම් පිරිමින් තම භාර්යාවන් හැර යන බව ජමීලා නිශාත් පවසයි

උසාවියේදී ත්‍රිත්ව තලාක් තහනමට විරුද්ධ වූ සංවිධානයක් වන සමස්ත ඉන්දීය මුස්ලිම් පුද්ගලික නීති මණ්ඩලයේ හිටපු සාමාජික උස්මා නහීඩ් ද මුම්බායි හි මෙවන් ප්‍රවනතාවක් ඇති වී ඇති බව නිරීක්ෂණ කර තිබේ.

"පළා යාමෙන් පිරිමින්ට දික්කසාදයකදී මෙන් කාන්තාවන්ට නඩත්තු ගෙවීම අවශ්‍ය නො වන නිසා ඔවුන් මෙසේ කරති " යි නහීඩ් පවසයි. "මෙය ඉතා වේදනාකාරී අත්දැකීමකි. නීතිය මම කාන්තාවන්ට සහයක් වී නො මැත."

එමෙන් ම කාන්තාවන් විසින් ආරම්භ කරන ලද දික්කසාද ක්‍රමයක් වන "ඛුලා" අපේක්ෂා කරන කාන්තාවන්ගේ සංඛ්‍යාවේ ද කැපී පෙනෙන වර්ධනයක් ඇති වී ඇති බව නිරීක්ෂකයෝ පවසති. "ඛුලා" ලබා දෙන්නේ කාන්තාවගේ ඉල්ලීම මත බැවින්, ක්ෂණික දික්කසාදයක් ඉල්ලා සිටීමේ වගකීම පිරිමියාට පැවරීමේ ඉඩ ද ඉන් ඇහිරී තිබේ.

"දෙපාර්ශ්වය ම කැඳවා ඔවුන් අතර සාකච්ඡා කිරීමට ඉඩ සලසා දීමෙන් ගැටලුව විසඳීමට අපි අපේ උපරිම උත්සාහ දරන අතර බොහෝ නඩු සාමකාමීව විසඳා දීමට අපිට හැකි විය," යනුවෙන් බිහාර්, ජාර්කන්ඩ් සහ ඔරිස්සා යන නැගෙනහිර ප්‍රාන්තවල ක්‍රියාත්මක සමාජ-ආගමික සංවිධානයක් වන ඉමාරත් -එ- ෂරියා හි ප්‍රධාන පූජක අන්සාර් අලාම් පැවසීය.

"නමුත් අපගේ මධ්‍යස්ථානවලින් ලැබෙන වාර්තාවලින් පෙනී යන්නේ, දික්කසාදය අපේක්ෂා කරන කාන්තාවන්ගේ ප්‍රමාණය ඇත්ත වශයෙන්ම ඉහළ ගොස් ඇති බවයි."

රට පුරා, ක්ෂණික ත්‍රිත්ව තලාක් සහ ඛුලා (දික්කසාද) අඩුවීම අතර ඇති සම්බන්ධය පෙන්නුම් කරන දත්ත නොමැති වුවත්, මෑත මාසවලදී ඛුලා (දික්කසාද) අපේක්ෂාවෙන් දාරුල් කසාස් හෙවත් ඉස්ලාමීය බේරුම්කරණ මධ්‍යස්ථාන සොයා යන කාන්තාවන් සංඛ්‍යාවේ සැලකිය වර්ධනයක් දක්නට ලැබෙන බව හින්දු පුවත්පත සොයාගෙන තිබේ.

එය මුස්ලිම් කාන්තාවන්ව වඩා හොඳ දැනුවත්භාවයක් සහ අධිෂ්ඨානශීලී මගකට යොමු කරන ලකුණක් සේ පෙනුනත්, බොහෝ විට පිරිමින් විසින් එය ඔවුන්ගේ වාසියට යොදා ගැනීමයි.

Triple talaq

| ඉන්දියාවේ ත්‍රිත්ව තලාක් ක්‍රමය තහනම් කිරීම මුස්ලිම් කාන්තාවන්ට මිශ්‍ර ප්‍රතිඵලයක් ගෙන දී ඇත

තෙලන්ගානා ප්‍රාන්තයේ වෙසෙන කලීඩා බෙගම් (පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා නම වෙනස් කර ඇත) එය ඉගෙන ගත්තේ වඩා දුෂ්කර මාර්ගයකිනි. ඇය 2021 ඔක්තෝම්බර් මාසයේදී විවාහ වූ අතර, ඇගේ සැමියාගේ නෑදෑයින් දිගින් දිගට ම කළ හිරිහැර නිසා දික්කසාදය ඉල්ලා සිටීමට ඇයව පෙළඹවීය.

ඇගේ ස්වාමිපුරුෂයා එය ප්‍රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට ඛුලා ලබාගන්නා ලෙස ඔහු ඇයගෙන් ඉල්ලා සිටියේ ය. එමගින් ඔහු ඇයට ජීවිතාන්තය දක්වා නඩත්තු ගෙවීමට සිදුවීමේ වගකීමෙන් තමන් ව නිදහස් කරගත්තේ ය.

ඇය ඊට එකඟ වූ නමුත් ඛුලාවට හේතුව ඔහු සහ ඔහුගේ පවුලේ අය ඇයට කළ ප්‍රචණ්ඩත්වය බව ඔහු ලිඛිතව පිළිගත යුතුයයි කොන්දේසියක් ඉදිරිපත් කළා ය. අනුමාන කළ පරිදි ම ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය.

මෙම කසාදයෙන් මිදීමේ මාර්ගයක් ලෙස, ඛලිඩාගේ මව ඇයට එම කොන්දේසිය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළාය.

"ඔහු කළ දෙයක වරද මම භාර ගත යුත්තේ ඇයි? ඔහු නිවැරදිකරුවෙකු ලෙස එළියට එයි. සියල්ල ඉවසා සිටි මම නරක කෙනෙකු ලෙසට හංවඩු ගැහෙනවා." ඛලිඩා බීබීසීයට පැවසුවා ය.

ඇගේ අරගලය තවදුරටත් අවසන් වී නො මැත.

රෙහ්මාන් නැවත විවාහ වීමට උත්සාහ කරමින් සිටින නමුත් වාසනාව තවමත් ඈ සොයා පැමිණියේ නැත.

"ඇයගේ නඩුව කෙතරම් ප්‍රකට වූවා ද යත්, මිනිසුන් දැන් අෆ්රීන්ට කෙරෙහි දක්වන්නේ බියකි" යි, ජයිපූර්හි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන නසීම් අක්තාර් පවසයි.

රෙහ්මාන්ට ඇයගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යාමට උදව් කළේ නසීම් අක්තාර් ය.

"තීරණය නිකුත් වූ දිනයේ අෆ්රීන් සෑම රූපවාහිනී නාලිකාවකම පාහේ පෙනී සිටියා ය. ඇගේ මුස්ලිම් නොවන ආයතන ප්‍රධානියා මෙම නඩුව ගැන දැනගත් විට ඇයව රැකියාවෙන් නෙරපා හැරියේ ය.

'ඔබ කෙතරම් ශූර කාන්තාවක්ද යත්, ඔබ ඔබේ සැමියාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යාමට කටයුතු කළා. ඔබ යම් දිනක අපට විරුද්ධව නඩුවක් ගොනු කළොත්?' යි ඔහු පැවසූ බව අක්තාර් කියා සිටින්නී ය.

ඇගේ පවුලේ අය ඇයට සහයෝගය දක්වන නමුත් නැවත විවාහ වීමේ සිතුවිල්ල පවා දැන් ඇයව බිය ගන්වන බව රෙහ්මාන් පවසයි. "මගේ ජීවිතය වෙනස් වී නැති අතර මම දුෂ්ටයෙක් බවට පත් වී තිබේ."

"නමුත් අනාගත පරම්පරාවන් සඳහා එය වෙනස් විය යුතුයි," ඇය පැවසීය.

(බිබිසි/සන්දේශය)