එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ක්‍රේග් මොකිබ ගේ ඉල්ලා අස්වේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ක්‍රේග් මොකිබ ගේ ඉල්ලා අස්වේ

මෙය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සඳහාවන කොමිසමේ නිව්යෝක් කාර්යාලයේ අධ්‍යක්ෂ ක්‍රේග් මොකිබ විසින් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම දන්වා මහ කොමසාරිස් වොල්ක ටර්ක් වෙත ඉකුත් ඔක්තෝම්බර 28 වන දින යොමු කළ ලිපියේ සිංහල අනුවාදය වේ.

2023 ඔක්තෝම්බර 28 වන දින

හිතවත් මහ කොමසාරිස් තුමනි,

නිව්යෝක්හි මානව හිමිකම් සඳහාවන මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්ෂ වශයෙන් මෙය මවිසින් ඔබ අමතන අවසන් ලිපිය වනු ඇත.

මා මෙය ලියන්නේ අපගේ සහෘදයින් බොහෝ දෙනෙකු මෙන්ම මුළු ලොවම දැඩි වේදනාවකට හසුව ඇති මොහොතකය. අපගේ ඇස් පනාපිට තවත් ජන සංහාරයක් දිග හැරෙනවා අපි නැවත දකින්නෙමු. අප සේවය කරන ආයතන වලට එය නවතා ගැනීමට ශක්තියක් නොමැති බැව් සහතික වූවකි. 1980 දසකයේ පලස්තීනයේ මානව හිමිකම් ගැන පරීක්ෂණ කළ, 1990 දසකයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් උපදේශකයෙකු ලෙස ගාසා හි ජීවත් වූවකු ලෙස සහ එරට මානව හිමිකම් සම්බන්ධව සොයා බැලීමට නිල ගමන් කිහිපයක් ගිය පුද්ගලයෙකු ලෙස මෙය මට ඉතාම පෞද්ගලකි කාරණාවකි.

එවගේම මේ ශාලාවල මම ටුට්සි, බොස්නියා, යසිඩි සහ රෙහිංග්‍යා ජන සංහාර වලට එරෙහි වැඩවලද නිරත වූවෙක්මි. ඒ හැම සිදුවීමකදීම ආරක්ෂාවක් නොතිබුණු අසරණ සිවිල් ජනයා මත මුද හැරි මෘගත්වය නිසල වූ පසු ඉතාම වේදනාකාරී ලෙස අපට පැහැදිලිවූ කරුණක් වූයේ, සමූහ අපරාධ වළකා ලීමේ පූර්ව කාර්යන්ද, ඒවායේ ගොදුරු බවට පත්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමද, අපරාධකරුවන් වගවීමට යටත් කිරීමද යන අපගේ යුතුකම් ඉටු කිරීමට අප අපොහොසත්වූ බවය. එය එක්සත් ජාතීන්ගේ සමස්ථ කාලය පුරාම පලස්තීනු ජනතාවට එරෙහි හැම දඩයම් කිරීමේ හා ඝාතනය කිරීමේ රැල්ලක් සම්බන්ධයෙන්ද එසේම ය.

මහ කොමසාරිස් තුමනි, අපි නැවතත් අසාර්ථක වන්නෙමු.

මානව හිමිකම් ක්ෂේත්‍රයෙහි දසක 03 ට වැඩි කාලයක් මානව හිමිකම් නීතිඥයෙකු වශයෙන් කටයුතු කළ හෙයින් “ජන සංහාරය” සම්බන්ධ සංකල්පය දේශපාලනිකව අවභාවිතා කෙරෙන බැව් මම දන්නෙමි. එහෙත්, ජනාවාසී යටත් විජිත වාර්ගික-ජාතිකත්ව මතවාදයක මුල් ඇදුණු, පලස්තීනුවන්ගේ අරාබි සම්භවය මත පූර්ණ වශයෙන් පදනම්වූ දසක ගණනාවක් අඛණ්ඩව දියත් කෙරෙන දඩයම් කිරීම් හා තොග පිටුවහල් කිරීම් සඳහාම යොමුවන ඊශ්‍රායල ආණ්ඩුවේ සහ හමුදා නායකයින්ගේ ප්‍රකාශ සමගින්වන වර්තමාන තොග ඝාතන පලස්තීන ජන සංහාරය සම්බන්ධ කිසිදු මතභේදයකට හෝ විවාදයකට ඉඩ තබන්නේ නැත.

දහස් ගණන් සිවිල් වැසියන් සමූහ ඝාතනය කෙරෙන ගාසාහි නිවාස, පාසල්, පල්ලි සහ වෛද්‍ය ආයතන අතොරක් නැති ප්‍රහාර වලට ලක් කෙරෙන්නේය. යටත් කරගෙන ඇති බටහිර ඉවුරේවන යෙරුසලමෙහි නිවාස බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඊශ්‍රායල හමුදා විසින් ඒවා ලබා දෙන්නේ පිරිසිදු වාර්ගික තේරීම් මතය. ඒ අතර ඉතා ප්‍රචණ්ඩ ජන සංහාරද දියත් කෙරෙන්නේය. පලස්තීන භූමිය පුරා ප්‍රචණ්ඩ වර්ගවාදයක් දියත් වන්නේය.

මෙය ඉතාම නිරවුල් ජන සංහාරයකි. ජන වර්ගික, ජාතිකත්ව ජනාවාසීය යුරෝපීය ව්‍යාපෘතිය පලස්තීනයේ ඉතිරිව ඇති අවසන් පලස්තීනු ජීවිත විනාශ කිරීමේ අවසන් අදියරට පැමිණ ඇත. වෙන කවරක්ද? අමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ බොහෝ යුරෝපීය ආණ්ඩු මේ මෘග ප්‍රහාරයේ පූර්ණ පාර්ශවකරුවන්ව ඇත. මෙම ආණ්ඩු ජිනීවා සම්මුතයෙහි “ගෞරවය සහතික කිරීමේ” ඔවුන් සතු වගකීම් ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායල ප්‍රහාර සඳහා අවි ආයුද, ආර්ථික හා බුද්ධි තොරතුරු සැපයීම මගින් සහාය වන අතර, ඊශ්‍රායල ම්ලේච්ඡත්වය සඳහා දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික ආවරණයක් ලබා දෙති.

Kusal perera 1

| කුසල් පෙරේරා

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

 

 

UN